"BOI අනුමැතිය කියන්නේ පරිසර විනාශයට වැට බඳින යකඩ රාමුවක්" - ඩොලර් බිලියන ගණනක ඇඟලුම් ආයෝජන ආකර්ෂණය කරගන්නා දැවැන්ත ජල පවිත්‍රකරණ පද්ධතියක් නැගෙනහිරට
ජේ ජේ මිල්ස් (Jay Jay Mills) කර්මාන්තශාලාවෙන් ප්‍රායෝගික සාක්ෂි; දිනකට ලීටර් මිලියන 15ක අපජලය සාගරයට මුදා හැරියත් වෙරළ තීරයට බිංදුවක බලපෑමක් නෑ
ගෝලීය වෙළඳපොළ තුළ ලාභ ශ්‍රමය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රමවේද ප්‍රතික්ෂේප වෙමින්, පරිසර හිතකාමී සහ තිරසාර නිෂ්පාදන (Sustainable Manufacturing) සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් මෙරට කාර්මිකකරණයේ දැවැන්ත හරිත පෙරළියක් සිදුකර ඇත.
නැගෙනහිර පළාතේ පුන්නයිකුඩා, එරාවුර් හි අක්කර 260ක භූමියක ස්ථාපිත කර ඇති "එරාවුර් රෙදිපිළි උද්‍යානය" (Eravur Fabric Park) හරහා ලංකාවට පැමිණෙන විදේශීය ආයෝජනවලට පාරිසරික විශිෂ්ටත්වය පිළිබඳ සහතිකයක් ලබාදීමට පියවර ගෙන තිබේ. පසුගියදා එහි සංචාරයක නිරත වූ BOI අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන අවධාරණය කළේ, BOI අනුමැතිය ලබාගන්නා ඕනෑම ආයතනයක් රටේ පවතින දැඩිම පාරිසරික ආරක්ෂණ නීතිවලට යටත් වන බවට එරාවුර් කලාපය භෞතික සාක්ෂියක් සපයන බවයි.
ද්විත්ව ස්ථර ජල පවිත්‍රකරණය සහ දැඩි ප්‍රමිතීන්

රෙදිපිළි කර්මාන්තයේදී පිටවන කාර්මික අපජලය හේතුවෙන් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා එරාවුර් හි අතිනවීන තාක්ෂණික ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වේ.
ද්විත්ව ආරක්ෂණය:
කලාපයට ඇතුළත් වන සෑම කර්මාන්තශාලාවක්ම තමන්ගේම අභ්‍යන්තර අපජල පවිත්‍රාගාරයක් (ETP) සහ මළාපවහන පවිත්‍රාගාරයක් (STP) පවත්වාගෙන යාම අනිවාර්ය කර ඇත. එහිදී මූලිකව පවිත්‍ර කරන ජලය, BOI මඟින් ක්‍රියාත්මක කරන මධ්‍යම අපජල පවිත්‍රාගාරය වෙත යොමු කර, විශේෂිත නළ පද්ධති (Sea Outfall) සහ විසරණ තාක්ෂණය (Diffuser Technology) ඔස්සේ මුහුදට මුදා හරිනු ලබන්නේ මීටර් 10ක් ඇතුළත 1:10ක සීඝ්‍ර ද්‍රවීකරණයක් සිදුවන පරිදිය.
COD සීමාව:
ලංකාවේ පාරිසරික ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙහි රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) ධාරිතාව ලීටරයකට මිලිග්‍රෑම් 250ක (250 mg/L) සීමාවක පවත්වා ගැනීමට නියෝග කර ඇත. මෙය සාමාන්‍ය ජාතික අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමකි. දැනට කලාපයේ සක්‍රීය එකම ආයෝජකයා වන 'ජේ ජේ මිල්ස්' (Jay Jay Mills) ආයතනය මෙම තාක්ෂණය සාර්ථකව භාවිත කරමින් සිටියි.
භූමිය ආරක්ෂා කිරීම:
ගොඩබිම් පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම වෙනුවෙන්, පවිත්‍ර කරන ලද කාර්මික අපජලය කලාපය තුළ ගෙවතු වගාවන් හෝ භූමි අලංකරණ කටයුතු සඳහා භාවිත කිරීම BOI විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
ඩිජිටල් ඔත්තු බැලීම සහ නිරන්තර පරීක්ෂණ

පරිසර නීති නිසිලෙස ක්‍රියාත්මක වනවාදැයි බැලීම සඳහා වරින් වර සිදුකරන අතින් කෙරෙන පරීක්ෂණ වෙනුවට, ස්වයංක්‍රීය ඩිජිටල් නිරීක්ෂණ පද්ධතියක් (Automated Digital Surveillance) ස්ථාපිත කර තිබේ.
තාක්ෂණික පාලනය:
සෑම කර්මාන්තශාලාවකම අපජලයේ pH අගය, කැළඹිලි ස්වභාවය (Turbidity), විද්‍යුත් සන්නායකතාව සහ වර්ණය 24 පැය පුරාම ස්වයංක්‍රීයව සටහන් වන inline නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක වේ. මීට අමතරව, ජලය මුහුදට මුදා හරින වෙරළ කුටීරය (Beach Chamber) අසල BOI සතු ස්වාධීන, මාර්ගගත (Online) නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බැවින් ප්‍රමිතියෙන් බැහැර වන ඕනෑම අපජල ධාරාවක් ක්ෂණිකව හඳුනාගෙන පද්ධතිය නැවැත්වීමේ හැකියාව පවතී.
හදිසි වැටලීම්:
කර්මාන්තශාලා පරිශ්‍රයෙන් පිටත පිහිටි පරීක්ෂණ කවුළු (Interceptor Manholes) හරහා BOI නිලධාරීන්ට සහ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ලියාපදිංචි ස්වාධීන රසායනාගාරවලට ඕනෑම වේලාවක පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ, භෞතිකව ජල සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමට පූර්ණ නිදහස ඇත.

ලංකා හයිඩ්‍රොලික් ආයතනය (LHI) මඟින් සිදුකරන ලද විද්‍යාත්මක ආදර්ශන (Hydrodynamic Modeling) මඟින් දිනකට අපජල ඝන මීටර් 15,000ක් මුදා හැරිය ද පුන්නයිකුඩා වෙරළාශ්‍රිත පද්ධතියට ඉන් කිසිදු හානියක් නොවන බව සනාථ කර ඇත. මෙමඟින් දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි රට තුළම නිපදවා ගනිමින් ඩොලර් ඉතිරි කරගන්නා අතරම, ගෝලීය විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඉල්ලා සිටින "තිරසාර සහ හරිත නිෂ්පාදන" (Circular Economy) අවශ්‍යතාව ද ශ්‍රී ලංකාව සපුරාලයි.








