leader s

හම්බන්තොටින් කොටසක් මිලදී ගන්න MSC සමාගම සාකච්ඡා කරද්දීම, ඉන්දියාවේ විජින්ජම් වරායෙන් 49%ක් ඔවුන් සතු කරගනී.

බටහිර පර්යන්තය (WCT) නියමිත කාලයට වැඩ ඉවර කරද්දී, නැඟෙනහිර පර්යන්තයේ (ECT) පරණ ප්‍රමාදය නිසා ජාත්‍යන්තරය කලකිරෙයි.

 

ලෝකයේ ප්‍රමුඛතම මුහුදු ප්‍රවාහන නැව් සමාගම් (Global shipping lines) දකුණු ආසියානු කලාපය තුළ සිය ආයෝජන කඩිනම් කරමින් සිටින පසුබිමක, ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමේ පවතින බරපතළ ප්‍රමාදය හේතුවෙන් රටට පැමිණීමට ඇති ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

 

Maersk, MSC, CMA CGM සහ COSCO වැනි ලෝක මට්ටමේ දැවැන්තයන් කොළඹ සහ හම්බන්තොට වරායන් කෙරෙහි උනන්දුවක් දැක්වුවද, අසල්වැසි රටවල් ඉතා වේගයෙන් තම යටිතල පහසුකම් පුළුල් කිරීම ලංකාවට එල්ල කර ඇති ප්‍රධානතම තර්ජනයයි.

 

ජාත්‍යන්තර අවධානය සහ හම්බන්තොට වරාය

ප්‍රකට ‘Journal of Commerce’ සඟරාව අනාවරණය කර ඇත්තේ ලොව ප්‍රමුඛතම නැව් සමාගමක් වන MSC, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් (Significant stake) මිලදී ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි. ලාංකීය නැව් ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම සාකච්ඡා තවමත් නිල මට්ටමට පැමිණ නොමැති වුවද, ජාත්‍යන්තර නැව් සමාගම් ලංකාවේ වරාය පාලනයට සෘජුවම අත ගැසීමට සූදානම් වන බව මින් පැහැදිලි වන බවයි.

 

මෙයට අමතරව 2030 වන විට වසරකට බහාලුම් මිලියන 3.5ක් හැසිරවිය හැකි කොළඹ බටහිර පර්යන්තයේ දෙවැනි අදියර (WCT-2) කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

 

ඉන්දියාවේ විජින්ජම් පෙරළිය සහ ලංකාවට එන ටැකල් එක

 ලංකාව සැලසුම් සකස් කරමින් සිටින අතරතුර, MSC සමාගමේ පර්යන්ත මෙහෙයුම් අංශය වන TiL ආයතනය, ඉන්දියාවේ අදානි සමාගමට අයත් ‘විජින්ජම් ජාත්‍යන්තර වරායේ’ (Vizhinjam Port) 49%ක කොටස් අයිතිය ඩොලර් බිලියන 1.4ක දැවැන්ත ආයෝජනයකින් මිලදී ගෙන ඇත.

 

සෘජු තරඟය:
විජින්ජම් වරාය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර මුහුදු මාර්ගයේමය.

 

ඩොලර් කාන්දුව:
ඉන්දියාව මෙම වරාය හැදුවේම කොළඹ, සිංගප්පූරුව සහ ඩුබායි වැනි විදේශීය වරායන් මත ඉන්දියාව සතු යැපීම මුළුමනින්ම නැවැත්වීමටය. MSC සමාගම එකවර ඉන්දියාවේ සහ ලංකාවේ වරාය පාලනය හිමිකර ගත්තහොත්, ඔවුන්ට කලාපීය නැව් ගාස්තු සහ මෙහෙයුම් තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමේ මහා බලයක් (Leverage) හිමිවේ.

 

පර්යන්ත දෙකක වෙනස් කතාන්දර දෙකක් 

කොළඹ වරාය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති දෙකක කාර්යක්ෂමතාවය පිළිබඳව ජාත්‍යන්තර නැව් ක්ෂේත්‍රය ප්‍රශ්න කරමින් සිටී:

 

සාර්ථක බටහිර පර්යන්තය (WCT):
පෞද්ගලික අංශයේ දායකත්වයෙන් හැදෙන බටහිර පර්යන්තය 2025 අප්‍රේල් මාසයේදී සිය වාණිජ මෙහෙයුම් ඇරඹූ අතර, සැලසුම් කළ කාලයට වඩා කලින්, එනම් 2026 අග වෙද්දී එහි වැඩ මුළුමනින්ම අවසන් වීමට නියමිතය.

 

අසාර්ථක නැඟෙනහිර පර්යන්තය (ECT):
2015 වසරේ සිට දේශපාලන පොරපිටියක් වෙමින් ඇනහිට තිබූ, පසුව 2022 දී වැඩ ඇරඹූ නැඟෙනහිර පර්යන්තයේ මෙහෙයුම් බාධා 2025 වසර දක්වාම පැවතිණි. මෙයද 2026 අග වෙද්දී නිම කිරීමට සැලසුම් කර ඇතත්, රාජ්‍ය අංශයේ පවතින මෙම මන්දගාමී ස්වභාවය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ දමන්නකි.

 

ගෝලීය නැව් සමාගම් දැන් මුල්තැන දෙන්නේ කුමකට ද ? 

ලංකාව සතුව ලෝක සිතියමේ හොඳම භූගෝලීය පිහිටීම (Geographic advantages) තිබූ පමණින් මින් ඉදිරියට ජාත්‍යන්තර ප්‍රාග්ධනය ගලා එන්නේ නැත. ගෝලීය නැව් සමාගම් දැන් මුල්තැන දෙන්නේ ස්ථාවර නීතිමය පද්ධතියකට සහ රජයේ වේගවත් තීන්දු ගැනීමේ හැකියාවටය. ඉදිරි මාස කිහිපය තුළ ලංකාව තම වරාය ආයෝජන ප්‍රතිපත්ති කඩිනම් නොකළහොත්, ලෝකයේ ලොකුම නැව් සමාගම් සියලුම ඩොලර් බිලියන ගණනක ආයෝජන ඉන්දියාව, මාලදිවයින හෝ වෙනත් කලාපීය වරායන් වෙත විසි කරනු ඇත.

 

(සටහන | සම්පත් ධිරසේකර )

මුලාශ්‍රය :

Sri Lanka Risks Losing Port Investment Race Amid Regional Competition

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්