2026 මුල් මාස 6ට ඩොලර් මිලියන 600ක් සහ මේ ජූලි මාසයේදී තවත් මිලියන 300ක දැවැන්ත ආයෝජන කැපවීම්.
ජාත්‍යන්තර සරසවියක්, රෝහලක් සහ පාසලක් සඳහා ලෝක මට්ටමේ RFP කැඳවීම් ළඟදීම; තාක්ෂණික ශ්‍රමික හිඟය ලොකුම බාධාවක්.
කොළඹ පෝට් සිටි (Colombo Port City) ව්‍යාපෘතිය ආරම්භ වී වසර 9ක් සපිරෙන මේ මොහොතේ, එය හුදෙක් ගොඩනැගිලි සහ සුඛෝපභෝගී නිවාස විකුණන "රියල් එස්ටේට් සිහිනයකින්" ඔබ්බට ගොස්, ලෝක මට්ටමේ බහුජාතික සමාගම් (Multinational companies) ආකර්ෂණය කරගන්නා ගෝලීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වීමේ තීරණාත්මක සංක්‍රාන්ති සමයකට අවතීර්ණ වී ඇත. පහුගිය කාලයේ පැවති මන්දගාමී ස්වභාවය බිඳ දමමින් 2026 වසරේ දෙවැනි අර්ධය ආරම්භ වන විට පෝට් සිටි පරිශ්‍රය තුළ සැලකිය යුතු ආයෝජන පිබිදීමක් දෘශ්‍යමාන වේ.
ඩොලර් මිලියන 900ක අලුත් ප්‍රාග්ධන ගලා ඒම
පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ නවතම දත්ත වලට අනුව, පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 900ක නව විදේශ සෘජු ආයෝජන (FDI) කැපවීම් තහවුරු කරගෙන තිබේ.
2026 වාර්තාව:
මෙම සමස්ත ආයෝජනවලින් සිංහල කොටසක්, එනම් ඩොලර් මිලියන 600ක ප්‍රතිපාදන අනුමත වී ඇත්තේ 2026 වසරේ ගතවූ මුල් මාස 6 ඇතුළතය.
ජූලි මාසයේ තල්ලුව:
ඉතිරි ඩොලර් මිලියන 300ක ආයෝජනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ මේ බලපවත්වන ජූලි මාසයේදීය. බහු බිලියන මූල්‍ය මධ්‍යස්ථානයක් වීමේ දිගුකාලීන ඉලක්කයට වඩා මෙම අගය තවමත් අඩු වුවද, මින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය යළිත් වේගයෙන් ගොඩනැඟෙමින් පවතින බවයි.
දේපළ වෙළෙඳාමෙන් ‘ගෝලීය සේවා’ වෙළෙඳපොළට
කොමිෂන් සභාව දැන් ඉලක්ක කරන්නේ හුදෙක් කාර්යාල කාමර කුලියට දීමට නොවේ. මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණය (IT), නවෝත්පාදන මධ්‍යස්ථාන, ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය (BPO) සහ කලාපීය මූලස්ථාන (Regional headquarters) ලංකාව තුළ පිහිටුවීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.
රොකට් වීසා සහ මුදල් 14ක්:
පෝට් සිටි කලාපය තුළ ගනුදෙනු සඳහා විදේශීය මුදල් වර්ග 14කට අවසර දී ඇති ඩොලර්කරණය වූ (Dollarised) නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. එසේම, පිටරටින් එන ඉහළ වෘත්තිකයන්ට දින 4ක් ඇතුළත වීසා බලපත්‍ර ලබාදෙන විශේෂ Fast-track ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.
ප්‍රමුඛතම ආයතන තුනක්:
පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති හර්ෂ අමරසේකර පෙන්වා දෙන්නේ බහුජාතික සමාගම් පැමිණීමට නම් ලෝක මට්ටමේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් තිබිය යුතු බවයි. ඒ අනුව, ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක්, ලෝක මට්ටමේ රෝහලක් සහ ජාත්‍යන්තර පාසලක් ඉදිකිරීම සඳහා වන නිල යෝජනා (RFPs) ඉදිරි සති කිහිපය තුළ ලෝක ව්‍යාප්තව කැඳවීමට නියමිතය.
ලංකාවේ තොරතුරු තාක්ෂණ ශ්‍රමික හිඟය
මෙම දැවැන්ත සැලසුම්වලට ඇති ලොකුම බාධාව ලෙස අනාගත ආයෝජකයන් පෙන්වා දෙන්නේ ලංකාව තුළ පවතින දක්ෂ තාක්ෂණික වෘත්තිකයන්ගේ (Skilled technology professionals) උග්‍ර හිඟයයි. දේශීය විශ්වවිද්‍යාල මඟින් නව ශ්‍රම බලකායක් බිහිකරන තෙක්, තාවකාලික පියවරක් ලෙස පිටරටින් විශේෂඥයන් ගෙන්වා ගැනීමට (Foreign talent) ආයෝජකයන්ට ඉඩ දීමට සිදුවන බව සභාපතිවරයා පිළිගෙන ඇත.
සිහිනය සැබෑ වීමට නම්....
පෝට් සිටි සිහිනය සැබෑ වීමට නම් දැනට කඩදාසිවල ඇති සැලසුම් කඩිනමින් වැඩබිම් බවට පත්කළ යුතුය. මේ වන විට ව්‍යාපෘති 5ක් සක්‍රීයව ඉදිකිරීම් මට්ටමේ පවතින අතර, තවත් ව්‍යාපෘති 5ක් වසර අවසානයට පෙර විදේශීය සමාගම් වෙත පැවරීමට නියමිතය. එසේම කුඩා පරිමාණයේ ව්‍යාපෘති 2ක් 2026 වසර ඇතුළත වැඩ අවසන් කර විවෘත කිරීමට සැලසුම් කර ඇත. ඉදිරි මාස කිහිපය තුළ කැඳවීමට නියමිත රෝහල් සහ සරසවි ටෙන්ඩර්වල සාර්ථකත්වය මත පෝට් සිටි එකේ සැබෑ අනාගතය තීරණය වනු ඇත.
(සටහන | සම්පත් ධීරසේකර)
මුලාශ්‍රය :
Can Colombo Port City Finally Deliver Sri Lanka's Global Business Vision?








