දෙස් විදෙස් ආර්ථික පීඩන මධ්‍යයේ බ්‍රෝඩ්බෑන්ඩ් සහ 5G ඉල්ලුම ඉහළ යාමෙන් ආදායම රුපියල් බිලියන 61 සීමාවට
රජයේ ඩිජිටල්කරණ ඉලක්ක හා බදු ආදායමට ප්‍රබල ශක්තියක් දෙමින් රුපියල් බිලියන 18.5 ක රාජ්‍ය දායකත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT-Mobitel) සමූහය 2026 වසරේ පළමු අර්ධය (H1) සඳහා කැපීපෙනෙන මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. ගෝලීය සහ දේශීය වෙළෙඳපොළ සාර්ව ආර්ථික අභියෝග රැසක් පැවති පසුබිමක වුවද, සමූහයේ ඒකාබද්ධ බදු පසු ශුද්ධ ලාභය (PAT) පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 54.4% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.6 ක් (රුපියල් මිලියන 6,601 ක්) ලෙස සටහන්ව ඇත.
පසුගිය 2025 වසරේ මුල් මාස හය තුළ වාර්තා වූ රුපියල් බිලියන 4.27 ක ලාභය සමඟ සැසඳීමේදී මෙම වර්ධනය කැපීපෙනෙන මට්ටමක පවතින අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ දත්ත සේවාවන් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම ඊට ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබේ.
සාර්ව ආර්ථික පීඩන මධ්‍යයේ ආදායම් වර්ධනය
2026 පළමු මාස හය තුළ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම 11.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 61,314 ක් බවට පත්ව ඇති අතර, එය 2025 පළමු අර්ධයේ වාර්තා වූයේ රුපියල් මිලියන 55,167 ක් වශයෙනි. ආදායම් වර්ධනයත් සමඟ පොලී, බදු, ක්ෂයවීම් හා ක්‍රමක්ෂයන්ට පෙර ඉපැයුම් ලාභය (EBITDA) 13.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 24,126 ක් ලෙස වාර්තා විය.
විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන වියදම් සහ මෙහෙයුම් පිරිවැය කෙරෙහි විදේශ විනිමය උච්චාවචනයන් සෘජුව බලපෑම් එල්ල කළද, සමූහය එම පීඩනයන් සාර්ථකව කළමනාකරණය කරගෙන ඇති බව පෙනී යයි. ශ්‍රී ලංකා රුපියලේ අගය ආසන්න වශයෙන් 10% කින් පමණ අවප්‍රමාණය වීම, උද්ධමනය 6% සීමාව ඉක්මවා යාම සහ ගෝලීය ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ඩොලර් මත යැපෙන නඩත්තු හා තාක්ෂණික මෙවලම් පිරිවැය ඉහළ ගියේය. ඒ අනුව සමූහයේ සමස්ත මෙහෙයුම් වියදම (ක්ෂයවීම් හැර) 9.6% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 37,188 ක් දක්වා වැඩි වී තිබේ.
එසේ වුවද ආදායමේ ඉහළ යාම හේතුවෙන් මෙහෙයුම් ලාභය 34.6% කින් වර්ධනය වී රුපියල් මිලියන 10,165 ක් වූ අතර, බදු පෙර ලාභය (PBT) 51.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 8,555 ක් ලෙස සටහන් විය.
රාජ්‍ය භාණ්ඩාගාරයට සහ ඩිජිටල් ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක්
මෙම මූල්‍ය වර්ධනයට සමගාමීව, 2026 වසරේ මුල් මාස හය තුළදී පමණක් බදු සහ විවිධ ගාස්තු ඇතුළුව රුපියල් මිලියන 18,559 ක දැවැන්ත මූල්‍ය දායකත්වයක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමට SLT සමූහය පියවර ගෙන ඇත. රටේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමට මෙන්ම ජාතික ආර්ථික ස්ථායීතාවට ද මෙය ධනාත්මක දායකත්වයක් සපයයි.
මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වූ SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා ප්‍රකාශ කළේ, 2026 පළමු අර්ධය SLT-MOBITEL ගමන්මගේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවත්, සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සහ විශිෂ්ට මෙහෙයුම් කාර්යසාධනය මෙම ප්‍රගතියට මූලික පදනම දැමූ බවත්ය.
SLT PLC සහ Mobitel සමාගම්වල ශක්තිමත් වර්ධනය
සමූහයේ ප්‍රධාන කුළුණු ද්විත්වය වන SLT PLC සහ ජංගම දුරකථන සේවා සපයන Mobitel සමාගම යන අංශ දෙකෙහිම කැපීපෙනෙන පිබිදීමක් මෙහිදී නිරීක්ෂණය වේ.
SLT PLC:
ස්ථාවර දුරකථන හා ෆයිබර් (FTTH) සේවා සපයන SLT PLC හි ආදායම 10.7% කින් වර්ධනය වී රුපියල් මිලියන 39,309 ක් වූ අතර, බදු පසු ලාභය 74.9% ක දැවැන්ත වර්ධනයක් සමඟ රුපියල් මිලියන 4,630 ක් ලෙස සටහන් විය.
Mobitel:
ජංගම සන්නිවේදන අංශයේ ආදායම 12.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 26,340 ක් වූ අතර, බදු පසු ලාභය 62% කින් වර්ධනය වී රුපියල් මිලියන 1,724 ක් බවට පත්විය. 2025 දෙසැම්බර් මාසයේ ලබාගත් 5G බලපත්‍ර ගාස්තු හා ජාල පුළුල් කිරීමේ වියදම් මධ්‍යයේ වුවද මෙම ලාභදායීත්වය තහවුරු කරගැනීමට සමාගම සමත්ව තිබේ.
SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් සඳහන් කළේ, බ්‍රෝඩ්බෑන්ඩ් ඉල්ලුම මෙන්ම Enterprise හා Carrier ව්‍යාපාරික අංශවලින් ලැබුණු ශක්තිමත් දායකත්වය මෙම කාර්යසාධනයට හේතු වූ බවයි. රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්කයන්ට සමගාමීව රටේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් නොඅඩුව සැපයීම තම ප්‍රමුඛතාව බවද හෙතෙම අවධාරණය කළේය.
5G සහ කෘත්‍රිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් අනාගත ආයෝජන
ජාත්‍යන්තර විදුලි සංදේශ ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි 5G තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කරමින් සිය ජාල යටිතල පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද සමූහය විශේෂ අවධානයක් යොමුකර ඇත.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව 'Sri Lanka AI Week 2026' වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද SLT-MOBITEL පෙරමුණ ගෙන තිබේ. ගෝලීය තාක්ෂණික තරගකාරිත්වය හමුවේ දේශීය ව්‍යාපාර හා පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සහ ඩිජිටල් ආර්ථිකයක පදනම සකස් කිරීම මෙම උපායමාර්ගික ප්‍රවේශයේ ප්‍රධාන ඉලක්කය වී ඇත.








