ඩොලර් මිලියන 16.2 කින් කෙන්යාවේ ප්‍රමුඛ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක බහුතර කොටස් හිමිකාරිත්වය හේමාස් අතට
දේශීය බදු සහ පිරිවැය පීඩනය හමුවේ කලාපීය වෙළෙඳපොළ ජයගැනීමේ නව ක්‍රමෝපායික හැරවුමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩින්ග්ස් (Hemas Holdings), සිය ප්‍රථම සෘජු ජාත්‍යන්තර සමාගම් අත්කර ගැනීම (International Acquisition) සනිටුහන් කරමින් නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාවේ ප්‍රකට ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක පාලන බලය හිමිකර ගෙන තිබේ.
හේමාස් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ඇට්ලස් ඇක්සිලියා (Atlas Axillia) හරහා සිදුවූ මෙම ගනුදෙනුවේදී, කෙන්යාවේ ‘ට්විගා ස්ටේෂනර්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස්’ (Twiga Stationers & Printers) සමාගමේ සියයට 75 ක බහුතර කොටස් හිමිකාරිත්වය ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක මුදලකට මිලදී ගෙන ඇත.
මෙය දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා වන හේමාස් සමූහයේ 2030 දිගුකාලීන ආයෝජන සැලැස්මේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම වෙළෙඳපොළකට ප්‍රවේශයක්
මිලියන 54 ක සමස්ත ජනගහනයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 136 ක දළ දේශීය නිෂ්පාදිතයක් (GDP) සහිත කෙන්යාව, නැගෙනහිර අප්‍රිකාවේ වේගයෙන්ම වර්ධනය වන සහ තරුණ පාරිභෝගික ප්‍රජාවක් වෙසෙන ආර්ථික කේන්ද්‍රස්ථානයකි.
කෙන්යාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන Twiga සමාගම සතුව Kasuku, CrownBird සහ Envoy වැනි නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ඉහළ පිළිගැනීමක් සහිත ලිපිද්‍රව්‍ය සහ අධ්‍යාපනික සන්නාම ගණනාවක් පවතී. එමෙන්ම නිෂ්පාදන ධාරිතාව, පුළුල් බෙදාහැරීම් ජාලය මෙන්ම කලාපීය අපනයන වෙළෙඳපොළ ද එම සමාගම සතුව පවතින ශක්තිමත් වත්කම් වේ.
ශ්‍රී ලංකාවේ පාසල් සහ අධ්‍යාපනික ලිපිද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් උසුලන ඇට්ලස් ඇක්සිලියා සමාගමට, සිය නිෂ්පාදන හා මෙහෙයුම් පළපුරුද්ද අප්‍රිකානු කලාපයේ නැගී එන වෙළෙඳපොළකට මුදාහැරීමට මෙමගින් සෘජු මාවතක් විවර වන බව හේමාස් සමූහය පෙන්වා දෙයි.
දේශීය ආර්ථික සාධක සහ ගෝලීය විවිධාංගීකරණය
ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ සමාගම් මෙලෙස ජාත්‍යන්තරකරණය වීම පිටුපස දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික සාධක කිහිපයක් බලපා තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින සියයට 30 ක ආයතනික ආදායම් බද්ද, සියයට 18 ක වැට් (VAT) බදු ප්‍රතිපත්තිය සහ උද්ධමනය හේතුවෙන් ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැය දේශීය සමාගම්වල ලාභදායීත්වයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත. දේශීය වෙළෙඳපොළ තුළ සිදුවන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව මිල සංශෝධනය කිරීමේ සීමාවන් හේතුවෙන් පීඩනයක් මතුව ඇති බව පසුගිය මූල්‍ය වාර්තා මගින් ද හේමාස් සමාගම පෙන්වා දී තිබිණි.
එබැවින් විදේශීය කලාපයක් තුළ ලාභදායී නිෂ්පාදන හා මෙහෙයුම් පදනමක් ගොඩනැගීම හරහා දේශීය ඉල්ලුම මත පමණක් රඳා පැවතීම අවම කර ගැනීමටත්, විනිමය අවදානම සමනය කර ගනිමින් නව සැපයුම් දාමයන් හා අපනයන වෙළෙඳපොළ කරා ප්‍රවේශ වීමටත් සමාගම්වලට අවස්ථාව හිමිවේ.
මූල්‍ය ස්ථාවරත්වය සහ ඉදිරි දැක්ම
ශක්තිමත් ශේෂ පත්‍රයක් සහ සතුටුදායක ශුද්ධ මුදල් ප්‍රවාහයක් (Net Cash Position) සහිත හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට, කෙටිකාලීන මූල්‍ය පීඩනයකින් තොරව මෙවැනි මහා පරිමාණ විදේශ ආයෝජනයකට එළඹීමට ශක්තිය පැවති බව වෙළෙඳපොළ දත්ත තහවුරු කරයි.
කෙසේ වෙතත්, ඉදිරියේදී මෙවැනි ජාත්‍යන්තර ආයෝජන මගින් කොටස්කරුවන්ට ලැබෙන ප්‍රතිලාභ, විදේශීය ආදායම් උත්පාදනය සහ එමගින් දේශීය ආර්ථිකයට එක්වන සමස්ත දායකත්වය පිළිබඳව මූල්‍ය ක්ෂේත්‍රයේ සහ ආයෝජකයන්ගේ දැඩි අවධානය යොමුවනු ඇත.
කෙසේවුවද , මෙම කෙන්යානු ගනුදෙනුවේ සැබෑ සාර්ථකත්වය තීරණය වනුයේ ආයෝජනයේ ප්‍රමාණය මත පමණක් නොව, එය දිගුකාලීනව උපයන මූල්‍ය ප්‍රතිලාභ සහ සමාගමේ වටිනාකම ඉහළ නැංවීමට දක්වන දායකත්වය මත බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.








