leader s

*අමතර කොටස් මිල 30%කින් පහත දමන්නැයි සැපයුම්කරුවන්ට උපදෙස්


*මෝටර් රථ ක්ෂේත්‍රයේ පළමු පාඩුවෙන් පසු හයිබ්‍රිඩ් තාක්ෂණයට මූලිකත්වය

ගෝලීය වෙළෙඳපොළ තුළ චීන විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරගකාරිත්වයට මුහුණ දීම සඳහා ඉදිරි සිව් වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 9කට වැඩි (ජපන් යෙන් ට්‍රිලියන 1.5ක්) වියදම් කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ජපානයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන හොන්ඩා (Honda) පියවර ගෙන තිබේ.

රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කළ අභ්‍යන්තර ලේඛන සහ සමාගම් ආරංචි මාර්ගවලට අනුව, මේ වන විටත් සිය උපාංග සැපයුම්කරුවන් හමු වී කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් අඩු කරන ලෙස හොන්ඩා කළමනාකාරිත්වය දැනුම් දී ඇත. ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ද වන හොන්ඩා සමාගම පසුගිය මැයි මාසයේදී වාර්තා කළේ පොදු සමාගමක් බවට පත්වීමෙන් පසු සිය ඉතිහාසයේ පළමු වාර්ෂික මූල්‍ය පාඩුවයි. විද්‍යුත් වාහන ව්‍යාපෘති ආශ්‍රිත පාඩුව ඩොලර් බිලියන 12 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති පසුබිමක, සමාගම සිය අවධානය නැවතත් ගැසොලින්-විදුලි දෙමුහුන් (Hybrid) වාහන දෙසට යොමු කරමින් සිටී.

අමතර කොටස් මිල 30%කින් අඩු කිරීමේ ඉලක්කයක්

ජපානයේ උත්සුනොමියා නගරයේ පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අසලදී ප්‍රධාන පෙළේ සැපයුම්කරුවන් (Tier-one suppliers) කැඳවා පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇත. එහිදී විශේෂයෙන්ම වාහන සැකිලි සහ ලෝහ උපාංග (Pressed and forged components), විදුලි උපාංග (Electrical parts) මෙන්ම මෘදුකාංග පදනම් කරගත් වාහන (SDV) තාක්ෂණික කොටස් යන ප්‍රධාන අංශ තුනෙහි පිරිවැය 30%කින් කපා හැරීමට ඉලක්ක ලබා දී තිබේ.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සාම්ප්‍රදායික සැපයුම් ජාලයෙන් ඔබ්බට ගොස් චීන නිෂ්පාදකයින්ගෙන් සෘජුවම අමතර කොටස් ලබා ගැනීමට සහ ද්විතීයික සැපයුම්කරුවන්ගෙන් ප්‍රමිතිගත පොදු උපාංග (Standardised parts) භාවිතයට යොමු වන ලෙසද හොන්ඩා සිය හවුල්කාර සමාගම්වලින් ඉල්ලා ඇත.

චීන සමාගම්වල වෙළෙඳපොළ ආධිපත්‍යය

ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළේ දශක ගණනාවක් පැවති ජපන් ආධිපත්‍යයට ප්‍රධානතම අභියෝගය එල්ල වී ඇත්තේ BYD ඇතුළු චීන සමාගම් මඟිනි. දියුණු බැටරි තාක්ෂණය, කාර්යක්ෂම මෘදුකාංග සහ සාපේක්ෂව ඉතා අඩු මිල ගණන් හේතුවෙන් අග්නිදිග ආසියාව, ලතින් ඇමෙරිකාව මෙන්ම යුරෝපයේ ද වෙළෙඳපොළ කොටස් ශීඝ්‍රයෙන් අත්පත් කර ගැනීමට චීන නිෂ්පාදකයෝ සමත්ව සිටිති.

මීට අමතරව ඉහළ යන ශ්‍රම පිරිවැය, නව තාක්ෂණික පර්යේෂණ සඳහා වැය වන විශාල මුදල සහ එක්සත් ජනපදයේ ආනයනික බදු ප්‍රතිපත්ති හමුවේ පීඩනයට පත්ව සිටින සාම්ප්‍රදායික මෝටර් රථ නිෂ්පාදකයින්ට නිෂ්පාදන වියදම් කපා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ.

කොටස් වෙළෙඳපොළට සහ සහයෝගිතාවලට එල්ල වූ බලපෑම

මෙම පුවත වාර්තා වීමත් සමඟ ටෝකියෝ කොටස් වෙළෙඳපොළේ හොන්ඩා සමාගමේ කොටස් අගය 2.5%කින් පහත වැටුණු අතර, TS Tech, H-One සහ G-Tekt වැනි හොන්ඩා සමාගමට අනුබද්ධ සැපයුම්කාර සමාගම්වල කොටස් මිල ද 1% ත් 2.3% ත් අතර ප්‍රමාණයකින් පහත වැටුණි.

වියදම් අවම කර ගැනීමේ තවත් පියවරක් ලෙස, මෘදුකාංග පදනම් කරගත් වාහන (Software-defined vehicles) සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති (ECU) ඒකාබද්ධව සංවර්ධනය කිරීමට හොන්ඩා සහ නිසාන් (Nissan) සමාගම් පසුගියදා එකඟතාවයකට පැමිණියේය. ඒ අනුව 2029 මූල්‍ය වර්ෂයේ සිට එම පොදු තාක්ෂණික පදනම සහිත වාහන වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.


වැඩිදුර තොරතුරු:

Reuters: Honda tells suppliers to cut costs in $9 billion push to fend off China
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්