*මූල්‍ය හා පරිපාලන අර්බුද ජයගැනීමට නියෝජ්‍ය ඇමැතිවරුන් සහ දකුණේ ව්‍යාපාරික ප්‍රජාව අතර තීරණාත්මක සාකච්ඡාවක්.
*දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදයේ යෝජනාවලට මුදල් අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක්; කඩිනම් ක්‍රියාමාර්ග ගැන රජයෙන් සහතිකයක්.
දකුණේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුලු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කොට තිබේ. රජය මෙම තීරණය ගනු ලැබුවේ දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදයේ විශේෂ ඉල්ලීමකට අනුව එහි නියෝජිතයින් සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර ප්‍රමුඛ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.
ව්‍යාපාරික අභියෝග හා විකල්ප විසඳුම් රජය හමුවට
මෙහිදී ව්‍යාපාරික නියෝජිතයන් විසින් වත්මන් ආර්ථික වටපිටාව තුළ තමන් මුහුණ දෙන අභියෝග සවිස්තරාත්මකව ඉදිරිපත් කළහ. එම බාධා ඉවත් කර ගැනීම සඳහා වූ යෝජනා පිළිබඳවද රජයේ අවධානය යොමු කරවන ලදී.
මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් වර්තමානයේ මුහුණ දෙන විවිධ මූල්‍ය දුෂ්කරතා සහ පරිපාලනමය ක්‍රියාවලීන්හි පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
විසඳුම් සඳහා වන යෝජනා, ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන මෙම අර්බුදකාරී තත්ත්වයන් ජය ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සතු විකල්ප ක්‍රියාමාර්ග සහ විසඳුම් රජය වෙත ඉදිරිපත් කෙරිණි.
රජයේ ප්‍රතිපත්තිමය එකඟතාව සහ ඉදිරි පියවර
ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ව්‍යාපාරිකයන් පෙන්වා දුන් බොහෝ කරුණු සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය මට්ටමේ එකඟතාවක් පවතින බව අවධාරණය කළේය.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ගතවන කාල රාමුව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර තීරණ ගැනීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සාකච්ඡාවට එක්වෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය විසින් මතු කරන ලද ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් රජය මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි. ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ඇතිව ආර්ථිකය ස්ථාවර කිරීම රජයේ අරමුණ බවද මෙහිදී පැහැදිලි කෙරිණි.
ආර්ථිකය ස්ථාවර කිරීමට රාජ්‍ය-පෞද්ගලික අංශ ඒකාබද්ධ ප්‍රයත්නයක්
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මීට අමතරව දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය නියෝජනය කරමින් විවිධ ව්‍යාපාරික සංගම් රාශියක නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
දක්ෂිණ වාණිජ මණ්ඩල සංසදය විසින් සාකච්ඡාවක් සඳහා කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත සිය ස්තූතිය පළ කළහ.
(සටහන | ජේ.මුණසිංහ)









