රනිල් රට ගොඩ දැම්ම දැම්ම කියල ඔය සමහරු කිව්වට මොකද පහුගිය ජනාධිපතිවරනේදී රනිල්ට ලැබුනේ අන්ත පරාජයක්..
එත් රනිල්ගේ ලඟම උදවිය කියන්නේ සජිත් දිනුවට වඩා අනුර දිනපු එක හොඳයි කියල.. '' අරු ආවනම් අපි ඉවරයි.. අනුර දිනපු එක ලොකු දෙයක්.. අපිටත් ඕන වුනේ එක තමයි '' කියලත් සමහරු දෙකක් දාගතම කියනවා ලු.
''ඔය කළා මදැයි.. දැන් බණක් දහමක් කරගෙන ගෙදරට වෙලා නිස්කලන්කෙ ඉන්න '' සමහරු එහෙමත් කියල තිබුනා.
ඇත්තටම රනිලුත් ඒ පරාජයෙන් පස්සේ කරකියා ගන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා හිටියේ..
සමහරු කියන විදියට එහෙම හිටපු රනිල්ව අයෙමත් පොර පිටියට තල්ලු කෙරුවේ , ඔය කොහෙද යන ලන්ඩන් මරාලයක් ගෙනත් දාළ ලු..
රනිල් ආයෙත් පුවත් මවන්නෙක් වෙලා !
කව්රු කැමති වුනත් නැතත් රනිල් අයෙත් දේශපාලන පිටියේ දිනපතා කතාබහට ලක්වෙන ප්‍රධාන චරිතයක් වෙලා. news maker කෙනෙක් වෙලා.
ඒ ඔය ලන්ඩන් නඩු හුටපටේ නිසා.
උසාවියේ නඩුව යද්දී දැන් සමාජ මාධ්‍ය ඇතුලේ ඔය ලන්ඩන් හුටපටය ගැන එක එක කතා යනවා. අධිකරණ ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ උදවිය නිහඬව බලා ඉද්දී , සමාජ මාධ්‍ය Creative Content Consultants ලා විවිධාකාරයෙන් මේ ගැන විග්‍රහ ඉදිරිපත් කරනවා. ඒ අතරින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සනත් බාලසුරිය , සරෝජ් පතිරණ, උවිඳු කුරුකුලසූරිය ප්‍රමුකයින් ..
සනත්ට සහ සරෝජ්ට නීතිපති ගැන සැකයක් ....
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් කරන ලදැයි කියන ආරාධනාවේ සත්‍ය අසත්‍යතාව නිල වශයෙන් දැනගැනීම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව ඉල්ලා තිබියදීත්, එවැනිම අන්‍යෝන්‍ය නීති සහයෝගීතාව යටතේ කරන ඉල්ලීමක් ලියා යැවීමට නීතිපතිවරයා ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා කියල සනත් බාලසුරිය ඊයේ ෆේස්බුක් සටහනක් දාලා තිබුනා.
මේ බව නීතිපතිවරයාගෙන් ප්‍රකාශ වී ඇත්තේ නඩුකරය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සොලිසිටර් ජනරාල්වරයාගේ කාමරයේ සිදුවූ සාකච්ඡාවකදී කියලයි බාලසුරිය කියන්නේ.
''ආරාධනාව ගැන විමසා නීතිපතිත් විශ්වවිද්‍යාලයට MLA එකක් ලියන්න හදයි.''
'' විමර්ශනයක් වෙනුවෙන් නීතිපති MLA ලියන සම්ප්‍රදායයක් මෙතෙක් තිබී නැහැ!''
කියල කියන සනත් බාලසුරිය, කියනවා.
සාමාන්‍යයෙන් සිදු නොවන පරිදි නීතිපතිවරයා විමර්ශන ආයතනය වෙනුවෙන් MLA එකක් ඉල්ලන්නට යාම යට ඇත්තේ, රනිල්ගේ නඩුව දියාරු කරන හෝ කල් අදින කිසියම් කූට උපායක් බව ඉතාම සාධාරණ ලෙස සැක කළ හැකියි කියලයි සනත් බාලසුරිය කියන්නේ.
සනත් ගේ සටනට කමෙන්ට් කරන සරෝජ් පතිරණ මෙහෙම කියනවා.
''MLA එකක් මාර්ගයෙන් විශ්වවිද්‍යාලයෙන් කරුණු විමසන්න කියල නීතිපති පාරින්ද රණසිංහ මීට කලිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තිබුණ. අන්ධ භක්තියෙන් රනිල් අදහන අය ඇරුණම අනිත් අය හිතුවෙ ඒක රනිල් ගෙ case එක කල් දාගන්න නීතිපති අනුගමනය කරන උපායක් කියල. මොකද MLA එකකට ප්‍රතිචාර ලැබෙන්න මාස ගාණක් හෝ අවුරුදු ගාණක් ගතවෙන්නත් පුලුවන් නිසා. කොටින්ම CID කණ්ඩායම නීතිපතිට නොදන්වා ලන්ඩන් ගියෙත් ඒ සැකය නිසා.
පොලිසිය MLA එකක් යවල තියෙද්දි දැන් ආයෙත් නීතිපති MLA යවන්න හදනව නම් ඒක delaying tactic එකක් කියල සාධාරණ සැකයක් මතුවෙන්න පුලුවන්.''
ලෝඩ් ස්වරාජ් පෝල් කියන්නේ කව්ද ?

සනත් ල - සරෝජ් ල ඔය විදියට නීතිපතිගේ වැඩ කටයුතු ගැන සැක සංකා මතුකරද්දී , ඔය නඩුවට අදාල පුද්ගලයින් ගැනත් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ කතා පැතිරෙන්න පටන් අරන්..
ලෝඩ් ස්වරාජ් පෝල් කියන්නේ මේ දවස්වල එහෙම කතාබහට ලක්වෙන චරිතයක්..
ලෝඩ් ස්වරාජ් පෝල් හෙවත් මේරිලිබෝන්හි පෝල් සාමිවරයා කියන්නේ , බ්‍රිතාන්‍ය සහ ඉන්දීය කාර්මික ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී පුද්ගලයෙක්.
පෞද්ගලික ජීවිතයේ විඳි දැඩි ශෝකජනක අත්දැකීම් හමුවේ නොසැලී නැගී සිටි ඔහුගේ ජීවිත කතාව ඇත්තටම ආදර්ශමත් එකක්.
1931 දී ඉන්දියාවේ ජලන්දර්හි උපත ලැබූ ස්වරාජ් පෝල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු වුණේ 1966 වසරේදී...
ඒ, ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි තම ආදරණීය දියණිය අම්බිකාට ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහු බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමත් සමඟ..
දියණියගේ වියෝවෙන් පසු ඇති වූ දැඩි වේදනාව ඔහු ධෛර්යයක් බවට පත් කරගත්තා. ඒ අනුව 1968 දී ඔහු 'කැපාරෝ සමූහ ව්‍යාපාරය' (Caparo Group) ආරම්භ කළා. කුඩා වානේ කර්මාන්ත ශාලාවකින් ඇරඹුණු එය කාලයත් සමඟ ලොව පුරා විහිදුණු දැවැන්ත ඉංජිනේරු අධිරාජ්‍යයක් බවට පත් වුණා.
2025 අගෝස්තු 21 වෙනිදා වයස අවුරුදු 94 දී එතුමා අභාවප්‍රාප්ත වන විට, ඔහුගේ වත්කම පවුම් බිලියන 2 ක් පමණ වෙතැයි ගණන් බලා තිබුණා. එය ඔහුව 'සන්ඩේ ටයිම්ස්' ධනපතියන්ගේ ලැයිස්තුවේ 81 වැනි ස්ථානයට ඔසවා තැබුවා.
ඔහු තමන් සතු ධනයෙන් 'අම්බිකා පෝල් පදනම' හරහා විශාල සමාජ සේවයක් ඉටු කළා.
1990 දශකයේදී ලන්ඩන් සත්වෝද්‍යානය වසා දැමීමට ගිය මොහොතේ එය බේරාගැනීම සඳහා ඔහු කළ මැදිහත්වීම ලෝකයේම අවධානයට ලක් වුණා.
පෝල් සාමිවරයාගේ දේශපාලන බලයත් ඉතා ඉහළ මට්ටමක පැවතුණා. දකුණු ආසියානු දේශපාලන නායකයන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවක්.
ඉතිහාසය පුරාම ගාන්ධි පවුලේ සමීපතම හිතවතෙකු වූ ඔහු, පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟද ඉතා හොඳ සබඳතාවක් ගොඩනගා ගත්තා. ඔහු ඉන්දියාවේ "Make in India" වැඩසටහනේ ප්‍රබල ආධාරකරුවෙකු වූ අතර තමන්ගේ නිෂ්පාදන සම්පත් ඒ වෙනුවෙන් යොදවන බවට මෝදි අගමැතිවරයාට පෞද්ගලිකවම පොරොන්දු වුණා.
ඔහුගේ අභාවයත් සමඟ අගමැති මෝදි ඔහුට උපහාර දැක්වූයේ, "ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට ඔහු දුන් අසිරිමත් සහයෝගය" අගය කරමිනුයි.

රනිල් , ඉන්දියාව බැලන්ස් කරන්න යොදා ගත්තේ පෝල් සාමි ද ?
ඒ විතරක් නෙමෙයි, පෝල් සාමිවරයා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟද දීර්ඝකාලීන පෞද්ගලික සහ ශාස්ත්‍රීය මිතුදමක් පවත්වාගෙන ගිය කෙනෙක්.. ආරංචි විදියට රනිල් ඉන්දියාව බැලන්ස් කරගන්න පෝල් සාමිවරයා පාවිචිකර තිබුන.
2023 වසරේදී වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සංචාරය කළේ පෝල් සාමිවරයා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරීමේ 25 වැනි සංවත්සරය සැමරීම සඳහා කළ ආරාධනයකට අනුව..
එතුමා වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයේ අවුරුදු 25 ක් කුලපති ධුරය දැරූ නිසා එය සැමරීමේ උත්සවයක් වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබුණා. ඒ උත්සවයට එන්න ම කියල සාමිවරයා , රනිල් ට දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුන කියලයි ආරංචි.
රනිල් ගේ ලන්ඩන් ට්‍රාන්සිට් දිනයට සමගාමී උත්සවයක් ?

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිට ඇමරිකාවේ නිව්යෝර්ක් වල UN සමුළුවට ගිහින් ආයෙත් ලංකාවට එනකොට ට්‍රාන්සිට් එකක් විදියට ලන්ඩන් හරහා පැමිණීමට සිදු වෙනවා. ඒ නිසා රනිල් මේ ට්‍රාන්සිට් දිනයට සමගාමීව සාමිවරයාට කියල මේ උත්සවයත් එදාට සංවිධානය කරගත්තා කියලත් කතාවක් තියනවා...
ඒ කතාවල ඇත්ත නැත්ත කොහොම වුනත්, රනිල් වික්‍රමසිංහ 2023 සැප්තැම්බර් 22 උදේ 7 යි 10 ට ලන්ඩන් වලට ඇවිත් කිලෝමීටර් 200 ක් පමණ දුර තිබෙන වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයට ගිහින්..
ශ්‍රී ලංකාව පිළිබඳවත්, අප රටට ගත යුතු උදව් උපකාර පිළිබඳවත්, ලේබර් පක්ෂයේ සහයෝගයත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන නිසා. ඒ ගමන ඉතා වැදගත් වුනා කියලයි රනිල්ගේ පාර්ශවයේ නීතිඥයින් කියන්නේ..
එම උත්සවය අවසන් කර රනිල් වික්‍රමසිංහ නැවතත් එදාම ලන්ඩන් වලට පැමිණ, පසුදා දෙකයි විස්සට තිබුන ප්ලයිට් එකේ ඇවිත් ලංකාවට ගොඩ බැහැල තිබුනේ 24 වෙනිදා උදේ 8 යි තිස් පහට විතර..එදාම හවස IMF කට්ටියත් එක්ක දීර්ඝ සකච්ජාවකුත් කරලා..
කොහොම වුනත් ඔය සංචාරය ගැන මේ වෙනකොට ලොකු නඩුවක් යනවා.. නඩුවට ප්‍රධානම කාරණය වෙලා තියන්නේ ඔය ලන්ඩන් ගමන නිල සංචාරයක් ද නැද්ද කියන කාරණය ..
මෙතනදී වික්‍රමසිංහ ගේ පාර්ශ්වය තර්ක කරන්නේ , පෝල් සාමිවරයා ලංකාව අර්බුදයට පත් වූ සෑම අවස්ථාවකම උදව් කළ අයෙකු බවත්, මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල සංචාරයක් කියන එක.
ලෝඩ් ස්වරාජ් පෝල් අභාවය නඩුවේදී රනිල්ට අවාසියට හිටීද ?

තම ජීවිතයේ අවසන් මාස කිහිපය දක්වාම බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ලෝඩ් ස්වරාජ් පෝල්, දැවැන්ත කර්මාන්ත ලෝකයත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ පෞද්ගලික හිතවත්කම් අතරත් අපූරු පාලමක් බඳු වූ චරිතයක්..
එත්, රනිල් නඩුව පටන් ගද්දීම වගේ ලෝඩ් ස්වරාජ් පෝල් අභාවප්‍රාප්ත වුනා. ඒ නිසා සාක්ෂියකට හරි ගෙන්න ගන්න තිබුන චාන්ස් වක රනිල් ලට දැන් නැති වෙලා. . මොකද ලෝඩ් ස්වරාජ් සාක්ෂිය රනිල්ගේ පාර්ශවයට අතිශයින්ම වැදගත් වෙන්න ඉඩ තිබුනා.
ඒ කතා කොහොම වුනත් රනිල් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න , නීතිපති හමුවෙන්න වෙලාවක් ඉල්ලලා පහුගිය 05 වෙනිදා නීතිපතිට ලිපියක් යවල ලු.. තමන්ගේ සේවාදායකයා ගැන කරුණු ඉදිරිපත් කිරීමට වඩා මේ නඩුව හරහා මතුවන ජනාධිපති ධුරය ගැන මතුව ඇති ප්‍රශ්න ගැන ලු කතාකරන්න ඉල්ලලා තියන්නේ .
ඒ විතරක් නෙමෙයි පිටු 16 කින් සමන්විත එම ලිපියේ මෙතෙක් නඩු විභාගයේදී අනාවරණය නොවූ රහස් ගණනවක් තියනවා කියලත් ආරංචියි..
(උපුටා ගැනීම The Leader TV යු ටියුබ් නාලිකාවෙන් )








