තීරණාත්මක සාකච්ඡාවක්
පසුගිය කාලය පුරාම ලංකාව කේන්ද්‍ර කරගනෙ චීනය, ඇමෙරිකාව සහ ඉන්දියාව සිදුකරන යම් යම් මෙහෙයුම් පිළිබඳ අවස්ථා ගණනාවකදී මෙම තීරයේ අපි කරුණු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. මුල් අවස්ථාවේදී චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවල් තුනම ලංකාව ඇතුළේ සිය ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කළ ආකාරයත්, එහිදී ඉන්දියාව සහ ඇමෙරිකාව පසුකරමින් ඇතැම් අවස්ථාවල චීනය ඉදිරියට ආ ආකාරය පිළිබඳවත්, තවත් අවස්ථාවක චීනය පසුපසට ඇදදමමින් ඉන්දියාව සහ ඇමෙරිකාව ඉදිරියට ආ ආකාරය පිළිබඳවත් අපි මෙම තීරයෙන් තොරතුරු වාර්තා කළෙමු.
එසේ චීනය ඉදිරියට පැමිණි අවස්ථාවක් ලෙස හම්බන්තොට වරාය සහ හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම ලබාගත් ආකාරයත්, චීනය පසුපසට තල්ලු වූ අවස්ථාවකට උදාහරණයක් ලෙස චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කළ ආකාරයත් අපි එහිදී වාර්තා කළෙමු. කෙසේ වෙතත් මේ පර්යේෂණ නෞකාවේ ප්‍රශ්නය මුල්කොට ගෙන චීනය හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම තාවකාලිකව නවත්වා ඇති බවත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පොරොන්දු වූ මුදල් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පසුගිය සතියේ අපි පෙන්වා දුන්නෙමු. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට සූදානම් වන්නේ ලංකාව කේන්ද්‍ර කරගෙන මතුව ඇති මෙම චීන, ඉන්දීය, ඇමෙරිකා ජාත්‍යන්තර තුන්කොන් සටනේ තවත් අතිශය තීරණාත්මක සිදුවීමක් පිළිබඳවය. අප අනාවරණ කරන මෙම තොරතුර සම්බන්ධයෙන් ඉදිරියේදී කුමක් සිදුවන්නේද යන්න කීමට තවමත් අපට නිශ්චිත තොරතුරක් නැත.
පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී කෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
‘මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා…’ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.
මොකද කරන්න ඕනෑ
ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.
‘ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ.මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.
ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ…’ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.
අනෙක් පැත්තෙන් ලංකාව ඇමෙරිකාවේ විශාල ඉලක්කයක් බවට පත්ව ඇති ආකාරයක්ද මේ හරහා දැකගත හැකිය. යම් හෙයකින් මතුව ඇති මේ තත්ත්වය යටතේ ලංකාව ඇමෙරිකාව සමග ඉදිරි ගමනක් යෑමට තීන්දු කළහොත් ඊට චීනය කවර ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද යන්න දැන්ම තියා අනුමාන කළ නොහැක. එමෙන්ම ඇමෙරිකාව ලංකාවට සමීප වීම කලාපයේ ප්‍රබලම අසල්වැසියා වන ඉන්දියාව කවර ආකාරයකින් ගනු ඇද්ද යන්න පිළිබඳවද දැන්ම අනාවැකි පළකළ නොහැක. ඒ අනුව ඉදිරි කාලවකවානුව තුළ විදෙස් ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී ලංකාවට ඉතා සීරුමාරුවෙන් තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් නම් දැකගන්නට පුළුවන.
යුද නායකයා ලංකාවට ආවා
මේ ආකාරයට ඇමෙරිකානු සෙනට් සභිකයන්ගේ කමිටුව හමුවේ පෝල් කපූර් මහතා ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකොට දින කීපයක් ඉක්මගිය තැන තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන අද්මිරාල් ස්ටීව් කේලර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමය. දින 3ක කාලයකට ලංකාවට පැමිණි කේලර් සිය සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් සමග සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපයේ ස්ථාවරත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, දෙරට හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි. 2024 අප්‍රේල් 04 වැනි දින එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන නිලධාරියා ලෙස වැඩ භාරගැනීමෙන් පසු කේලර් 2024 ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංචාරයක නිරත විය. ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව මාසයකටත් වඩා අඩු කාලයකදීය. ඒ අනුව කේලර්ගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය වන්නේ මෙයය.
එමෙන්ම කේලර් ලංකාවට පැමිණියේ පෙන්ටගනය විසින් ඉරානයට පහරදීමට අවශ්‍ය සියලු බළමුළු සූදානම් කර ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත දැනුම් දී පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් වීමද විශේෂ සිදුවීමකි. පෙන්ටගනය කළ මෙම දැනුම්දීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් සඳහන් කොට තිබුණේ සාම ගිවිසුමකට එළැඹීම සඳහා ඉරානයට දින 10ත් 15ත් අතර කාලසීමාවක් ලබාදෙන බවත්, එම කාලය අතරතුරදී ඉරානය සාම ක්‍රියාවලියට එක් නොවන්නේ නම්, යුදමය ක්‍රියාවලියකට යොමුවීමට ඇමෙරිකාව සූදානම් බවත්ය. එවැනි පසුබිමක් යටතේ අද්මිරාල් කේලර්ගේ හදිසි ලංකා ගමන පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බවක් දැකගන්නට පුළුවන.
මේ අතර, ඒ.අයි. සමුළුවට සහභාගි වීම සඳහා දිල්ලියට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා පත්කොට ඇති විශේෂ නියෝජිත, ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගෙන තිබිණි. මීට පෙර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළේය.
එහිදී ගෝර් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී තමන්ට කතාකරන ලෙසත්, ඇමෙරිකාව ඕනෑම අවස්ථාවකදී ලංකාවට උදව් උපකාර කිරීමට සූදානමින් සිටින බවත්ය. මේ බව අප එකල ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ වැඩි අවධානය යොමුවූ සතියක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකිය.
(උපුටා ගැනීම : රාජ්‍ය රහස්! mawratanews.lk)








