leader s

අප්‍රේල් මාසේ 17 වෙනිදා හරි අමුතු දවසක්. අපූරු සිදුවීම් ගණනාවක් අහන්න දකින්න සිදුවුණු දවසක්...


 එක සිදුවීමක් උනේ විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍යය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩියි එයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයායි දෙන්නාම එම තනතුරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීම.

 ඕක ඉතින් එදා ඉඳලම විපක්ෂය කරපු බලපෑමක්නේ. දැන් අවුරුද්දකට වැඩියි...

 ආණ්ඩුව ඒක ඇහුවෙ නෑ. ගල් අඟුරු වලින් පටන් ගත්ත අර්බුදය ඉන්ධන අර්බුදයක් දක්වා පුළුල් වෙන්න පටන් ගත්තා. මැද පෙරදිග යුද්ධයත් එක්ක අපේ රටේ ඉන්ධන අර්බුදය තව තවත් බරපතළ වුණා.

 අන්තිමේ ආණ්ඩුවට ආපු පීඩනය වැඩියි. ප්‍රශ්නත් වැඩියි. ඒ වෙලාවට කාට වුණත් "පසු පාදයේ ක්‍රීඩා කරනවා" ඇරෙන්න වෙන විකල්ප නෑ.

 ආණ්ඩුවේ පැලවත්ත කැබිනට් එකේ වැඩි දෙනෙක් කිව්වෙත් ඕකම තමා. ඇමති ඉල්ලා අස්වෙන්න. පක්ෂයේත් ආණ්ඩුවෙත් නම්බුව බේරන්න...

 අන්තිමේ ඉල්ලා අස්වුණ දවස තමයි 17 වෙනිදා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු 159 න් මාලිමාවේ මන්ත්‍රීවරු 153 ක්ම ඡන්දය දීලා විශ්වාස භංගයේදී "හොරෙක් නෙවෙයි" කියලා ඔප්පු කරගත්තු ඇමති එකපාරටම ඉල්ලා අස්වීම බාර දුන්නම දැන් ඉතින් හේතු කියන්නත් එපායැ...

 17 වෙනිදා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු තුන් දෙනෙක්ම ඔය වැඩේ කරන්න මාධ්‍ය ඉස්සරහට ඇවිත් හිටියා. විජිත හේරතුයි බිමල් රත්නායකයි නලින්ද ජයතිස්සයි ඔන්න හේතු කියනවා...

 “චෝදනා තිබ්බ පලියට ඒවා ඔප්පු වෙන්නේ නෑලු. ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ දෑත් පිරිසිදුයිලු.

 ගල් අඟුරු ගනුදෙනුව ගැන තිබෙන චෝදනා පරික්ෂාවට ලක් කරන්න ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත් කරනවාලු.

 ඒකෙන් පරීක්ෂා කරන්නෙ මේ මෑත කාලීන ගනුදෙනු ගැන විතරක් නෙවෙයිලු...

 අපි දන්න විදියට ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තෙ “කැලණිතිස්ස බලාගාරයේ උනාට,  විජිත කියන විදියට ලංකාවේ ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තෙ 2009 ඉඳලාලු.

 ඉතිං එදා ඉදලම ගල් අඟුරු ලංකාවට ගෙනාවාලු. එදත් වංචා සිදුවුණාලු. එදත් දූෂණ අක්‍රමිකතා සිදුවුණාලු. ඒ හින්දා කරනවනම් පරීක්ෂණයක් එදා සිටම කරන්න ඕනලු..."

 කවුද මේ කියන්නේ. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විජිත හේරත්. ජනාධිපතිගේ පාර්ශවයේ ඇතැමුන්ගේ තෝරාගැනීම අනුව රටේ ඊළඟ අගමැති...

 ඉතින් ඔන්න දැන් “1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට” අනුව විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවකුත් මේකට පත්කරලා.. විජිත හේරත් කියන විදිහට කවුද දන්නවද මේකේ ඉන්නේ?...

 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විනිසුරුතුමා. එතුමා තමයි සභාපති. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳගේ මැතිතුමා. එතුමා සාමාජික. අනිත් සාමාජික විනිසුරුතුමා තමයි මහාධිකරණ විනිසුරු සංජීව පටබැඳිගේ.

 මෙන්න මේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය පහසු කරවන්න විෂය භාර අමාත්‍යවරයයි අමාත්‍යංශයේ ලේකම්වරයයි දෙන්නම ඉල්ලා අස්වෙනවාලු... ඔහොම තමයි කිව්වේ...

 පහුගිය දවස්වල පැලවත්ත කාර්යාලයේ තිබිච්ච අභ්‍යන්තර රැස්වීම්වලදී ගල් අඟුරු සිද්ධිය පතුරු ගහමින් "අඟුරු කුමාරයාට" බලවත් විරෝධයක් ගොඩනගපු බිමල් රත්නායකත් එදා කතා කරේ නම් විෂය භාර ඇමතිවරයාගේ වාසියට තමයි. එහෙම තමයි සාමුහික වගකීම..

 ගල් අඟුරු සිද්ධිය ගැන රටේ ජනතාව ඇත්ත ඇති හැටියෙන් හරියට දැන ගත්තේ “විගණකාධිපති වාර්තාව” නිසානේ... ඒකනේ ඇත්ත.

 හැබැයි ඉතිං බිමල් රත්නායකට අනුව ඒ විගණකාධිපති වාර්තාව නම් කිසි කමකට නැහැයිලු. ඒක වෝහාරික විගණනයක් නෙවෙයිලු. ඒකෙ කිසිදු චෝදනාවක් විෂය භාර අමාත්‍යවරයාට නැහැලු.

 විශ්වාස භංගයට විපක්ෂයේ මන්ත්‍රීවරු විසි දෙදෙනෙක් කතා කළාලු. හැබැයි ඒ කිසි කෙනෙකුට විෂය භාර ඇමතිවරයාට එරෙහිව දූෂණ චෝදනාවක් හරියාකාරව ගේන්න බැරි උනාලු...

 ඔන්න ඕවා නිසා මේ විශේෂ ජනාධිපති කොමිසමට විගණකධිපති වාර්තාවයි, විශ්වාස බංගයේ මතුවුන කරුණුයි, සී අයි ඩීය කරපු පරීක්ෂණවල කරුණුයි මහජන පැමිණිලියි සියල්ල එකතු කරලා විධිමත් පරීක්ෂණයක් කරන්න පුළුවන්ලු...

 ඕවා තමයි මේ ආණ්ඩුවේ අනාගත අගමැති විදියට පැලවත්ත පාර්ශවය බලාපොරොත්තු තබාගෙන ඉන්න බිමල් රත්නායක කිව්වේ...

 ඔන්න ඔය අතරේ මාධ්‍යවේදීයෙක් ලෝකප්‍රසිද්ධ බැංකුවක ලොක්කෙක් ජාත්‍යන්තරයට කියපු “කේළමක්” ගැනත් ප්‍රශ්නයක් අහනවා...

 hongkong shanghai bank coperation (HSBC) කියන්නේ අපේ රටේත් අද ප්‍රචලිතව තිබෙන ලෝක ප්‍රකට වාණිජ බැංකුවක්. රාජ්‍ය ගනුදෙනුවලටත් ණයවර ලිපි නිකුත් කරන මේ බැංකුව අපට ජාත්‍යන්තර ගනුදෙනුවලදී නැතුවම බැරි ආයතනයක්...

 මෙන්න මේකේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වන ජෝර්ජස් එල්හෙඩරි හොංකොං වල පවත්වන සමුළුවකදී ලෝක වෙළඳපොලේ ඉන්ධන වලට මේ දිනවල තියෙන ඉල්ලුම හැසිරෙන හැටි ගැන හරි අපූරු විග්‍රහයක් කරනවා...

 ඇත්තෙන්ම එයා කියන්නේ ලෝක වෙළඳපොලේ මේ දිනවල තෙල් මිල පිළිබදව පවතින දත්ත විශ්වාස කරන්නත් බැරි බව. ඊට උදාහරණයක් හැටියට තමයි ශ්‍රී ලංකාව පහුගිය දවස්වල “බැරලය ඩොලර් 286 ක්” වැනි ඉහළ මිලකටත් තෙල් මිලදී ගෙන තිබෙන බව හෙළිදරව් කරන්නේ...

 මේක ලෝකයේ අනෙකුත් රටවලට “දත්තයක් පමණක්” වුණාට අපේ දේශපාලන කරළියට නම් වේරම්භ වාතයක්, උල්කාප‍ාතයක්, අකුණක් තරමට බලවත් කරුණක්...

 ඔන්න ඔය කාරණාව තමයි මාධ්‍යවේදියෙක් බිමල් රත්නායකගෙන් ප්‍රශ්න කළේ...

 ඊට දවසකට දෙකකට කලින් මේ කතාවට අපේ රටේ සමාජ මාධ්‍ය වේදිකාවේ පුදුමාකාර ප්‍රසිද්ධියක් ලැබුණා. hsbc ප්‍රධානියා ඔය කතාව කියද්දි අරමුණු කළේ ඉතින් බොරතෙල් ගැනද දන්නෙ නෑ. හැබැයි සමාජ මාධ්‍ය වේදිකාවේ මේ කතාව පතුරු ගැහුවේ නම් “බොර තෙල්” ගැන කියලා තමයි...

 ආණ්ඩුවට මේකෙන් හොඳටම වැදුනනේ. ආණ්ඩුව කළු කඩ මිලට ලෝක වෙළඳපළේ තෙල් මිලදී ගෙන තියෙනවා කියන එක...

 කලබල වුන තෙල් සංස්ථාව පහුවදාම ඕකට උත්තර බඳින්න පටන් ගත්තා. තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මෙන්න මේකට උත්තර ලිපියක් එවනවා අත්සනකුත් නොමැතිව... කලබලේනේ...

 අහන්නකෝ ලිපිය කියන කරුණු. තෙල් සංස්ථාව කිසිදු අයුරකින් එවන් මිලකට බොරතෙල් ගෙන්වා නෑ...

 තෙල් සංස්ථාව අවසාන වතාවට ලංකාවට බොර තෙල් ගෙන්නුවේ මාර්තු 11 වෙනිදා. එතකොට මිල තෙල් බැරලයක් ඩොලර් 66.48යි.

 ඉන්පසු ලංකාවට තෙල් තොගයක් එන්නේ අප්‍රේල් මාසේ 17 වැනිදා...

 ඔන්න රහසක් එළිවුණ තැන. ආණ්ඩුව දඩිබිඩි ගාලා යුද්දෙ ගැන පෙන්නලා වැඩි කරලා තියෙන්නේ එහෙනම් අලුතෙන් ගෙනාපු තෙල් නෙවෙයි. මාර්තු මාසේ 11 වෙනිදා... ඒකත් ඩොලර් 66.48ට ගෙනාපු තෙල්...

 එහෙනම් ඊට පස්සේ ආපු නැවේ තෙල් මිල ඔය කියන විදියට වැඩි වෙලාද... නැහැනේ! ඒකත් මේ කියන්නේ...

 “අප්‍රේල් මාසේ මාසේ 17 වෙනිදා ආපු නැවේ බොරතෙල් බැරලය ඩොලර් 71.79යි. මේ මාසෙ අන්තිමට ලැබෙන නැවේ බොර තෙල් බැරලය එන්නෙත් ඩොලර් 71.81ට.”

 අපි නෙමෙයිනේ මේ කියන්නේ. තෙල් සංස්ථාවේ සභාපති. ඊට පස්සේ එයා කියනවා මෙන්න මෙහෙම...

 "එනමුත් මැයි මාසෙ වෙනකොට එන්න නියමිත බොරතෙල් තොගයේ බැරලය ඩොලර් 111. 62 මිල ඉහළ ගිහින් බව පිළිගන්නවා."

 එතකොට මේ ගෙනල්ලා තියෙන තෙල් මොනවද. hsbc බැංකුවේ මේ ලොක්කා කියලා තියෙන්නේ බොරුවක්ද.

 බිමල් රත්නායක ඒ පුවත්පත් සාකච්ඡාවේදී ඉතාම ආඩම්බරයෙන් වගේම අභියෝගාත්මකව මාධ්‍යවේදියාට උත්තර දෙනවා. ඒ ගෙනත් තියෙන්නේ බොරතෙල් නොවන බවත් ඒ ගෙනත් තියෙන්නේ “පිරිපහදු කළ ඩීසල්” බවත් ඔහු පෙන්වා දෙනවා...

සමාජ මාධ්‍යවල සමහර විශ්ලේෂකයෝ ගණන් හදන විදියට ඩීසල්  ගෙන්වුවත්  මේ මිලට ගැනීම අධික පිරිවැයක්....  කළු කඩ මිලක්....   මිලට වඩා අධික මිලක්.... සමහරු නම් මේක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා...

  ජනාධිපතිතුමා පහුගිය දවසක පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කලා. ඔය කතාව ඇතුලේ ඔහු අනතුරු ඇඟවීමක් මෙන්න මේ විදියට කරනවා.

"මේ වෙලාවේ ශ්‍රී ලංකාවට තෙල් අවශ්‍යයි. ඉතින් තෙල් ගෙන්වන්න මේ යුදමය තත්ත්වයන් යටතේ දුෂ්කරතා තියෙනවා. සමහර වෙලාවට  මෙවන් විටක දී අපට විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අමතක කරලා හදිසි මිලදී ගැනීම් සිදුකරන්න වෙනවා. මුහුදේ යන තෙල් නැවක් හරවලා වුණත් මෙහාට ගේනවානම් අපි මිලදී ගන්නවා.  හැබැයි ඒ වගේ වෙලාවක තෙල් මිල වැඩි වුණා කියලා කෙදිරි ගාන්න එපා..."

 ජනාධිපතිතුමා එදා තකහනියක් පාර්ලිමේන්තු ඇවිත් එහෙම කියන්නෙ ඇයිද කියන එක දැන් හොඳටම පැහැදිලියි කියලා තමයි සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ නම් සැකයක් නැතුව කියල තිබුණේ...

 තෙල් පෝලිං ගෑස් පෝලිං ඉන්ධන පෝලිං හා ඒවයින් විඳපු දුක් කන්දරාව ගැන හොඳටම අත්දැකීම් තියෙන සමාජයට මේ වගේ කතාවක් කිව්වම ටිකක් බය හිතෙනවා තමයි.  ඉතින් ජනතාවට මෙහෙමත් හිතෙන්න බැරි නෑ....

 මිල ටිකක් ඉහළ ගියාම මොකද.... කරන්නේ අඩුවක් නැතුව තෙල් ටික තියනවනම් අමාරුවෙන් හරි ගහගෙන යනවා....

 බලන්නකෝ මේ බිමල් රත්නායකත් එදා ඒ මාධ්‍ය සාකච්ඡාවේ "නොකියා කිව්වේ" ඒකම නෙවෙයිද කියලා....

 මෙවන් කියන කතාව ටිකක් නිර්මාණාත්මකයි. මෙන්න අහල බලන්නකෝ....

 "තෙල් තිබීම වැදගත්, තෙල්වලට ගෙවන මිලට වඩා.."

බිමල් ඇමති මෙතනදි මේ කතාව කිව්වෙ තෙල් සම්බන්ධයෙන් වුණත් මිලදී ගැනීමේ හැකියාව බොහොම ඉහළින් තිබෙන ධනවතුන් ඔය කතාව කියන්නේ තෙල් වලට විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් සම්බන්ධයෙන් බොහොම ආඩම්බරයෙන් කියන කතාවක් තමයි ඕක...

 "අපට ඕන හිඟයකින් තොරව මිලදීගන්න. මිල කීය වුණත් අපට ප්‍රශ්නයක් නෑ."

 ඉතින් බිමල් උනත් පුංචි පටු මිනිහෙක් නෙමෙයි නේ. මේ ආණ්ඩුව එන්න කලින් බොහෝ දෙනා ඒ බව නොදැන හිටියට බිමලුත් අද වෙනකොට පුංචි පටු බඩුවක් නොවන බව ජනතාවට රහසක්නෙවෙයි. බිමල් ධනවතෙක්... මිලදී ගැනීමේ හැකියාව ඕනවටත් වඩා තියෙන කෙනෙක්. ඉතින් බිමල්ගේ කටින් ඔය වගේ කතාවක් එලියට පැනීම පුදුම වෙන්න දෙයක් නෑ...

(පන්ථක)

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්