මේ දචස්වල MGM එකෙන් නිෂ්පාදනය කරපු අලුත්ම රොබින්හුඩ් සීරීස් එක ප්‍රදර්ශනය වෙනවා.
ඒක නිර්මාණය කරලා තියෙන්නෙ ජොනතන් ඉන්ග්ලිෂ් සහ ජෝන් ග්ලෙන්. ජොනතන් ඉන්ග්‍ලිෂ් කියන්නෙ බ්‍රිතාන්‍ය චිත්‍රපටිකරුවෙක්. ජෝන් ග්ලෙන් කියන්නෙ ක්ලෑෂ් ඔෆ් ටයිටන්ස්, මේ දවස්වල හොඳටම ප්‍රසිද්ධ ලාසරස් ප්‍රොජෙක්ට් වගේ සීරීස් ලියපු ඇමරිකානු තිරපිටපත් රචකයෙක්.

රොබින් හුඩ් කතා කොයිතරම් ආවත් අපි ඉස්සර රූපවාහිනියෙ බලපු මයිකල් පැරේඩ් රගපාපු 1984 රොබින් ඔෆ් ෂර්වුඩ් සීරීස් එක තරම් හිතට වැදුනෙ නෑ. කොටින්ම ඒ රොබින්ව රිප්ලේස් කරන්න කාටවත් බැරි වුනා.
නමුත් මේ අලුත් සීරීස් එක විසින් පරණ රොබින් හුඩ් කියන්නෙ ළමා ළදරු කතාවක් බවට පත් කරනවා. රොබින් හුඩ් කතා මාලාවට අයත් ඓතිහාසික පසුබිම මත ඒ චරිත පිහිටුවනවා. සැක්සන්වරුන් සහ නෝමන්වරුන් අතර අරගලයේදී Rob- in - Hood යන අර්ථයෙන් රොබින් හුඩ් නිර්මාණය වීමේ කතා පුවත ගෙනහැර දක්වනවා. ඒ වගේම පරණ රොබින් හුඩ් හුදු රොමාන්තික චරිතයක් බවට පත් කරමින් ලිංගිකත්වය, ශෘංගාරය, ස්ත්‍රීත්වයේ විවිධාකාර ප්‍රභේද ආදිය මතින් සංකීර්ණ ශෘංගාර ගෙත්තමක් කරනවා. වඩාත් වැදගත් කාරණය වන්නේ පැරණි සැක්සන් සම්ප්‍රදායන් සහ ශිෂ්ට යැයි සම්මත නෝමන් සම්ප්‍රදායන් අතර ගැටුම අරගෙන එන අලංකාරයයි. වඩාත් ඩයොනීසියානු සැක්සන්වරුත් ඇපලෝනියානු නෝමන්වරුත් අතර සංස්කෘතික ගැටුමේ කතාව මේ නවතම රොබින්හුඩ් කතාවේ දේශපාලන වියමන වෙනවා.
මෙතනදි මගේ වඩාත්ම ආකර්ශනය දිනාගන්නේ ස්ත්‍රීත්වයේ විවිධත්වය නිරූපණය කරන ආකාරයයි. ෂෙරිෆ්ගෙ දියණිය වන ප්‍රිසිලා කියන්නෙ තමන්ගේ අනුරාගයේ බලය හොඳින් හඳුනන, එය අවියක් මෙන් භාවිතා කරමින් බලයේ ඉහලටම පය තබන ඉතාම දක්ෂ බුද්ධිමත් ගැහැණියක්. ඇගේ යෙහෙළිය වන මැරියන් කියන්නෙ දැනුම බුද්ධිය තිබුනත් ඉනසන්ස් කියන එක හොඳින්ම ප්‍රකට කරන, ආදරය අදහන තරමක බොළඳ ගැහැණුභාවයක්. මේ අතර අපිට මුනගැහෙනවා රොබින්ට ආදරය කරන, පිරිමි වෙසකින් සිටින ඉතාම ලාබාල ගැහැණියක්. රොබින්ගේ සැක්සන් අරගලය සහ නෝමන් ප්‍රේමය අතර පවතින විරුද්ධාභාසය මේ ළාබාල යුවතිය විසින් උලුප්පා දක්වනවා. මේ අතර රැජින එලීනර්ගේ දකින්න ලැබෙනවා ඉතාම පරිණත ස්ත්‍රීත්වයකින් තමන්ගේ සැමියාට පවා එරෙහිව යන බල ආක්‍රමණයක්. රොබ්ගේ චරිතය දිගහැරෙන්නේ මේ ගැහැණුන් අතරින්.
ඊට අමතරව අපි අන්තිම බොළඳ විදිහට දැකපු හර්න්ගේ කතාවේ පුරාවෘත්තය මේ කතා මාලාව ඇතුලෙ හෙලි කරනවා. හර්න් නිර්මාණය වෙන්නෙ නෝමන්වරුන්ගේ බලයට විරුද්ධව අරගල කළ සැක්සන් මුතුන්මිත්තෙකුගෙන් බවත්, ඔහු නිරුවත් දෙවඟනක් සමග රමණය කිරීමෙන් පසු අමරණීය ගෝනකු බවට පත්වුනු බවත් මේ කතාව කියනවා. නමුත් අපි මේ අතීත සැක්සන් පිරිමි වීරයා වෙනුවට නිතර දකින්නේ නිරුවත් වන දෙවඟන. ඇය සශ්‍රීකත්වය පිළිබඳ, වනාන්තර ගැහැණු ආත්මය පිළිබඳ දෙවඟනක්. ඇය පිරිමියෙකුට වඩා ප්‍රචන්ඩයි.

මේ රොබින්හුඩ් කතා මාලාවම පිරිමි රොබින්ගේ චරිතය නව යොවුන් තරුණයෙක් බවට පෙරලමින් ඒ හරහා දිගහැරෙන ස්ත්‍රීත්වය පිළිබඳ ගැඹුරු හැගීම් සහ තේමාවන් විදාරණය කරමින් නිර්මාණය වෙන එකක්. ඇත්තටම රොබින් කිව්වට අපි මේකෙ දකින්නෙ රොබින්හුඩ් ස්ත්‍රීමය දෘෂ්ඨිකෝනයකින් කියන්න පුළුවන්.
අපිට මුනගැහෙන දුෂ්ටයො වුනත් පරණ රොබින්හුඩ් වගේ කාටූන්, ද්විමාන චරිත නෙමෙයි. ඒ අයගෙ ගැඹුර, ඒ අය විසින් කළමනාකරණය කරගැනීමට උත්සාහ දරන යතාර්ථයන් වගේම ඒ අයගේ මනුෂ්‍යත්වය පිළිබඳ සංවේග සංවේදනාත් අපි දකිනවා. හැම චරිතයක්ම ඊට අදාල වූ සුවිශේෂ පුද්ගල අනන්‍යතාවයකින් සහ සැබෑ මිනිස්බව දනවන ත්‍රිමාණත්වයකින් ලියවිලා තියෙනවා.
අප එක් සංස්කෘතියකින් පිළිගන්නා යුක්තිය සහ ධර්මය තවත් සංස්කෘතියකින් පිළිගන්නා යුක්තිය සහ ධර්මයට වෙනස් වන්නේ කෙසේද යන්නත් මෙම ශිෂ්ඨාචාර ගැටුම කෙතරම් ගැඹුරුට විහිදෙන්නේද යන්නත් පරිණත ආකාරයෙන් විද්‍යාමාන කරනවා.
මේ කතා මාලාව නැරඹීමෙන් පසු පැරණි කලු කොන්ඩා සහ සුදු කොන්ඩා රොබින්හුඩ්වරුන් අහෝසි වී යනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex



