ශෘංගාරය කියන්නෙ ආශාවෙන් ඇවිලී යාම නෙමෙයි. ඒක සාවධාන වීම, නැවතීම සහ පැවතීම ගැන කතාවක්.
වේගය, ලයික් එකකින් ෂෙයාර් එකකින් ලබන ක්ෂණික ප්‍රමෝදය, නොනවතින අධිමාත්‍රා උත්තේජනය සාමාන්‍ය සංස්කෘතිය වුනු ජීවිත රටාවක ශෘංගාරය කියන්නෙම ඊට එරෙහිව යාමක්. ගතවෙන්න, විඳින්න, සෙමෙන් ජීවත් වෙන්නෙ පුහුණුවක්. තෘප්තිමත් කිරීමට වඩා තෘප්තිය කරා යන සෙමෙන් සක්මන ආස්වාද කිරීමක්.
ආශාවේ සැබෑ ආස්වාදය පවතින්නෙ ඉක්මනින් තෘප්තිමත් කිරීම මත නෙමෙයි. දුරස්ත බව, පරිකල්පනය, සහ ඉවසීම මතයි. ඉක්මණින් ලැබෙන කිසිදු තෘප්තියක ගැඹුරක් පවතින්න විදිහක් නෑ. ඉවසීම තමයි ආශාවේ ගැඹුරට දිවෙන හැඩය දෙන්නෙ.
අහම්බෙන් ඇසින් ඇස ගැටීමක් අනුරාග විදුලියක් වන්නේම එහි හිමිකරගැනීමක් නැති නිසාමයි. සංවාදයක් රමණීය වන්නේම එය නිතැතින් සෙමෙන් ගලා යාමෙන්මයි. කැෆේ එකක වැසි අතර ගතවෙන කෝපි කෝප්ප කාලයක් සොඳුරු වන්නේම එහි හදිස්සි වීමට කිසිවක් නැති බැවින්මයි.
රෝලන්ඩ් බාත් කියන ප්‍රංශ සිතන්නා දිගින් දිගටම ලියනවා ආශාභරිතව බලා සිටීම ගැන. බාත්ට අනුව එසේ පොරොත්තුව සිටීමත් ගැඹුරු තෘප්තිකර අත්දැකීමක්. වටිනාකම පවතින්නෙම පැමිනීම මත නෙමෙයි, පැමිනීමට පෙර ගතවෙන කාලයේ සහ අවකාශයේයි.
ඉතින් ශෘංගාරය කියන්නෙ ශරීරය මත පවතින දෙයක්ම නෙමෙයි. ඒ අපි ජීවිතය සහ ලෝකය සම්බන්ධ කරන පැවතුම් ආකාරයක්.
හෙමින් පිසින කෑමක, තේ කෝප්පයක් සකසන චාරිත්‍රයක, හැන්දෑවක අහන්න තෝරාගන්නා සිංදුවක, කාමරේ දැල්වෙන හඳුන්කූරක, මුලු නගරයම වෙනස් කරන හීන් පොද වැස්සක ශෘංගාරය පවතින්න පුළුවන්. ඒ එම අත්දැකීම් තුල පැවතීම පවතින නිසයි. ඒවා පරිභෝජනයන් වෙනුවට විඳීමට කරන ආරාධනාවන් නිසයි.
ඉවසීම විසින්අත්දැකීමක් සෞන්දර්යයක් බවට පෙරලනවා.
ජූනි 09 ශෘංගාර සඟරාව නිකුත් වෙනවා. ඒක බස් එකේ යන ගමන් කියවන්න පුළුවන් සඟරාවක් නෙමෙයි. එය සියුම් ගතවීමක්, කාලයක්, භාවනාවක් ඉල්ලා සිටිනවා. පිටු අතර රමණය විඳින්න පුළුවන් වෙන්නෙ එතකොටයි.
පහල ලින්ක් එකෙන් ඔබට ශෘංගාර ඇණවුම් කරන්න පුළුවන්
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




