මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
 
 
harshසම්පූර්ණ නම - වාච්චිහැන්නදිගේ ධනුෂ්කා උදේෂි ගුණරත්න
 
වයස - 42
 
අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ හෙද සේවා උසස් ඩිප්ලෝමාව
 
වෘත්තිය - ව්‍යවසායිකාවක් ,හෙද කටයුතු පිළිබඳ හෙදියන්ව පුහුණු කරනවා
 
විවාහක අවිවාහක බව - විවාහකයි
 
දේශපාලන පවුල් පසුබිම - මගේ පියාගේ මාමා තමයි මාතර දෙවිනුවර හිටපු මන්ත්‍රී ඩික්සන් සිල්වා හෙන්දාවිතාරණ. ඔහු එක්දහස් නවසිය හැටටත් කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරපු කෙනෙක්.
 
නියෝජනය කරන පක්ෂය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
 
නියෝජනය කරන ප්‍රදේශය - බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශිය සභාව  

 
ඔබට දේශපාලනය සම්බන්ධයෙන් කැමැත්තක් ඇතිවෙන්නේ කොහොමද?

ඇත්තටම මම පොඩිකාලේ ඒ කියන්නේ 1985දි විතර මගේ සීයාගේ නිවසේ හිටිද්දි මම දකිනවා විවිධ දේශපාලන කටයුතුවලට විවිධ පාර්ශව ගෙදරට එනවා. මිනිස්සු ඔවුන්ගේ  ප්‍රශ්න කතාකරන්න එනවා. ඒ වගේම විවිධ මැති ඇමතිවරු ගෙදරට එනවා. ඒ නිසාම මට ආසාවක් ඇතිවුණා මේ මොකක්ද කියලා දැනගන්න. පස්සේ ඒ දේශපාලන ආභාෂය එක්ක මම විවිධ සමාජ සේවා කටයුතු කරන්න පටන්ගත්තා. ඒත් පස්සේ මට තේරුණා දේශපාලන බලයක් නැතිව ඒ කටයුතු කරගෙන යන්න අපහසුයි කියලා. ඒකත් එක්ක තමයි මම දේශපාලනයට යොමුවෙන්නේ.


දේශපාලනය සහ සමාජ සේවය යනු  විෂය පථයන් දෙකක් ද නැතිනම් එකක් ලෙසින් ද ඔබ දකින්නේ?

ඇත්තටම ඒ සංකල්ප දෙක දෙකක්.


ඔබ කිව්වා සමාජ සේවා කටයුතු කරගෙන යන්න දේශපාලන බලයක් නැතිව බැහැ කියන කාරණය. 

 

සමාජ සේවා කටයුතු කරද්දි සමාජ සේවිකාවක් විදිහට සමාජයේ විවිධ පාර්ශව වෙනුවෙන් සමාජයේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. එතනදි සමහරවිට විශේෂ කණ්ඩායම් වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ තැනකදි තීන්දු තිරණ ගන්න වෙනවා. ඒ වෙනුවෙන් මොනවාහරි තනතුරක්, න්‍යායක්, ප්‍රතිපත්තියක් හරි පක්ෂයක් හරි අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි සමාජ සේවා කටයුතු වෙනුවෙන් දේශපාලන බලයක් අවශ්‍යයි කියලා කිව්වේ. නැත්නම් මොනවාහරි අඩුවක් තියනවා. ඒ අඩුව පුරවගන්න තමයි ඒ තීරණය ගත්තේ.

 

ඔබ කිව්වා බලයක් ගොඩනගාගන්න, වඩා පුළුල් වැඩ පිළිවෙලකට යන්න පක්ෂයක් තෝරාගන්න සිදුවුණා කියලා. ඒ තුළිින් ඔබේ සමාජසේවා කටයුතු  ‍දේශපාලන රාමුවකට සීමාවෙන්නේ නැද්ද?

 
ඇත්තටම පක්ෂයක් හෝ පක්ෂ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. ඒත් මම තෝරාගත්ත ශ්‍රී.ල.නි.ප සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියන පංච මහා බලවේගයම නියෝජනය කරන, සීමාවකින් තොරව වැඩකරන පක්ෂයක්. ඒ නිසා අපිට ඕනෑම කණ්ඩායමක් එක්ක වැඩකරන්න පක්ෂය නිදහස දීලා තියනවා. සමස්තයක් විදිහට රටට වැඩදායී වෙන දේවල් කරන්න තමයි පක්ෂයේ ප්‍රතිපත්තිය වෙන්නේ. ඒ නිසා අපිට මේ වනතෙක් බාධාවක් ඇවිත් නැහැ.එක්දහස් නවසිය හතලිස් ගණන්වල බණ්ඩාරණායක මහත්මයා පංච මහා බලවේගය නියෝජනය කරමින් පක්ෂය ගොඩනැගුවා කියලා අපි දන්නවා. 
 

අද වෙද්දිත් ඒ බලවේග පක්ෂය තුළ නියෝජනය කරනව ද? ඔබට පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක ඉන්න පුළුවන්කමක් තියනව ද?

ඉස්සර ශ්‍රී.ල.නි.ප යේ පක්ෂයේ මූලිකත්වය ගත්ත නායකයන් කොමියුනිස්ට් මතවාදය සහ වෙනත් මතවාද එකතුකරලා පක්ෂයේ දැක්ම නිර්මාණය කළා. ඒ කාලේ රටේ විවිධ ප්‍රශ්න තිබුණා. ඒ වෙද්දි රටේ පීඩාවට පත්වෙමින් තිබුණු ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න පක්ෂය ගොඩනැගුණා. හැමෝම දන්නවා පක්ෂයේ හිටපු පාර්ශව කැඩිලා ගිහින් තියනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා පිරිසක් එක්ක කැඩිලා ගිහින් පොහොට්ටුව නිර්මාණය කරනවා. ඒත් පක්ෂයේ ඉතිරිවෙලා ඉන්න පිරිස අදටත් නිදහසේ අර කළින් කියපු බලවේග වෙනුවෙන් වැඩ කරනවා.
 

ඔබ නිදහස් පක්ෂයට එකතුවෙන්නේ පාරම්පරිකව මුතුන් මිත්තන් නියෝජනය කරපු පක්ෂය නිසාද? නැත්නම් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ඇත්තටම කැමති වෙලාද?
 
ප්‍රතිපත්තිවලට මුල ඉඳලම කැමැත්තක් තිබුණා. ඉතිහාසයේ ඉඳන්ම පක්ෂය ජනතාව ගැන හිතපු විදිහට කැමැත්තක් තිබුණා. අපේ පවුලේ විවිධ පක්ෂ නියෝජනය කරන අය ඉන්නවා. ඒත් මම මේ පක්ෂය තෝරාගත්තේ ජනතාව ගැන හිතන විදිහත් එක්කයි.

 
ඔබ හිතනවද ඔබ නියෝජනය කරන පක්ෂය තවදුරටත් ජනතාව ගැන සංවේදී පක්ෂයක් කියලා?
 
ඔව්. ඇත්තටම අදටත් ජනතාව ගැන හිතලා ක්‍රියාකාරී සැලසුම් හදනවා. අදටත් අපි සාකච්ඡා කරලා සැලසුම් හදද්දි ජනතාව ගැන රටගැන හිතලා මුල්තැන දීලා කටයුතු කරනවා.
 

ඔබ විශ්වාස කරනවද ව්‍යවස්ථා අණ පණත් හෝ සැලසුම් වලින් ජනතාවට සෙතක් වෙනවා කියලා?
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස්කරන්න වෙලා තියනවා. ඒ නිසා ඒවායෙන් ජනතාවට සීයට සීයක් සාධාරණයක් වෙනවා කියලා හිතන්න බෑ. පක්ෂයට මතවාදයක් තියෙන්න ඕන ඒවා සම්බන්ධයෙන්. හැට ගණන්වල මුහුණදීපු තත්වයන් අනුව ඒ දවස්වල සැලසුම් හැදුවා. පක්ෂයේ ඊට පස්සේ මැතිණිය කරපු දේවල්වලින් පස්සේ ප්‍රායෝගික දේවල් ජනතාවට කරන්න බැරිවෙලා තියනවා.
 

දේශපාලනයේදී වඩා වැදගත් වෙන්නේ නායකයන් මුල්වුණු ප්‍රතිපත්තිද? නැත්නම් පක්ෂයේ ප්‍රතිපත්තිද?
 
මම හිතන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මූලික වෙන්න ඕන. පක්ෂයේ නායකත්වය වුණාම සංවේදී නායකත්වයක් වෙන්න ඕන.ජනතාවට ඒක දැනෙන්න ඕන. ධනාත්මක ආකල්ප තියන නායකත්වයක් වෙන්න ඕන. පක්ෂය තුළ තියෙන්න ඕන එහෙම නායකත්වයක්.
 

ඔබේ පක්ෂය තුළ කාන්තාවන්ට තියන තැන කොහොමද?

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා  කාන්තා සංවිධානයේ සභාපතිතුමිය  ඒ වගේම ලේකම්තුමිය ගත්තොත් මැතිණියගේ පරපුරෙන් එන කෙනෙක්. ඒ නිසා කාන්තාවන්ට ඉදිරියට එන්න සෑහෙන්න සහයක් දෙනවා.
 

ඔබ පවුල් දේශපාලනය ගැන දරන්නේ මොනවගේ අදහසක් ද?  ඔබ පවුල් දේශපාලනය ගැන ධනාත්මකව විශ්වාස කරනවා වගේ?
 
මෙහෙමයි, මම ඒකේ දෙපැත්තක් දකිනවා. දැන් රටේ මිනිස්සු දේශපාලනය ගැන හැමදාම පවුල් දේශපාලනය විවේචනය කළාට කවුරුවත් ඡන්දයක් ඉල්ලන්නවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒත් පාරම්පරිකව දේශපාලනය කරපු පවුල්වල ඊළඟ පරපුරුවල අය තමන්ගේ ඇඟේ තියන දේශපාලනය නිසා දේශපාලනයට ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ කව්රුහරි දේශපාලනයට එන්න ඕන තමන්ගේ තියන දෙයක් නැති කරගෙනහරි දේශපාලනය කරන්න මිසක් සල්ලි හොයන්න නෙවෙයි.සිරිමාවෝ මැතිණිය තමන්ගේ දේපල පවා නැතිකරගෙන මිනිස්සුන්ට වැඩ කළා. ඒත් පහුගිය කාලයේ පාලනය කරපු පවුල් හැමතැනටම තමන්ගේ පවුලේ අය දාගන්න ගිහින් පවුල් දේශපාලනයට තිබුණු හොඳ නමත් නැතිකළා. මම කියන්නේ සමාජ ක්‍රියාකාරීන්, විප්ලවවාදීන් හැමෝම දේශපාලනයට ඉදිරිපත් වෙන්න ඕන. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අඩුවක් තියනවා.තැන තැන විවේචනය කර කර ඉන්නේ නැතිව ක්‍රියාකාරීව දේශපාලනයට එන්න ඕන.ඒත් එහෙම දේශපාලනයට එන්නේ නැති නිසා තමයි පවුල් පසුබිමෙන් දේශපාලනය කරපු අය විතරක් දේශපාලනයට එන්නේ. මොකද ඒ අය දන්නවා දේශපාලනය කරන විදිහ,මිනිස්සු එක්ක වැඩකරන විදිහ, ඒ අයට ආදරය කරුණාව දක්වන්න පුළුවන්. ඒ නිසා තමයි දේශපාලනය කරන වැඩි පිරිසක් පවුල් දේශපාලනයෙන් එන්නේ.
 

අපි ඉස්කෝලේ යන කාලයෙත් මේක සංවර්ධනය වෙමින් පවතින රටක්  ඊට පස්සේ මේක ඌන සංවර්ධිත රටක් කිව්වා. එතකොට දශක ගාණක් තිස්සේ පවුල් දේශපාලනය කියන එකෙන් මේ රටට වැඩක් වෙලා තියනවා කියලා ඔබ හිතනවද?
 
 
ඇත්තටම කියන්න කණගාටුයි ලංකාවේ අධ්‍යාපනය තියෙන්නේ බොහොම නරක තැනක.අධ්‍යාපනය තමයි මුලින්ම දියුණුවෙන්න ඕන. ඉස්සර මේ රටේ මිනිස්සු එංගලන්තයට ගිහින් ඉගනගෙන ඇවිත් රටට වැඩකලා. ඒත් පස්සේ කාලෙක ඉංග්‍රීසි භාෂාව ඉගනගන්න බැරිවීමත් එක්ක අධ්‍යාපනය ගොඩක් දුරට කඩාගෙන වැටුණා.
 

ඒකට හේතුවුණෙත් ඔබ නියෝජනය කරන පක්ෂයේ බණ්ඩාරණායක ප‍්‍රථිපත්ති නිසා නේද?
 
ඔව් එතුමා උත්සහ කරන්න ඇත්තේ මේ රටේ ස්වදේශීය භාෂාව ආරක්ෂා කරන්න  මේක සිංහල-බෞද්ධ රටක් විදිහට පවත්වගෙන යන්න වෙන්න ඇති. කොහොමවුනත් එතුමා වුණත් හිතන්නේ නැතිව ඇති පස්සේ ඒකෙන් මොනවගේ ප්‍රතිඵලයක් ඇතිවේවිද කියලා.පක්ෂයක් වුනත් සැලසුම් හදන්න ඕන අවුරුදු දහයකට පහළොවකට වගේ ලොකු කාලයකට. කොහොමවුනත් ඒ කාලේ නායකයන් බලයට කෑදරකමේ ගත්ත නරක තීන්දු තීරණ තියනවා. ඒ නිසා තමයි සිරිමාවෝ මැතිණියගේ පරම්පරාවේ වැඩිහිටියන්ගෙන්වත් දායකත්වයක් අපිට ගන්න බැරිවුණේ. කොහොමවුනත් සිංහල භාෂාව ආරක්ෂා කරන්න කටයුතු කරපු එස්.මහින්ද හාමුදුරුවෝ, පියදාස සිරිසේන,ආනන්ද සමරකෝන් මහත්මයලා වැනි අයගේ සහය පවා නිදහස් පක්ෂයට හිමිවුණා.
 

ඔබට හිතෙන්නේ නැද්ද ඉතිහාසයේ කොතනදි හරි අපිට වැරදුණා කියලා? නිදහස් පක්ෂයේ බණ්ඩාරණාකයක මහත්මයලා ගත්ත තීන්දුවල වැරදි තිබුණා කියලා? 
 
මෙහෙමයි, ඕනම පක්ෂයක්, ඕනම නායකයෙක් ගන්න තීන්දු තීරණ වරදින්න පුළුවන්.ඒත් බණ්ඩාරණායක මහත්මයාට වුණේ වැරදුණු තැනින් පස්සේ පක්ෂයට එකතුකරගන්න ඕන ඊළඟ කණ්ඩායම මොනවගේද කියලා අවබෝධයක් තිබුණේ නෑ.ඒත් අපි ඉතිහාසයේ සිදුවුණු ඒ වැරැද්ද අද නිවැරදි කරගෙන පක්ෂයක් විදිහට නැවුම් කණ්ඩායමක් එක්ක වැඩකරනවා.
 

ඔබේ පක්ෂය ඇතුලේ කාන්තාවන්ට මොනවගේ තැනක්ද තියෙන්නේ?
 
පක්ෂය ඇතුලේ කාන්තාවන්ට විශේෂ තැනක් තියනවා. තීන්දු තීරණ ගන්න තැන්වල කාන්තාවන් ඉන්නවා.
 

ඔබ දේශපාලනයට එන්නේ මොනවගේ කාලෙකද?
 
1994 දි විතර තමයි මම තරුණියක් විදිහට දේශපාලනයට එන්නේ.දෙවිනුවර ආසනයේ මගේ ආච්චි එක්ක තමයි මුලින්ම දේශපාලනයට එන්නේ. ඒත් මන්ත්‍රීවරියක් වෙන්නේ 2018 කාන්තා කෝටාවෙන් තමයි.එතනදි අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මැතිතුමා,වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විවිධ සංවිධාන සිවිල් බලවේගවල ඉල්ලීම අනුව තමයි කාන්තා කෝටාව හඳුන්වලා දුන්නේ. ඒ හරහා තියපු මැතිවරණයෙන් තමයි මම මන්ත්‍රීවරියක් වෙන්නේ. මම මැතිවරණයට ඉදිරිපත්වෙලා පක්ෂයට ලැබුණු ප්‍රතිශතය මත ලැබුණු මන්ත්‍රි ආසනවලින් කාන්තා ප්‍රතිශතය අනුව මන්ත්‍රීවරියක් වෙන්න ලැබුණා.
 

පවතින ඡන්ද ක්‍රමය ඇතුලේ කාන්තාවන්ට තියෙන්නේ මොනවගේ අභියෝග ද?
 
විවිධ විරුද්ධ පක්ෂ එක්ක වැඩකරද්දි මූල්‍ය ගැටළු ආවා. කව්රු කොහොම කිව්වත් මුදල් නැතිව ඡන්ද කරන්න බෑ. වර්තමාන ඡන්ද ක්‍රමය අනුව  මැතිවරණය කරද්දි කන්න බොන්න දෙනවා. මම දකුණේ කෙනෙක් නිසා කොහොමත් කන්න බොන්න දෙන එක මුල් තැනට තියනවා.ගන්න ඡන්දෙට වටිනාකමක් දෙන්න මුදල් අවශ්‍යයි.මගේ සැමියා දායකත්වයක් දීපු නිසා මූල්‍ය ගැටළුව විසඳගන්න පුළුවන්වුණා. ඒත් පෝස්ටරයක් ගැහුවත් ඒක වහනවා. වෙනත් රැස්වීම් වලින් මගේ රැස්වීම්වලට බාධා ආවා. ඒත් මම සාමකාමීව ඡන්දය කරගෙන ගියා.

 
පවතින ජන්ද ක‍්‍රමය තුළ මනාප පොරය නිසා ගැටුම් ඇතිවෙනවා . ඔබ කාන්තාවක් විදිහට පළමු මැතිවරණයට ඉදිරිපත්වෙද්දි ප්‍රචණ්ඩකාරී මැතිවරණ ක්‍රමවේදය ගැන මොනවගේ අත්දැකීමක් ද ලැබුවේ? 
 
ප්‍රචණ්ඩත්වය මට බාධාවක් වුනේ නෑ.ඒකට හෝමාගම ජනතාවට සහ වෙනත් පක්ෂවල සහෝදර සහෝදරියන්ට ස්තුතීවන්ත වෙන්න ඕන. ඒත් මගේම පක්ෂයේ අයගෙන් විවිධ ගැටළු ආවා. මගේ පියා දීපු අවවාදයක් තමයි දේශපාලනයේදී මඩ කන්න වෙනවා, ජයපැරදුම බාරගන්න හිතාගෙන ඉදිරිපත්වෙන්න කිව්වා. මම ඒ නිසාම සාමකාමීව ඉවසපු නිසා ගැටළුවක් වුනේ නෑ. ඒත් ඇතැම් තැන්වලදි පැෆරල් සංවිධානය සහ මැතිවරණ කොමිසම මැදිහත්වුණා.
 

ලංකාවේ ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට එක විදිහට සැලකිය යුතුයි කියලා තිබුණට දේශපාලනයට කාන්තාවන්ට එන්න ඉඩකඩ තිබෙන්නේ බොහොම අඩුවෙන්. වෙනත් ක්ෂේත්‍ර සලකද්දි දේශපාලනයේ කාන්තාවන්ගේ මැදිහත්වීම ඉතාම අඩුයි.  හේතුව වෙන්නේ රටේ ව්‍යවස්ථාවද? නැත්නම් වෙන මොකක්හරි ප්‍රචණ්ඩත්වය හෝ වෙනත් හේතුවක්ද?
 
 
කාන්තාවන්ට එරෙහිව තියන හිංසනය විශාල බලපෑමක් කරනවා. විශේෂයෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉතාම ඉහළ බලපෑමක් කරනවා. විවාහ සහතිකයක පදනම් කරගෙන කාන්තාවක් අනවශ්‍ය විදිහට පාලනය කිරීම නිසා නිවස තුළම කාන්තාවන් සිරකාරියන් වෙලා. සමහර පුරුෂයෝ ඉන්නවා මගේ සැමියා වගේ කාන්තාවන්ට ඉදිරියට යන්න ඉඩදෙන. කාන්තාවන්ගේ කළමණාකරණය ඉතාම හොඳයි. ඒ නිසාම තමයි පුරුෂයන් කාන්තාවන්ට දේශපාලනයට එන්න දෙන්නේ නැත්තේ. පුරුෂයෝ කාන්තාවන්ට මඩ ගහනවා දේශපාලනයට එද්දිම. වැරදි නොකර මඩ ගාගන්න අකමැති නිසා කාන්තාවෝ පසු බසිනවා. පුරුෂයෝ කාන්තාවන්ට ගරුකරන්නෙ නෑ. ඒකයි ප්‍රධාන හේතුව.
 
 
ඔබ කාන්තා දේශපාලන චරිතයක් විදිහට මේ දේවල් වෙනස් කරන්න ඔබට අදහසක් තියනවද?
 
විශාල ආකල්ප වෙනසක් අවශ්‍යයි. ඒක පාසල් තුලින්, පවුල තුළින් පටන්ගන්න ඕන. ගෙදර ඇතුලෙන්ම වෙනසක් නොකර කාන්තාවන්ටත් සමව සලකන්න ඕන එහෙම වුනොත් විශාල වෙනසක් කරන්න පුළුවන්. ස්ත්‍රියට වගේම පුරුෂයාටත් ගරු කරන වටපිටාවක් රටේ ඇතිවෙන්න ඕන. අපි නිතර පක්ෂය තුළ මේ ගැන කතා කරනවා.


ආණ්ඩුවක් බලයට එද්දි ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට අවුරුදු පහක වගේ සැලසුම් ඉදිරිපත් කරනවා. ඔබ හිතන්නේ මේ විදිහට අවුරුදු පහෙන් පහට සැලසුම් ඉදිරිපත් කරන එකද හොඳ නැත්නම් විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන ජාතික ප්‍රතිපත්ති පවත්වාගෙන යන එකද?
 
 
අනිවාර්යයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. හැම පක්ෂයක්ම එකතුවෙලා නිර්මාණශීලීව ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. අද වෙද්දි කෘෂිකර්මය දරුණු විදිහට කඩාගෙන වැටිලා. ඒක ගොඩනගන්න නම් නියම විදිහේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.අපි ප්‍රතිපත්ති නැතිව ගෘහ සේවිකාවන් පිටරට යවලා විතරක් ආර්ථිකය ගොඩනගන්න හිතනවා. අපේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වෙන්න ඕන. සංචාරක කර්මාන්තය ගොඩනගන්න පවා හොඳ ප්‍රතිපත්ති අවශ්‍යයි.
 

ඔබ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැතිව පක්ෂ ප්‍රතිපත්ති නිසා රටට යහපතක් වෙලා නෑ කියලද?
 
උදාහරණයක් විදිහට ගත්තොත් හෝමාගම ප්‍රාදේශිය සභාවේ බලය තියෙන්නේ පොහොට්ටුවට. ඔවුන් උදව් කරන්නේ පොහොට්ටුවේ අයට විතරයි. ඒත් හරිනම් හැමෝටම එක විදිහට සලකන ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.
 

බලය කියන එක විවිධ මට්ටමේදී ලඟාකරගන්න ජනතා නියෝජිතයෝ කියන පිරිස ඒ බලය හරහා රටට සේවයක් කරලා තියනව ද?
 
යම් සේවයක් කරලා තියනවා. සීයට සීයක්ම නැතත්, ජනාධිපති කෙනෙක් බලයට ආවම වට්ටන්නමයි හදන්නේ. ඇමති මණ්ඩලයවත් උදව් කරන්නේ නෑ. ආණ්ඩුවක් උනත් වට්ටන්නමයි හදන්නේ. පාර්ලිමේන්තුව දරුවෙක්ටවත් බලන්න බෑ. ඉස්සර බලාගෙන ඉන්න ආසයි. අපි කලින් ගෝඨාභය මහත්තයට උදව් කලා බලයට එන්න. ඒත් අවාසනාවකට කොරෝනා ඇවිත් වැඩ කරගෙන යන්න බැරිවුනා. ඇමතිවරු එක පිට එක මාරුවෙද්දි සේරම ව්‍යාකූල වෙනවා.
 
 
ඒ නිසා මේ රටට ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් ඔ්නෙ වෙනවා.ඒකට කාන්තාවන්ගේ සහය ලබාගත්තොත් වඩාත් හොඳයි. ඒකට අවශ්‍ය ශක්තිය දෙන්න හොඳ කාන්තා මන්ත්‍රීවරියන් ඉන්නවා. හැම පක්ෂයක්ම දැනගන්න ඕන කාන්තාවන් ඉදිරියට ගන්න.
 
 
මේ රටේ ඡන්දදායකයන් ගැන ඔබට මොනවගේ අදහසක් ද තියෙන්නේ?
 
මේ රටේ ඡන්ද දායකයන් එක එක අධ්‍යාපන මට්ටම්ව ඉන්නේ. විවිධ රටවල් දැක්කම සමාජ මාධ්‍යවල සීමා තියනවා. අද අපේ රටේ එහෙම එකක් නෑ. අද ගත්තොත් පවුලේ අය පවා දවස පුරා ඉන්නේ දුරකතනයේ. මිනිස්සුන්ට විඳින්න දේවල් නෑ. හැගීම් දැනීම්වලට ගරු කරන සමාජයක් අපිට අවශ්‍යයි. එහෙම සමාජයක ජනතාව තමයි නිවැරදි තීන්දු තීරණ ගන්නේ. ජනතාව පක්ෂයකට කොටු වෙන්න හොඳ නෑ. ජනතාවට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මහජන නියෝජිතයෝ ගැන තීන්දු තීරණ ගන්න.ඡන්ද දායකයාට තමයි වැඩිම වගකීම තියෙන්නේ. ඔවුන්ගේ ඡන්දයට ඉතා ඉහළ වටිනාකමක් තියනවා. අපි ඔවුන්ට බලපෑම් කරන්නේ නෑ.ජනතාව සවිඥ්ඥානික වෙන්න ඕෙන. සභාවක පනත ගැන පවා ජනතාව දැනුවත් වෙන්න ඕන. ඔවුන් සැසිවාරවලට එන්න ඕන. ජනතාව ඒ අතින් හරි ඈතයි. පන්සල, පල්ලිය, පොලිසිය එකතු වෙන්න ඕෙන. ඒ තැන්වලට පවා සීමාවෙන්න ඕන නැහැ. පාර්ලිමේන්තුව  පළාත් සභාවට පවා ජනතාවගේ බැඳීම් වැඩිවෙන්න ඕනේ.
 

ඔබ කියනවා අන්තර් සම්බන්ධතා ගොඩනැගෙන්න ඔ්නෙ කියලා. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින්ත තනතුරු ලැබුණට පස්සේ මිනිස්සුන්ට ඒ දේශපාලනඥයා ලඟට යන්නවත් පුළුවන් ද? ඔබ හිතන්නේ නැද්ද මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා?
 
ඔව් වෙනස් වෙන්න ඕන. මම හිතන්නේ ජනතා නියෝජිතයා කාල කළමණාකරණය කරගෙන පුළුවන් විදිහට ජනතාව ලඟට යන්න ඕන. ඒත් කාලය සීමා සහිතයි. මොකද ජාතික වැඩසටහන්වලටත් යන්න වෙනවා. අපි යන්න ඕන මිනිස්සු ලඟට. ඔවුන්ගේ ප්‍රශ්නවලට අපි උත්තර හොයන්න ඒවා සභාවට ගෙනියන්න ඕන. දේශපාලනඥයාට වරදින තැනක් තමයි වටේ ඉන්න අය කියන දේවල් අහලා වැඩකරන එක.

 
අවුරුදු 74ක් තිස්සේ දරාගෙන හිටපු දේවල් පහුගිය කාලේ ජනතා අරගලයෙන් පිපිරිලා ගියා. ඒ අරගලයට පෙර සහ පසු ඔබේ ප්‍රාදේශිය සභාව වගේ ආයතනවල මොනවගේ වෙනසක් ද තියෙන්නේ?
 
ඒක මුලින් සුන්දර අරගලයක්. පස්සේ මට තේරුනා ඒකේ වෙනසක් තියනවා කියලා.මොකද අරගලයකට වුනත් න්‍යාය පත්‍රයක් තියෙන්න ඕන.
 

ඔබ කියන්නේ අරගලය අසාර්ථකයි ද?

අරගලය පස්සේ වෙනස්ම මාවතකට යොමුවුණා. අරගලය පස්සේ වෙනස් වුණා. අරගලය නිසා වෙනස්වුණු දේවල් තියනවා. ජනතා නියෝජිතයන්ට වුනත් පාඩමක් තියනවා මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් තේරුම්ගන්න ඕන කියලා.
 

කාන්තාවකට දේශපාලනයට එද්දි මොනවගේ සුදුසුකම් තියෙන්න ඕනද?
 
 
ඉවසීම දරාගැනීමේ හැකියාව  හොඳ පෞර්ශයක් වගේම හොඳ අලෙවිකරණ හැකියාවක් තියෙන්න ඕනේ.
 
 
ඔබ හිතනවද කාන්තා දේශපාලනඥයන්ට ඒවා තියනවා කියලා?
 
මට ඒක හරියටම නිර්වචනය කරන්න අමාරුයි. ඒත් කාන්තාවන්ට කාන්තාවන් පවා ඡන්දය නොදෙන්නේ ඊරිසියාව වගේ දේවල් නිසා. ඒත් කාන්තාව කේලාම් වගේ දේවල් ඉවසගෙන කටයුතු කරන්න ඕනේ එකමුතු කමින් ගමන යන්න ඕනේ.
 

ඔබට දේශපාලනයට ආවම විවිධ අවස්ථා ලැබුණනේ විවිධ හැදෑරීම් කරන්න. පුද්ගලික හා රාජ්‍ය අංශය එකතුවෙලා ඒ අවස්ථා ලබාදීලා තියෙනවා. එතකොට පක්ෂයෙන් ඒ වගේ දේවල් කරනව ද?
 
ශ්‍රී..ල.නි.ප යේ කාන්තා සමුළුවේ නායිකාව තමන්ගේ දේශපාලන අත්දැකීම් එක්ක සෑහෙන්න දේවල් කරනවා. පක්ෂය අතුලේ දැනුවත් කිරීම්, දේශපාලන දැනුම, මාධ්‍ය කළමණාකරණය වගේ දේවල් ලබා දෙනවා''ඒ වගේම ෆැපරල් ආයතනයට, පළාත්  පාලන ආයතන සංසදයට, ඕ.ටී.අයි ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕන අපිට ලබාදුන් දැනුමට.

 
ඔබට දේශපාලනයට එද්දි පවුල් දේශපාලනයේ අත්දැකීම් සහ මේ ලබාගත්තු අධ්‍යාපනයේ වෙනස මොකක් ද?

පවුල් දේශපාලනයෙන් ලැබුණේ දැකපු දේවල්වල අත්දැකීම් විතරයි' ඒත් මේ අධ්‍යාපනය ඊට වඩා පුළුල්. ඒවා නිසා ඒ දේවල් ගලපගෙන යන්න පුළුවන්.
 

කාන්තාවන් විදිහට දේශපාලන හැදෑරීම් කරගෙන යද්දි, මේ පළාත් පාලන ආයතනවල ඉන්න පිරිමි පාර්ශවලට මේ දැනුම අත්දැකීම් ලබාගන්න මාර්ගයක් තියනව ද?
 
මම හිතන්නේ පුරුෂයන්ට ඒ අවස්ථාව ලැබෙනවා අඩුයි.මේ ඉල්ලීම පළාත් පාලන සංසදයෙන් පවා කරලා තිබුණා. නමුත් ඔවුන්ට ලැබෙන අවස්ථාව අඩුයි.

 
එතකොට පුරුෂයින්ට ඒක ඇතුලේ අසාධාරණයක් වෙන්නේ නැද්ද?
 
ඔව් අසාධාරණයක් වෙනවා. ඔවුන් තමන්ගේ කතාවෙන්, පෞර්ශත්වයෙන් කරගන්න දේවල් මිසක් ලැබෙන අවස්ථා අඩුයි ඔවුන්ට.

 
ඔබේ ඊළග දේශපාලන අරමුණ මොකක්ද?
 
shjමම හරි ආසයි දේශපාලනිකව ඉදිරියට යන්න. ඒ වගේ තානාපති සේවයට යන්න කැමතියි. මගේ බලාපොරොත්තුව දිගටම දේශපාලනයේ නිරත වෙන්න. අවස්ථාව ලැබුනොත් පාර්ලිමේන්තුවට පවා යන්න කැමතියි. එයින් මගේ පක්ෂයටත්,ජනතාවටත් සාධාරණයක් කරන්න කැමැතියි.
 

මේ දේශපාලනයේ මැතිවරණ ක්‍රමය ගැන ඔබේ අදහස මොකක්ද?
 
මනාප ක්‍රමය ගොඩක් හොඳයි.ඒක ජනතාවට සමීප වෙන්න හොඳ ක්‍රමයක්. කාන්තා කෝටා ක්‍රමය අවශ්‍ය වෙන්නේ කාන්තාවට කාන්තාවගේ ඡන්දය පවා තාමත් හරියට ලැබෙන්නේ නැති නිසා. කොට්ඨාශ ක්‍රමයට නිසා එයට වගකියන මන්ත්‍රීවරයෙක් ඉන්න නිසා ඒ ක්‍රමය ඉතාම හොඳයි. ජනතාවගේ ගැටළු උදේ හවස කතාකරලා ඒ කොට්ඨාශය දියුණු කරන්න පුළුවන්. මන්ත්‍රීවරුන් ප්‍රමාණය වැඩිවෙද්දි පිරිවැය වැඩිවෙනවා. එතනදි ආදායම් වැඩි කරගන්න අපිට සිද්ධවෙනවා.
 

මේ කතාකරපු දේවල් වලට එහා ඔබට කියන්න මොනවාහරි තියනවද?
 
මම අපේ ශ්‍රී.ල.නි.ප යේ සියළුම නායකත්වයටල කාන්තා සංවිධානයට, පක්ෂය තුළ අපිට උදව්කරන අය, මට ඡන්දය දුන්නු ජනතාවට මම ස්තූතිය පලකරන්න කැමතියි. අපිට පළාත් සභාවට හරි ඉන් ඉදිරියට ගිහින් හරි වැඩ කරන්න ජනතාවගේ ආශිර්වාදය මට අවශ්‍යයි.
 
 
මම කාන්තාවන්ට කියන්නේ කාන්තාවන්ට ඉන්නේ කාන්තාවන් විතරයි කියලා හිතලා වැඩකරන්න කියලා. කාන්තාවන්ට තමන්ගේ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නෑ. බොහෝවිට කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා වැඩියි. පාර්ලිමේන්තුවට පවා කාන්තාවගේ දායකත්වය වැඩිවුනොත් රටේ ක්‍රමවේදය වෙනස් කරන්න හේතුවක් වේවි. අඩුම තරමේ පනහට පනහාවත් පාර්ලිමේන්තුව තුල කාන්තාවට ඉඩක් ලැබිය යුතුයි. මේ රට සුන්දර රටක් කරගන්න, ජනතාවට මානසික පීඩනයකින් තොරව ඉන්න පුළුවන්කම ලැබෙන්න ඕන.
 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 
 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්