ශ්‍රී ලංකික පුරවැසියෝ ත්‍රස්තවාදය ගැන හොඳින් දනිති. ලෝකයේ වඩාත්ම සංකීර්ණ ලෙස සම්බන්ධීකරණය කරන ලද

ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකක් 2019 අප්‍රේල් 21 දා රට පුරා සිදුවිය.

පසුගිය මාසයේ ගැසට් කරන ලද ත්‍රස්තවිරෝධී පනතේ ගුණ දොස් ගැන අප විවාද කරන මේ මොහොතේ එබඳු බිහිසුණු ක්‍රියා වැළක්වීමට පවතින නීතිය වන 1979 අංක 28 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත කෙතරම් ඵලදායී වුයේ දැයි විමසා බැලීම වැදගත් විය හැකිය. ත්‍රස්තවාදී ක්‍රියාවන් යලි යලි සිදුවීම තුලින් පිළිතුර පැහැදිලි විය හැකි ය.

වැළක්වීමේ දී (කෙටි නාමයට අනුව නීතියේ අරමුණ එය යි) නොමැති නම්, අපරාධ පරීක්ෂා කිරීමේ දී, අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ දී සහ එමගින් එබඳු ත්‍රස්තවාදී ක්‍රියා නැවත ඇතිවීමේ ඉඩකඩ අඩු කිරීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ආධාර වුයේ ද?

පිළිතුර ඔව් නම් අනවශ්‍ය සහ පිළිකුල් සහගත අංග ඉවත්කර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත දිගට ම පවත්වාගෙන යාමට සහය දීමට කෙනෙකුට හැකි වෙයි.  



2021 ජනවාරි 8 දා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව 2020 දෙසැම්බරයේ දී ලොස් ඇන්ජලීස්හි ෆෙඩරල් අධිකරණයක් විසින් මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්වාන්, සහ අහමඩ් මිලාන් හයිතු මොහොමඩ් යන අයට චෝදනා එල්ල කළේ මෙරට, ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියා සඳහා ය. මේ තිදෙනා ම අත් අඩංගුවේ සිටියත් තවමත් මෙරට දී චෝදනා එල්ල කොට නැත. පෙනෙන විදිහට, එක්සත් ජනපදයේ දී චෝදනා ලැබුවන් ඇතුළු කිසිවකුට සාර්ථක ලෙස නඩු පැවරීමට ශ්‍රී ලංකාවේ නඩු පවරන්නන්ට හැකි වී නැත.




ඉහත ප්‍රශ්නයට පිළිතුර වී ඇත්තේ නැත යන්නයි.

ඉතිරි වී තිබෙන ප්‍රශ්නය නම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ පසු විපාක, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නොමැතිව කළමනාකරණය කළ හැකිව තිබුණේ ද යන්න යි. විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම, අධිකරණයේ අධීක්ෂණයකින් තොරව දිගු කලක් රඳවා තබා ගැනීම, ආදිය නොමැති වුයේ නම්, අපගේ ජනගහනයේ කොටසකට එරෙහිව මුදා හැරුණු ප්‍රචණ්ඩත්වයේ කිසියම් අඩුවක් සිදුවිය හැකිව තිබුණේ ද? එයට පිළිතුර ද නැත යන්නයි.

එබැවින් කෙනෙකුට එළඹීමට සිදුවන නිගමනය වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත බොහෝ අංශවලින් අසාර්ථක වී ඇත යන්නයි.    

පනතේ හැඳින්වීමේ නාමයේ ම සඳහන් පරිදි එය තාවකාලික නීතියක් ලෙස සලකමින් එය වහාම අවලංගු කළ යුතු බව සහ ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමට අප ආපසු යා යුතු බව නිගමනය කිරීමට එමගින් අප අවශ්‍යයෙන් ම පෙළඹිය යුතු නැත. විකල්ප ක්‍රියා මාර්ගය විය හැක්කේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශනයට, අපරාධකරුවන් වැරදිකරුවන් කිරීමට සහ එමගින් එබඳු ක්‍රියා නැවත ඇතිවීමේ ඉඩ කඩ අඩු කිරීමට ආධාර වන වඩා හොඳ නීතියකි. පෙනෙන්න තිබෙන ආකාරයට  වත්මන් ආණ්ඩුව ගන්නට යන ක්‍රියා මාර්ගය එය යි.

එවිට ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවිරෝධී පනතේ ඉදිරිපත් කොට ඇති කෙටුම්පත ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද යන්න යි.


අර්ථ දැක්වීම සහ ක්‍රියා පටිපාටිය


ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇති මුලික දුෂ්කරතාවය වන්නේ එය අර්ථ දැක්වීම නොහොත් අපරාධයේ නිර්වචනයයි. 9/11 සිදුවීම්වල ආසන්නතම පසු විපාක සමග ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට මුළු ලෝකයම සුදානම්ව සිටිය දී අර්ථ දැක්වීම ගැන එකඟතාවයකට පැමිණීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට  නොහැකි වී ය. එවකට එක්සත් රාජධානියේ තානාපතිවරයාව සිටි ජෙරමි ග්‍රීන්ස්ටෝක්ගේ “ත්‍රස්තවාදී ලෙස පෙනෙන්නේ, සුවඳ දැනෙන්නේ සහ ඝාතන සිදුකරන්නේ කුමක්ද? එය ත්‍රස්තවාදය යි” යන ප්‍රකාශයට සවන් දීමෙන් පසු කවුන්සිලය ක්‍රියා කළේ අර්ථ දැක්වීමකින් තොරව ඉදිරියට යාමට ය.



ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ අර්ථ දැක්වීමක් නැති තැන, එක් එක් රටකට සිදුවන්නේ තමන්ගේ ම අර්ථ දැක්වීමක් මත කටයුතු කිරීමට ය.  

ක්‍රියාකාරකම් ලැයිස්තුවකට බලපාන ආකාරයට චේතනාව අංගයක් වන ලෙස ත්‍රස්තවාදය අර්ථ දැක්වීමට ත්‍රස්තවාද විරෝධී පනතේ 3 ඡේදය මගින් උත්සාහ දරා ඇත. එම අර්ථ දැක්වීම පමණට විශාල ලෙස පුළුල් වන අතර එය අයුතු ලෙස භාවිතයට ඉඩ ඇත.

පහත නිදර්ශනය මගින් පෙන්වා දී ඇති පරිදි, සෑම ආකාරයකම නීත්‍යානුකූල කටයුතු එම විෂය පථයට ඇතුළත් වන ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇත. එම නොපැහැදිලි බව නිදර්ශනයට සීමා නොවන බවත්, 3 ඡේදය පුරා පැතිරී ඇති බවත්, කරුණාකර සිහියට ගන්න.



3(1)(ඉ ) ඡේදයට අනුව “යුද්ධය ප්‍රවර්ධනය හෝ වෙනස් කොට සැලකීමට, සතුරුකමට හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී සිටීමේ” චේතනාවෙන් 3(2) ඡේදයේ සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ නීතී විරෝධී නොතකා හැරීමක් කරන ඕනෑ ම තැනැත්තකු ත්‍රස්තවාදී වරදක් සිදු කරන්නේ ය. ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීමට හේතු වීම හෝ කිසියම් වචනයක් හෝ වචන කථා කිරීම හෝ ඔවුන් ත්‍රස්තවාදයේ වරද කිරීමට සූදානම් කිරීමක් හෝ උසිගැන්වීමක් සඳහා ඍජු හෝ වක්‍ර දිරි ගැන්වීමක් හෝ පෙළඹවීමක් හෝ ලෙස  මහජනතාවගෙන් සමහරෙකුට හෝ සියලුම දෙනාට අවබෝධ කර ගත හැකි සංඥා හෝ දෘශ්‍ය නිරූපණයන් සිදු කිරීම, 10 ඡේදය යටතේ වරදක් ලෙස දක්වා ඇත.


චේතනාව සම්බන්ධ කොටසේ භාෂාව 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ( ICCPR) හමුවන වගන්ති සමග සම්පුර්ණයෙන් සමාන ය. "කිසිම පුද්ගලයෙක් යුද්ධය ප්‍රවර්ධනය නොකළ යුතු අතර වෙනස් කොට සැලකීමට, සතුරුකමට හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය." ICCPR පනත නීතිපති දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව පුද්ගලයන් මාස ගණනක් අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම සඳහා පොලිසිය විසින් බරපතළ ලෙස අවභාවිත කර ඇති බව ශක්තික සත්කුමාර සහ රමසි රසීක් නඩු ගැන විමසිල්ලෙන් සිටි ඕනෑ ම කෙනෙකු දැන සිටිනු ඇත.

cxfbgcxbv

සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR ) යටතේ අත් අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ගත් විට “වෛරය පතුරුවන්නකු" ලෙස චෝදනාවට ලක් වූවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීරණය ගනු ලබන්නේ පහළ මට්ටමේ පොලිස් නිලධාරියකු විසිනි. පුද්ගලයකු අත් අඩංගුවට ගත් විට, ඇප ලබා ගැනීම ආදියේ වගකීම පැවරෙන්නේ ද අත් අඩංගුවට පත් තැනැත්තා වෙත යි. ත්‍රස්තවිරෝධී පනත සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත. රඳවාගැනීමේ නියෝගය නිකුත් කළ විට හානිය සිදු කොට හමාර ය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගන්නන්ට ලැබෙන බිහිසුණු සැලකීම් බොහෝ දෙනා දන්නා අතර ඔහුගේ ඇඳට තබා දම්වැලකින් බැඳ දමා සිටි සහ දිනකට දෙවරක් පමණක් වැසිකිලි යාමට ඉඩ ලැබුණු අහ්නාෆ් ජසීම් කවියා මෑතක දී එම තත්ත්වය විස්තර කළේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා වර්ධනයක් ලෙස මතුපිටින් පෙනෙන්නට තිබුණත්, පටිපාටිමය වෙනස්කම් ද අසතුටුදායක ය.
 
අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි සම්පුර්ණ බලය සහිත රඳවාගැනීමේ නියෝග නිකුත් කිරීමට  ආරක්ෂක ඇමතිවරයාට (දැන් ජනාධිපතිට) සම්පුර්ණ අධිකාරී බලය ලබාදීම මගින් අධිකරණ පද්ධතිය මග හැර යාමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 9 සහ 10 ඡේද මගින් ඉඩ සලසා තිබිණි.

සැකකරුවකු පැය 48ක් තුළ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු බව නව පනතේ සඳහන් වීම හොඳ දෙයකි.

එසේ වුව ද, මහේස්ත්‍රාත්වරයාගේ අභිමතයට කිසිදු ඉඩක් නැත. අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ සාධාරණ හේතු මතද යන්න තීරණය කිරීමේ බලය රටේ සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා නොදී එය තීරණය කිරීමට මහේස්ත්‍රාත්වරයාට ඉඩ දිය නොහැක්කේ ඇයි?  එම බලය ආරක්ෂක ඇමතිගෙන් ගෙන නියෝජ්‍ය පොලිස්පති යන පහළ මට්ටමට ලබාදීම පොලිසියට අසාධාරණ අත් අඩංගුවට ගැනීම් පහසු කිරීමට හේතු විය හැකි අතර පුද්ගලයකුගේ ජීවිතයක් විනාශ විය හැකි තීරණයක් ගැන වගකීමක් නොමැති තත්ත්වයක් ඇතිකරයි.



මෙය “රෑ වැටුණු වළේ දහවල් වැටීමකට” සමාන ය. සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත සම්මත කරන අවස්ථාවේ ජනයා රඳවා ගැනීමේ අභිමතය පොලිසියට ලබාදීම සමාව දිය හැකි වරදක් විය හැකි ය.  නමුත් මෙම බලය අවභාවිතා කරන හැටි හොඳින් ම දැනගෙන එම වරද ත්‍රස්තවාද විරෝධී පනතේ දී කිරීම ගැන සමාව දිය නොහැකි ය.




ව්‍යතිරේකය සාමාන්‍යකරණය කිරීම

ත්‍රස්තවාදී ප්‍රහාර ඇතුළු ස්වභාවික හෝ මිනිසා විසින් සාදන ලද විපත් වැනි අසාමාන්‍ය තත්ත්වයන් සමඟ කටයුතු කිරීම සඳහා රාජ්‍යයන්ට ව්‍යතිරේක තිබීමේ අවශ්‍යතාවය ප්‍රායෝගිකවාදීහු හඳුනා ගනිති. ත්‍රස්තවාදී වැරදි විමර්ශනය කිරීමේ දුෂ්කරතා සහ අපරාධකරුවන් සාර්ථක ලෙස වරදකරුවන් කිරීමට සාක්ෂි එකතු කිරීමේ ගැටළු සාධාරණ පුද්ගලයකුට තේරුම් ගත හැකිය.

2019 අප්‍රේල් 21 දින බෝම්බ පුපුරුවා හරින ලද මොහොතේ සිට කුමන ආකාරයේ නීති භාවිතා කර ඇත්දැයි බැලීම ප්‍රයෝජනවත් වනු ඇත. පැය කිහිපයක් ඇතුළත ඇමතුම්  තොරතුරු සොයාගන්නා ලද අතර  දෙමටගොඩ නිවස වට කළේය. මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ මහජන ආරක්ෂක ආඥාපනතේ (140 පරිච්ඡේදයේ) විධිවිධාන යටතේය. මහජන ආරක්‍ෂක ආඥාපනත වැනි නීතිවල අරමුණ එයයි: අසාමාන්‍ය තත්ත්වයකට මුහුණ දෙන විට සාමාන්‍යයෙන් ඉඩ නොදෙන ක්‍රියාවලට අවසර දිය හැකිය. ව්‍යතිරේකයට ඉඩ දීමේ බරපතලකම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් පිළිගනු ලැබ ඇති අතර එවැනි හදිසි අවස්ථා ප්‍රකාශයක් මාසයක් ඇතුළත සහ මාසයක් සඳහා පමණක් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය.

ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පතේ X කොටස මගින් ව්‍යතිරේක තත්ත්වය සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කරයි. මහජන ආරක්‍ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ සකස් කර ඇති හදිසි නීති රෙගුලාසි මගින් පමණක් දැනට කළ හැකි සියලු ආකාරයේ ක්‍රියා සාමාන්‍ය කාලය සඳහා නීත්‍යානුකූල කිරීමට යයි. සංවිධාන තහනම් කිරීම, ස්ථාන "තහනම් ස්ථාන" ලෙස ප්‍රකාශ කිරීම යනාදිය විධායකයට කළ හැකි ය. හදිසි අවස්ථාවක් යටතේ නොව ඕනෑ ම කාලයක එය කළ හැකි ය. සංවරණ සහ තුලන නැත.

මෙම විධිවිධාන මගින් හදිසි අවස්ථාවකට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂණ අර්ථ ශුන්‍ය කරයි.


කළ යුත්තේ කුමක්ද?

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතු බවත්, ඒ වෙනුවට වෙනත් නීතියක් ආදේශ නොකළ යුතු බවත්, කියන පිරිසක් සිටිති. වෙනත් අයට අවශ්‍යව ඇත්තේ, පසුගිය වසර 50 ක හෝ එබඳු කාලයක පෙනී ගිය ආකාරයේ ත්‍රස්තවාදයේ සංකීර්ණ ආකාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නව නීති පිළිබඳ සාධාරණ තර්කවලට සවන්දීමට ය. 1973 න් පසු කාලයේ දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන සම්මුතීන් දහයක් සම්මත කර ගෙන තිබීම ම මෙම සංසිද්ධියට නව ලක්ෂණ ඇති බවටත්, නව නීතිමය විසඳුම් ඉල්ලා සිටින බවටත්, සාක්ෂියකි.

එසේ වුව ද, අවශ්‍ය නීතිය මෙම පනත නොවේ.



ඉතා ම හොඳ දේ නම් මෙම පනත ඉවත් කර ගෙන, විමර්ශකයින් මෙන් ම රජයට පිටතින් පිරිසක් ද ඇතුළත් කමිටුවක් මගින් මහජන අදහස් විමසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ගැන තක්සේරුවක් ලබා ගැනීම යි. එහි කුමන හෝ ප්‍රතිපාදන තබා ගත යුතු ද සහ වර්ධනය කළ යුතු ද කමිටුවට හඳුනාගත හැකි වනු ඇත. උදාහරණ ලෙස සයිබර් ප්‍රහාර සම්බන්ධ ප්‍රතිපාදන වැනි දෑ ඉවත් කරමින්, තදින් අවධානය යොමු කළ නීතියක් මෙම ප්‍රවේශයේ ප්‍රතිඵලය විය හැකි ය. දැනට කෙටුම්පත් කරමින් ඇති සයිබර් ආරක්ෂක නීතිය තුළින් එබඳු තර්ජන ගැන වඩා හොඳින් ක්‍රියා කළ හැකි වෙයි.



නැවතත් නීති සම්පාදනයට ආපසු යාමට ආණ්ඩුව අකමැති නම්, අඩු තරමින්, මහජනයාගේ මුලික අයිතීන්ට බලපාන ප්‍රබල ප්‍රතිපාදන තුලනය කිරීම සඳහා සංවරණ සහ තුලන ඇති කළ යුතු ය. උදාහරණ ලෙස රඳවාගැනීමේ නියෝග සම්බන්ධයෙන් අධිකරණ අධීක්ෂණයක් තිබිය යුතු ය. ව්‍යතිරේක තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අධීක්ෂණයක් සහ එබඳු දෑ තිබිය යුතු ය.

අපට අවශ්‍යව ඇත්තේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වසර ගණනාවක අත්දැකීම් මත පදනම්ව සැබෑ ප්‍රශ්නයට විසඳුම් දෙන හොඳින් සැලසුම් කළ නීතියකි. එය මෙම නීතිය නොවේ.

Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 


සබැඳි පුවත් හා ලිපි :

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්