සම්ප්‍රදායික රැකියාවේ නිරත වන නොච්චිකුලම් තෙළිගු රැහේ නායක තිම්මන්නාගේ ඇගටන්නා

 

 එක් පසෙක අතීත දිවියෙහි නටබුන් අතර සොඳුරු මතකයන් ස්මරණය කරන පැරණි පරපුරය; තව පසෙක, පැරණි හංවඩුවෙන් මිදී නව ලොවකට පිවිසෙන මං සොයන නව පරපුරය. දෙපිරිසටම සාධාරණය ඉටු වන පරිදි මේ සමීකරණය විසඳීමේ අභියෝගය භාරගත යුත්තේ කවුද?


ශාස්ත්‍ර කීම හා නාගයින් රිලවුන් යනාදී සතුන්ගෙන් සංදර්ශන පැවැත්වීම ජීවනෝපාය කර ගනිමින්, කණ්ඩායම් ලෙස තැනින් තැනට සංක්‍රමණය වෙමින් දිවි ගෙවූ තෙළිඟු ජනයා  ශ්‍රී ලාංකීය සංස්කෘතියට අයත් එක් සුවිශේෂ ජන කොට්ඨාශයකි. වර්තමානයේ ඔවුහු සංචාරක දිවියට ඉසිඹුලා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ස්ථිර වාසස්ථානවල දිවි ගෙවති. දශක ගණනාවක් මුළුල්ලේ විවිධ සමාජ පරිවර්තනයන්ට මුහුණ දුන් නමුත් පූර්ණ වශයෙන් පැරණි සංචාරක දිවියෙන් හා පාරම්පරික වෘත්තීන්ගෙන් නොමිදුණු ඔවුන් තවමත් ගෙවමින් සිටින්නේ ස්වකීය දිවියේ සංක්‍රාන්ති අදියරකි. වත්මන් ආර්ථීක අර්බුදය හමුවේ ඔවුහු දැඩි පීඩනයකට මුහුණ පා සිටිති.

 

ශ්‍රී ලංකාව තුළ මේ වන විට දිවි ගෙවන තෙළිඟු වංශික ප්‍රජාව කොපමණදැයි නිල සංඛ්‍යාලේඛනයක් නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ ජන සංගණනයේදී ඔවුන්ගේ ජනවර්ගය ‘වෙනත්‘ ගණයට ඇතුළත් කර තිබීමය. දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට තෙළිඟු ගම්මාන අටක් පවතින බවත්, ඒවායේ 15,000ට ආසන්න ජන සංඛ්‍යාවක් වෙසෙන බවත්, තෙළිඟු ජන කොට්ඨාශයේ වත්මන් ප්‍රධාන ආරච්චිල ලෙස කටයුතු කරන කලාවැව තෙළිඟු ගම්මානයේ කේ.ආර්. අනවක්කු මහතා කියා සිටී.

Anawakku 2023.05.02
නොච්චිකුලමේ තෙළිඟු දිවිය


වව්නියාවේ නොච්චිකුලම් ගම්මානය, වත්මන් තෙළිඟු ප්‍රජාව පිළිබඳ කදිම සමීප රූපයකි. බහු සංස්කෘතික වටපිටාවක, සිය පාරම්පරික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින්, පවත්නා සමාජීය වෙනස්කම්වලටද අනුගත වෙමින් සිය ජීවිත ගොඩනගාගන්නට ඔවුන් දරන වෑයම එහිදී දැකගත හැකිය.



මුල්කාලීනව තෙළිඟු ජනයාගේ වාඩි බිමක් වූ නොච්චිකුලම, ඔවුන්ගේ ස්ථීර වාසස්ථානයක් බවට පත්ව ඇත්තේ හැටේ දශකයේ අග භාගයේදීය. ඒ, තඹුත්තේගම සිට පැමිණි තෙළිඟු පවුල් හයකින් බව නොච්චිකුලම් වත්මන් රැහේ නායක තිම්මන්නාගේ ඇගටන්නා කියා සිටී. වර්තමානයේ නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ වෙසෙන මුළු පවුල් ප්‍රමාණය 83කි.

තිම්මන්නාගේ ඇගටන්නා                                    නොච්චිකුලම් තෙළිඟු රැහේ නායක තිම්මන්නාගේ ඇගටන්නා

සොඳුරු අතීත මතක

මෙයට දශක කිහිපයකට පෙර තෙළිඟු ජනයා ගමට පැමිණ වාඩිය අටවා ගැනීම ගම්මුන්ටද අපූරු අත්දැකීමක් වූයේ, සැන්දෑ කාලයේ එම කුප්පායම විනෝදාස්වාදය සපයන ස්ථානයක් වන නිසාය. එකල පිරිමින් උදය වරුවේ නයි හා රිලවුන් නැටවීමටත්, කාන්තාවන් ශාස්ත්‍ර කීමටත් පිටව යන අතර, සවස් කාලයේ සියලු දෙනා වාඩියට එක්වෙති. ඔවුන්ගේ සෑම රාත්‍රියක්ම අමතක නොවන මධුර මනෝහර රාත්‍රීන්ය. වැඩිහිටි පිරිමින් හා කාන්තාවන් රාත්‍රී කාලයේ මත්පැන්  පානය කර අළුයම තෙක් සිංදු ගායනා කරමින් නටමින් විනෝදවීම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානතම අංගයකි. එම අත්දැකීම වත්මනේ අත්විඳිය නොහැකි වනවා සේම, තෙළිඟු ජනයාගේ ආර්ථිකයට මෙන්ම ඔවුන්ගේ පැවැත්මටද එය වඩාත් බලපා ඇති බවක් දැකිය හැක. සිය අතීත ජීවන රටාවට පැරණි පරම්පරාව තවදුරටත් ළෙන්ගතු බවක් දැක්වුවද, වත්මන් පරපුරේ ගරුත්වය සලකා ඔවුන් ඉන් මිදී සිටීමට උත්සාහ කරන බව තිම්මන්නාගේ අනවක්කු කියා සිටී.

සංචාරක දිවියක් ගත කළ සමයේ තම ජනයා විනෝදකාමී සැහැල්ලු දිවියක් ගත කළද, මේ වන විට එම තත්ත්වය උඩුයටිකුරු වී ඇති බව නොච්චිකුලම් වත්මන් තෙළිඟු රැහේ නායකයාගේ බිරිඳ වන ටී. තිම්මන්නා කියා සිටින්නීය. මේ වන විට අසූවියේ පසුවන තිම්මන්නාගේ සිරුරේ නිරාවරණයවු සෑම අඟලකම කලාත්මක ලෙස කෙටු පච්චා, අතීතයේ ඔවුන් ගත කළ විනෝදකාමී සැහැල්ලු දිවියට සාක්ෂි සපයයි.

ටී. තිම්මන්නා               රැහේ නායකයාගේ බිරිඳ, ටී. තිම්මන්නා


“ඒ කාලේ රෑට එහෙම එළි වෙනකම් සිංදු කිය කියා විනෝද වෙන්නේ, අපේ එළුවෝ බූරුවෝ ටික ඒ ගම්වල මිනිස්සුන්ගෙන් බේර ගන්න. ඒ වගේම අපේ ගෑනු අනිත් අයට වඩ ලස්සනයි. හැඩකාරයි. ඉතින් අපි ගමක වාඩි ගහපුවහම ගමේ පිරිමි අපිට වහ වැටිලා වැල නොකැඩී තමා රෑට මෙතනට එන්නේ. අපි අඟර දඟර දාලා නටපුවහම පිරිමි අත දිග ඇරලා සල්ලි විසි කරනවා. නමුත්, දැන් මිනිස්සු එහෙම නෑ. ශාස්ත්‍රයක් අහන්නත් තුන් හතර පාර හෙට්ටු කරනවා. හැබැයි, ගැහැනුන්ට වඩා පිරිමින්ට ශාස්ත්‍ර කියන එක තමා පහසු. මොකද පිරිමි හරි කැමතියි චාටු කථා අහන්න. අපිත් ඉතින් ඒක මදි නොකියන්න කරනවා..“ තිම්මන්නා සිය අතීත මතකයන් අවදි කරමින් කියයි.



නව දිවියේ අභියෝග

මුල්කාලීනව පාරම්පරික වෘත්තීන්ගෙන් යැපුණද පසුව ක්‍රමයෙන් කෘෂිකර්මාන්තයට හා වෙනත් වෘත්තීන්ට යොමු වූ බවත් වර්තමානයේ ආර්ථික ගැටලු, විරැකියාව හා ඉඩම් හිගයෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති බවත් නොච්චිකුලම් තෙළිඟු ජනයා කියා සිටී. විශේෂයෙන් පසුගිය කොවිඩ් වසංගත තත්වය හමුවේ, ඔවුන්ගේ පාරම්පරික ජීවනෝපායන් දැඩි අභියෝගයට ලක් වූ අතර, එම තත්ත්වය මේ වන තුරුත් අවසන් වී නොමැති බව නොච්චිකුලම්යි තෙළිඟු ගම්මානයේ ප්‍රජා නායකයෙකු වූ තිම්මන්නාගේ අනවක්කු අවධාරණය කරයි.

 

තිම්මන්නාගේ අනවක්කුතෙළිඟු ගම්මානයේ ප්‍රජා නායකයකු වන තිම්මන්නාගේ අනවක්කු

“දැන් අපිට අපේ පරණ රස්සා කරන්න අමාරුයි. මොකද අපේ දරුවෝ ස්කෝලෙ යනවා. එයාලා අරගෙන ඉස්සර වගේ රට වටේ යන්න බැහැ. අපි ඒ රස්සා කරනවට දරුවෝ කැමතිත් නෑ. අපිට කිසිම රජයකින් මේ වෙනකම් කුඹුරු කෑල්ලක්වත්, වගා කරන්න ඉඩම්වත්, වතුර ටිකවත් දීලා නැහැ. අපි තෙළිඟු නිසාම හැම රජයක්ම අපිට වෙනස්කම් කරනවා කියලා තමා දැනෙන්නේ...“ අනවක්කු කියා සිටින්කේ, තෙළිඟු ජනයා මුහුණ දී සිටින වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපයයි.



තරුණ පරපුරේ පසුතැවිල්ල

ජෙයශීලා           රංගන් ජෙයශීලා

පසුගිය පරම්පරාව නිසි අධ්‍යාපනයකට යොමු නොවීම වර්තමානයේ තමන් මුහුණ දී සිටින අර්බුදයේ ආරම්භය බව 34 හැවිරිදි රංගන් ජෙයශීලා කියා සිටි. තවමත් තරුණවියේ පසුවන ජෙයශීලා කුඩා අවධියේ අධ්‍යාපනයට යොමු නොවීම හේතුවෙන් පාරම්පරික රැකියාවෙන් ඔබ්බට රැකියාවක් සිතීම පවා දුෂ්කර බව කියා සිටින්නේ, මහත් වූ පසුතැවිල්ලකනි.



“ඇත්තටම මේ තත්ත්වෙත් එක්ක අපිට ගාමන්ට් එකකටවත් යන්න බැහැ. අඩුම තරමින් අපිට වගා කරන්න වතුර ටික හරි දෙනවා නම්, මේ ඉන්න ඉඩමේ හරි උඳු, තල, බඩ ඉරිගු ටිකක් වවාගන්න තිබුණා. මේ අපේ ගමේ තියෙන වැවවත් හදලා ඒකට වතුර ටික ගෙනල්ලා දෙනවා නම්, අපිට අපි ගැන බයක් නැහැ.. “


ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ පසුගිය කාලයේ සිදු වූ විවිධ විපර්යාසයන් නොච්චිකුලම් තෙළිඟු ජනයාගේ ජීවන රටාවට දැඩි සේ බලපා ඇති බවත්, වැඩි දෙනකු සිය පාරම්පරික වෘත්තීන්ගෙන් මිදී වෙනස් වෙනස් රැකියා සදහා යොමු වී ඇති බවක් දැකිය හැක. වර්තමානයේ තරුණ පිරිස් හඳුන්කූරු, සුවඳ විලවුන් හා කොපි පොත් විකිණීම වැනි රැකියාවල නිරත වෙති.

තෙළිඟු ජනයා මුල් කාලයේ සංචාරක දිවියක් ගත කළ බැවින්, ඔවුන්ගේ සාක්ෂරතාව පවතින්නේ ඉතාමත් පහළ තලයක බව නොරහසකි. මේ නිසාම විකල්ප රැකියාවලට යොමු වීමේදී කුලී රැකියාවෙන් ඔබ්බට අවස්ථාවක් හිමි නොවන බව ඔවුහු පෙන්වා දෙති. එසේම තෙළිඟු වීම නිසාම, තම ශ්‍රමය අසල්වැසි ජනයා අඩු මිලකට සූරා කන බව ඔවුන්ගේ අදහසයි.



‘‘කුලී වැඩකට ගියත්, අඩු පඩියට තමා වැඩ ගන්නේ. අපිටම කියලා ඉඩමක් කුඹුරක් තියෙනවා නම්, කාටවත් අත නොපා ජීවත්වෙන්න තිබුණා..” එසේ කියන්නේ, එරන්නාගේ මසන්නායි. ඔහු කාලයක් මුළුල්ලේ වගා කළ ඉඩමද වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෑතකදී තහනම් කර ඇත්තේ, එය රජයේ රක්ෂිතයක් බව කියමිනි.

එරන්නාගේ මසන්නා            එරන්නාගේ මසන්නා


ගොවිතැනට කරන කෙනෙහිලි


“හේන තහනම් කළාට පස්සේ දරුවන්ට කන්න හාල් ටික හරි තියෙන්න ඕනේ කියලා හිතලා වැවට වැලි කොට්ට ගහලා අක්කර භාගයක විතර තුඹුරක් කළා. නමුත්, ඖෂධපිටියේ මිනිස්සු ඇවිත් වැවේ බන්ට් එක කපලා වතුර ටික යන්න ඇරලා. ඒ, මම කුඹුරු කරන හරියේ, එයාලගේ හරක් ටික දාන්න ඕනේ කියලා. මම පොලිසි ගිහින් ඇන්ට්‍රියකුත් දැම්මා. පොලිසියෙන් අහනවා ඖෂධපිටිය ගමේ අයමයි බන්ට් එක කැපුවේ කියලා සාක්ෂි තියෙනවද කියලා...” මසන්නා හෙළි කරන්නේ, මුළුමහත් තෙළිඟු ජනතාවම වර්තමානයේ පත්ව ඇති වෙනස් කොට සැලකීමේ ඛේදනීය තත්වයයි.


නොච්චිකුලම් ගමට අයත් නොච්චිකුලම් වැව, වර්තමානයේ හිස් පිටියකි. ඒ මගින් කුඹුරු අක්කර විසිපහක් පමණ පමණ අස්වැද්දිය හැකිමුත්, රජය ඊට සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. තෙළිඟු ජනයාගේ බඩගින්නට වඩා ඖෂධපිටියේ ගවයන් ගැන රජය සැලකිල්ලක් දැක්වීම ඊට හේතුව බව තිම්මන්නාගේ අනවක්කුගේ අදහසයි. වව්නියාව පාවක්කුලම් වැවෙන් නොච්චිකුලම් වැවට ජලය ගෙන ආ හැකි බව පෙන්වා දෙන ඔහු,  වැව ආසන්නයේ පිහිටි දැනට භාවිතයට නොගන්නා අක්කර හතළිහක පමණ ඉඩම් ප්‍රමාණය තම පවුල්වලට බෙදා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටී. එම ඉඩම්, යුධ ගැටුම්වලට පෙර, තම ජනයා වගා කළ ඉඩම් බව මසන්නා කියයි.

 

9 1“යුද්දෙ ඉවරවෙලා එනකොට අපේ ඉඩම් අල්ලාගෙන”

“අපි 1983 අවුරුද්දේ යුද්දේ නිසා නොච්චිකුලම අතහැරලා තඹුත්තේගමට ගියා. නැවත නොච්චිකුලමට ආවේ, 2012 අවුරුද්දේ. ඒ එනකොට අපේ ඉඩම් ටික අසල්වැසියෝ අල්ලගෙන. තවම අපිට ඒ ඉඩම් ටිකවත් ලබා දෙන්න බලධාරීන් කටයුතු කරලා නෑ...” එයින් කියැවෙන්නේ, නොච්චිකුලම් තෙළිඟු ජනයාගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දක්වන නොසැලකිල්ලයි.


නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ දැනට ජීවත් වන පවුල් 83ක් අතරින් පවුල් 65කට සමෘද්ධි දීමනාව හිමිය. රජයේ රැකියාවල නිරත වන අය ඇත්තේ තිදෙනෙකු පමණි. පැරණි පරම්පරාවේ සාක්ෂරතාව ඉතාමත් පහළ මට්ටමක පැවතියද, වත්මන් පරපුර ඉන් ඔබ්බට ගමන් කිරීම සතුටට කාරණයකි.


නව පරපුරේ අධ්‍යාපනය  


නොච්චිකුලම ගම්මානයේ පාසල් වයසේ පසුවන සියලු දරු දැරියන් අධ්‍යාපන කටයුතුවල නිරත වන බව වව්නියා දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා සහතික කරයි. එහෙත්, පසුගිය අවුරුදු දහය ඇතුළත නොච්චිකුලමෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත්වූවෙකු වාර්තා වී නැත. දරිද්‍රතාව හා වෙනත් කාරණා හේතුවෙන් ඉතාමත් අඩු වයසේදී පාසල් අධ්‍යාපනයෙන් බැහැරවීම නොච්චිකුලමේ  සුලබ කාරණයකි. ඉන් බොහොමයක්, හදුන්කූරු, කොපි පොත්, සුවද විලවුන් විකිණීම වැනි රැකියාවල නිරත වනු දැකගත හැක. කෙසේ වෙතත්, දරිද්‍රතාව හෝ අනෙකුත් සාධක පිළිබඳ තැකීමක් නොකර උඩුගම් බලා පිහිනූ දැරියක් නොච්චිකුලමෙන් වාර්තා වීමද විශේෂත්වයකි. ඒ දිරිය දියණිය, විසිඑක් හැවිරිදි ශිරෝමිකා නියෝමිය.

කුඩා අවධියේදීම කුරුණෑගල ජාත්‍යන්තර පාසලක සිප්සතර හැදෑරු නියෝමි ලන්ඩන් සාමාන්‍යපෙළ විභාගය ඉතාමත් ඉහළින් සමත්වූවාය. පසුව ජීවවිද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය ශාන්ත මරියා බාලිකා විදයාලයෙන් උසස් පෙළ හැදෑරු ඇය මේ වන විට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවේ. ඇයගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක  වීමයි.



 “අපි තෙළිඟු නිසා සමාජය අපිව කොන් කරනවා. අපිට වෙනස් විදියට සලකනවා. මමත් ඒ අත්දැකීම විඳ තියෙනවා. ඉතින් මම හිතුවා, තෙළිඟු කියන්නේ අමුතු සත්තු ටිකක් නෙවෙයි, අපිත් ශ්‍රී ලංකාවෙම තවත් එක ජන කොටසත් කියලා සමාජයට පෙන්නන්නනම්, හොඳින් ඉගෙනගෙන සමාජයේ කැපී පෙනෙන රැකියාවකට යන්නම ඕනේ කියලා. ඉතින් මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ, වෛද්‍යවරියක් වෙලා අපිට එල්ල වෙලා තියෙන මෙන්න මේ  පීඩනයෙන් මිදෙන්න. මගේ තාත්තා ඇත්තටම වීරයෙක්. මම විතරක් නෙවෙයි, මගේ මල්ලිලා දෙන්නත්  ජාත්‍යන්තර පාසල්වලට යවලා හොදට උගන්නන්න මගේ තාත්තට පුළුවන් වුණා. මට භාෂා තුනම හොඳට කතා කරන්න හා ලියන්න පුළුවන්. මට මම ගැන ඇඩම්බරයි....“ නොච්චිකුලම් තෙළිඟු ජනයාගේ ආඩම්බරයක් වූ නියෝමි කියා සිටින්නීය.



වව්නියාව නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය අර්බුදය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම කෙබඳු දැයි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසුවේය.P.A sarathchandara 2023


          
“ඇත්තටම අපි තෙළිඟු ජනතාවටම කියලා විශේෂ වැඩ සටහන් දියත් කරලා නැහැ. ඔවුන්ගේ සංස්කෘතික හැඩගැසීම් එක්ක අපිට වැඩ සටහන් දියත් කරද්දි විවිධ ගැටලු පැන නගිනවා. අපි පසුගිය කාලයේ, රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා උඳු වගේ බෝග වැවීම සිදු කළා. අවාසනාවකට වගේ ඒකෙන් සාර්තක ප්‍රථිපල ලබන්න බැරි වුණා. බොහෝ දෙනෙක් තවමත් ජීවත් වෙන්නේ, ඔවුන්ගේ ගතානුගතික සංස්කෘතියත් එක්ක. ඔවුන් ඇත්තටම ගොවියෝ නෙවෙයි. ඒ නිසා ඔය කියන විධිහට ඉඩම් දුන්නා කියලා වැව් හදලා වතුර දුන්නා කියලා සාර්ථක ප්‍රතිපල ලැබිය හැකිද යන්න  ප්‍රශ්නයක්. සමහර තරුණ පිරිස්වලට මේ තියෙන තත්වය වෙනස් කරන්න ලොකු උවමනාවක් තියෙනවා, මුළු ගමම ඒ ගමනට සූදානම් නැහැ. මේ නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී සියලුම පැති ආවරණය වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි අරමුණ වෙලා තියෙන්නේ.“



තෙළිඟු ප්‍රජාව දිගු කලක් තිස්සේ මුහුණපාන ගැටලුවලට විසඳුම් සෙවීම සංකීර්ණ කාර්යයක් බව ඇත්තකි. රජයට මෙන්ම සමාජයටද එහි කාර්යභාරයක් තිබේ. සමාජයේ සෙසු ජනයා භුක්තිවිඳින අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්තිවිඳීමට ඔවුන්ට අවස්ථාව සැලසීමද වෙනස් කොට සැලකීමෙන් හා කොන් කිරීමෙන් තොරව පොදු සමාජයේ සාමාජිකයන් ලෙස ඔවුන් පිළිගැනීමද එහි ප්‍රමුඛතම අවශ්‍යතාවකි. 

 

 

mangalanath

 

 

 

 

 

 (මංගලනාත් ලියනාරච්චි)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපදේශනය සහ අනුග්‍රහය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි)

 
'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :

07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)

05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)

03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්