leader s

- තාත්තලා චීන වුණාට අම්මලා ලංකාවේ

- ආගම ලැබුණෙත් අම්මලාගෙන්

 

- දත් බැඳීමත් චීන කෑමත් ලංකාවට ගෙනාවෙ අපි


- චීන භාෂාවෙන් කතා කළොත් අපි අපහසුවට පත් වෙනවා

 

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිසා ම වර්තමානයේ චීනයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එහෙත් ලංකාව සහ චීනය අතර සම්බන්ධතා ආරම්භ වූයේ අදක ඊයෙක නොවේ. එය ක්‍රිස්තු පූර්ව යුගය තෙක් ඈතට විහිදෙයි. ලක්දිව රජ කළ මහානාම රජු දවස සිංහල භික්ෂූන් සහ භික්ෂුනීන් චීනයට වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි:ව: 412දී පාහියන් නමැති චීන දේශාඨකයා මෙරටට පැමිණ දෙවසරක් ගත කළ බව මූලාශ්‍රවලින් අනාවරණය වෙයි. කෝට්ටේ යුගයේදී
චීන අධිරාජයා සමග ඇති වූ මතභේදයක් හේතුවෙන් චීන හමුදාවක් මෙහි පැමිණ වීර අලකේශ්වර කුමරු ජීවග්‍රහයෙන් අල්ලාගෙන චීනයට රැගෙන ගිය බවත් කෝට්ටේ යුගයේ රජ කළ VI වැනි පරාක්‍රමබාහු අභිෂේකත්වයට පත් කිරීම චීන අධිරාජයාගේ අනුහසින් සිදු වූ බවත් ඉතිහාසය දෙස් දෙයි.

 

නිව් චයිනීස් ෂැංතුන් ස්ටෝර්ස්, නිව් ෂැන්තුං ටෙක්ස් යන සාප්පු 
අතීතයේ පටන් චීනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තිබුණ ද චීන ජාතිකයන් මෙරට පදිංචි වූ බවක් වාර්තා වී නැත. චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණෙන්නේ මෑත භාගයේදීය.

එසේ මෙරටට පැමිණ පදිංචි වූ අය “ශ්‍රී ලාංකික චීන” ලෙස හැඳින්වේ. අද ජීවත් වන්නේ ශ්‍රී ලාංකික චීන පරම්පරාවේ 2වැනි 3වැනි පරම්පරාවන්ය. ශ්‍රී ලාංකික චීන ප්‍රජාව සොයා ගිය ගමනේදී අනාවරණය කරගත් තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

තෝන් චීෂු ජෙම්සන් චීනයේ බීජිං නගරයේ පිහිටි University School of Stomatology යන විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ දන්ත තාක්ෂණ ශිල්පය වැඩිදුර අධ්‍යයනය කිරීමේ අරමුණෙනි. චීන භාෂාවෙන් පමණක් පැවැත්වෙන දේශන සඳහා ඔහු සහභාගි වුවද ඔහුට ඒ කිසිවක් අවබෝධ වූයේ නැත. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පැමිණ සිටි වෛද්‍ය සිසුවකුගෙන් භාෂා පරිවර්තන සහාය ලබා ගැනීමට ඔහුට අවසර ලැබුණේ එමනිසාය. චීන සම්භවයක් සහ චීන නමක් තිබුණ ද ඔහුට චීන භාෂාව අවබෝධ නොවූයේ ඔහු ශ්‍රී ලාංකික චීන (Sri Lankan Chinese) ජාතියකු වූ බැවිනි.

 

වැඩිදුර අධ්‍යාපනය ලැබීමට චීනයට ගිය තෝන් චිෂු ජෙම්සන්
ජෙම්සන්ගේ පියා තෝන් යුවන්දු චීන ජාතිකයෙක් වුවද ඔහුගේ මව මහනුවර ප්‍රදේශයේ සිංහල කාන්තාවකි. සිංහල බෞද්ධයකු ලෙස හැදී වැඩුණු ජෙම්සන් අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විදුහලෙනි.

“චීනය සහ ජපානය අතර තිබුණු යුද්ධය එක්ක ඒ කාලේ මගේ තාත්තාට සිද්ධ වුණා චීන හමුදාවට බැඳෙන්න. යුද්ධයෙන් පස්සේ 1940 ගණන්වල මගේ තාත්තා ඇතුළු චීන ජාතිකයන් පිරිසක් රටවල්වල දේශ සීමා පැනගෙන ඉන්දියාවට ඇවිත් තියෙනවා. ඉන්දියාවේ ඉඳන් ලංකාවේ ත්‍රිකුණාමලයට ඇවිත් තියෙන්නේ නැවෙන්. තාත්තා එක්ක ආපු සමහර චීන ජාතිකයන් පකිස්ථානය, ඉන්දුනීසියාව වගේ රටවල්වල නැවතිලා තිබුණා. එක්නෙක් අතරමගදි හමු වූ නේපාල ජාතික යුවතියක් සමග හාද වෙලා එයාවත් අරගෙන ලංකාවට ඇවිත් තියෙනවා. චීනයේ ඉඳලා තාත්තා සමග ආපු අයියා - මලෝ දෙදෙනකුගෙන් අයියා පකිස්තානයේ නැවතුණු බවත් මල්ලි ලංකාවට පැමිණි බවත් අපි එක්ක කියා තිබෙනවා. ඒ කාලේ ආසියාවේ බොහෝ රටවල් බ්‍රිතාන්‍යයේ යටත්විජිත නිසා දේශ සීමා පැනගෙන එන එක ඒතරම් අමාරු වෙලා නැහැ.” යනුවෙන් සඳහන් කළේ තෝන් චීෂු ජෙම්සන් ය.

 

ශ්‍රී ලාංකිකයන් වූ හැටි

 

1930 දශකයේ අග භාගයේ සිට 1940 දශකයේ මුල් භාගය දක්වා චීනයෙන් ලංකාවට පැමිණ පදිංචි වූ චීන ජාතිකයන්ගෙන් පැවතෙන පරපුර ශ්‍රී ලාංකික චීන (Sri Lankan Chinese) ලෙස හැඳින්වේ.

එවකට මෙරටට පැමිණි චීන ජාතිකයන් පිරිස 100කට වැඩිය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පුරුෂයින් වන අතර කාන්තාවන් පැමිණ ඇත්තේ කිහිපදෙනෙකි. කොළඹ, මරදාන, ගාල්ල, මහනුවර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, අවිස්සාවේල්ල වැනි විවිධ ප්‍ර‍දේශවල ජීවත් වන ශ්‍රී ලාංකික චීන පරපුරට තිබෙන්නේ වසර 100කටත් අඩු ඉතිහාසයකි. ලංකාවට පැමිණි මුල් පරම්පරාව රෙදි වෙළඳාම, හෝටල් කර්මාන්තය සහ චීන දන්ත කාර්මික වෘත්තිය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්කරගෙන තිබේ. ලංකාවට පැමිණි චීන ජාතිකයන් මෙරට කාන්තාවන් සමඟ විවාහ වීමෙන් අනතුරුව යම් පිරිසක් මෙරට පුරවැසිභාවය ලබාගෙන ඇත. ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතිකවල ජාතිය ලෙස සඳහන් වී තිබෙන්නේ ශ්‍රී ලාංකික චීන (Sri Lankan Chinese) ලෙසිනි.           

 

ලිව් කිම් ෂන්                                                                                                                                    

“මගේ තාත්තා ලංකාවට ඇවිත් තියෙන්නේ එයාට අවුරුදු 18දී. මගේ තාත්තාගේ පවුලේ 16 දෙනෙක් ඉඳලා තියෙනවා. සිවිල් යුද්ධ එක්ක රට තුළ ඇති වුණ ආර්ථික ප්‍රශ්න, දරිද්‍රතාව නිසයි මගේ තාත්තා ලංකාවට ඇවිත් තියෙන්නේ. ඒ මුල් කාලේ ලංකාවේ විවිධ පැතිවලට ගිහින් කෑම්ප් ගහලා ඒ කට්ටිය ඉඳලා. කෑම්ප් එකේ ගොඩාක් දෙනා රෙදි පොට්ටනි බැඳගෙන බයිසිකල්වලින් රෙදි විකුණන්න ගම්මානවලට ගියාලු. මගේ තාත්තා කෑම්ප් එකේ ඉවුම් පිහුම් වැඩවලට උදව් කරන්න, ආවතේව වැඩවලට තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ බයිසිකල්වලින් රෙදි විකුණපු අය පස්සේ රෙදි සාප්පු දැම්මා. ඉවුම් පිහුම් කරපු අය හෝටල් පටන් ගත්තා.” යනුවෙන් ලිව් කිම් ෂන් පැවසුවේය. බයිසිකල්වලින් ගම්මානවලට ගොස් රෙදි විකුණන වෙළඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් “චීන අඩි” නම් සටන් ශිල්පය භාවිත කර ඇති අතර, ලාංකිකයන්ට එම ශිල්පය දායාද වී ඇත්තේ ඔවුන්ගෙනි.

 

දිවයින පුරා විසිර යෑම

 

“මගේ තාත්තා දත් බැඳීම චීන දත් බඳින අයගෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ කාලේ බයිසිකලය අරගෙන ගිහිල්ලා පොළවල්වල තියාගෙන දත් ශුද්ධ කිරීම, දත් බැඳීම කළා කියලා තාත්තා කියලා තියෙනවා. 1962 අවුරුද්දේ තාත්තා මරදානේ දත් බඳින සාප්පුව පටන් ගත්තා. අද මම ඒක කරගෙන යනවා.” ලිව් කිම් ෂන් තවදුරටත්  විස්තර කළේය. ඔහුගේ පියා ලිව් කී බෙන් වන අතර ඔහුගේ චීන දන්ත කාර්මික සාප්පුව නම් කර තිබෙන්නේ ඒ නමිනි.

 

photo 2ඔහුගේ පියා ලිව් කී බෙන් වන අතර ඔහුගේ චීන දන්ත කාර්මික සාප්පුව නම් කර තිබෙන්නේ ඒ නමිනි.
මරදානේ පිහිටි ලිව් කී බෙන් දන්ත කාර්මික සාප්පුවට අමතරව ශ්‍රී ලාංකික චීන ජාතිකයන්ට අයත් තවත් සාප්පු කීපයක් තිබේ. චයිනීස් යුනියන් ස්ටෝර්ස් හොංකොං ටෙක්ස්ටයිල්, චින්කෝ ස්ටෝර්ස්, නිව් චයිනීස් ෂැංතුන් ස්ටෝර්ස්, නිව් ෂැන්තුං ටෙක්ස් යන සාප්පු දිස් වන විට දෙවෙනි මරදාන “චයිනා ටවුන්” එකක්දැයි සිතෙනු වැළැක්විය නොහැකිය.                                                                                                                                                                                                      

ලංකාවේ “චයිනා ටවුන්” නැති වුවද චීන ජාතිකයන් වාසය කළ බැවින් “චීන කොරටුව” යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයක් ගාල්ලේ තිබේ. ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතික ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලයේ චීනයේ පිනෑං හී සිට චීන ජාතිකයන් 47 දෙනකු ගාල්ලට රැගෙන ආ බව පොතපතෙහි සඳහන් වේ. ඊට අමතරව ලන්දේසි පාලන කාලයේදී චීන ජාතිකයන් මෙරටට පිටුවහල් කර ඇත. කෙසේ නමුදු ලංකාවේ ගාල්ලට පැමිණි චීන ජාතිකයන් ඔවුන් ජීවත් වූ ප්‍රදේශයේ තක්කාලි, අමුමිරිස්, වම්බටු, කරවිල, පතෝල වැනි එළවළු වගා කර තිබේ. සතුන්ගේ උපද්‍රවවලින් ආරක්ෂා වීමට මෙකී ප්‍රදේශය කොටු කර වැටවල් ගසා ඇත. ඉන්පසු මෙම ප්‍රදේශය “චීන කොරටුව” යනුවෙන් ව්‍යවහර විය. ගාල්ල වරායට පැමිණෙන නැව්වලට කඹ අඹරා තිබෙන්නේ ගාල්ල චීන කොරටුවේ විසූ චීනුන් විසිනි.   

       

චීන කොරටුවචීන කොරටුව                 

ගාල්ල ප්‍රදේශයේ ජීවත් වන සිංහලයන් සමග ඉතා සුහදශීලිව ඇසුරු කළ මෙම චීන ජාතිකයෝ පසු කලෙක සිංහල කාන්තාවන් සමග විවාහ වූහ. ඔවුන්ගේ දූදරුවන් සිංහල ආභාෂයට හැදුණු වැඩුණු අතර අද ජීවත් වන දරුවන්ගේ දරුවෝ සිංහලයන් ම වී සිටිති. එබැවින් එහි දක්නට ලැබෙන්නේ චීනුන් නැති චීන කොරටුවකි.


 ‘පිය බස’ අහිමි වීම

 

වොන් ධර්මසේන සහ වොන්ගේ පියා

 

චීන කොරටුවේ ජීවත් වන එකම චීන ජාතිකයා වන්නේ වෝන් ධර්මසේන ය. 76 වැනි වියේ පසුවන වෝන් ධර්මසේන ගාල්ල නගරයේ චීන දත් බැඳීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි. එහෙත් ඔහුගේ පියා ගාල්ලට පැමිණ ඇත්තේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා සමයේ පැමිණි චීන ජාතිකයන් සමග නොවේ.                                                                                                                                                                                               

ලිව් කිම් ෂන්ගේ පියා වන ලිව් කී බෙන් ඇතුළු මෙරටට පැමණි පිරිස සමග ය. වෝන් ධර්මසේනගේ පියා මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වීමෙන් අනතුරුව මරදානේ ජීවත් වී තිබේ. චීන දත් බැඳීමේ ව්‍යාපාරයක නිරත වූ වෝන් ධර්මසේනගේ පියා ගාල්ලට පැමිණියේ 1964 දීය. වෝන් ධර්මසේන අකුරැස්ස ප්‍රදේශයේ සිංහල කාන්තාවක් සමග විවාහ වී අද දරු මුනුපුරන් මිනිපිරියන් සමග සතුටින් කල් ගත කරන්නේ චීන කොරටුවේ ජීවත් වන එකම චීන ජාතිකයා ලෙසිනි. නාමයෙන් සහ රූපයෙන් චීන ස්වරූපය පෙන්නුම් කළ ද ලාංකීය චීන පරපුරේ බොහෝ දෙනෙකුට මෙන්ම ඔහුටද චීන භාෂාව පිළිබඳ අවබෝධයක් නැත.

 වොන් ධර්මසේන සහ වොන්ගේ පියා 1


“මරදානේ මගේ රෙදි සාප්පුවටත් සමහර වෙලාවට චීන ජාතිකයන් එනවා. මඟතොටේදීත් හමුවන අවස්ථා තිබෙනවා. ඒ අය මා එක්ක චීන භාෂාවෙන් කතා කරනවා. ඒ වෙලාවට මම අසරණ වෙනවා.” යනුවෙන් සඳහන් කළේ මරදානේ චයිනීස් යුනියන් ස්ටෝර්ස් අධිපති ලියු යුං ෂන් ය. වරක් ලියු යුං ෂන් පවුලේ ඥාතීන් සමග මෙරට ඓතිහාසික වටිනාකමින් යුක්ත සිද්ධස්ථාන නැරඹීමට ගිය අවස්ථාවක එහි සිටි නිලධාරින් ඔහුගෙන් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියේ එම ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවක් ලබා ගන්නා නිසා ය.   
 
“මම මේ රටේ ඉපදුණු කෙනෙක්. මම ශ්‍රී ලාංකිකයෙක්.” ලියු යුං ෂන් පැවසීය. එය ඇසූ නිලධාරීන් විමතියට පත්වූයේ ඔහුගේ බාහිර පෙනුම චීන ජාතිකයකුට සමාන වූ නිසාය. අවසානයේදී ලියු යුං ෂන්ට ඔහුගේ ජාතික හැඳුනුම්පත පෙන්වීමට සිදු විය.
 

“මගේ තාත්තා චීනයේ ඉඳලා ඉන්දියාව හරහා ලංකාවට ආපු බව තමයි මම දන්නේ. මෙහාට ආපු හේතුව නම් මම හරියටම දන්නේ නැහැ. තාත්තා විවාහ වුණේ මහනුවර සිංහල කාන්තාවක් සමග. විවාහයෙන් පස්සේ ත්‍රිකුණාමලයේ පදිංචි වෙලා තියෙනවා. මම ඉපදුණේ ත්‍රිකුණාමලයේ. මගේ තාත්තා චීන දත් බඳින කාර්මිකයෙක්. ඒත් මම දත් බඳින්න ඉගෙනගත්තේ නැහැ. මගේ අයියායි මල්ලියි ඒක ඉගෙනගත්තා. අද එයාලා අනුරාධපුරයේ දත් බැඳීමේ ව්‍යාපාර කරගෙන යනවා. මම විවාහයෙන් පසුව කොළඹ ආවා. මගේ බිරිඳත් මම වගේම කෙනෙක්. ඒ කියන්නේ බිරිඳගේ තාත්තා චීන ජාතිකයෙක්. අම්මා සිංහල කෙනෙක්. බිරිඳගේ කට්ටිය තමයි 1951 දී මේ රෙදි සාප්පුව පටන් අරං තියෙන්නේ. මම මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා.” ලියු යුං ෂන් ඔහුගේ වතගොත දිග හැරියේ එලෙසිනි.

 
ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙකි. අද දියණියන් දෙදෙනාම විවාහයෙන් අනතුරුව විදේශගත වී සිටිති.


මව්බස- සිංහල වීම

 

chainiessචයිනීස් යුනියන් ස්ටෝර්ස් හොංකොං ටෙක්ස්ටයිල් 
හොරණ පදිංචි වී සිටින තෝන් චීෂු ජෙම්සන්ගේ පියා විවාහ වී ඇත්තේ ද මහනුවර පදිංචි සිංහල කාන්තාවක් සමගය. මරදානේ පදිංචි වී සිටින ලිව් කිම් ෂන් විවාහ වී සිටින්නේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ කාන්තාවක සමගය. ලිව් කිම් ෂන්ගේ මව කෑගල්ලේ කාන්තාවකි.
 
“චීනයේ ඉඳලා ආපු කට්ටිය ත්‍රිකුණාමලයෙන් තමයි ලංකාවට ඇතුළු වෙලා තියෙන්නේ. ඊටපස්සේ අනුරාධපුරය ප්‍රදේශයෙත් ඉඳලා තියෙනවා. මම හිතන විදිහට ත්‍රිකුණාමලය, අනුරාධපුරය ප්‍රදේශවල දේශගුණය එයාලාට අල්ලන්නේ නැතිව ඇති. චීනයේ තියෙන්නේ ශීත දේශගුණයක්නේ. ඒනිසා මහනුවර ප්‍රදේශයට සේන්දු වෙලා එහේ ටික කාලයක් ජීවත් වෙන්න ඇති. එතනදි ඇතිවුණු සම්බන්ධතා අනුව විවාහයන් වෙන්න ඇති කියලා මම අනුමාන කරනවා. ඒනිසා වෙන්න ඇති චීන ජාතිකයන් වැඩිදෙනෙක් මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වෙලා තියෙන්නේ.” යනුවෙන් කරුණු කාරණා පැහැදිලි කළේ තෝන් චීෂු ජෙම්සන් ය.                

ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයන්ගෙන් බහුතරයක් සිංහල කාන්තාවන් සරණ පාවා ගත්තද දමිළ කාන්තාවක් විවාහ කරගත් චීන ජාතිකයකු ගැනද අපට වාර්තා විය. එකී විවාහයෙන් අනතුරුව ඔහු නැව් රැකියාවට යොමු වීම නිසා මෙරට සබඳතාවන් ගිලිහී ගොස් තිබේ. ශ්‍රී ලාංකික චීන ප්‍රජාවේ 2වැනි පරම්පරාවේ එක් චීන ජාතිකයෙක් දමිළ කාන්තාවක සමඟ විවාහ වී ත්‍රිකුනාමලයේ පදිංචිව සිටියි. එම පරම්පරාවේම තවත් අයෙක් මුස්ලිම් කාන්තාවක සමඟ විවාහ වී පිටකොටුවේ පදිංචිව සිටියි. මෙම දෙදෙනාම දත් බැඳීමේ ව්‍යාපාර පවත්වාගෙන යති.         

                                                                                                                                                          
දත් බැඳීමේ ශිල්පය

 

liu yu shanලියු යුං ෂන්


තෝන් චීෂු ජෙම්සන්ගේ පියා විවාහයෙන් අනතුරුව මාවනැල්ලේ චීන දත් බඳින සාප්පුවක් ආරම්භ කර තිබේ. ඉන්පසුව ව්‍යාපාරය වැල්ලම්පිටිය ප්‍රදේශයට ගෙනැවිත් ඊටත් පසුව හොරණට සේන්දු වී ඇත. පියාගේ චීන දත් බඳින සාප්පුව අද පවත්වා ගෙන යන්නේ තෝන් චීෂු ජෙම්සන් නමැති පුත්‍රයා ය. එහෙත් ඔහු අද එය හෝමාගමට රැගෙන’විත් තිබේ. චීන පාරම්පරික දත් බැඳීමේ ශිල්පය චීනයේ දකුණු ප්‍රදේශයේ හුබේ පළාත කේන්ද්‍ර කර ගත් වෘත්තියකි. රෙදි වෙළඳාම උරුම වී තිබෙන්නේ චීනයේ උතුරු ප්‍රදේශයේ ෂන්දුන් පළාතට ය. මෙම දෙපළාතෙන්ම පැමිණි චීන ප්‍රජාවගේ අපූරු සංකලනය අපට කොළඹ මරදානේදී දැකගත හැකිය. එමෙන්ම ෂන්දුන් පළාතේ සිට මෙරටට පැමිණි රෙදි වෙළෙන්දන් සමග කටයුතු කර පසුව හුබේ පළාතේ අයගෙන් චීන දත් බැඳීම ඉගෙනගත් ලිව් කී බෙන් වැනි අය ද හුබේ පළාතෙන් පැමිණ චීන දත් බැඳීම ජීවනෝපාය කරගත් පියාගේ වෘත්තියෙන් බැහැරව රෙදි ව්‍යාපාරයේ නිරත ලියු යුං ෂන් වැනි අය ද මෙහි නැතිවා නොවේ.
 

“ෂන්දුන් සහ හුබේ පළාත්වලින් ආපු අයගේ වෙනස්කම හොයාගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ ස්වාභාවයෙන් නෙමෙයි. භාෂා උච්චාරණයෙන්. ලංකාවෙත් තියෙනවානේ උඩරට පළාතේ අය කතා කරන විදිහෙයි, දකුණු පළාතේ අය කතා කරන විදිහෙයි වෙනස්කම්. අන්න ඒවගේ තමයි හුබේ සහ ෂන්දුන් පළාත්වල අයගෙත් වචන උච්චාරණය කරන විදිහේ වෙනස්කම් තියෙනවා.” යනුවෙන් ලිව් කිම් ෂන් පැහැදිලි කළේය.


(ශ්‍රී ලාංකික චීන ප්‍රජාවේ නව පරපුර ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.)

 
Hasrha Sugathadasaහර්ෂා සුගතදාස
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
උපදේශනය සහ අනුග්‍රහය ඉන්ටනිව්ස්
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්