leader s

“ලොරෙන්සෝද අල්මේදා - කොළොම්තොටට යහපත් නාවිකයා... 
හංදි කඩේ ලෑලි පුටින් - ඩිනර් පාටි අතින් කටින්..”


ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ගායනා කරන මෙම ගීතය නොඇසූ කෙනෙකු නැති තරම්ය. 

ගීතයෙන් කියැවෙන පරිදි ලොරෙන්සෝද අල්මේදා ගොඩබැස්සේ කොළොම්තොටටද, නැත්නම් ගාලු තොටටද යන්න පිළිබඳව ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැතත්, 1505දී සිදු වූ එම ආගමනය ලංකා ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් බවට විවාදයක් නැත.

image d7c5f6c547ලොරෙන්සෝද අල්මේදාඅදින් සියවස් පහකට පෙර මෙරටට පැමිණි ලොරෙන්සෝද අල්මේදාගේ පරපුරේ සාමාජිකයන් තවමත් ලංකාවේ ජීවත් වන බව බොහෝ දෙනෙක් නොදන්නා අපූරු කතාන්දරයකි. ඉහත ගීය, ඔවුන්ගේ ජීවිතවල එක් පැතිකඩක් වන සරල, විනෝදකාමී චර්යාව ගැන ඉඟි කරයි. සිය ආදිතමයින්ගෙන් උරුම වූ දේහ ලක්ෂණ, සුවිශේෂ හැකියාවන්, සංස්කෘතිකාංග හා ඇවතුම් පැවතුම් සහිත ඔවුහු මේ වන විට උරුමයෙන්ද, හදවතින්ද ශ්‍රී ලාංකිකයන් බවට පත්ව සිටිති. පෘතුගීසි පරපුරේ වර්තමාන නිජබිම වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතයි. 

ලාංකීය පෘතුගීසි පරපුර 

පොදු ව්‍යහාරයේ බර්ගර් ජාතිකයන් ලෙස සහ සාමාන්‍ය ව්‍යහාරයේ ලංසින්, පරංගීන් ලෙස හැඳින්වුවද, අප රටේ වෙසෙන බර්ගර්වරුන් පෘතුගීසි බර්ගර්, ඩච් බර්ගර් සහ කැෆර් බර්ගර් ලෙස වර්ගීකරණයට ලක් වේ. පෘතුගීසි බර්ගර්වරුන් රෝමානු කතෝලිකයන් වන අතර, ඩච් බර්ගර්වරු ප්‍රොතෙස්තන්ත හෙවත් ඇන්ගලිකන්වරු වෙති. 

 

Sri Lanka que descende de portugueses 1024x536පෘතුගීසි බර්ගර් විවාහයක්
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව විසින් 2011- 2012 වසරේදී සිදු කරන ලද සංගණයට අනුව මෙරට වෙසෙන බර්ගර්වරුන් ප්‍රමාණය 37,061කි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 0.2කි. එම සංගණනයට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ 4000-5000 බර්ගර් ජනගහනයක්ද ත්‍රිකුණාමලයේ බර්ගර් පවුල් 250-300 පමණද සිටින බව අනාවරණය වී තිබේ. ඊට අමතරව අම්පාර, පුත්තලම, යාපනය, මහනුවර යන දිස්ත්‍රික්ක තුළද පවුල් සුළු සංඛ්‍යාවක් ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත බර්ගර් ප්‍රජාව සම්බන්ධයෙන් මිස පෘතුගීසි ප්‍රජාව සම්බන්ධයෙන් වෙනම දත්ත නොමැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව කියා සිටී.

ශ්‍රී ලංකාවේ වෙසෙන පෘතුගීසි ප්‍රජාව සම්බන්දයෙන් පෘතුගාලයේ ලිස්බන් නුවර විශ්වවිද්‍යාලයක් මගින් ලංකාවේදී වසර කිහිපයක් මුළුල්ලේ සිදු කර ඇති සමීක්ෂණයක් මගින් මෙරට වෙසෙන පෘතුගීසි ප්‍රජාව සම්බන්ධයෙන්  වටිනා තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වී  ඇත.

භාෂා උරුමය 

2බර්ගර් යුවළක් දැක්වෙන පැරණි චිත්‍රයක්ඉහත සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන මුළු පෘතුගීසි ජනගහනයෙන් පෘතුගීසි භාෂාව කතා කරන ප්‍රමාණය සියයට 25.53කි. මෙරට පෘතුගීසි ප්‍රජාවට අයත් වැඩිම පිරිසක් ජීවත්වනුයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වුවත්, පෘතුගීසි භාෂාව කතා කරන වැඩිම පිරිසක් සිටිනුයේ ත්‍රිකුණාමලයේය. එම ප්‍රමාණය සියයට 38.38කි. මඩකලපුවේ එම ප්‍රමාණය 25.56කි. අම්පාර දිස්ත්‍රික්කයේ 15.6කි. එම පර්යේෂණයට අනුව පෘතුගීසින් 1505 සිට 1658 දක්වා පමණක් මෙරට පාලනය කළද, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමය වන 19 වන ශත වර්ෂය දක්වාම පෘතුගීසි භාෂාව මෙරට ප්‍රධාන භාෂාවක් ලෙස පැවතී තිබේ. 

ලන්දේසි පාලන සමයේදී ඔවුන්ගේ භාෂාව වූ ඩච් භාෂාවට වඩා පෘතුගීසි භාෂාව ප්‍රබලව පැවති බව මෙම වාර්තාව මගින් හෙළි වී ඇත. වර්තමානයේ මෙරට වෙසෙන ඩච් බර්ගර්වරුන් හෙවත් ලන්දේසි බර්ගවරු කිසිවෙකුත් ඩච් භාෂාව කතා නොකරන නමුදු, ඔවුන්ගෙන් වැඩි දෙනකු පෘතුගීසි භාෂාව කතා කරන බව දැකිය හැක. 

වෙස්ලියන් පූජකවරයෙකු වන පූජ්‍ය ජෝන් කැලවේ විසින් ඔහුගේ කෘතියක සඳහන් කර ඇත්තේ, ඉංග්‍රීසි පාලන සමයේදී පවා 'සිලෝන් පෘතුගීස්' භාෂාව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ තීරය තුළ හා විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ සැලකියයුතු ව්‍යාප්තියක් පැවති බවයි. 

පෘතුගීසි- ඩච් නෑකම් 

ග්රැලැඩ්වින් ඩෙරික් කෙයිල්මෙරට වෙසෙන බර්ගවරුන් පෘතුගීසි බර්ගර් හා ඩච් බර්ගර් යනුවෙන් අනන්‍යතා දෙකකට අයත් වුවද, මේ වන විට මේ දෙපිරිසම වෙන් කොට හඳුනා ගත නොහැකි පරිද්දෙන් සමාජීය හා සංස්කෘතික වශයෙන්  සමානකමක් දක්වයි. විශේෂයෙන් මෙරට වෙසෙන ඩච් බර්ගර්වරුද පෘතුගීසි භාෂාව භාවිතා කරන අතර, මේ දෙපිරිසම ඉංග්‍රීසි භාෂාවද කතා කරති. ඔවුනොවුන් අතර ආවාහ විවාහ භේදයකින් තොරව සිදු වන බවත්, ඇදුම් පැලඳුම්, සංස්කෘතික අංගයන්, ජීවන වෘත්තීන් ආදියෙහි වෙනසක් දැකිය නොහැකි බවත් ඉහත  පර්යේෂණයෙන් හෙළි වී ඇත. 

පෘතුගීසින් විසින් මෙරටට හඳුන්වා දුන් කපිරිඤ්ඤා බයිලා හා නර්තනයනට භේදයකින් තොරව දෙපාර්ශ්වයම උරුමකම් කියති. ත්‍රිකුණාමලය පෘතුගීසි තරුණ සංගමයේ සභාපති, ජනප්‍රිය ගායන ශිල්පී ග්ලැඩ්වින් ඩෙරික් කෙයිල් පවසන්නේ, කපිරිඤ්ඤා යනු ශ්‍රී ලාංකීය පෘතුගීසීන්ගේ නිර්මාණයක් බවයි. ඔහු මෑතකදී රූපවාහිනී රියැලිටි වැඩසටහනකදී සිය ප්‍රජාව පිළිබඳ සමාජ අවධානයට ලක් කිරීමට සමත් විය.

 

.

කපිරිඤ්ඤා හැදුවේ අපි

“මේ කපිරිඤ්ඤා නැටුමේ තියෙන සංගීතය පෘතුගීසීන්ගේ වුණාට, කපිරිඤ්ඤා කියන්නේ පෘතුගාලයෙන් ආපු නැටුමක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා පෘතුගීසින්ගේ නිර්මාණයක්. පෘතුගීසින් ලංකාවට එනකොට වහල්ලු විදියට කැෆර්ලා ගෙනල්ලා තියෙනවා. පෘතුගීසි කියන්නේ, විනෝදකාමී ජාතියක්. මෙයාලාගේ සාදවලදි කැෆර්ලා යොදා ගෙන හදපු නැටුමක් තමයි මේ කපිරිඤ්ඤා කියලා හඳුන්වන්නේ. බයිලා ලංකාවට හඳුන්වලා දෙන්නෙත් පෘතුගීසින්. ලංකාවට බයිලා ගෙනාවේ වොලී බැස්ටියන් කියලා සිංදුවක තිබුණට ඇත්තටම ලංකාවට බයිලා ගෙනාවේ පෘතුගීසින්. නමුත්, වොලී බැස්ටියන් කියන්නෙත් ශ්‍රී ලාංකීය පෘතුගීසි ජාතිකයෙක්.” 

2 එමර්ෂන් රාගල් පියතුමාඑමර්ෂන් රාගල් පියතුමාපෘතුගීසින් මුල්වරට ගාල්ලෙන් මෙරටට පැමිණි බව සැලකුණද, මාධ්‍යවේදී සජීව විජේවීර මහතා කියන්නේ වර්තමානයේ ගාල්ලේ එකදු පෘතුගීසි ජාතිකයකු හෝ වාර්තා නොවන බවය. පෘතුගීසීන් දකුණට වඩා නැගෙනහිරට ප්‍රිය කළේ ඇයි? ත්‍රිකුණාමලය පාලයුත්තු ලුර්දුමාතා දේවස්ථානයේ සහයක පියතුමා වන එමර්ෂන් රාගල් පියතුමා ඒ ගැන මෙසේ පැහැදිලි කළේය. 

රෝමානු කතෝලික ආගම

“පෘතුගීසි අපේ රටට ආවේ, කුළුබඩු හොයන්නම විතරක් නෙවෙයි. එයාලගේ අනෙක් අරමුණ වුණේ, ආගම ප්‍රචාරය කිරීම. ඒකට හොඳම හා පහසුම ප්‍රදේශය වුණේ, නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත භූමිය. මොකද ඒ කාලේ, ලංකාවේ රජතුමාගේ බලය මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණේ ඉතාමත් සුළුවෙන්. නමුත්, ගාල්ල හා කොළඹ ප්‍රදේශවල බෞද්ධ බලපෑම ඉතාමත් ඉහළ මට්ටමක පැවති නිසා කතෝලික ආගමට හැරුණු පිරිස අඩුයි. පෘතුගීසි පාලන කාලයේ, රජයේ ඉහළ අනුග්‍රහයක් රෝමානු කතෝලික ආගමට ලැබුණා. ඒකෙ ප්‍රතිපලයක් විදියට රට පුරාම රෝමානු කතෝලික දේවස්ථාන ඉදිකෙරුණා. අපේ රටේ හිටිය බෞද්ධයන් විශාල පිරිසක් නම්ගම් වෙනස් කරලා කතෝලිකයන් හැටියට බෞතිස්ම වුණා. මේ රටේ බණ්ඩලා අප්පුහාමිලා- පෙරෙයිරා, ප්‍රනාන්දුලා, ඇන්තනීලා, අල්පොන්සුලා, සොයිසලා වුණේ ඒ විදිහටයි.” රාගල් පියතුමා පැවසුවේය.

3 ජ්යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහමහාචාර්ය මාලිංග අමරසිංහපෘතුගීසින් ශ්‍රී ලාංකීය ජන සමාජයට හා සංස්කෘතියට කර ඇති බලපෑම සුළුපටු නැත. මෙරට පිහිටි බොහෝ බෞද්ධ වෙහෙර විහාරවල පවා බොහෝ දුරට පෘතුගීසි ගෘහ නිර්මාණ ලක්ෂණ ගැබිව ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා පෙන්වා දෙයි. කැලණි විහාරයේ ප්‍රකට තොරණද පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉදිකරන ලද්දක් බවද බොහෝ කලක් පෘතුගීසි පාලනයට නතුව තිබු ඉන්දියාවේ කේරලයේ ක්‍රිස්තියානි දේවස්ථාන රැසකම කැලණි විහාරයේ තොරණට සමාන තොරන් දැකිය හැකි බවද මහාචාර්ය අමරසිංහ පැවසුවේය. 

ඉස්පිරිතාලේ-ඉස්කෝලේ සහ කැරකෝප්පුව 

 

4 හර්මන් ජෝෂප් අනුරාධපුරයහර්මන් ජෝෂප් අනුරාධපුරය


12 2අනුරාධපුර ඉසුරපුර පදිංචි 79 හැවිරිදි හර්මන් ජෝෂප් මහතා දක්ෂ වාදන ශිල්පියෙකි. ඔහුගේ පියා රාජකීය නාවික හමුදාවේ සිම්පනී ඔගස්ටාවේ වයලීන් වාදකයෙකු ලෙස කටයුතු කර ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රිසි හා තවත් භාෂා කිහිපයක නිපුණයෙකු වන ඔහු භාෂා පරිවර්තකයෙකු ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලාංකීය සමාජ හා සංස්කෘතික රාමුවට පෘතුගීසින් සිදු කළ බලපෑම සම්බන්ධයෙන් හර්මන් ජෝෂප් මහතාට ඇත්තේ පෘතුල දැනුමකි.

“වර්තමානයේ අපේ රටේ කතා කරන වචන බොහොමයක් පෘතුගීසි චවන. ඉස්පිරිතාලේ, ස්කෝලේ, ජනේලේ, කැරකෝප්පුව, අට්ටාලේ, මේසේ... මේ හැම වචනයක්ම පෘතුගීසි වචන. පෘතුගීසින් සිංහල භාෂාවට එකතු කරපු තරම් වචන ලන්දේසින් හෝ ඉංග්‍රීසින් එකතු කරලා නැහැ. ඉතින් අතීතයේ අපි මේ රටට ආක්‍රමණිකයෝ විදිහට ආවට දැන් අපිත් මේ රටේම පිරිසක්. හැබැයි අද වෙන කොට අපි ගැන කවුරුත්ම සැලකිල්ලක් නැහැ. අඩුම තරමින් අපිට අපේ භාෂාව සහ සංස්කෘතිය රැක ගන්නවත් හැකි තත්වයක් නැහැ. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලයි.“

සමාජීය- සංස්කෘතික අනන්‍යතා

5 නිව්ටන් ෂෙලර් මඩකලපුවනිව්ටන් ෂෙලර්මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පෘතුගීසි ජනයාගේ සමූහිකත්වයක් දැක ගත හැකි අතර ඔවුන් සිය සංස්කෘතික හා සාමාජීය උරුමයන් රැක ගැනීම අරමුණු කර ගනිමින් විවිධ සංවිධාන හා සංගම් පිහිටුවා ගෙන තිබේ. මඩකලපුව බර්ගර් සමාජය එවැන්නකි. මඩකලපුව ත්‍රිකුණාමලය වීදියේ පදිංචි නිව්ටන් සෙලර් කියන්නේ, සිය පාරම්පරික පෘතුගීසි උරුමයන් අනාගත පරපුර වෙත ඉතිරි කර දීමේ අරමුණින් බර්ගර් ෆෝල්ක්ස් (Burger Folks) නමින් සංගීත කණ්ඩායමක් මඩකලපුවේ වෙසෙන පෘතුගීසි ප්‍රජාව විසින් පවත්වා ගෙන යන බවයි. 

‘’අපි ඉතින් කාලා බීලා විනෝදෙන් ඉන්න කැමති ජාතියක්. අපේ මමාලා ඩැඩාලාගෙ කාලේ ඉඳන් එහෙම තමයි. ඒ වගේම අපේ භාෂාව ඉස්සර ලංකාවේ ප්‍රධාන භාෂාවක් විදියට තිබ්බා. ඒත් දැන් ඒක සුළු පිරිසකට විතරක් සීමා වෙලා. ඉස්සර අපේ අය කසාද බැන්දේ අපේම ජාතියේ අය අතර විතරයි. නමුත්, දැන් එහෙම එකක් නැහැ. තව ටික කාලයකින් මේ පෘතුගීසි සිංදු, නැටුම්, භාෂාව හැම දෙයක්ම නැති වෙලා යයි කියලා අපිට හිතෙනවා. ඒ නිසාම අපි විවිධ සංස්කෘතික වැඩ සටහන් තුළින් අපි අපේ අනන්‍යතාව අපේ අය අතරටත් රටටත් ගෙන යෑමට කටයුතු කරනවා.

පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර

6 ඇන්තනී රාගල් ත්රිකුණාමලයඇන්තනී රාගල් මෙරට වෙසෙන පෘතුගීසි වඩු කර්මාන්තයට මෙන්ම තවත් කර්මාන්ත රැසකම හපනුන් බව ත්‍රිකුණාමලය ශාන්ත මරියා පාරේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන ඇන්තනී රාගල් (79) මහතා පැවසුවේ අභිමානයෙනි.

“අපේ අය කන්න බොන්න විනෝද වෙන්න විතරක් නෙවෙයි, වඩු වැඩවලට කම්මල් වැඩවලට වගේම රාජ්‍ය පරිපාලනයටත් දක්ෂයෝ. මේ රටේ පෘතුගීසි අයට ලන්දේසි හා ඉංග්‍රීසි කාලෙත් හොඳ තැනක් තිබුණා. රජයේ උසස් නිලතල දැරුවේ බර්ගර් අය. මොකද අපේ අයට භාෂා කිහිපයකින්ම වැඩ කරන්න පුළුවන්කම තිබුණා. නමුත් නිදහසින් පස්සේ මේ රටේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපුවහම එම තත්වය නැතිවෙලා ගියා. මේ නිසා අපි අද වෙන කොට මේ රටේ නිකන්ම නිකං පරංගියෝ තත්වෙට වැටිලා ඉන්නේ. අපි දැන් ඉන්න තත්වය ගැන ලොකු කනගාටුවක්  දැනෙනවා.. “

10 බෙනට් රාගල් මඩකලපුවබෙනට් රාගල්
ඉපදුණේ ජීවිතය විඳින්න
!


'පරණ කාරුත් ලංසි ගැහැනුත් නොගත යුතු' බවට සිංහල ජන වහරේ ප්‍රකට කියමනක් තිබේ. එයින් ඇඟවෙන්නේ ඒ දෙවර්ගයම නඩත්තු කිරීම වියදම් අධික බවය. මෙය උපහාසාත්මක කියමනක් වුවද, එයින් කියවෙන්නේ අප රටේ වෙසෙන පෘතුගීසි ප්‍රජාවගේ විනෝදකාමී ජීවන චර්යාව ගැනය. එය විහිළුවක් පමණක් නොවන බව එම ප්‍රජාව නියෝජනය කරන  අයද සිනහමුසුව පිළිගනිති.

ත්‍රිකුණාමලය පාලයුත්තු ප්‍රදේශයේ පදිංචි ස්ටෙෆන් බාන්ස් මහත්මිය කතෝලික පාසලක විදුහල්පතිනියක ලෙස කටයුතු කර වර්තමානයේ විශ්‍රාම සුවයෙන් කල් ගත කරයි. වසර පහළොවක් පමණ ත්‍රිකුණාමලය බර්ගර් සංගමයේ ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇති ඇය කියන්නේ, පෘතුගීසීන් මෙලොවට බිහිව ඇත්තේ, ජීවිතය විඳීමට මිස විඳවීමට නොවන බවයි.

7 ස්ටෙෆන් බාන්ස් ත්රිකුණාමලයස්ටෙෆන් බාන්ස් ‘’පෘතුගීසි කියන්නේ, බොහොම විනෝදකාමී වගේම සාමකාමී  පිරිසක්. අපි ඇත්තටම ජීවිතය විඳිනවා. අනිත් අය වගේ විඳවන්නේ නෑ. ඒ කාලේ අපේ මංගල්‍යයකදී දවස් හතක් උත්සව කරනවා. පිට්ටනියක කූඩාරම් ගහලා ඒකෙ තමා සාද පවත්වන්නේ. අපිට ගැහැනු පිරිමි කියලා වෙනසක් නැහැ. හැමෝම කනවා බොනවා, විනෝද වෙනවා. සාදයට ඕන කරන වයින් අපිම තමා හදා ගන්නේ. ඌරු මස් හරක් මස් වරදින්නේ නැහැ. නමුත් දැන් එහෙම කරන්න අමාරුයි. පෘතුගීසි ජන කොට්ඨාශය මේ රටේ තවත් එක ජන පිරිසක්. අපි මේ රටට ආදරෙයි. අපිට කියලා අමුතුවෙන් අයිතිවාසිකම් අපි ඉල්ලන්නේ නැහැ. ඒත්, අපිට අපේ සංස්කෘතිය, සිරිත් විරිත්, භාෂාව ඉදිරියටත් රැක ගන්න ඕනේ.‘’

8 ප්රැන්සිස් ඇන්ජිලෝ පීටර්ස් මඩකලපුවප්‍රැන්සිස් ඇන්ජිලෝ පීටර්ස් පෘතුගීසි භාෂාව මේ රටේ තවත් එක් උප සංස්කෘතියක භාෂාවක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව මඩකලපුවේ ප්‍රැන්සිස් ඇන්ජිලෝ පීටර්ස් කියා සිටී. එපමණක් නොව, පාසල් සිසුන්ට හා ගුරුවරියන්ට පෘතුගීසීන්ට ආවේනික වූ ඇඳුමක් සඳහා අවසර ඉල්ලා ඇති බවද ඔහු පැවසුවේය.

“දැන් මුස්ලිම් පාසල් ගැහැනු ළමයින්ට වගේම ගුරුවරියන්ටත් ඔවුන්ට ආවේනික ඇඳුමක් තියෙනවා. අපිත් ඒ වගේ ඩ්‍රෙස් කෝඩ් එකකට අවසර ඉල්ලලා තියෙනවා. මේ වෙනකොට අපේ රටේ විවිධ භාෂා විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා. නමුත් අපේ භාෂාවට එහෙම අවස්ථාවක් තවමත් ලැබිලා නැහැ.”

රජයේ අනුග්‍රහය අවශ්‍යයි 

9 ජොයිලින් ඩොමිනිකන් ත්රිකුණාමලයජොයිලින් ඩොමිනිකන්ත්‍රිකුණාමලය පාලයුත්තු පදිංචි 32 හැවිරිදි ජොයිලින් ඩොමිනිකන් මහත්මිය කියන්නේ, පෘතුගීසි ජන ප්‍රජාව මෙන්ම සිය සංස්කෘතික අනන්‍යතාවයද  වර්තමානයේ තර්ජනයට ලක්වෙමින් ඇති බවයි. මීට වසර විස්සකට පමණ පෙර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සැලකිය යුතු පෘතුගීසි ජන ගණත්වයක් පැවතියද, වර්තමානයේ එම තත්ත්වය බොහෝ සෙයින් වෙනස්ව ඇති බවද පෘතුගීසි ජනයා සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට උනන්දු නොසිටින බැවින් දිනෙන් දින තම අනන්‍යතාව ගිලිහෙමින් යන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

නැගෙනහිර පළාතට සුවිශේෂ වූ පෘතුගීසි ජන ප්‍රජාව සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමුවිය යුතු බව පැවසූ ඇය, ත්‍රිකුණාමලය ප්‍රෙඩ්ඩ්‍රික් කොටුව තුළ පිහිටි භාවිතයට නොගන්නා ගොඩනැගිල්ලක් සිය සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය පිණිස ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවාය.

පෘතුගීසීන් විසින්ම නිපදවා ගන්නා වයින්පෘතුගීසීන් විසින්ම නිපදවා ගන්නා වයින්“අපේ අය පිට අයත් එක්ක විවාහ වීම නිසා හා එකිනෙකා භාෂාව කතා නොකිරීම නිසා අපිට අපේ ජාතිය, භාෂාව නැති වෙමින් යනවා. අපේ සංස්කෘතික අංගයන් තව දුරටත් ආරක්ෂා කර ගන්න රජයෙන් සහයෝගය ලබා දෙනවා නම් හොඳයි. අඩුම තරමින් අපිට කාර්යාලයක් ඉදිකර ගන්න ඉඩම් කැබැල්ලක් හෝ ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. ලංකාවේ බලකොටු ආරම්භ කළේ පෘතුගීසීන්. ත්‍රිකුණාමලයේ තියෙන ප්‍රේඩ්ඩ්‍රික් කොටුව මඩකලපුවේ කොටුව මන්නාරම් කොටුව පෘතුගීසි නිර්මාණයන්. ඉතින් දැන් මේ කොටු ඇතුළේ භාවිතයට නොගන්නා ගොඩනැගිලි ගොඩක් තියෙනවා. නැගෙනහිර ආණ්ඩුකාරවරයා හෝ මැදිහත් වෙලා ඒ එකක් අපිට දෙනවා නම්, අපිට ඒ ඔස්සේ අපේ සංස්කෘතික උරුමයන් රැක ගන්න යම් වැඩ පිළිවෙළක් හදා ගන්න පුළුවන්. ඒක ලංකාවේ සංචාරක කර්මාන්තයටත් රුකුලක් වේවි. “

mangalanath(මංගලනාත් ලියනආරච්චි)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
උපදේශකත්වය සහ අනුග්‍රහය- ඉන්ටනිව්ස් 


'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි මෙතනින්



 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්