කම්හල් වැසී යෑමෙන් සෘජු හා වක්‍ර රැකියා රැසක් අහිමි වෙලා
කොළඹ- මාතර ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා වාහනවලට කොග්ගල මතක හිටිනා නැවතුමකි. මෙයින් දශක තුනකට එපිට අතීතයේ කොග්ගල යනු ලංකාව බිහිකළ විශිෂ්ටතම ලේඛකයකු වූ මාර්ටින් වික්‍රමසිංහගේ ගම සහ ඔහුගේ නිර්මාණ ලෝකය වුව ද 1990 දශකය ඇරඹුණේ කොග්ගල ලංකාවේ තුන්වැනි නිදහස් වෙළෙඳ කලාපය බවට පත්කරමිනි. මුහන්දිරම් වලව් දිරාපත් වී ගොඩනැගුණ නව වෙළෙඳපොළ අර්ථ ක්‍රමය, ලංකාවේ ආර්ථිකය ගොඩදැමීමට යෝජනා කළ ප්‍රධානතම විසඳුම් මාර්ගයක් වූ නිදහස් වෙළෙඳ කලාපයක් කොග්ගලට ලැබුණේ අහම්බයකින් නොවේ.
1980 දශකය අගභාගයේ නැගුණු තරුණ කැරැල්ල සංහාරය කිරීමෙන් අනතුරව තරුණ කැරලිවලට විශාල දායකත්වයක් සපයන දකුණු පළාතේ තරුණ තරුණියන්ට රැකියා මාර්ග සපයා දීමේ හදිසි අවශ්‍යතාවය එහිදී ප්‍රමුඛ වූවාට සැකයක් නැත.

නිදහස් වෙළෙඳ කලාපයක් කොග්ගලට ලැබුණේ කවර මාර්ගයෙන් වුවත් එතැන සිට එය කොග්ගල අවට පිහිටි කතළුව, අහංගම, ඉමදුව, දිගරැද්ද, තිත්තගල්ල, ගොවියාපාන, මිදිගම ඇතුළු ගම් ගණනාවක යැපුම් මාර්ගය විය. මේ ගම් පළාත්වල ආර්ථික දුෂ්කරතා සහිත පවුලක ඉපදුණ තරුණයෙකුට හෝ තරුණියකට උපතින්ම උරුමවන දිළිඳුකමෙන් යන්තමින් හෝ ගොඩ එන්නට මගක් ඇති බව එකල සහතික කෙරුණේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයෙනි.
එදා වේලට හාල් හුන්ඩු දෙකක්, සීනි කාලක්, තේ කොළ ග්රෑම් පනහක් ගෙදරට ගෙන ආ කොග්ගල අවට දිළඳු පැල්පත්වල වැසියන් මාසෙකට සෑහෙන්නට හාල් තුනපහේ ගේන්නට පටන් ගත්තේ කොග්ගලට නිදහස් වෙළෙඳ කලාපයක් ලැබුණු පසුවය. ගෙයක් දොරක් තිබුණු මේ ගම්පළාත් අවට වැසියන්ට ඈත පළාත්වල සිට කලාපයේ රැකියාවට ආ යුවතියන්ට නවාතැන් දී අතිරේක ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව වෙළෙඳ කලාපය නිසා පෑදිණි. වියළි කඩපිල් ලෙස පැවති අහංගම, හබරාදුව වැනි කොග්ගල අවට කුඩා නගරවල නිමි ඇඳුම් ආයිත්තම් විකුණන කඩ සාප්පු වැටුණේත්, බත්කඩ, කොත්තු රයිස් කඩ ඉදිවුණේත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයට අනුපාන වශයෙනි.
ආර්ථික අර්බුදයේ අඳුර
ආර්ථික අර්බුදයේ අඳුර ලංකාව මත වැටුණේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය ද ඒ වටා ගැටගැසී තිබූ කොග්ගල හා අවට වැසියන්ගේ ජීවිත ද ඒ අඳුරටම හෙළමිනි.
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 වසරේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පැවති මුළු කර්මාන්තශාලා සංඛ්‍යාව 19ක් වූ අතර සේවයේ නිරතව සිටි සමස්ත සේවක සංඛ්‍යාව 14,630ක් විය. 2020 වසරේදී එම කර්මාන්තශාලා සංඛ්‍යාව 20 දක්වා වැඩි වුව ද සේවක සංඛ්‍යාව 12,800 දක්වා අඩු වී තිබිණි. මේ වන විට අදාළ කර්මාන්තශාලා සංඛ්‍යාව 16 දක්වාත් සමස්ත සේවක සංඛ්‍යාව 9,979 දක්වාත් පහළ වැටී තිබේ.

“මේක වැඩි පුරම බලපෑවේ සබ් කන්ට්‍රෑක් කළ කුඩා කර්මාන්තශාලාවලට. ෆැක්ටරියක් වැහිලා වැඩ කරන අයගේ රැකියා නැති වුණාම ඒ අයට විකල්ප රැකියා ලැබෙන්නේ වැඩිපුර කර්මාන්තශාලා සහ ඇනවුම් තියනව නම් තමයි. මැෂින් ක්‍රියාකරවන අයට විකල්ප රැකියා තිබුණත්, තරුණ වයස ඉක්මවපු සෙසු අංශවල අයට එවැනි විකල්ප රැකියා ලැබෙන්නේ කලාතුරකින්.
බංග්ලාදේශයේ ඇතිවුණු ප්‍රශ්න එක්ක මේ වෙද්දි ලංකාවේ ෆැක්ටරිවලට ලැබුණු ඇණවුම් 30%කින් වැඩි වී ඇති බවට වාර්තා තියනවා. ඒත් තවම මේ ඇණවුම් වැඩි වීම සබ් කන්ට්‍රෑක් කළ ෆැක්ටරි දක්වා ඇවිත නැහැ”
නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමයේ ඇන්ටන් මාකස් පැවසුවේය.
රූපිකාගේ කතාව
රුපිකා දමයන්ති
අහංගම ගොවියාපානේ පදිංචි රූපිකා දමයන්ති, කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාව කර, ඒ ඇසුරින්ම පාදාගත් ආර්ථික මාර්ගයෙන් ගොඩගිය ගැහැනියකි.
රූපිකා කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවට ගියේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබුණාත් සමගිනි. තවදුරටත් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කිරීමට හැකියාවක් පවුලේ වැඩිමලා වුණු ඇයට තිබුණෙ නැත. දිගුකාලීන අසනීපයකින් රැකියාව අහිමි වී සිටි පියාටත් රැකියා විරහිත මවටත් තවදුරටත් බරක් නොවී, ඔවුන්ටද සවියක් විය හැකි මගක් රෑපිකාට තිබුණේ නම් ඒ එකල කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය පමණි. දෙවරක් නොසිතම රූපිකා එහි වැඩට ගියාය. වසරක් දෙකක් තුළ සුපර්වයිසර් තනතුරට උසස්වීම් ලැබූ ඇය, වෙළෙඳ කලාපයට ප්‍රවාහන පහසුකම් සැපයූ තරුණයකු සමග මිතුරු වී ඔහු සමග විවාපත් වූවාය. කලාපයේ වැඩිම සේවක සංඛ්‍යාවක් රැකියාව කළ කොග්ගල ගාමන්ට්ස් කම්හලෙහි සේවක කැන්ටිම පවත්වාගෙන යෑමේ කොන්ත්‍රාත්තුව ඔවුන්ට හිමිවුණේ මේ අතරතුරය. ගාමන්ට් රැකියාව අත්හැර දැමූ රූපිකා, එතැන් පටන් සාර්ථක ව්‍යාපාරයක මෙහෙයුම් භූමිකාවට පිවිසුණාය. දවසෙන් දවස සේවක පිරිස වැඩිවෙමින් පැවති කොග්ගල ගාමන්ට්ස් ආයතනයේ වැඩිවෙන ඉල්ලුමට සරිලන තරමට රෝල්ස්, වඩේ, බනිස්, මාළු පාන් ඇතුළු කෑම වර්ග සකසීමට ඈ දිරිමත් වූවාය. අධ්‍යාපනය අවසන් කර රැකියාවක් නොමැතිව සිටි තම සහෝදරයා ද හවුල් කරගනිමින් ඒ කෑම වර්ග කැන්ටිමේ අලෙවි කළාය.
එතන් පටන්, අනුන්ගේ වාහනයක ප්‍රවාහන කොන්ත්‍රාත්තුව භාරව සිටි රූපිකාගේ ස්වාමි පුරුෂයාට තමන්ගේම වන බස්රථ දෙකක මෙන්ම වෑන් රථයක ද හිමිකම ලැබිණි. තමන්ගේම වන ගෙයක් දොරක්, අතිරේක ඉඩකඩම් මිලදී ගැනීමේ හැකියාව ලැබිණි. තම එකම පුතුට ලෝකයේ කොතැන හෝ සිට රැකියාවක් කිරීමට අවශ්‍ය තරමේ උසස් අධ්‍යාපනයක් ලබාදීමට රූපිකාලාට හැකියාව ලැබිණි. දුෂ්කරතා මැද දිවි ගෙවූ ඇගේ දෙමාපියන්ට ජීවිතයේ සැඳෑ සමය සුව පහසුවෙන් ගෙවා දැමීමේ අවකාශය පෑදිණි.
2020 වසරේ පැමිණි කොවිඩ් වසංගතයත් ඊට සමාන්තරව එළිදුටු ආර්ථික අර්බුදයත් විසින් රූපිකාලාගේ ජීවිත, සමාජ හිණිපෙතේ ඉහළට ඔසවා තැබූ කොග්ගල ගාමන්ට්ස් ආයතනය වසා දමන්නට හේතු සපයා තිබිණි.
“වෙළෙඳ කලාපෙ නිසා තමයි අපේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගත්තේ. දැන් පුතා හොඳ රස්සාවක් කරනවා. මේ ගෙදර, වෑන් එක, බස් එක ඒ කිසිදේකට දැන් අපිට ණය නෑ. ඒ නිසා අපිට නම් දැන් ජීවත් වෙන්න මේ තියන දේවල් ඇති. ඒත් රස්සා නැතිවුණු ළමයින්ට තමයි ජීවිතේ අමාරු වුණේ.” තම ශ්‍රමයෙන් සහ ධෛර්යයෙන් උපයාගත් සියලු දේ පිළිබඳ උපේක්ෂාවෙන් යුතුව ඇය පැවසුවාය.
රැකියා අහිමිවූවන්ගේ කතා
දිලානි දිල්රුක්ෂි
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාව කොට, ආර්ථික අර්බුදය සමයේ රැකියා අහිමි වූ එවැනි ගැහැනුන් දහදොළොස් දෙනෙක් අහංගම, ගොවියාපාන, මිදිගම, දේනුවල අවට ගම්වල අප කළ සංචාරයේදී මුණගැසිණි. රූපිකා කියූ කතාවට, ඒ හැම කතාවක්ම අඩු වැඩි වශයෙන් සමාන විය.
අහංගම අරංවල පදිංචි දිලානි දිල්රුක්ෂි, මෙහි පිදංචියට පැමිණියේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාව ඇසුරිනි. වසර 21ක් කොග්ගල ගාමන්ට්ස්හි ඇය කළ රැකියාවෙන් ඇගේ දරු පවුලට බොහෝ දේ හිමි වී තිබිණි. කිසිවෙකුට යටත් පහත් නොවී බැංකු ණයක් ගෙන ඉඩම් කැබැල්ලක් මිලදී ගන්නට, ඒ ඉඩම් කැබැල්ලේ නිදහසේ විසිය හැකි නිවහනක් තනා ගන්නට දිලානිලාට ශක්තිය වූයේ වෙළෙඳ කලාප රැකියාවෙන් හිමිවූ ස්ථාවර ආදායමයි. දරුවන් තිදෙනෙක් අඩපාඩු රහිතව පාසල් යැව්වේ ද, ඔවුන්ට හිඟ පාඩුවකින් තොරව කන්න බොන්න සැපයුණේ ද දිලානිගේ රැකියාවෙනි. ඇණවුම් ක්‍රමයෙන් අඩු වී කොග්ගල ගාන්ට්ස් වසා දැමුණේ දිලානිගේ දරු පවුලට තිබුණු ඒ ආර්ථික රැකවරණය අහිමි කරමිනි.
එම්. ජී. දිස්නා කුමාරි
අහංගම මධ්‍යම පදිංචි එම්.ජී. දිස්නා කුමාරි රැකියාව කර තිබුණේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පැවති පොලිටෙක්ස් ගාමන්ට් ඇඟලුම් කම්හලේ ය. ආයතනයට ලැබෙන ඇනවුම් ක්‍රමයෙන් අඩු වී සේවක දීමනා අඩු වීමට පටන්ගත් විට පොලිටෙක්ස් ගාමන්ට් ආයතනයේ පැණනැගි සේවක විරෝධතා අවසන් වී තිබුණේ ඇඟලුම් කර්මාන්ත ශාලාව වැසී යන පරිද්දෙනි. පොලිටෙක්ස් ගාමන්ට් වැසී යෑමෙන් රැකියාව අහිමි වූ තරුණ වයසේ සේවිකාවන් කිහිප දෙනෙකුට නිදහස් වෙළඳ කලාපයේ වෙනත් කම්හල් වෙතින් රැකියා ලැබී තිබුණ ද වයස හතළිහ පසුකර තිබූ බොහෝ දෙනෙකුට අලුත් තැනක වැඩට යෑමට වයස නුසුදුසුකමක් වී තිබුණි. එසේම මහන මැෂින් ක්‍රියාකරවන්නියන් ලෙස රැකියාව කළ පලපුරුදු සේවිකාවන්ට වෙනත් කම්හලක රැකියාව කිරීමේ අවස්ථාවක් පැවතිය ද රෙදි එලීම, ඇසුරුම් කිරීම වැනි අංශවල වැඩ කළ සේවිකාවන්ට එවැනි විකල්ප රැකියා ස්ථාන ලැබී නොතිබිණි.
සේවා ආර්ථිකය බිඳවැටීම
ආනන්ද විජයසිරි
වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා වැසී යෑමෙන් ආර්ථික මාර්ග ඇහිරී තිබුණේ එහි සේවය කළ අයගේ පමණක් නොවේ. කලාපයේ සේවක පිරිස් වෙත නවාතැන් සැපයූ සහ කොග්ගල අවට වෙළෙඳ ව්‍යාපාර කළ බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග වෙත ද එය බලපා තිබිණි. මෙම සංචාරයේදී අපට මගපෙන්වූ ආනන්ද විජයසිරි අහංගම නගරයේ රෙදිපිළි අලෙවිසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි. අවුරුද 14ක් තිස්සේ පවත්වාගෙන ගිය තම ව්‍යාපාරය වසා දමාන්නට ඔහු තීරණය කර තිබුණේ ව්‍යාපාරයේ වියදම්, ආදායම ඉක්මවා ගොස් වසර දෙකකටත් වැඩි කාලයක් ගෙවුණු පසුවය.
“2010 අවුරුද්දේ මම කඩේ පටන්ගන්න කොට අහංගම ටවුන් එකට හිටිය වැඩිම ගනුදෙනු කාරයො වුණේ වෙළෙඳ කලාපෙ සේවක පිරිස. වෙළෙඳ කලාපෙ රැකියා හැරුණම මේ පළාතෙ මිනිස්සුන්ට තියන ප්‍රධාන ආදායම් වුණේ ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත අදායම්. හැබැයි ඒ දෙකම තිබුණෙ අවුරුද්දේ එක කාලෙක විතරයි. ඕෆ් සීසන් නොතිබ්බේ වෙළෙඳ කලාපෙට විතරයි. ඒත් 2019න් පස්සේ ෆැක්ටරි එකින් එක වැහෙන්න ගත්තා. ඇරලා තියන ෆැක්ටරිවල පවා ඕ.ටී. නැතිකළා බෝනස් නැති වුණා. ඕඩර්ස් අඩු වෙනකොට සමහර ෆැක්ටරිවල සෙනසුරාද ඉරිදි ඇරුණම සිකුරාදට සඳුදටත් නිවාඩු දුන්න. මගේ හිටිය කස්ටමර්ස්ල අඩු වුණා. ඒ ළමයින්ට ඇඳුම්වලට වියදම් කරන්න ඉතුරුවක් නැතිවෙන්න ඇති. ....”
විකල්ප රැකියා අරගලය
ප්‍රදීපිකා දිසානායක
අහංගම ගොවියාපානේදී අපට හමුවූ ප්‍රදීපිකා දිසානායක රැකියාව කර තිබුණේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි පොලිටෙක්ස් ඇඟලුම් කම්හලේය. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ප්‍රදීපිකාගේ ස්වාමිපුරුෂයා හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබුණේ දුරු පවුලේ බර මුළුමනින්ම ප්‍රදීපිකා මත පවරමිනි. රටේ ආර්ථික අර්බුදය මැද පොලිටෙක්ස් ගාමන්ට්ස් ද වසා දැමිණි. ඇඟලුම් කම්හලක් වසාදැමිය හැකි වුව ද එයින් යැපුණ පවුල්වල මිනිස් සබඳතා විසිරුවාලිය නොහැක. ඒ අවශ්‍යතා සැපයීමට අලුත් ආර්ථික මාර්ග සොයන්නට, යෞවනය ඉක්මවා මැදිවියට ළංව සිටින අපට හමු වූ ගැහැනුන් බොහෝ දෙනෙකුට සිදුව තිබිණි. ප්‍රදීපිකා, ඇණවුම් මත ඉඳිආප්ප සෑදීමේ කුඩා ව්‍යාපාරයක් අරඹා තිබුණේ ඒ වෙනුවෙනි.
ප්‍රදීපිකා මෙන්ම පොලිටෙක්ස් ගාමන්ට් වසාදැමීමෙන් රැකියාව අහිමි වූ එස්. කේ. සුසිමාත්, කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේම රැකියාව කර රැකියාවෙන් ඉවත්වීමට සිදුවූ ඒ. ටී. මංගලාත්, ගොවියාපාන හන්දියේ, කොළඹ, මාතර ප්‍රධාන මාර්ගය ආසන්න වෙරළ තීරයේ කුඩා කඩ කෑල්ලක් අටවාගෙන සිටින්නේ ද ඒ වෙනුවෙනි. මේ දිනවල දකුණු පළාතට ලැබී ඇති සංචාරක ආකර්ෂණය ඔවුන්ට තාවකාලික ජීවන මාර්ගයක් සැපයුව ද වෙරළ තීරයේ අටවා තිබෙන අනවසර ඉදිකිරීමක් වන කඩ කෑල්ල ගැන මෙන්ම සංචාරකයින් පැමිණෙන කාලය අවසන් වූ විට කුමක් කරන්නේද යන්න ගැන තවමත් ඔවුන් කල්පනා කර නැත. අනෙක් අතට දැන් ඔවුන් පසුවෙන්නේ කල්පනා කර, සැලසුම් කර, අලුතෙන් යමක් ගොඩනැංවීමෙන් කරන කාර්යය වඩා සාර්ථක විය හැකි බවට වන විශ්වාසය අහිමි වූ පසුබිමකය. කොවිඩ් වසංගතය හෝ ලංකාව වෙළාගත් ආර්ථික අර්බුදය කිසිවෙකුගේ පූර්ව සැලසුම්වල නොතිබූ බැවිනි.
එස්. කේ. සුසිමා - ඒ. ටී. මංගලා
දිරිය නොසිඳුණු ගැහැනු
එහෙත් මෙම සංචාරයේදී අප හා කතා කළ තරුණ විය ඉක්මවන වයසේ සිටි සිටි හැම ගැහැනියක් සතුව පවා නොසිඳුණු ජවයක් ඇති බව පෙනෙන්නට තිබිණි. පොල්ලෙලි තලා හෝ ලණු අඹරා මේ ගම්වල අතීතයේ විසූ දිළිඳු, ශෝකී ගැහැනුන් වෙනුවට, රැකියා අහිමිවී වුව දැන් මේ ගම්වල සිටින්නේ තවත් වැඩකළ හැකි, තවත් අනාගතයක් ගැන අපේක්ෂා ඇති ගැහැනුන්ය. පසුගිය දශක දෙකකට වැඩි කාලයේ මේ ගම්වල ඉදි වී ඇති බොහෝ නූතන නිවාසවල ඇත්තේ ඔවුන්ගේ ශ්‍රමය බවට විවාදයක් නැත. ඒ නිවෙස් තුළින් ලෝකයට පැමිණෙන ඊළඟ පරම්පරාව වෙළෙඳ කලාප සීමාවෙන් ඔබ්බට ගෙන යෑමේ හැකියාව ඇත්තේ ද මේ ගැහැනුන්ට බවට ද විවාදයක් තිබිය නොහැක. මාස දෙකක දෙකහමාරක වැටුප් වන්දී වශයෙන් ලබා දී වෙළෙඳ කලාපයට මේ ගැහැනුන් පිටමං කළ හැකි වුව ද මේ ගැහැනුන්ගේ ශ්‍රමයට අලුත් වටිනාකමක් දීමට 'ගැහැනු අපෙන්' බිහිවුණ අලුත් ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය. මේ මතක් කිරීම ඒ වෙනුවෙනි.
විශාඛා වේහැල්ල
උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටනිව්ස්







