රජයක් මූලික වසයෙන් දේශපාලන පාලක පන්තියත් පරිපාලකයනුත් යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. බලයට එන දේශපාලකයින්ට මේ පරිපාලකයින් මෙල්ල කර ගැනීම ලෙහෙසි නැහැ.
yes prime minister
ඇමතිවරු යනවා එනවා. නමුත් පරිපාලකයින් දිගටම ඉන්න අය. ඒ අයගේ වගකීම අලුතෙන් එන ඇමතිවරයාගේ දැක්ම සාධනීය ලෙස ඉදිරියට ගෙන යාමට උදවු කිරීම. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය විධියට අලුතෙන් එන ඇමැතිවරයා හදා ගන්න හදන පරිපාලකයොත් ඉන්නවා. එංගලන්තයේ යෙස් ප්‍රයිම් මිනිස්ටර් ටෙලි නාට්‍යය තුලින් හාස්‍යයට නංවලා තියෙන්නේ එවැනි සම්බන්ධයක්. ඇත්තටම අලුතින් එන ඇමතිවරයාට පවතින සිස්ටම් එක ගැන දැනුමක් තියෙන උපදේශක වරුන් හෝ උපදේශක මණ්ඩලයක් පත් කර ගැනීම තුලින් පරිපාලකයින්ගේ අයුතු බලපෑම් යම් තරමකට තුලනය කර ගන්න පුළුවන්.
ඒ අතින් ජාතික ජන බල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි සෑම අමාත්‍යංශයකටම උපදේශක මණඩලයක් පත් කර ගැනීම හොඳ අදහසක්. නමුත් ඊයේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රකාශයක් ලෙස සමාජ ගත වුනු සංකල්පය තුලින් ඊට එහා ගොස් බලයේ සිටින පක්ෂයේ මූලිකත්වයෙන් අමාත්‍යංශ අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක කිරීම වගේ අමුතුම අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම රටාවක් තුල නොයෙකුත් වර්ගයේ උපදේශක/ හෝ අධීක්ෂණ කමිටු තිබෙනවා. ඒවත් එක්ක සසදමින්මේ අලුත් සත්ත්වයා හඳුනා ගනිමු.
ඇමති අභිමතය අනුව පත්වන උපදේශකවරු හෝ උපදේශක කමිටු
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව උපදේශක වරුන් බදවා ගැනීමේ හැකියාව ඇමතිවරුන්ට තිබෙනවා. වත්මන් ආණ්ඩුවෙන් එම උපදේශකවරුන් ගණන එක ඇමතිවරයෙකුට දෙක බැගින් සීමා කරලා තිබෙනවා. ඇමතිවරයාත් පරිපාලකයනුත් අතර පාලමක් ලෙස කටයුතු කරමින් සාර්ථකව වැඩ කරන උපදේශකවරුන් මම දැකල තියෙනවා. ඒ වගේම පරිපාලන ව්‍යුහය විකෘත වෙන ලෙස තම අනසක පතුරවමින් අමාත්‍යංශ අකර්මන්‍ය කරන උපදේශකවරුනුත් මම දැකලා තියෙනවා. ඇත්තටම එවැනි තත්වයන් ගත් විට ස්වාධීන උපදේශක වරුන්ට වඩා ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් විශේෂඥයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් සෑම අමාත්‍යංශයක් සඳහාම විධිමත්ව පත් කිරීම හොඳයි.
පනතකින් පිහිටුවන ස්වාධීන උපදේශක කමිටු
ලලිත් ඇතුලත්මුදලි
මම දන්නා තරමට පළමුවරට යම් ක්ෂේත්‍රයක් සඳහා උපදෙස් දීම සඳහා පනතකින්ම ආයතනයක් පිහිටුවේ ලලිත් ඇතුලත් මුදලි මහතා අධ්‍යාපන ඇමති වශයේ සිටියදී 1991 ජාතික අධ්‍යපන කොමිෂන් සභා පනත තුලින්. හැන්සාඩ් වාර්තාවකට අනුව එදා ඇතුලත්මුදලි මහතා එම පනත් ඉදිරපත් කරමින් ඉතා බලාපොරොත්තු සහගත ලෙස පවසන්නේ දේශපාලන අතගැසීම් වලින් තොර අධ්‍යාපන ප්‍රතිපත්ති සෑදීමේ යුගයක් එළඹෙන බවයි. නමුත් 1992 පල කරන ලද පළමු ජාතික ප්‍රතිපත්ති රාමුවට පසුව එතෙක් මෙතෙක් එම කොමිසමේ යෝජනා කිසිවක් කිසිම ආණ්ඩුවක් භාරගෙන කටයුතු කරලා නැහැ. දේශපාලකයන්ගෙන් හෝ පරිපාලකයන්ගෙන් වියුක්තව පවතින උපදේශක ආයතනයන්ට පැවැත්මක් නැති බවයි එම ආයතනයෙන් අපට පෙනෙන්නේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු

ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව නීති සම්පාදනයට අමතරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වෙනවා. ඒ අනුව අමාත්‍යංශ අධීක්ෂණයේ මූලස්ථානය විය යුත්තේ පාර්ලිමේන්තුවයි. ඇත්තෙන්ම මේ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු පද්ධතියක්ම ස්ථාපනය කර තිබෙනවා. මූල්‍ය කටයුතු සඳහාම වෙන් වුනු කමිටු මෙන්ම පිළිවෙලින් රාජ්‍ය ආයතන හා රාජ්‍ය ව්‍යවසායක අධීක්ෂණය සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාව (හෝ කෝප්) හා රාජ්‍ය ව්‍යවසාය කාරක සභා (හෝ කෝප්) යන කමිටු දෙකක් තිබෙනවා. ඊට අමතරව දල වශයෙන් අමාත්‍යංශය එකක් හෝ කිහිපයක කටයුතු ආවරණය කෙරෙන ලෙස සැකසුනු ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන් තුල ප්‍රතිපාදන තිබෙනවා. මේවායේ විශේෂය වන්නේ එම විෂය භාර අමාත්‍ය වරුන්ට එම කමිටු වල සාමාජිකයන් වීමට නොහැකි වීමත් විපකෂයේ මන්ත්‍රී වරුන්ට ඒවායේ සභාපති ධූර වලින් යම් ප්‍රතිශතයක් ලබා දීමේ සම්මුතියත් නිසාය. අවාසනාවකට අළුත් දහ වැනි පාර්ලිමේන්තුව සඳහා ජාජබ ආණ්ඩුව විසින් එම ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම සඳහා උනන්දුවක් පෙන්වා නැහැ. එම කමිටු වල යම් අඩු පාඩු ඇතිනම් ඒවා හදාගෙන ඉදිරියට නොයා ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනි වියට්නාමයේ චීනයේ වැනි පාලක පක්ෂයෙන්ම පත්වන අධීක්ෂණ කමිටු පිහිටුවීමට දැන් යෝජනා කිරීමේ අරමුණ කුමක්ද?
වියට්නාමයේ චීනයේ වැනි පාලන පක්ෂයෙන්ම අධීක්ෂණ කමිටු

පාලන පක්ෂය එකම පක්ෂය වන පාලන ව්‍යුහයක් හයක් ඇති රටවල, උදාහරණ ලෙස චීනයේ, සෑම ආයතනයකම එහි පරිපාලන ව්‍යූහයට සමාන්තරව කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණ යාන්ත්‍රණයක් පවතිනවා. උදාහරණ ලෙස විශ්ව විද්‍යාලයක උප කුලපති හෝ සමාන තනතුරක් දරන පුද්ගලයාට සමාන්තරව පක්ෂ කොමිසාර් කෙනෙකුත් ඉන්නවා. නමුත් අපේ රටවල කැබිනෙට්ටුවට සමාන චීනයේ රාජ්‍ය කවුන්සිලයේ අමාත්‍යංශ වලටත් එවැනි පක්ෂ අධීක්ෂණ යාන්ත්‍රණයන් තිබෙනවාද පැහැදිලි නැහැ.
කොයි මට්ටමෙන් වුවත් රාජ්‍ය ආයතන හෝ අමාත්‍යංශ අධීක්ෂණයට දේශපාලන බලයක් ඇති අයගෙන් සමන්විත කමිටු පත් කිරීම ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලද යන්න වහාම සොයා බලා තීරණයක් ගත යුතුයි. දෙවනුව විශේෂඥ උපදේශක කමිටුවක් කැබිනට් තීරණයකින් පත් කල හැකි වුවද එහි සංයුතිය, ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව, දේශපාලන පක්ෂයක සාමාජිකයන්ට හිමි චේ නම් එය පවතින ව්‍යවස්ථාදායකය හා විධායකයේ බල තුලනය වෙනස් කරන හෝ විපරීත කරන්නක් විය හැකියි. එයද සැලකිල්ලට ගත යුතුයි.
අවසාන වශයෙන් යෝජිත අමාත්‍යංශ අධීක්ෂණ කමිටු දැඩි විපරමකට භාජනය කරන ගමන් පාර්ලිමේන්තුවේ දැනට පවතින අධීක්ෂණ යාන්ත්‍රණයන් වඩා දියුණු කර ශක්තිමත් කර අමුතු අමුතු අධීක්ෂණ යාන්ත්‍රණයන් ඒ වෙනුවට ආදේශ කිරීම වැළැක්වීම කෙරෙහි අප අවධානය යොමු විය යුතුයි.
(ආචාර්ය සුජාතා ගමගේ)







