එළඹෙන මැයි 6 වන දින පළාත් පාලන ආයතන 330 කට වැඩි ගණනක් සඳහා සභිකයින් 8700 වැඩි ගණනක් තෝරා පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා.
එහිදී ඡන්දදායකයින් විසින් තම ඡන්ද පත්‍රිකාවේ පෙන්වන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නමට සහ සංකේතයට ඉදිරියෙන් කතිරයක් ගැසීමට නියමිතයි.
එසේ තම චන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන් එම පක්ෂ සංකේතය පිටුපස සිටින පුද්ගලයා කෙරෙහි අවධානයක් යොමු කරයිද? නැතිනම් ඔවුන් රැල්ලට පක්ෂයකට ඡන්දය දෙයිද? මෙම ඡන්ද විමසීමේ ජයග්‍රහණය සනිටුහන් කරන 50% ක ඡන්ද කඩ ඉම හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ජාජබය සමත් වේද?

මෙම ප්‍රශ්නවලට සහ තවත් බොහෝ දේ සඳහා අනාවැකි කියන්න බැහැ. පිළිතුරු දැනගන්න පුළුවන් මැයි 6 වන දිනට පසුවයි. නමුත් දැනට අපට වෙනත් අනාවැකි කීමට ප්‍රමාණවත් තොරතුරු තියෙනවා. ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් දියත් කර ලොව පුර හඹා යන ආර්ථික කුණාටුව තවත් උග්‍ර වීම මිස අඩු වීමක් ගැන හිතන්න අමාරුයි. අළුතෙන් පත්වන සභාවලට මෙම ආර්ථික කුණාටුවට මුහුණ දීමට සිදුවන්නේ මහ රජයටත් වඩා දුර්වල තත්වයක ඉදගෙනයි.
ජනාධිපතිවරයා තම පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ගමනේදී, විශේෂයෙන් දෙයියන්දර සහ වැලිගම රැලිවලදී, තම රජය විසින් වෙහෙස මහන්සි වී පළාත් පාලන ආයතන වල සංවර්ධනය සඳහා අරමුදල් වෙන්කර ඇති බවත්, ඒවා වහාම ජූනි මස සිට ලබා දෙන බවත් සඳහන් කලා. ඒ එක්කම විහිලුවක්ද ඇත්තක්ද නොදැනෙන විදියට කියා සිටියේ ජාජබ නොවන අය විශ්වාස කළ නොහැකි නිසා ජාජබයෙන් එන සංවර්ධන යෝජනා පමණක් සලකන්න වෙනවා කියලයි.
මෙම ප්‍රකාශයේ නුසුදුසුකමට අමතරව, එයින් හෙළි වන්නේ ජාජබ ආණ්ඩුවක් යටතේ වුනත් පළාත් පාලන ආයතන යනු පොතේ හැටියට කෙසේ වෙතත් මධ්‍යම ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ දිගුවක් ලෙස තව දුරටත් සැලකෙන බවයි. අදාළ අන පනත් වල හැටියට නම් පළාත් පාලන ආයතන යනු ස්වාධීනව හා නිර්මාණශීලීව කටයුතු කරමින් ප්‍රදේශයේ ජනතාවගේ පහසුව, සුඛ විහරණය, හා සුබ සාධනය සඳහා කැප විය යුතු ආයතන විය යුතුයි.

නමුත් අළුත්ම ආර්ථික තත්වයන් යටතේ ජනාධිපති තුමා කියන විධියට මහා ආණ්ඩුවේ දිගුවක් ලෙස මහා ආණ්ඩුවේ හව්හරණයම බලා සිටියොත් කාටත් වැඩ වැරදෙයි. පැවතුනු ආර්ථික අර්බූදයට අමතරව අළුතෙන් පැන නැගී ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත තත්වය යටතේ, පළාත් පාලනයේ ආර්ථික පැවැත්ම කෙසේද, ඉහලින් ලැබෙන සහන අඩු වනවිට යොදා ගන්න පුළුවන් විකල්ප විසදුම් මොනවාද යන්න ගැන අවබෝධයක් ඇති නායකයින් පත් කර එවීම මේ අවස්ථාවේ පළාත් පාලන චන්ද විමසීමට දායක වන චන්ද දායකයින් සතු භාරධූර වගකීමක් කියලා මම හිතනවා.
මධ්‍යම ආණ්ඩුවෙන් යැපෙන දුර්වල ආයතන පද්ධතියක්

උපතේ සිට මරණය දක්වා අත්‍යවශ්‍ය සේවා සපයන හා ජනතාවට සමීපතම දේශපාලන තලය පළාත් පාලනය යන හුරුපුරුදු වාක්‍ය ඛණ්ඩය තවදුරටත් සත්‍ය නොවෙන බව මගේ මතයයි. කෙටි උදාහරණයක් ගත්තොත් පළාත් පාලන ආයතන වල දේශපාලන අධිකාරිය අක්‍රීයව පැවති පසු ගිය 2023-2025 කාලය තුල අපට ඔවුන් නැති පාඩුවක් දැනුණාද යන්න ගැන අපි මොහොතක් හිතන්න ඕනී.
නාගරික හෝ ග්‍රාමීය වේවා පළාත් පාලන ආයතනයක කාර්යයන් වන්නේ “මහජන සෞඛ්‍ය, මහජන උපයෝගිතා සහ මංමාවත්; සහ ජනතාවගේ පහසුව, සුඛවිහරණය සහ සුභසාධනය පිළිබඳ සියලු කරුණු” ය. පළාත් පාලන ආයතනයකට යම් චන්ද ක්‍රමයකින් තේරී පත් වන ප්‍රධානියා ආයතනයේ ප්‍රධාන විධායකයා වන නමුත් තේරී පත් වූ ප්‍රධානියෙකු නොමැති විට, ආයතනයේ ලේකම්වරයාට හෝ කොමසාරිස්වරයාට ඔහුගේ/ඇයගේ පවතින පරිපාලන බලතලවලට අමතරව තේරී පත් වූ ප්‍රධානියාගේ සියලු කාර්යයන් භාරගෙන ක්‍රියාත්මක කළ හැකියි.
දේශපාලන අධිකාරියක් නොතිබූ 2023-2025 කාලය තුළ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අත්‍යවශ්‍ය සේවා කාර්යයන් සිදු කළ අතර ඩෙංගු හෝ වෙනත් බෝවන රෝග පැතිරීම වැළැක්වීම, වීදි ආලෝකකරණය, කසළ ඉවත්කිරීම, වීදි පිරිසිදු කිරීම හා පවත්වා ගැනීම, සහ ආදාහනාගාර පවත්වා ගැනීම යන සේවාවන් වල බිඳවැටීම් වාර්තා වුනේ නැහැ.

මෙවැනි අත්‍යවශ්‍ය සේවාවන් නිලධාරීන්ට පවත්වා ගෙන යා හැකි වුවත්, ප්‍රදේශයේ සමාජ-ආර්ථික සංවර්ධන කාර්යයන් වන ජනතාවගේ පහසුව, සුඛ විහරණය, හා සුබ සාධනය පිළිබඳව අළුත් පියවර ගැනීම හෝ නවෝත්පාදනය සඳහා මූලිකත්වය ගත යුත්තේ දේශපාලන අධිකාරියයි. අපගේ පළාත් පාලන ආයතනවල දේශපාලන නායකත්වය විසින් එම වගකීමට අදාළව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබෙනවාද? ප්‍රාදේශීය දේශපාලනඥයන් "ගල්-පස්-වැලි-කාරයන්" ලෙස විස්තර කරන ජනප්‍රිය යෙදුමෙන් පෙන්වන්නේ එසේ නැති බවයි.
බදු ආදායම් නිර්ණායක දශක ගණනකින් අළුත් වෙලා නැහැ
පළාත් පාලන ආයතනවල ආදායම් ලැබෙන මාර්ග තුනක් තිබෙනවා. ඒවා නම්,

(1) ආයතනය විසින් එකතු කරන ලද බදු, ගාස්තු, දඩ සහ අනෙකුත් ආදායම්
(2) මධ්‍යම රජයෙන් වැටුප් සහ අනිකුත් පුනරාවර්තන වියදම් සඳහා ලැබෙන දීමනා සහ
(3) ප්‍රාග්ධන වියදම් සඳහා ලැබෙන දීමනා ලෙස වෙනවා.
උදාහරණ ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක 2023 හෝ 2024 සඳහා පල කරන ලද අයවැය ලේඛනයෙකින් පෙන්වන්නේ ග්‍රාමීය පළාත් පාලන ආයතනයක ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදමෙන් 70% ක් පමණ මෙලෙස මධ්‍යම රජයෙන් ලැබෙන දීමනා ලෙස ලබා ගන්නා බවයි.
පළාත් පාලන ආයතනවලට බදු එකතු කිරීමේ නිර්ණායක තීරණය වන්නේ 1987 හෝ ඊට පෙර සම්මත කරන ලද පනත් මගින්. එදා සිට අද දක්වා එම බදු මුදල් ගණන් යාවත්කාලීන කර නැහැ. හිටපු නගර සභාවක සභාපතිවරයකුට අනුව, ෆුඩ් සිටි වැනි ව්‍යාපාරයක් සඳහා පවා උපරිම අවසර ලත් මාසික ගාස්තුව මසකට රු: 1,000 ක් පමණයි.
මෙම බදු මුදල් තක්සේරු ප්‍රමාදයකින් තොරව යාවත්කාලීන කළ යුතු අතර ඇත්තෙන්ම මධ්‍යම රජය විසින් එකතු කරන බදු මුදලින් පළාත් පාලන ආයතන වලට ලබා දෙන කොටස ගැන මේ අවස්ථාවේ නැතත් යම් අවස්ථාවක නැවත හිතන්න වෙනවා.
වැටුප් ප්‍රතිපූර්ණ දීමනාව 2028 දී නැති වෙයි ද?

අනුමත සේවක සංඛ්‍යාවේ වැටුප් ආවරණය කිරීම සඳහා සියලුම පළාත් පාලන ආයතනවලට මධ්‍යම ආණ්ඩුවෙන් දීමනාවක් ලැබෙනවා. අවශ්‍ය සේවක සංඛ්‍යාව අනුමත කිරීමේ ක්‍රියාවලිය තාර්කික එකක් නොවන බවයි පෙනෙන්නේ.
නගර සභාවක හිටපු සභාපතිවරයා සඳහන් කළ පරිදි, ඔහුගේ ආයතනයේ සේවක සංඛ්‍යාව 75 ක් හෝ ඊට වැඩි නමුත් ඔහුට එම සේවක සංඛ්‍යාවෙන් අඩක් සමඟ ආයතනය පවත්වාගෙන යා හැකි අතර, අතිරික්ත සේවක සංඛ්‍යාව ඇත්තෙන්ම වැඩ මන්දගාමී කරන බව ඔහු සඳහන් කරනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අනුව 2028 සිට ණය ගෙවීමට රට සූදානම් වන විට, වැටුප් අතිරේකය ඉවත් කිරීමට නියමිත බව පැවසෙනවා. පළාත් පාලන ආයතනවල අනාගතය ගැන සිතීමේදී මේ කරුණත් සැලකිල්ලට ගන්න වෙනවා.
සම්බන්ධීකරණයක් නැතුව කෙරෙන ප්‍රාග්ධන වියදම්
මධ්‍යම රජයේ වාර්ෂික අයවැය ක්‍රියාවලියේ කොටසක් ලෙස, අදාළ පළාත් සභා හරහා පළාත් පාලන ආයතන වලට යම් යම් නිර්ණායක අනුව ප්‍රාග්ධන දීමනාත් ලැබෙනවා. නමුත් බොහෝ විට එම ප්‍රමාණයට වඩා ලොකු මුදලක් වෙනත් වෙනත් මාර්ග වලින් පළාත් පාලන බල ප්‍රදේශයට ලැබෙනවා.
උදාහරණ ලෙස 2024 දී තම බල ප්‍රදේශයේ වියදම් කිරීම සඳහා විමධ්‍යගත වැය ශීර්ෂයෙන් එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 10 ක මුදලක් ලැබුනා. මෙම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යලය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුනත් එම අදාළ වැඩ කටයුතු කිරීම බොහෝ විට සිදු කරන්න වෙන්නේ ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා වගකීම මෙන්ම අවශ්‍ය පහසුකම්ද හිමි ප්‍රාදේශීය සභාවටයි.

ඊට අමතරව විශේෂ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන විවිධ අමාත්‍යාංශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු කරනවා. මෙවැනි විශේෂ ව්‍යපෘති වලින් ලැබෙන ප්‍රතිපාදන අයවැයෙන් පළාත් සභා හරහා පළාත් පාලනයට ලබා දෙන ප්‍රාග්ධන ප්‍රදානය ඉක්මවා යන්න පුළුවන්. උදාහරණයක් ලෙස, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් තම 2019 කාර්ය සාධනය වාර්තාවේ දක්වන ලෙසට 2028 සැප්තැම්බර් සිට 2029 දෙසැම්බර් දක්වා කාලය තුළ ගම්පෙරළිය වැඩසටහන හරහා රුපියල් බිලියන 43 ක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවයි. ඊට සංසන්දනාත්මකව පළාත් සභා නමයක් සහ පළාත් පාලන ආයතන සියල්ල සඳහා එම වසරේ ප්‍රාග්ධන වියදම් ප්‍රදානය රුපියල් බිලියන 80 ක් පමණයි.
ගම්පෙරළිය වැඩසටහන යටතේ අරමුදල් සපයන ලද ක්‍රියාකාරකම් අතරට වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය, මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය, කුඩා පරිමාණ පාලම් ඉදිකිරීම; පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම, ක්‍රීඩා ආශ්‍රිත යටිතල පහසුකම් සහ අනෙකුත් සමාජ යටිතල පහසුකම්, නිවාස සඳහා විදුලි පහසුකම් සැපයීම, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, තාවකාලික වහලවල් ස්ථිර වහලවල් බවට පරිවර්තනය කිරීම යනාදිය ඇතුළත් වුනා.
මේවයින් මාර්ග සහ පාලම් සංවර්ධනය පැහැදිලිවම පළාත් පාලන ආයතනවල වගකීමක් වන අතර අනෙකුත් සමාජ යටිතල පහසුකම් ව්‍යාපෘති ද පළාත් පාලන ආයතනවල "ජනතාවගේ පහසුව, සුඛ විහරණය, හා සුබ සාධනය" යම වගකීමට අයත් වෙනවා.
විකල්ප 1: තියෙන තුට්ටු දෙකෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම

යම් පළාත් පාලන බල දේශයක ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ප්‍රදේශයට ලැබෙන අරමුදල් එන්නේ පළාත් පාලන ආයතනය හරහාද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහාද යන්න ගැටළුවක් නෙවෙයි,. නමුත් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය දෘෂ්ඨි කෝණයෙන් බලන විට කෙටි කාල සීමාවක් තුල ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් හා මධ්‍යම රජයේ දේශපාලන අරමුණු ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන දැවැන්ත ව්‍යාපෘතීන් ඵලදායී වීමේ ඉඩ කඩ අඩුයි. ඇරත් ඒවා සැලසුම් වන්නේ ප්‍රදේශයේ අවශ්‍යතා අනුවද යන්න ප්‍රශ්නයක් මෙන්ම එම ව්‍යපෘති බොහෝ විට ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලට බරක් වෙනවා.
උදාහරණ ලෙස, ව්‍යාපෘති යෝජනා සඳහා පිරිවැය ඇස්තමේන්තු සහ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති අනුමත කිරීම පළාත් පාලන ආයතනයේ තනි තාක්ෂණික නිලධාරියාගේ කරට වැටෙන අතර, නිසි පරීක්ෂණ සඳහා ඔහුට/ඇයට සාධාරණ කාලයක් යොදන්න හැකියාවක් නැහැ. එම නිසා බොහෝ විට මෙම ව්‍යාපෘති වලින් බලාපොරොත්තු ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එසේම, මුදල් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ පරිදි, මෙම තාවකාලික ව්‍යාපෘති හරහා සංවර්ධනය කරන ලද හෝ මිලදී ගන්නා ලද සමහර වත්කම් නිසි ලෙස ලේඛනගත නොකිරීම නිසා ඒවා ගැන පසු විපරමක් වන්නේ නැහැ.
සමස්තයක් වශයෙන්, පළාත් පාලනය ක්ෂේත්‍රයේ මූලික ගැටළුව වන්නේ විවිධ ක්‍රියාකාරීන් සහ ආයතන - එනම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම දේශපාලන බල අධිකාරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් - සම්බන්ධීකරණයක් හෝ ප්‍රදේශයට අනුමත මහා-සැලැස්මක් නැතුව ක්‍රියාත්මක වීමයි.

පළාත් පාලන ආයතන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තුලින් "පළාත් පාලන ආයතන යනු ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානය බවට" නම් කර තිබුනත්, නමුත් එය ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදයක යථාර්ථයට ගැලපෙන්නේ නැහැ. ජාතික හෝ පළාත් මට්ටමේ දේශපාලනඥයින්ට තම ඡන්දදායකයින් වෙත ළඟා වීමේ ක්‍රම වේදයක් ලෙස විමධ්‍යගත අයවැයෙන් හා නොයෙකුත් ව්‍යපෘති හරහා එන ප්‍රතිපාදන තීරණාත්මකයි. ලංකාවේ ඡන්දදායකයින්ට තවමත් මේ අයගේ නීති සම්පාදක භූමිකාව ගැන තේරුමක් නැහැ. ඔවුන් අගය කරන්නේ ඇහැට කණ පෙනෙන ප්‍රතිලාභ ලබා දීමට තම නියෝජිතයින්ට ඇති හැකියාව යි.
වඩාත් යථාර්ථවාදී විසඳුමක් වන්නේ පළාත් පාලනය ආයතනය ප්‍රමුඛයා විය යුතුයි යන ජප කිරීමෙන් බැහැරව, ඕනෑම පළාත් පාලන බලප්‍රදේශයක සංවර්ධනයට දායක වීමට සුදුසු යම් සංයුක්ත සංවර්ධන යාන්ත්‍රණයක් ගැන අළුතෙන් සිතීමයි.
විකල්ප 2: ගම දියුණු කර ආදායම් ප්‍රභව වැඩි කර ගැනීම

මට නිතර අලුත් අදහස් තොරතුරු ලබාදෙන හා කටාන ප්‍රාදේශීය සභාවට මෙවරත් තරඟ කරන ලසන්ත දීපාල් මහතා කියපු කතාවක් මෙතනදී මතක් වෙනවා. ඔහු කියන හැටියට දැනට වැටුප් ප්‍රතිපූරණයේ අඩු වීමක් සිදු වීමට නියමිත ලෙසම 1991 පළාත් පාලන චන්ද විමසීමට පෙරත් මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රතිපූරණ දීමනා අඩුවෙන තත්වයක් තිබිලා තියෙනවා. එහිදී ජනාධිපති ප්‍රේමදාස මහතා එක්තරා මහා නගර සභාවකට නගරාධිපති ධූරයට කීප දෙනෙක් ඉල්ලා සිටි තත්වයක් තුල පවසා ඇත්තේ අඩුවන ආදායම පියවීමට හොඳම යෝජනාව දෙන තැනැත්තාට නගරාධිපති ධූරය ලැබෙන බවයි. ඇත්තට මෙවර මැතිවරණයට කොයි නායකයා වුවත් එවැනි ආකල්ප ඇතිව ක්‍රියා කිරීම එදාටත් වඩා වැදගත්.
මහා ආණ්ඩුවට මහා කුණාටු වලට මුහුණ දෙන්න ඉඩ හැරලා පුංචි ආණ්ඩු තමන්ගේ ආදායම වැඩි කර ගැනීම සඳහා නිර්මාණශීලීව වැඩ කිරීම යුගයේ අවශ්‍යතාවයක්.
කොයි දෙයටත් අළුත් යාන්ත්‍රණයක් අවශ්‍යයි

දැනට පවතින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල මුල 1970-1977 යුගයේ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ ගම මට්ටමෙන් රාජ්‍ය-මූලික කර්මාන්ත ඇති කිරීමේ වාමාංශික මතවාදයක් පිහිටුවන ලද ප්‍රාදේශීය සංවර්ධන කවුන්සිල බව සඳහන් වෙනවා. ඉන් පසුව ආ දක්ෂිණාංශික යයි සම්මත රජයන් පවා මධ්‍යම රජයේ බලය ගමට ගෙනි යන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නමින් එවැනි යාන්ත්‍රණ දිගටම යොදා ගෙන තියනවා. ඒව සම්බන්ධීකරණ කමිටුවල නායකත්වය හිමිවන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාටය. පළාත් පාලන ආයතනය යනු ප්‍රදේශයේ සංවර්ධනයේ ප්‍රමුඛයා යයි ජාතික ප්‍රතිපත්තියේ සඳහන් වූවත් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා මෙම සම්බන්ධීකරණ කමිටු වල එක් සුළු සාමාජිකයෙක් පමණයි.
මෙසේ පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් කෙරෙන සංවර්ධනයේ කුලී කාරයන් පමණක් බවට පත් වීමෙන් නියම ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති වෙන්න පුලුවන්ද?
කොළඹ වැනි අධි නාගරික සභා වලට ස්වාධීන පැවැත්මක් තිබුණත් අනික් ආයතන වලට මධ්‍යම රජයේ රූකඩයන් ලෙස ක්‍රියා කරන දේශපාලන අධිකාරීන් පත් කර ගන්නේ කුමටද?

ඩෙන් ෂියාඕ පිං කීවා යයි කියන පරිදි, “බළලා මීයන් අල්ලන්නේ නම් ඒකා කළු ද සුදු ද යන්න ගැටළුවක් නෙවෙයි.” මෙම කියමන වමට මෙන්ම දකුණටත් අදාළ වෙනවා .
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය







