''සෑම මුස්ලිම් ආගමිකයෙකුගේම සිහිනය තමයි, වෙනත් ඕනෑම නිව්යෝක් වැසියෙකු ලෙස සමාන සැළකුම් ලැබීම. එහෙත් ඉතා දිගු කාලයක් අපට කියුවේ, ඊට අඩු සැළකිල්ලක් ඉල්ලන්න කියලා. ලැඛෙන දෙයකින් සෑහීමකට පත් වෙන්න කියලා.....ආයේ එහෙම වෙන්නෙ නැහැ.''
සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටිමින් නොවැම්බර 04 වන දින නිව් යෝක් නුවර පුරපති ධූරය සඳහා පැවැත්වෙන ඡන්දයට ඩිමොක්‍රැටික් අපේක්ෂක ලෙස තරග වදින උගන්ඩාවේ කම්පාලා නුවර ඉපදුන මුස්ලිම් ලබ්ධික සෝරාන් ක්වාමේ මම්ඩානි ඇමෙරිකාවේ ABC ප්‍රවෘත්ති නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී එළෙස කියා තිබිණ.
නිව් යෝක් නුවර පුරපතිවරණය නිව් යෝක් ඡන්දායකයින් අතර පමණක් නොව, සමස්ථ ඇමෙරිකානු සමාජයේද යෝධ සමාජ අවධානයක් ලබන්නේ මම්ඩානී ගේ දේශපාලනයත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ ස්වරූපයත් නිසාවෙනි. ඩිමොක්‍රැට් පුරපති අපේක්ෂකයා තේරීමේ ප්‍රාථමික තරගය අතරතුර ඔහු ඔහුගේ මැතිවරණ වේදිකාව කුමක් විය යුතු දැයි තීන්දු කෙරුවේ ඡන්දායකයින් සමග කෙරුණු කතා බහ අනුව යැයි ඔහු කියන්නේය.

''හැම තැනම වෙන්නේ, දේශපාලකයින් ගිහින් ඡන්දායකයාට කියනවා, ඡන්දෙ දිය යුත්තේ මොනවටද කියලා. ඒ මැතිවරණ සාමාන්‍ය ජනතාවට වැඩක් නැහැ. ඒ නිසා අපි ඡන්දායකයින්ගෙන් ඇහුවා ඒ ගොල්ලන්ට වඩාත්ම වැදගත් මොනවද කියලා. ඒ ගොල්ලෝ උත්තර බලාපොරොත්තු වෙන්නෙ මොනවටද කියලා.''
මම්ඩානිගේ මැතිවරණ ව්‍යාපාරය ඒ අනුව ගුණාත්මක ජීවන තත්ත්වය හා ජීවන වියදම මූලික කෙරෙන ඡන්ද ව්‍යාපාරයකි. ඔහුගේ ප්‍රධාන මැතිවරණ තේමාව වන්නේ ''වියදම ඔරොත්තු දෙන නිව් යෝක් නගරයක්'' යන්න ය. මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධව ඔහුගෙන් ඇසූ විට, ''නිව් යෝක්වල නිවාස නොමැති ජනගහනය පහුගිය අවුරුද්දේ 1,50,000 ට වැඩී. සමහරු නගරයේ උමං දුම්රිය වලත් නිදා ගන්නවා. දුම්රිය ස්ථාන, බස් නැවතුම් පළ වලත් නිදා ගන්නවා. මගී ප්‍රවාහනයටත් ඒවා ප්‍රශ්න. නමුත් ඒ වගේම, කුලියට දෙන්න හිස් නිවාස තියෙනවා. මොකද්ද එතකොට ප්‍රශ්නය? නිවාස නැති කමද නැතිනම් කුලී ගෙවන්න බැරි කමද? නිව් යෝක් නගරය අධි මිලැති නගරයක්. සැළකිය යුතු පිරිසකට වියදම් ඔරොත්තු දෙන්නෙ නැහැ'' යනු ඔහුගේ පැහැදිලි කිරීම විය.
ඔහුගේ සංවර්ධන වැඩසටහනෙහි උපරිමයකට යටත් සුභසාධන නිවාස කුලියක්ද, නොමිලේ ළමා සෞඛ්‍ය සේවාවක් හා පොදු මගී ප්‍රවාහන සේවාවක්ද, නගර සභාවෙන් පවත්වා ගෙන යන සිල්ලර වෙළඳසල් ජාලයක්ද වේ.
ඒ සඳහා ඔහුගේ වාර්ෂික නගර සභා අයවැය හිඟය පුරවා ගැනීමට අවශ්‍ය අමතර ආදායමෙන් ඩොලර් බිලියන 09 ක් විශාල සමාගම් වලින් හා කෝටිපතීන්ගෙන් බදු වශයෙන් අය කර ගන්නේ යැයි ඔහු කියා ඇත.

ඉකුත් ජුනි මස අග ඩිමොක්‍රැටික් පක්ෂයේ ප්‍රාථමික ඡන්දයෙන් පුරපති අපේක්ෂක ලෙස සෝරාන් මම්ඩානි තේරුණු විට, නොවැම්බර පුරපතිවරණයේදී ඔහුට ඡන්දය නොදීමට ඇතැමුන් ඉදිරිපත් කළ හේතු දෙකක් විය.
එකක් ඇමෙරිකාවේ විශාලම ආර්ථීක මධ්‍යස්ථානය වන, සංකීර්ණ වාර්ගික එකතුවක් ඉන්නා නිව් යෝක් නගරය පාලනය කිරීමට, මම්ඩානිට අත්දැකීම් නැතැයි කීමය. දෙවැන්න, ඔහු ඉදිරිපත් කරන න්‍යාය පත්‍රය සඳහා ආදායම් එකතු කිරීමේ අසීරුව ය. ඇතැම් ව්‍යාපාරිකයින් නිව් යෝක් නගරය අතහැර යාමටද කතා කළහ.
ජනාධිපති අනුර කුමාර විපක්ෂ පළාත් පාලන ආයතන වලට රජයේ අරමුදල් ලබාදීම ගැන කිහිපවර සිතන්නට වෙනවා යැයි කියූ අයුරු, ''කොමියුනිස්ට්වාදී'' මම්ඩානි නිව් යෝක් පුරපති ලෙස පත් වුවහොත් ඇමෙරිකානු මධ්‍යම රජයේ අරමුදල් අත්හිටුවන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
තමා කොමියුනිස්ට්වාදියෙක්දැයි ABC ප්‍රවෘත්ති නාලිකාවේ මාධ්‍යවේදිනියක් මම්ඩානි ගෙන් ඇසූ විට ඔහු සිනහවී පිළිතුරු දුන්නේ ''නැහැ. මම ස්කැන්ඩිනේවියානු පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. නමුත් ඔවුන්ට වඩා ටිකක් දුඹුරු වර්ණයි''කියා ය.

තව දිනකින් දෙකකින් ඔහුගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කෙරෙණු ඇතැයි නිව් යෝක්වාසීන් බහුතරයක් විශ්වාස කරති. ''මේ අපායෙන් බේරි යන්න බර්නි සෑන්ඩර්ස් අපට ආලෝකය දුන්නා. ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසියා-කොර්ටෙස් අපට අලූත් පරම්පරාව හඳුන්වා දුන්නා. සහරාන් (මම්ඩානි) දිනන හැටි පෙන්නුවා. අපි දිනනවා'' යැයි මම්ඩානි ගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනකි.
ඊට වඩා ඉක්මන් වූ හූලියෝ
එවැනි දැවැන්ත ගෝලීය ප්‍රදර්ශනයක් නොවුනත් වෙනිසියුලාවේ ''ලාරා'' ප්‍රාන්තයේ වන ''ටොරෙස්'' මහ නගර සභාවේ වූ දේශපාලන පරිවර්තනය අවුරුදු 10 ට වැඩි කාලයක සැබෑ ජනතාවාදී අත්දැකීමක් විය. එයට මුල පිරුවේ ටොරෙස් ප්‍රජාව අතර බිම් මට්ටමේ සමාජ සේවා කටයුතුවල යෙදුණු මාක්ස්වාදියකු යැයි සාමාන්‍ය ජනතාව හඳුනාගෙන සිටි ඉංජිනේරුවකු වූ, හූලියෝ චාවෙස් ය.
2004 ඔක්තෝම්බරයේ ඔහු පුරපති ලෙස තේරී පත් විය. හූලියෝ තරග වැදුණේ ජනාධිපති හියුගො චාවෙස් ගේ ''වෙනිසියුලාවේ පස්වන සමූහාණ්ඩුව සඳහා වන ජනතා ව්‍යාපාරයේ'' පේක්ෂකයාට සහ ග්‍රාමීය ප්‍රභූ පැලැන්තියේ විපක්ෂ අපේක්ෂකයාට එරෙහිව ය. බහුතර දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයින් ඔහුට විරුද්ධ වූයේ ඔහු බිම් මට්ටමේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ හූලියෝ චාවෙස් නිසා නොව, ඔහු ඉදිරිපත් කළ විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාව නිසා ය.

ජයග්‍රහණයෙන් පසු හූලියෝ චාවෙස් ඔහුගේ දේශපාලනය විස්තර කෙරුවේ, ''අපි පොරොන්දු වෙන්නේ, ජනතාවාදී බලය තහවුරු කරන්නයි. අපි කියන්නේ, සියලූ සමාජවාදී ප්‍රකාශන ජනතා සහභාගිත්වය මත පදනම් විය යුතු බවයි. නිලධරවාදයට හරස්වන ජනතා සහභාගිත්වයක් විය යුතු බවයි..... මේ සමාජවාදය ආරම්භ විය යුත්තේ ජනතාවාදී බලය නිර්මාණය කිරීමේ අදහස ඇතිවයි. එය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ 'ජනතාව සඳහා' වන පාලනයක් නොව, 'ජනතාව සමග' වන පාලනයක් විය යුතුයි. ජනතාව විසින් අධ්‍යාපනික අත්දැකීම් ලබන නිදහස් තීන්දු ගන්නා පාලනයක් විය යුතුයි. ජනතාවට පසුව ලොකු තීන්දු ගත හැකි පාලනයක් විය යුතුයි. අප කියන්නේ සියලූ තීන්දු ගත යුත්තේ ජනතාව කියලයි. ජනතාව නැතිව නිවැරදි දේ කරනවාට වඩා, ජනතාව සමග වැරදි දේ කිරීමට අප සූදානම්'' කියා ය.
හූළියෝ චාවෙස් එවැනි ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයකට ටොරෙස් මහ නගර සභාවෙහි සම්මත කරගත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ ස්ථාපිත කිරීමට නීතිමය අවසරයක් ලැබිණ. ''මහ නගර සභා ව්‍යවස්ථා මණ්ඩලය'' එවැන්නකි. ඒ අනුව, ''මහජන ඡන්දයෙන් නගර සභාවට නියෝජිතයෙකු ලෙස තෝරා පත් කෙරුණු කිසිවකුට මහ නගර සභා ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි විය නොහැකි විය. ඉන් සහතික කෙරුණේ ව්‍යවස්ථාමය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන්නා, නියත වශයෙන්ම ප්‍රජා කමිටු වලින් යෝජනා ගෙනෙන්නකු වන බවය. ටොරෙස් සහභාගි අයවැයද ඒ සහභාගි යාන්ත්‍රණය ඔස්සේ සම්පාදනය කෙරුණකි.''
ටොරෙස් මහ නගර සභා පාලනයේ මේ ජනතාවාදී නැඹුරුව ශක්තිමත් වන්නට ප්‍රධාන හේතුවක් වූයේ පළමු අවුරුද්ද දෙකේදී නගර සභාවේ බහුතර මන්ත්‍රී බලයක් හසුරුවා ගැනීමට හැකි වූ ජනාධිපති හියුගො චාවෙස්ගේ MVR පක්ෂය විසින් පුරපති හූලියෝගේ වැඩසටහන් නිරන්තර ආයතනික බාධා කිරීම් වලට ලක් කිරීමය. ඊට මුහුණ දීම සඳහා හූලියෝ ජනතා ව්‍යාපාර සංවිධානය කිරීමට පටන් ගත්තේය.

2005 ජුනි මාසායේදී හූලියෝ විසින් පිහිටුවනු ලැබූ ''මහ නගර සභා ව්‍යවස්ථා මණ්ඩලය'' සම්පාදනය කළ පනත් කෙටුම්පතක් ජනාධිපතිගේ නගර සභා බහුතරය විසින් ප්‍රතික්ෂේප කළ විට, හූලියෝ ඊට අභියෝග කෙරුවේ අධිකරණයේදී නොවේ. ජනතා බලයක් ගොනු කිරීමෙනි. නගර සභාවට සිය තීන්දුව වෙනස් කරන මෙන් බල කරමින් ජනතාව නගර ශාලාවෙහි වාඩි ලා ගත්හ. එවගේම, 2005 දෙසැම්බරයේදී හූලියෝ විසින් පුළුල් ජන සහභාගිත්වයක් ඇතිව සම්පාදනය කළ 2006 වසර සඳහා වන අයවැය නිත්‍යානුකූල නොවන්නක් යැයි නගර සභාව එය ප්‍රතික්ෂේප කළ විටද ඔහු ඊට විසඳුම් සෙවූයේ ජනතා බලයක් ගොනු කිරීමෙනි. සම්මතයක් ලෙස පුරපති හූලියෝ චාවෙස් ඔහුගේ මහ නගර සභාවේ තීන්දු ගැනීම් සඳහා පුළුල් ජන සහභාගිත්වයක් ගොනු කර ගත් අතර,ඒවාට එදිරිව මතුවූ විරෝධයන්ට උත්තර දීමටද ජනතා ව්‍යාපාරවල ශක්තිය මත යැපුණි.
මෙයින් මතු කරන්නාවූ වැදගත් දේශපාලන කාරණා කිහිපයකි. අප දන්නා, අප ආරක්ෂා කරගත යුතු යැයි කියන්නාවූ ''නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය'' අසම්පූර්ණ, බාල, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදයකි. එය මැතිවරණයකට සීමා වන්නක් පමණි. එබැවින් මැතිවරණ දෙකක් අතර, ජනතා ඡන්දයෙන් තෝරා පත් කෙරෙන ජනතා නියෝජන ආයතන, ජනතාවගේ නියෝජනයෙන් අත් හැරෙන දේශපාලන පක්ෂ නායකයින්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් ජාවාරම්කාරයින්ගේත් අභිමතයට යටත්වන දූෂිත ආයතන ලෙස ඉතිරි වේ.
අපගේ දේශපාලනයට වෙනසක්
නිව්යෝක් නගර සභාවට තව දිනකින් දෙකකින් සෝරාන් මම්ඩානි පුරපති ලෙස පත් වුවහොත් ඔහුට අවශ්‍ය ආදායම එකතු කර ගැනීමට ඔහුගේ නගර සභාව සම්මත කරන්නාවූ බදු අය කිරීම නිව් යෝක් ප්‍රාන්ත ආණ්ඩුව විසින් අක්‍රිය කෙරෙන්නේ නම් ඔහුට තෝරා ගැනීමට ඇති එක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වන්නේ ටොරෙස්හි හූලියෝ චාවෙස් ප්‍රවේශය වන්නේය. නිව් යෝක්හි දී එය ටොරෙස් පුරපති හූලියෝ චාවෙස් මෙන් ජනතාව එකවර පාරට කැඳවන විරෝධයක් නොවිය හැකි ය. එහෙත් මම්ඩානිටද ජන සහභාගිත්වය ශක්තිමත් ඓන්ද්‍රීය සාධකයක් ලෙස යොදා ගත හැක්කකි.

ආණ්ඩු බලයට හෝ විපක්ෂයේ කෙණෙහිළි කම් වලට මුහුණ දීමට පමණක් නොව, ආණ්ඩු පාලනයේ ජනතාවට සමීපතම නියෝජන ආයතන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත්කර ගැනීමට නම්, අපද අපගේ මේ නාම මාත්‍රීක නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව නියත වශයෙන් හවුල් කර ගන්නා, සජීවී ශක්තිමත් ''සහභාගී'' ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත්කර ගත යුතුය. ඒ සම්බන්ධ මීට අවුරුදු 10 ට පෙර මගේ යෝජනාවක් වූයේ, පළාත් පාලන ආයතන පත් කෙරුණු වහාම ඔවුන්ගේ සංවර්ධන සැළසුම අදාල පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනමත විචාරණයකට ලක් කිරීමය. එය තව දුරටත් වර්ධනය කරමින් ''2025 න් පසු - නිදහස් ශිෂ්ඨ ශ්‍රී ලංකාවක් සදහා....'' මැයෙන් මා 2024 ජනවාරියේ ප්‍රකාශයට පත් කළ විද්‍යුත් කෘතියෙහි සඳහන් කළ යෝජනාව මෙළෙස මෙහි නැවත උපුටා දක්වමි.
(උපුටනය)
සංකල්පයම වශයෙන් සහ ප්‍රායෝගිකව ''ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය'' ඊට හාත්පසින් වෙනසි. දැනට අප පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට සීමාවී ඒ ගැන කතා කළහොත්,
i - ජනතා ඡන්දයෙන් පත් කළ පසු එකී ආයතනවල බලයට පත්වන දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම දිවුරුම් දීමෙන් පසු ඔවුන්ගේ සමස්ථ ධූර කාලය සඳහාවන සංවර්ධන සැළසුම සහ ඒ සඳහාවන සමස්ථ වියදම නිශ්චිත කෙටි කාලයක් තුල (එක් මසක්) සවිස්තරව ප්‍රසිද්ධ කළ යුතු අතර, ඒ වෙනුවෙන් ජනතා ප්‍රතිචාර ලබා ගැනීමෙන් පසු අවශ්‍ය පරිදි කෙරෙන සංශෝධන සමගින් සැළසුම හා අයවැය අදාල පළාත් සභා හා පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙහි පවත්වනු ලබන ජනමත විචාරණයකින් අනුමත කෙරුණහොත් පමණක් සභා සම්මත කරගත යුතුය.
ii - ජනමත විචාරණයකින් සම්මත නොවුනහොත් ඊට විරුද්ධව මතු කෙරුණු කාරණා අනුව කෙරෙන සංශෝධන සමග නැවත ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුත්තේ දිගු සමාජ කතිකාවක් සඳහා නැවත කාලය වැය නොකර ය.
iii -අනතුරුව අර්ධ වාර්ෂික ප්‍රගතිය සම්බන්ධ වාර්තා ප්‍රසිද්ධ කළ යුතු අතර, ඒ වෙනුවෙන් ජනතාවට අදහස් දැක්වීමේ නිල සභා රැස්වීමක් අර්ධ වාර්ෂිකව පැවැත් විය යුතුය.
iv - වාර්ෂික අයවැයද සභාව විසින් නිල වශයෙන් සම්මත කිරීමට පෙර ජනතා ප්‍රතිචාර වෙනුවෙන් ප්‍රසිද්ධ කළ යුතුය.
එසේ විය යුත්තේ සම්මත කෙරෙන සංවර්ධන සැළසුමෙහි පළාත් හා ප්‍රාදේශීය බද කාර්ය නියාමනය කිරීමේ වගකීම අදාල පළාත් බද ජනතාවගේ අයිතියක් වන හෙයිනි.
මෙය අවධාරණය කළ යුත්තකි. ප්‍රජාතන්ත්‍රවාදය නොමිලේ ලැඛෙන්නක් නොවේ. ඒ වෙනුවෙන් සමාජීය පිරිවැයක් ඇත. එය දරා ගැනීමට ජනතාව සූදානම් විය යුත්තේ, එමගින් ඉතිරි කරගන්නා මුදල වැය කෙරෙන මුදලට වඩා විශාල විය හැකි හෙයිනි.
(උපුටනයේ නිමාව)

ඉන් ඔබ්බට ගොසින් අපටද හූලියෝ චාවෙස් මෙන් පළාත් පාලන ආයතනවල පැවැත්මෙහි අඛණ්ඩ ජනතා සහභාගිත්වයක් තහවුරු කිරීම වෙනුවෙන් ඒවායේ කොට්ඨාශ නියෝජනය මත තේරී පත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් හා පක්ෂ නියෝජනයකින් තොර මහජන මණ්ඩල පිහිටුවා ගත හැකිය. ඒ සදහා යෝජනා ඉදිරිපත්කර සම්මත කර ගැනීම විශේෂයෙන් පළාත් පාලන ආයතනවල විපක්ෂයට බාරගත හැකි සමාජ වගකීමකි.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2025 නොවැම්බර 03 වන දින







