leader s

2025 ජූලි  11 වැනිදා පාර්ලිමේන්තුවේ එලි දැක්වූ විෂය මාලා රාමුවේ පළමුවන අදියර පළමු වන හා හයවන ශ්‍රේණි සඳහා දිවයින පුරා පිළිවෙලින් ජනවාරි 21 හා ජනවාරි 26 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත නමුත් අදාල මොඩියුල වල බැරෑරුම් දෝෂ ඇති බව සමාජ මාධ්‍ය තුලින් හෙලි වෙමින් පවතිනවා.

එම දෝෂ පිළිබඳ වග වීමේ ප්‍රශ්නද ඇති වී සමස්ථ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අර්බූද තත්වයකට පත්ව තිබෙනවා. මෙම ලිපියේ අරමුණ එවැනි අර්බූදකාරී තත්ත්වයක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමයි.

කලක සිට සැලසුම් මට්ටමෙන් පැවතී ශිෂ්‍ය-කේන්ද්‍රීය, ක්‍රියාකාරකම්-පාදක, හා විභාග බර අවම කෙරෙන අධ්‍යාපනය යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට නායකත්වය දීම පිළිබඳව වත්මන් අධ්‍යාපන ඇමතිනියට ස්තුති වන ගමන් එම ක්‍රියාවලිය අර්බූදයට ලක්වීමටද වත්මන් අධ්‍යාපන ඇමැතිනියගේ නායකත්වයේ දුර්වලකම් හේතු වී ඇති බවද අවධාරණය කළ යුතුයි. ඒවා හදාගෙන ඉදිරියට යන්නේද, යන්නේ කෙසේද යන්න දේශපාලන තීරණයක්. අපගේ යුතුකම රටේ අධ්‍යාපනයේ ප්‍රගතිය වෙනුවෙන් එම දුර්වල කම් පෙන්වා දීමයි. මේ අවස්ථාවේදී  සමාජ මාධ්‍ය තුලින් අධ්‍යාපන ඇමැතිනියට පුද්ගලික ප්‍රහාර එල්ල කිරීම අප විසින් පිළිකුලින් හෙලා දකින බව ද මෙහිදී සදහන් කළ යුතුයි.

 

පළමුව අධ්‍යාපන ප්‍රකාශන ක්‍රියාවලියට නිසි  නායකත්වය දී අදාළ ප්‍රකාශන වල ප්‍රමිතිය පිළිබඳව සදාචාරාත්මක වගවීම වෙනුවට කුමන්ත්‍රණ කතා ඉදිරිපත්කිරීමෙන් පෙන්වන ඇමතිතුමියට තමන් යටතේ ඇති ආයතන මෙහෙයවීමේ අසමත් කම මෙම අර්බූදයට ප්‍රධාන හේතුවකි.

දෙවනුව විෂය මාලා සංස්කරණ වලට කේන්ද්‍රීය ලෙස පෙනෙන පෙළ පොත් වෙනුවට ශිෂ්‍ය-කේන්ද්‍රීය, ක්‍රියාකාරකම්-පාදක, හා විභාග බර අවම කෙරෙන මොඩියුල හදුන්වා දීම යන නිර්දේශපාලනික සංකල්පය එහි අතීතය හා ඒ හා ගොඩ නැගුනු ලේඛන වලට සම්බන්ධයක් නැතිව අධ්‍යාපන ඇමතිනිය විසින් අහසින් වැටුන දෙයක් මෙන් අසම්පූර්ණ පවර්පොයින්ටුවක් මගින් පාර්ලිමේන්තුවට හා රටට හදුන්වා දීම ද බරපතල ප්‍රශ්නයකි.  එම  හදුන්වාදීමේ දුර්වලතා නිසා එම වැදගත් සංකල්පය හෑල්ලු වෙමින් වෙනත් ප්‍රතිගාමී අදහස් වලට ඉදිරියට ඒමට  වත්මන් රජය විසින් ඉඩ සලසා දීම කණගාටුවට කරුණකි.

 

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )
මේ අර්බූදයෙන් ගොඩ එමින් විෂය මාලා ප්‍රතිසංස්කරණ සාධනීයව ඉදිරියට ගෙනයාම සඳහන් පහත සඳහන් යෝජනා තුන අපි ඉදිරිපත් කරනවා.

• විෂය මාලාව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට සර්ව පාක්ෂික පාර්ලිමේන්තු  කමිටුවක් පත් කිරීම තුලින් එම ක්‍රියාවලිය ජාතික කර්තව්‍යක් බවට පත් කිරීම

• 2026 මැද භාගයේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය  පිළිබඳ  විමර්ශනයක් කර වඩා දියුණු සංකල්පීය පදනමකින්  ඉදිරි කටයුතු සැලසුම්   කිරීම:  

• අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අධ්‍යාපන් විෂය සම්බන්ධ සියලු ආයතන ප්‍රතිව්‍යුහගත ගත කරමින් ආයතනික හෝ අන්තර් ආයනික  ප්‍රශ්න නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩා වැටීමට ඉඩ නොදීම

එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )
මෙම ලිපියේ ඉතිරි කොටසින් ඉහත හැදින්වීමක් ලෙස ලෙස ඉදිරිපත් වූ කරුණු තව දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට පවතින දෝෂ සහිත මොඩියුල කෙසේ ඉදිරියට ගෙන යා යුතුද යන කඩිනම් තීරණය ගැනීම බලධාරීන්ගේ වගකීමක්. මෙහි දක්වන කරුණු කුමන තත්වයකට වුවත් අදාළ වෙන බව සඳහන් කළ යුතුයි.

අධ්‍යාපන ප්‍රකාශන ක්‍රියාවලියට නිසි නායකත්වය දීම හා ඒ පිළිබඳ වගවීම


මොඩියුලවල පෙන්වන දෝෂ පසුපස ඇය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක්යක් ඇති බවට අධ්‍යාපන ඇමතිනිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිලි කර තිබෙනවා. නමුත් ප්‍රතිවාදීන් කියන්නේ රජය විසින් මෙහෙයවන සමලිංගික අදහස් ප්‍රචාරණ කිරීමේ අරමුණක් වැනි දෙයක් මෙම විෂය මාලා සංශෝධනය පිටිපස ඇති බවයි.

 v5443erwewe
ප්‍රශ්න වලට විසදුම් සෙවීමේදී ප්‍රයෝජනවත් වන “ඔකම්ගේ දැලිපිහිය” සංකල්පයට අනුව යම් සංසිද්ධියක් පැහැදිලි කිරීමට සරල හේතුවක් ඇති විට වඩා සංකීර්ණ හේතු පසු පස හඹා යෑම නිරර්ථකයි.

වඩා සරල හේතුව ලෙස පැහැදිලිව පෙන්නේනේ මොඩියුල සකස් කළ අයගේ අසමත් බව හෝ මොඩියුල තත්ත්ව තහවුරු ක්‍රියාවලියේ කඩාවැටීමයි. සෑම මොඩියුලයකම එහි එක් එක් කාර්යය භාරව කටයුතු කළ අයගේ නම් සඳහන් වෙන අතර සුපරීක්ෂණ නිලධාරියෙකුද නම් කර තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගේ නම ඉහලින්ම යොදන්නේ නාමිකව වෙන්න පුළුවන්. නමුත් මොඩියුලයක ප්‍රමිතිය රැක ගැනීමේ ක්‍රියාදාමය අසාර්ථක නම් එහි පළමු වගකිවයුත්තා එම ක්‍රියාදාමය සැලසුම් කර අධීක්ෂණය කළ යුතු  අධ්‍යක්ෂ ජනරාල් බවට සැකයක් නැහැ. මෙම දෝෂ වලින් පැහැදිලි වන්නේ එම අවශ්‍ය තත්ත්ව පාලනය අධ්‍යක්ෂ ජනරාල් වරයාන් සිදු වී නැති බවයි.

නමුත් අවසන් විග්‍රහයේදී තමන් භාරයේ ඇති ආයතනයක ක්‍රියාවක් නිසා  තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් හානියක් සිදුවේ නම් විෂය භාර අමාත්‍යවරයා ලෙස එම වග කීම භාර ගෙන ක්‍රියාත්මක වීම ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයක අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තුවන්නකි.

 


මෙහිදී “මගේ උපදේශකයින් දැන සිටිය යුතුව තිබුනා. ඔවුන් මා දැනුවත් කළ යුතුව තිබුනා. මා ඔවුන්ගෙන් ඇසිය යුතුව තිබුනා” යන චර්චිල් අගමැතිතුමා කියූවයි සැලකෙන කියමන මතක් කර ගැනීම වැදගත්.

ඉංග්‍රීසි භාෂා මොඩියුලේ මිතුරන් සොයා ගැනීම යන පාඩමේදී දරුවන් අන්තර්ජාලයට යොමු කිරීම පිළිබඳ මූලික නිර්දේශ නොසලකා හය වසරේ සිසුන්ව අන්තර්ජාලයට යොමු කිරීම කිරීම බරපතල අතපසුවීමක් වූවත් සමාජ මාධ්‍ය කැළඹ ගියේ එවැනි මිතුරන් සොයා යාම සඳහා දරුවන් සම ලිංගික වෙබ් අඩවියකට යොමු කර ඇති බව වාර්තා වීමෙන් පසුය. අවසනාවකට එයට ඇමැතිනියගේ ප්‍රතිචාරය වූයේ එය පිටිපස කුමන්ත්‍රණයක් ඇති බවට තමන් යටතේ ඇති ආයතන වලට ඇඟිල්ල දිගු කිරීමයි.

අවසන් විග්‍රහයේදී චර්චිල් තමාගේ වගකීම තේරුම් ගත් ලෙසම තමන්ගේ අංශ ප්‍රධානීන් කුමක් කරත් නැතත් අධ්‍යාපන ඇමතිචාරයකු විසින් කළ යුත්තේ “ඇයි මම ඇහුවේ නැත්තේ “යන ස්වයං විවේචනයෙන් ප්‍රශ්න වලට මුහුණ දීමයි.

 



තමන් සතු  සතු මානව සම්පත හරියට කළමනාකරණය කරමින් ඔවුනගෙන් අවශ්‍ය ප්‍රශ්න අසමින් දැනුවත් වෙමින් තත්ත්වය පාලනය සඳහා යාන්ත්‍රනයක් ඇති බව තහවුරු කිරීමේ වගකීම විෂය භාර ඇමතිවරිය සතුයි. අවශ්‍යවන්නේ ඇඟිලි දික් කිරීම් නොව එවැනි යාන්ත්‍රනයක් ඇති කිරීමට වහා පියවර ගැනීමයි.

ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි සංකල්ප වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වගකීම

පසු ගිය වසරේ ජූලි 11 වැනි දින විෂය මාල ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇමතිනිය විසින් පාර්ලිමේන්තුව හා ජනතාව දැනුවත් කරේ අසම්පූර්ණ පවර්පොයින්ටුවකින් පමණක් වීම බරපතල වරදක්.

එම විෂය මාලා රාමුව යනු 1997 සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය බල සාධක වාර්තාවෙන් හෝ ඊට පෙර සිට ශිෂ්‍ය-කේන්ද්‍රීය, ක්‍රියාකාරකම්-පාදක, හා විභාග බර අවම කෙරෙන අධ්‍යාපනයක අවශ්‍යතාවයක් ඇත යන සංකල්පයේ දිගුවකි. පළමු වරට එම සංකල්පය විෂය මාලා  රාමුවක් ලෙස ඉදිරිපත් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය  විසින් 2020 පල කරන ලද ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සඳහා ජාතික විෂයමාලා රාමුවක් යන ලේඛනයෙනි. (අධ්‍යාපන අමාත්‍යංශය, 2020). එවකට සිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය  ඇමති හා එම ලේකම් විසින් මාධ්‍ය හරහා එම රාමුව හා අදාළ සංකල්ප  සමාජයට ඉදිරිපත් කිරීමේ විශාල උත්සාහයක් දැරූ බවට සාක්ෂි තිබෙනවා. විෂයයක් තේමාවලට කඩා  මොඩියුල ලෙස කොටස් කර ඉදිරිපත් කිරීමේ සංකල්පය පළමුවරට ඉදිරිපත් වන්නේ එම ලේඛනයෙන් බව මගේ වැටහීමයි. ඔවුන් විසින් ඒ සදහා විමධ්‍යගත පරිපාලන ව්‍යුහයක්ද ඉදිරිපත් කළා. නමුත් 2020-2024 දක්වා කාලය තුල  කොවිඩ් වසංගතය, ආර්ථික අර්බූදය, ජන අරගලය වැනි ජාතික කැළඹීම් හා දේශපාලන අස්ථාවරත්වය යටතේ එම උත්සාහයන් යටපත් වූවා.

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා

 

එම විෂය මාලා රාමුව නැවත කරලියට එන්නේ ජාතික ජන බල රජයේ ප්‍රධාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලෙසයි. නමුත් මේ වන විට එම 2020 පදනම් සංකල්ප පත්‍රිකාව අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ඉවත්වී තිබෙනවා. වත්මන රජය තම පදනම් සංකල්ප පත්‍රිකාව ලෙස අසම්පූර්ණ පවර්පොයින්ටුවක් පමණක් ඉදිරිපත් කිරීම නිසා අධ්‍යාපනඥයින් හෝ ප්‍රතිපත්ති විශ්ලේෂකයින්ට එම සංකල්පය තේරුම් ගෙන එයට ප්‍රතිචාර දීමේ හැකියාවක් තිබුනේ නැහැ.

මූලිකවම එම පවර්පොයින්ටුව අසම්පූර්ණ වන්නේ, 2020 මුල් ලේඛනයේ සඳහන් ලෙස හා 2025 පල කර ඇති මොඩියුල වලින් උත්සාහ කෙරෙන පරිදි, විෂය මාලා රාමුවේ සංකල්පීය පදනම  යනු  “ගවේෂණයෙන් හා ක්‍රියාවෙන් ඉගෙන ගැනීමට සලසන තේමා පදනමින් සැකසුනු මොඩියුල ඉගෙනුම් ඒකකයන් ලෙස යොදා ගැනීම තුලින් පවතින සම්ප්‍රදායක ක්‍රම වෙනස් කිරීම (MoE , 2020, 5.1, Ideology of the Curriculum) යන්න වෙනුවට නිදහස් අධ්‍යාපනය වැනි විෂය මාලාවට අදාල නැති සම්ප්‍රදායික අරමුණු වට්ටෝරුවක් විෂය මාලාවේ මාර්ගෝපදේශක මූල ධර්ම ලෙස හදුන්වා දීම නිසයි. ඒ නිසාම මොඩියුල හා විෂයයන් යන යෙදුම් හරියට නිර්වචනය  වී නැහැ. ඉදිරිපත් කිරීම පැහැදිලි නැහැ.

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

සාම්ප්‍රදායික පෙළ පොත් වෙනුවට කොටස් ලෙස මොඩියුල ඉදිරිපත් කිරීම හොඳ ප්‍රවේශයක් . උදාහරණ ලෙස, 6-9 ශ්‍රේණි සඳහා එක් එක් විෂය තේමා 9ක් යටතේ මොඩියුල 9 ක් වන සේ බෙදා ඇති බවත් ඒවායේ  ළමයින්ට ගව්ෂණයෙන් කරුණ සොයා ගැනීමට මුල් තැන දීමට උත්සාහයක් ඇති බවත් පෙනෙනවා. නමුත් මොඩියුල  හා ආනුසංගිකව විය යුතු අවම අත්‍යවශ්‍ය නිපුනතා ඇගයීම වැනි වෙනත් වෙනස්කම් වල වැදගත් කම අළුත් සම්පාදකයින් තේරුම් ගෙන නැති බව පෙනෙනවා. නොතේරුම්කම නිසා සන්නිවේදනය දුර්වල වීමත් ඒ නිසා  මොඩියුල වල දක්වා ඇති ක්‍රියාකාරකම් හාස්‍යට භාජනය වෙමින් එම මොඩියුල සංකල්පය හෑල්ලුවට භාජනය වීම  කණගාටුවට කාරණයක්.  

වැදගත් අධ්‍යාපන සංකල්ප එසේ හෑල්ලුවට භාජනය වීමට හේතුව අධ්‍යාපන ඇමතිනිය විසින් එම සංකල්ප ගැඹුරින් තේරුම් ගෙන ගෙන තර්කානුකූලව ඉදිරිපත් කිරීමට පොහොසත් ටීම් එකක් නැතිව තනි ගමනක් යෑමට උත්සාහ කිරීම බව කණගාටුවෙන් වුවත් කිව යුතුය.

විෂය මාලාව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම
 

විෂය මාලාවේ මොඩියුල අර්බූදය පිටු කිහිපයක දෝෂ පිළිබඳ ප්‍රශ්නයක් නොව සමස්තක් ලෙස එම මොඩියුල වල කොයි තරම් දුරට  සාවද්‍ය තොරතුරැ තිබෙනවාද හා සිසුන්ව අනිසි වෙබ් අඩවි වලට යොමු කෙරෙනවාද , මේවා පිටිපස කුමන්ත්‍රණකරුවන් සිටිනවාද යන ලෙස සැක පිට සැක ගොනුවී මුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයේ කඩවීමක් පෙනෙන්නට තිබෙනවා. . එම නිසා විෂය මාලාව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් බැහැර තුන්වන පාර්ශවයක් සිටීම වැදගත්. මේ සඳහා හොඳම යාන්ත්‍රනය සර්ව පාක්ෂික සහභාගිත්වය සහිත පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටුවකි. එය දැනට පවතින අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුව හෝ වෙනත් විශේෂ කමිටුවක් විය හැක..

 


2026 මැද භාගයේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ  විමර්ශනයක් කර වඩා දියුණු සංකල්පීය පදනමකින් ඉදිරි කටයුතු සැලසුම් කිරීම:

විෂය මාලා ප්‍රතිසංස්කරණ පිළිබඳව පදනම් සංකල්ප පත්‍රිකාවක් නැති අඩු ව පුරවමින් ශිෂ්‍ය-කේන්ද්‍රීය, ක්‍රියාකාරකම්-පාදක, හා විභාග බර අවම කෙරෙන අධ්‍යාපනයක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීමේ සාධනීය අංග මෙන්ම ඇතිවන  ගැටළු හා ඒවාට විසදුම් හඳුනාගෙන ක්‍රියාමූල පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමත්‍යංශයට ලැබී තියෙනවා.

එවැනි වාර්තාවකින් 2026 න් ඔබ්බට ප්‍රතිසංස්කරණ දිගටම ගෙනයාමට අවශ්‍ය වෙනස්කම් ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි. එසේ නැතිනම් එම ප්‍රතිසංස්කරණ දිගටම ගෙන යාමට ලංකාවේ අධ්‍යාපන පද්ධතිය දැනට සූදානම් නැති බව වුනත් හෙළි වෙන්න වෙන්න පුළුවන්.

ප්‍රතිඵලය කුමක් වුවත් එය නිහතමානීව භාර ගෙන කටයුතු කලොත් මේ ආණ්ඩුවට අපගේ ප්‍රණාමය හිමි වෙනවා.. එසේ නැතිව අපි කොහොම හරි මේක කරනවා කියමින් කටයුතු කළොත් ශිෂ්‍ය-කේන්ද්‍රීය, ක්‍රියාකාරකම්-පාදක, හා විභාග බර අවම කෙරෙන අධ්‍යාපනයක් යන සංකල්පය අපකීර්තියට පත්වෙනවා පමණක් නොව ආණ්ඩුව දේශපාලන වශයෙන් වැටීමට ද හේතු විය හැකි බවට අවධාරණය කිරීමට කැමතියි.

අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අධ්‍යාපන විෂය සම්බන්ධ සියලු ආයතන ප්‍රතිව්‍යුහගත ගත කරමින් ආයතනික හෝ අන්තර් ආයනික ප්‍රශ්න නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩා වැටීමට ඉඩ නොදීම
 

අධ්‍යාපන් අමාත්‍යංශ ලේකම් යටතේ විෂය විශේෂඥයන් මෙන්ම  ප්‍රතිපත්ති  විශේෂඥයන් ලෙස සැලකෙන අතිරේක ලේකම් වරු රාශියක් මෙන්ම ඒ අය යටතේ දෙපාර්මේන්තු රැසක් තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් එක එක විෂය සඳහා පීඨ පවත්වා ගෙන යනවා.. ඊට අමතරව ග්‍රන්ථ ප්‍රකාශාන දෙපාර්මෙන්තුවකුත් තිබෙනවා. මේ සියල්ල තිබියදීත් අධ්‍යාපන  ඇමැතිනියට ප්‍රතිසංස්කරණ පිළිබඳව සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කිරීමට බැරි  වූයේ ඇයි. මොඩියුල මේ තරම දෝෂ සහිත වූයේ ඇයි? පැහැදිලිවම මානව සම්පත බෙදී යාමේ හා කළමනාකරණය තිබෙන බව පෙනෙනවා..

Sujata Gamage(සටහන | ආචාර්ය සුජාතා ගමගේ )
ප්‍රතිපත්ති විශ්ලේශිකා
ජනවාරි 9, 2026
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්