මේ සති අන්තයේ සිට මගේ දවස අපේ රටේ සමාජ දේශපාලනය හැඩගස්වන ගැඹුරු රටා පිළිබඳව ආපසු හැරී බලන්නට වෙන් කරන්න මම හිතුවා. මේ වියමන එහි ප්‍රතිඵලයක්.
පිය සටහන්
වසර ගණනාවක් පුරා මම විවිධ සමාජ ජීවිත එක්ක ගත කර තිබෙනවා. ඒ අතර චීනයේ බෙයිජිං හි විදේශ විශේෂඥයෙකු සහ වූහාන්හි ශිෂ්‍යයෙකු වශයෙන් ගත කළ කාලයේ චීනයේ සමාජ ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන උපායමාර්ගවල ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වීම සුවිශේෂයි.
විටෙක , ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණවලදී නන්දෙසින් පැමිණෙන ශාස්ත්‍රඥයන් සමඟ සංවර්ධන උභතෝකෝටික පිළිබඳව තර්ක විතර්ක සහ අත්දැකීම් අතර මා කාලය ගත කර තිබෙනවා.

තවත් විටෙක, රාජ්‍ය නොවන සංවිධාන සමඟ කොළඹ සිට ගම් දනව්, වතු හරහා යාපනය දක්වා ඇවිද යමින් විවිධ තරාතිරමේ පුද්ගලයන් ගේ අත්දැකීම් සහ අදහස් වලට කන් දෙමින් ඔවුන් ජීවිතය ගැට ගසා ගන්නට සිදු කරන අරගල වගේම ඔවුන්ගේ අපේක්ෂාවන් ද සටහන් කරගෙන විශ්ලේෂණය කර තිබෙනවා.
දේශන ශාලා, විරෝධ පෙළපාලි, ජන අරගල සහ දේශපාලන කොරිඩෝ හරහා ඇවිද යද්දි පුරවැසියන්ගේ කලකිරීම සහ රැවටීම මට දැනී තිබෙනවා.
සරසවියෙන් පිටව ගත කළ මුල් දශකයේ මාධ්‍යකරුවෙකු වශයෙන් මෙරට සමාජ, දේශපාලන ආඛ්‍යාන හැඩ ගැසෙන, පැතිරෙන සහ මැකී යන ආකාරය මම අත්දැක තිබෙනවා.
මේ සියල්ලටම වඩා, නායකත්වය සහ කළමනාකරණය හදාරන තරුණ විද්‍යාර්ථීන් විසින් නායකයින්ගේ චමත්කාරය විග්‍රහ කරන අතරතුර මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් බලාපොරොත්තු සහගත විය හැක්කේ කුමනාකාරයේ නායකත්ව ශෛලීන්ගෙන් යුත් නායකයන්ට ද යන්න නිගමනය කළ නොහැකිව තුෂ්ණිම්භූත වන ආකාරය මට මතකයි.

ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමේ කේන්ද්‍රීය සාධකය
ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමේ කේන්ද්‍රීය සාධකය පුරවැසියා විසින් නායකයින් තෝරා ගැනීමේ තීරණයේ දී දිගින් දිගටම පෙන්නුම් කරන අසාර්ථකභාවයයි. එය හුදෙක් ජනයාගේ තීරණ ගැනීමේ අර්බුදයක් පමණක් නොවේ. මෙරට පුරවැසියා පිළිබඳ ගැඹුරු බුද්ධිමය ප්‍රහේලිකාවක්.

අපට නායකත්වය දීමට සුදුසු කවුදැයි තීරණය කරන්නේ කෙසේද? එම තීරණයේ ප්‍රතිඵල අසාර්ථක වූ විට අපි එම තීරණය නැවත සලකා බලන්නේ කුමන පදනමක් මතද? මේ ප්‍රහේලිකාව අපට අලුත් දෙයක් නොවේ. එනමුත්, දිනෙන් දින වර්ධනය වන අසාර්ථක රාජ්‍යයක් වීම, දේශපාලන අස්ථාවරත්වය, සමාජීය අවිනිශ්චිතභාවය, නොසන්සුන් බව, සහ ඉච්ඡා භංගත්වය එම ප්‍රහේලිකාවට පිළිතුරක් සොයාගැනීම තියුණු, හදිසි සහ අනිවාර්ය ප්‍රපංචයක් බවට අද පත්වී තිබෙනවා.
සැබෑ උභතෝකෝටිකය වන්නේ, මීළඟ නායකයා කවුරුන්ද යන්න නොවේ. සමාජයක් ලෙස අප නැවත නැවතත් නායකත්වය වැරදි ලෙස විනිශ්චය කර එම විනිශ්චයේ නිර්ණායක වෙනස් කරන්නට මැළි වන්නේ මන්ද යන්නයි.
මෙම උභතෝකෝටිකයේ හරය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී තේරීම සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීම අතර ආතතියකි. මෙරටට කවදාවත් දේශපාලන පක්ෂ, මැතිවරණ සහ ජනකාන්ත නායකයන්ගෙන් හිඟයක් තිබුණේ නැහැ. එහි නොතිබුණේ, තීරණ ගැනීමට පෙර සහ තීරණය වැරැදි බව ඔප්පුවීමෙන් පසුවද නායකයා තෝරා ගැනීමේ නිර්ණායක නැවත ගැඹුරින් සලකා බලන තිරසාර සංස්කෘතියකි (සෙස්ස ලබන සිකුරාදාට).
(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය








