නේපාල ලේඛක නාරායන් වග්ලේ විසින් රචිත ප්‍රථම නවකතාව නම් කර ඇත්තේ පල්පසා කැෆේ නමිනි.

පසුව මෙය එනමින්ම සුනන්ද දේශප්‍රිය විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබිණි.

නේපාලයේ කත්මණ්ඩු නුවරින් ඉතා දුර ගම්බද පෙදෙසක සිට තිස් වසරකට පෙර කත්මණ්ඩු කරා පැමිණ එහි “ඩයස්පෝරාවකු” බවට පත්ව සිටිනා (බැහැරින් පැමිණ කත්මණ්ඩු නුවර වාසය කරනා සාහිත්‍යකරුවෝ තමන් එලෙස හඳුන්වන්නට රුචියක් දක්වති.) වග්ලේ සිය නවකතාවට පදනම කරගනුයේ දීර්ඝ කාලයක් පුරා නේපාලය පුරා ඇදී ගිය පුෂ්ප කමාල් දයාල් නැතිනම් ප්‍රචණ්ඩාගේ මාවෝවාදී ගරිල්ලා අරගලයයි.

එහෙත් ඔහුගේ කතාවෙහි තේමාව වනුයේ අහිමිව ගිය ප්‍රේමයක පුවතය.

එසේම එය බරපතල අර්බුදකාරී සමයක මහා අරගල අතරේ නොතකා හැරෙන ජීවිත පිළිබඳ අපූර්ව විවරණයකි.

එහි වැදගත්ම දායකත්වය වනුයේ මෙලෙස අමතක කර දැමෙනා මිනිසුන් පිළිබඳව මතු කරනා සංවේදී කතන්දරයයි.

Paangshu Neeta''විසාකේසගේ “පාංශු” සිනමාපටය නැරඹූ අවස්ථාවෙහිදී වග්ලේ සිහිපත් වුනා ...''

මට යළිත් වරක් වග්ලේ සිහිපත් වූවේ 21 සිකුරාදා සන්ධ්‍යාවෙහි රොක්සි සිනමාහලේ විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සිනමාපටය නැරඹූ අවස්ථාවෙහිදීය.

කොවිඞ් 19 විසින් හකුලා දමන ලද සංස්කෘතික ක්‍රියාකාරකම් හෙමිහිට යළි ඇරඹෙන අවස්ථාවක දීර්ඝ කාලයකට පසුව සිනමා හලෙක සිනමා පටයක් නරඹන්නට ලැබීමම ආශ්වාදජනක බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සාමූහික පැවැත්ම හමාර කිරීම පවත්නා දේශපාලනය විසින් යෝජනා කරනු ලබනා අවදියක වසංගත මගින්ද ඒ ඉරණමටම ජනයා තල්ලු කරද්දී සිනමා හලෙක සමූහයක් ලෙස එකතු වන්නට ලැබීමම ආශ්වාදයකි.

ඉදින් එය තවත් තීව්‍ර වූයේ එම සිනමා පටය අපගේ තරුණ අවදියෙහි අපගේද දායකත්වයෙන් ඇදී ගිය අරගලයක පසුබිමෙහි නිර්මිත බව දැනගන්නට ලැබීමෙනි.

''ලාංකීය භූමිය තුළ ගෙවීගිය කාලය පුරා හටගත් අරගල අතරින් හැත්තෑ එක, අසූනමය මෙන්ම උතුරේ තිස් අවුරුදු අරගලයද දේශපාලනිකව කවර ආකාරයේ විවේචනයන්ට බඳුන් කළ හැකි වුවද ඒ අතරම රටෙහි ඉතිහාසයෙහි මකා දැමිය හැකි නොවනා කොටස් බව අවිවාදිතය.''

ලාංකීය භූමිය තුළ ගෙවීගිය කාලය පුරා හටගත් අරගල අතරින් හැත්තෑ එක, අසූනමය මෙන්ම උතුරේ තිස් අවුරුදු අරගලයද දේශපාලනිකව කවර ආකාරයේ විවේචනයන්ට බඳුන් කළ හැකි වුවද ඒ අතරම රටෙහි ඉතිහාසයෙහි මකා දැමිය හැකිනොවනා කොටස් බව අවිවාදිතය.

එහෙත් මේ අවස්ථා තුනම නිර්මාණ සාහිත්‍යයෙහි ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවට බඳුන්ව නැත.

ඒ වෙනුවට ඒ අරගල තුනම මැතිවරණ සමයන්හි දේශපාලන වේදිකා මත ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්වන මැතිවරණයෙන් පසු අමතක කර දමනා දෙයක් පමණි.

ලොව අන් බොහෝ රටවල මෙවන් අරගල දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණ ලෝකය තුළ යළි යළි ප්‍රතිනිර්මාණය කෙරෙද්දී අපට ඒ සම්බන්ධව ඇත්තේ සීමිත අත්දැකීම් පමණි.

ඒ වෙනුවට අපට බහුලව ඇත්තේ සතුරු මිතුරු නැතිනම් ප්‍රේමී- ද්‍රෝහී කෝණවලින් කෙරෙනා නිර්මාණ පමණි.

එය දේශපාලන ව්‍යාපෘති බව සැබෑවක් වුවද නිර්මාණ හරහා සිදුවිය යුතු දේශපාලන මැදිහත්වීම නම් නොවේ.

විසාකේසගේ කෘතිය අපට වැදගත් වනුයේ එය අවධානය දිනාගත් නිර්මාණකරුවකු විසින් කරන ලබනා මැදිහත්වීමක් වන හෙයිනි.

Paangshu filmසමස්ත සිනමා පටයම දිවෙනුයේ ජවිපෙ දරුණු මර්දනයට ලක්කෙරුණු කාලයක් ආවරණය කරමිනි

සමස්ත සිනමා පටයම දිවෙනුයේ වසර හයක කාලයක් ආවරණය කරමිනි. ඊට අදාළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවන සන්නද්ධ ගරිල්ලා අරගලය ත්‍රීව්‍ර කළ අසූව දශකයේ අගභාගයෙන් ඇරඹී ඉදිරියට දිවෙනා වසර සයකි.

හරියටම කියන්නේ නම් පලාත් සභා නැතිනම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ පසු කාලයේ පටන් ඉදිරියට ඇදුන කාලසීමාවයි.

මේ කාලය යනු ජවිපෙ දරුණු මර්දනයට ලක්කෙරුණු, ලාංකීය වදන් කෝෂයට ටයර් සෑය, ධර්ම චක්‍රය, ආදී නව වදන් බොහොමයක් එකතු වුණ කාලයද වෙයි.

එසේම එය දකුණේ මව්වරුන්, පියවරුන් මෙන්ම බිරින්දෑවරුන් සහ පෙම්වතියන් තමනට අහිමිවූවන් සොයා කඳවුරු ගානේ මෙන්ම හබයාස් කෝපුස් අයදුම් ගොනු කරමින් උසාවි ගානේ සහ මානව හිමිකම් කාර්යාල ගානේද ඇවිදගිය කාලයයි.

''එය දකුණේ මව්වරුන්, පියවරුන් මෙන්ම බිරින්දෑවරුන් සහ පෙම්වතියන් තමනට අහිමිවූවන් සොයා කඳවුරු ගානේ මෙන්ම හබයාස් කෝපුස් අයදුම් ගොනු කරමින් උසාවි ගානේ සහ මානව හිමිකම් කාර්යාල ගානේද ඇවිදගිය කාලයයි. ''

ඒ අවදියේදී මව්වරුන්ගේ කඳුළු යනු දකුණේ දේශපාලනයේ අතිශය ලාභදායී ආයෝජනයයි.

එසේම එය ලංකාවේ සන්නද්ධ අරගල ඉතිහාසයෙහි ද තීරණාත්මක කඩඉමකි.

රැඳවුම් කඳවුරු, පුනරුත්ථාපන කඳවුරු, පොලිස් සිරමැදිරි සහ බන්ධනාගාර තරුණයන්ගෙන් පිරී ගිය ඒ සමයෙහි අවසානය දකුණට සළකුණු වන්නේ රෝහණ විජේවීර ඝාතනය සහ ජවිපෙ තල තුනක් විනාශ කරදැමීම මගිනි.

ඒ විනාශය යනු ඉන් නතර නොවූවක් නොව අඛණ්ඩවම ඇදෙනා ක්‍රියාවලියක් බව වර්තමාන දේශපාලනය විසින් තහවුරු කරමින් තිබෙන්නේ අතිශය ඛේදනීය ආකාරයකටය.

මේ අරගල සමය යනු එක් නිර්මාණයක් තුළට ලෙහෙසියෙන් කැටිකරගත හැක්කක් නොවේ. එය වඩා සාර්ථකව කළ හැක්කේ දීර්ඝ වාර්තා සිනමා පටයක් මගින් පමණි. එහි ඇති සංකීර්ණතාවන්, දුබලකම් මෙන්ම ප්‍රබලතාවන්ද, දේශපාලන විවේචනයන් ද සාකච්ඡා කළ හැක්කේ එවන් පුළුල් මැදිහත්වීමකින් පමණි.

Visakesaවිසාකේස මේ කාන්තාවන් සිවුදෙනාගේ පොදු ඛේදවාචකය සංවේදී සිනමා කාව්‍යයක් ලෙස අප වෙත ගෙන එයි.

විසාකේස ඉතා හොඳින් මේ බරපතල වැඩබිමෙන් කොටසක් වෙන් කර ගනියි. ඒ අනුව සිනමා කෘතියක් ලෙස මා මෙහි දකිනා වැදගත්කම ඇත්තේ ඒ වෙන්කර ගැනීම තුළය.

ඔහු බරපතල අරගලයක කේන්ද්‍රීය චරිත වෙනුවට පල්පසා කැෆේ කෘතිය මෙන්ම එවන් අරගලයකදී නොතකා හැරෙන චරිත සතරක් සිය සිනමා නිර්මාණයට පාදක කරගනියි.

 ඔහුගේ නිර්මාණය තුළ එන තරුණයා සහ ඔහුගේ දේශපාලන නායකයා යනු අර චරිත විකාශයට සහය වන චරිත පමණි. සිනමා පටයෙහි ප්‍රධාන චරිතය ලෙස තරුණයාගේ මව ඉදිරිපත් කෙරුණද ඒ හා සමගම තවත් කාන්තා චරිත තුනක් මතුව එයි.

ඒ චරිත තුනම සිනමා පටයෙහි අප ඉදිරියට එන අවස්ථා සීමිත වුවද මවගේ චරිතය තරමටම වැදගත්ය.

තරුණයාගේ ඝාතකයා බවට පත් සෙබලාගේ ගැබ්බර බිරිඳ, ජවිපෙ අරගලය තුළ බරපතල විරෝධයට ලක්වූ පලාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා සිය මව අහිමිව ගිය දියණිය, මියගිය මවගේ මව යන මේ සියළු චරිත මේ සිනමාපටයට තදින් බද්ධව පවතී.

ඔවුන් සිවුදෙනා යනු කලින් කී අරගලයෙහි අමතක කර දැමුණ නැතිනම් දේශපාලන ආයෝජනයන් ලෙස භාවිතා වුණු පුද්ගලයන් පමණි.

මේ ස්ත්‍රීන් සිවුදෙනා දකින විට නිතැතින්ම සිහිපත් වනුයේ අසූව දශකයේ අගභාගයේ ඉංග්‍රීසි පුවත්පතක මුල්පිටුවේම පළව තිබූ තරුණයකුගේ උඩුකය ඡායාරූපයක් අතින්ගෙන උද්ඝෝෂණයක නිරත තරුණ කතකගේ කඳුළු පිරි මුහුණේ ඡායාරූපයයි.

විසාකේස මේ කාන්තාවන් සිවුදෙනාගේ පොදු ඛේදවාචකය සංවේදී සිනමා කාව්‍යයක් ලෙස අප වෙත ගෙන එයි.

එකිනෙකා කෙරෙහි බද්ධ වෛරයෙන් පසුවිය යුතු දරුවන් අහිමිව ගිය මවුවරුන් දෙදෙනා අතර වන සහයෝගය මෙන්ම විරෝධයද මුසු සබඳතාව, මව අහිමි කුඩා දියණිය මේ වැඩිහිටි චරිත අතර මැද ජීවිතය කියවා ගන්නට දරනා උත්සාහය මෙන්ම තම සැමියා මිනීමරුවකු වීමේ අනතුර හමුවේ කම්පනයට පත්ව සිය සැමියා බේරා ගැනීම පිණිස උත්සාහ දරන ගැබ්බර බිරිඳ ගේ මනෝභාවයන් චිත්‍රණය කිරීමේදී විසාකේස සිනමාකරුවකු ලෙස සාර්ථකව එය ජය ගනියි.

එහිදී මේ සෑම චරිතයක්ම විශේෂයෙන්ම තරුණයාගේ මව ලෙස රඟන නීටා මෙන්ම ගැබ්බර බිරිඳ ලෙස රඟන නදී ගේ රංගනය ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය.

Paangshu Nadeeගැබ්බර බිරිඳ ලෙස රඟන නදී ගේ රංගනය ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය.

මේ අතරම සිනමාපටයෙන් මතුවන තවත් වැදගත් කරුණක් තිබේ. ඒ අරගලයකදී අරගලකරුවා සහ ඔහුගේ මර්දකයා ලෙස හමුවන නිල මර්දන යන්ත්‍රයෙහි සාමාජිකයා අතර පංතියක් වශයෙන් ඇති සමානත්වය සහ මර්දනයේදී ප්‍රබල චරිත බවට පත්වන්නවුන් යනු තවත් යාන්ත්‍රණයක ඇන මුරිච්චි පමණකිය යන සත්‍යයයි.

පසුගිය අතීතය පුරා ලංකාවෙහි සෑම අරගලයකින්ම ඔප්පු කරන ලද මේ සත්‍යය විසාකේස සිය සිනමා පටය තුළ කදිමට මතුකර දක්වයි.

පියානෝ වාදකයා කෘතියෙහි (ව්ලැඞ්ස්ලාව් ස්පිල්මාන් විසින් රචිත කෘතියෙහි) විල්ම් හොසෙන්ෆීල්ඞ් නම් ජර්මානු හමුදා සෙබලා අපට පවසන්නේද එයමය. එහෙත් යුද්ධය වීර කාව්‍යයක් ලෙස කියවන සමාජයකට එය තේරුම් ගැනීම ලෙහෙසි නැත.

විසාකේස ලාංකීය ඉතිහාසයෙහි බරපතල අර්බුද සමයක ප්‍රධාන පුවත ස්පර්ශ කරමින් ඒ හරහා ඉතා තීව්‍ර ලෙස ආයුධ කතා කරනා පසුබිමක ඊට මැදිවන ජීවිතවල කතන්දරය මතු කිරීමට දරන උත්සාහය සාර්ථක බව කිව යුතුය. එහෙත් ඒ එක්තරා දුරකට පමණි.

එක් ස්ථානයකින් පසුව නිර්මාණකරුවාම තම නිර්මාණයෙහි ප්‍රබල බව බිඳ හෙලයි.

ඒ සිය පුතුගේ මිනීමරුවාට අධිකරණයෙන් දඬුවම් දීමේ අදිටනින් පසුවන මව ඒ ආසන්නයේම මවක වීමට නියමිත තරුණ කාන්තාව තුළින් මාතෘත්වය යළි අවදිකරගන්නා මොහොතයි.

තමන් තම සමාජය තුළම අවමානයට පාත්‍රවන බව දැන දැනම ගැබ්බර තරුණිය කෙරේ වන කම්පාවෙන් මිනීමරුවාට ගැලවී යාමට ඉඩ හරිමින් අධිකරණයෙහි සිය සාක්ෂිය දුර්වල කර ඇය අධිකරණයෙන් පිටතට එන අවස්ථාව යනු මා විශ්වාස කරනා පරිදි නම් සිනමා පටයෙහි අවසානය සහ කූඨප්‍රාප්තියයි.

''තමන් තම සමාජය තුළම අවමානයට පාත්‍රවන බව දැන දැනම ගැබ්බර තරුණිය කෙරේ වන කම්පාවෙන් මිනීමරුවාට ගැලවී යාමට ඉඩ හරිමින් අධිකරණයෙහි සිය සාක්ෂිය දුර්වල කර ඇය අධිකරණයෙන් පිටතට එන අවස්ථාව යනු මා විශ්වාස කරනා පරිදි නම් සිනමා පටයෙහි අවසානය සහ කූඨප්‍රාප්තියයි.''

යම් හෙයකින් සිනමා පටය එතැනින් අවසන් කරන ලද නම් නරඹන්නා සිනමාපටයෙහිම හවුල්කරුවකුවීම වැලැක්විය නොහැකිය. ඒ මනුෂ්‍යත්වය පිළිබඳ බරපතල කම්පනයක් ඒ අවස්ථාව විසින් ජනිත කරනා බැවිනි.

එහෙත් විසාකේස එයට ඉඩ නොතබනවා පමණක් නොව ඉන්පසු කතන්දරකරුවා බවට පත්වෙමින් ප්‍රහේලිකා විසඳන්නා බවටද පත්වෙයි.

එහි අවසානය සිනමා පටයෙහිද අවසානය වන්නේ තුවක්කුවක් ළයෙහි දිය රෙද්දෙන් පටලාගෙන උඩුබැල්ලෙන් පිහිනන (එය පිහිනීමකැයි කිවහැක්කේ පිහිනීම නොදන්නා අයෙකුටය) මවගේ දසුනකිනි.

Paangshu Neeta2

තම පුතුගේ මරුවාට ගැලවී යාමට ඉඩ හරිමින් අධිකරණයෙන් පිටට එන මව සහ ඇය පසුපස යන්නට තැත් දරනා ගැබ්බර තරුණිය සමගින් රසිකයාගේ පරිකල්පන ශක්තියට ඉඩ විවර කරනු වෙනුවට කළගුණ දැක්වීමට තරුණයාගේ මව සොයා සිය අලුත උපන් බිළිඳියද සමගින් යන තරුණ මවගේ දසුන ආදිය විසින් විසාකේස තම සිනමා පටය මුල මැද අග මනාව ගලපා ඇති සරල කතන්දරයක් බවට පත් කරයි.

එසේ කතන්දරකරුවකු නොවී සිනමාකරුවකු ලෙසින් සිය සිනමා පටයෙහි අවසානය දක්වන්නට විසාකේස සමත්විණි නම් මීට වඩා මෙය ප්‍රබල නිර්මාණයක් වනු ඇත.

කෙසේ වෙතත් විසාකේස පාංශු හරහා කරන මැදිහත්වීම අප කාගේත් අවධානයට ලක්විය යුතු බවත් ඒ සමගම කිව යුතුය.

(චූලානන්ද සමරනායක - රාවය පුවත්පතේ පළවූ විශේෂාංගයකි)

subscribeYT

නවතම පුවත්