leader s

ඇඹිලිපිටියේ සිට කොලොන්න පාරේ කිලෝමීටර් 10. 7 ක් පමණ ගියවිට හමුවන තවම සංවර්ධනය වෙමින් පවතින කුඩා නගරයක් වෙයි. මේ නගරය පනාමුරේ ය. පනාමුරේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ 1950 වසරේ පැවති පනාමුරේ ඇත්ගාල නිසා ය.
 
ඇත්ගාල ප්‍රසිද්ධ වුණේ තම වර්ගයා වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කර අවසානයේ වර්ගයා වෙනුවෙන් ම එම සටන් බිමේදී ජීවිතය පූජා කළ හස්ති රාජයකු නිසා ය. මෙම හස්ති රාජයාට ඇතා ලෙසින් ව්‍යවහාර වූයේ එම සතාට ගෞරවය පිණිස ය. එම සතා ජීවිත පූජාවෙන් කළ එම සටනින් පසු අපේ රටේ අලි ඇතුන් ගාල් කර අල්ලා ගැනීම නීතියෙන් ම තහනම් කරනු ලැබිණි. ඒ අනුව මෙම හස්තියාගේ මරණය ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණ ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. එලෙස ඉතිහාසයට එක්වූ එම හස්තියා සම්බන්ධ අනුවේදනීය සිද්ධිය නිසාම පනාමුරේ ⁣හස්ති රාජයා වෙනුවෙන් ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයක් පවා බිහි විය.          
පනාමුරේ හස්ති රාජයාගේ එම ඓතිහාසික සටනත්, පනාමුරේ එදා සහ අද පිළිබඳ තොරතුරුත් අපි මෙතැන් සිට කියවමු.
         
1950 මෙම සිද්ධිය සිදුවන කාලය වනවිට පනාමුරේ සහ මඩුවන්වෙල නින්දගම්වල අයිතිය තිබුණේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේට ය. 1888 වසරේ උපන් ඔහු නීතිඥයකු වශයෙන් කටයුතු කරමින් හිඳ පසුව දේශපාලනයට පිවිසුණු, රත්නපුරේ ප්‍රභූ පවුලකට අයත් වංශවතෙකි.
 
ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ
1931 වසරේ ඩොනමෝර් කොමිසම යටතේ මෙරට ස්ථාපිත කරන ලද ප්‍රථම රාජ්‍ය මන්ත්‍රන සභාවට දැදිගම ආසනයෙන් ඉදිරිපත් වී නිතරගයෙන් තේරී පත්වූ ශ්‍රීමත් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක පදවියට තේරී පත් වූයේ ද වැඩි ඡන්දයෙනි. පසුව දේශපාලනයෙන් කලක් ඉවත් වී සිටි ශ්‍රීමත් මොලමුරේ නැවත 1943 වසරේ ඔක්තෝබර් 03 වෙනි දින බලංගොඩ ආසනයේ පැවති අතුරු මැතිවරණයට ඉදිරිපත් ව සිය ප්‍රතිවාදියා වූ බාන්ස් රත්වත්තේ පරදවා වැඩි ඡන්ද 1751ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගෙන දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ස්ථාපිත වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා 1947 වසරේදී පවත්වන ලද මැතිවරණයෙන් බලංගොඩ බහු මන්ත්‍රී කොට්ඨාසයට තරග කර පළමුවැනි මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. 1947 වසරේ ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා ලෙස, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් තේරී පත් වූයේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ ය.            
ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කිලෝමීටර් 24 ක් පමණ දුරක් ගියවිට හමුවන 14 වෙනි සැතපුම් කණුව ආසන්නයේ ඉතාමත් රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත.  
         
මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය සම්බන්ධයෙන් විකිපීඩියාවල තොරතුරු දැක්වෙන ආකාරයට ක්‍රි:ව 1700 පමණ යුගයක මඩුවන්වෙල පරපුරේ ආදිතමයා දෙදරන්ගමුව නමින් හැඳින්වුණු මාදන ප්‍රදේශයේ ජීවත් වී තිබේ. ඉන් පසුව එකල බල්ලන් දෑව හේන නමින් හඳුන්වන ලද මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණ පදිංචි වූ එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලක් ද තැනවීය. මුදලින්දාරාමය නම්වූ එම විහාරස්ථානය අද ද පවතී. 
         
එම ප්‍රභූවරයාගෙන් පසු මඩුවන්වෙල පරපුරේ ඊළඟ පුරුක ලෙස දැක්වෙන්නේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලි ය. විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස මෙම මුදලිවරයා විසින් ඇලි ගෝනකු ( ඉතා දුර්ලභ සුදු ගෝනකු) ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650 ක භූමියක් රජුගෙන් ගම්වරයක් ලෙස ලබා ගත් බව සඳහන් වෙයි.
 
104051ඇඹිලිපිටිය දෙස සිට එනවිට පනාමුරේ නගරයට ඇතුළු වීමට පෙර තිබෙන බෝඩ් එක
     
පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේ නමින් හඳුන්වන කොලොන්න රත්නායක මුදියන්සේලාගේ ලොකු අප්පුහාමි ය. කොලොන්න පනාමුර ප්‍රදේශවල නින්දගම් ලබාගෙන ඇත්තේ මෙතුමා බව සඳහන් වේ.
       
මීළඟට කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමිත්, ඉන්පසුව රාජාධිරාජසිංහ රජ සමයේ මඩුවන්වෙල විජයසුන්දර මුදලිත් වලව්වට උරුමකම් කීහ. 
         
වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේ ය. 
         
මඩුවන්වෙල වලව්වේ විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ඉන්පසු මෙම ප්‍රදේශය පාලනය කළේය.
         
එම පරපුරේ අවසන් පුරුක වූයේ ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල වික්‍රමසිංහ විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාලහාමිල්ලාගේ ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාවේ හෙවත් මඩුවන්වෙල රටේ මහත්තයා ය. මඩුවන්වෙල වලව්ව සුවිසල් වලව්වක් ලෙස ඉදි වූයේ එම වලව්ව ඔහු අතට පත්වූ පසුව බව පැවසේ. ඒ අනුව ඊට කාමර 121 ක්, මැද මිදුල් 12 ක්, ආරක්ෂක පවුරු 3 ක්, අධිකරණ ශාලාවක්, එකල දරු ප්‍රසූතීන් සිදු වූයේ නිවෙස්වලම බැවින් තිඹිරි ගෙයක්, වලව්වේම කොටසක් වූ දෙමහල් ගොඩනැගිල්ලක්, බෝධි ප්‍රාකාරයක් ඇතුළු තවත්අංග රාශියක් එකතු කර තිබිණි. වර්තමානයේ මෙහි කාමර 42 ක්, මැද මිදුල් 7 ක්, අධිකරණ ශාලාව, දෙමහල් ගොඩනැගිල්ල, තිඹිරි ගෙය, බෝධි ප්‍රාකාරය වැනි දෑ පමණක් ඉතිරිව පවතින බව ඇතැම් ලේඛනවල සඳහන් වුවද කාමර 42 ක් දැන් එහි නැති බව ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් ගේ අදහස වන්නේ මේ වන විට එහි කාමර තිස් ගණනක් පමණ පැවතිය හැකි බවයි.
       
සුද්දන්ට හිස නොනැමූ ප්‍රතිපත්තිගරුක පාලකයකු ලෙස මඩුවන්වෙල මහ දිසාවේ ප්‍රසිද්ධ ය. එසේම ඔහු තම පාලන ප්‍රදේශයේ නීතිය සහ සාමය අකුරටම රැකීම උදෙසා දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබේ. මේ නිසා ඔහු විසින් පාලනය කරන ලද කොලොන්න කෝරලයේ එකල සොරකම් හෝ අපරාධ සිදු නොවූ බව සඳහන් ය.
 
Maduwanwela walawwa 1
මඩුවන්වෙල වලව්වේ සියලු උළුවහු නිමවා තිබෙන්නේ කළු ගලිනි. එහි ඇතුළු වන ප්‍රධාන දොරටුවේ කළුගල් උළුවහුව උසින් අඩු ව තනා තිබේ. මේ නිසා වලව්වට ඇතුළු වන සුදු නිලධාරීන්ට පවා එහි ඇතුළුවන්නට සිදුවන්නේ මඩුවන්වෙල මහ දිසාවේට හිස නමා ගෙන ය. මෙය මහ දිසාවේ විසින් සිතා මතාම කරවන ලද ඉදි කිරීමකි. එසේම වලව්වේ පිවිසුම් මාවතේ බිම අතුරා තිබෙන ටයිල් අතර වික්ටෝරියා රැජිනගේ රුව සහිත පිඟන් කැබලි අතුරා තිබේ.          
මඩුවන්වෙල මහ දිසාවේට සිටියේ එක් දියණියක පමණි. ඇය ද ආබාධිත දරුවෙකි. කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වූ ඇයට මෙම නින්දගම් ඇතුළු අතිවිශාල දේපළ තනිවම පාලනය කිරීම කළ නොහැකි වූ හෙයින් මඩුවන්වෙල දිසාවේගෙන් පසු එම බූදලය හිමි වූයේ එතුමාගේ සහෝදරියකගේ දරුවකු වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේට ය. 
         
පනාමුරේ නින්දගම සහ මඩුවන්වෙල නින්දගම එකට යාව පිහිටියේය. පනාමුර නින්දගම ගම් සිතියමේ (සිතියම් අංක 753) සඳහන් වන අන්දමට එහි ප්‍රමාණය අක්කර පන්දහස් හයසීයකි. 
         
මඩුවන්වෙල නින්දගම ගම් සිතියමේ (සිතියම් අංක 883) දැක්වෙන පරිදි මඩුවන්වෙල නින්දගමේ ප්‍රමාණය අක්කර දොළොස් දහසක් වේ. 
         
මඩුවන්වෙල, මොලමුරේ යන පරම්පරාවන් මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි තවත් උඩරට රදල වලව් පරම්පරාවල් දෙකක් වන සෑම් ඇලපාත සහ කලවානේ දිසාවේ යන මෙම පරම්පරාවල් හතරම එකම පවුල්වල ඥාතීන් ය. මේ පරම්පරාවල් හතරට අයත් නින්දගම් රත්නපුර දිස්ත්‍රික්කයේ සිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළත් පැතිර පැවති බව පැවසෙන අතර එම මුළු භූමි ප්‍රමාණය අක්කර අනූ නව දාහක් බව සඳහන් ය. මේ පරම්පරාවල් හතරේම යම් යම් මුදලිවරුන් කලින් කලට අලි ගාල් පැවැත්වූ බව ඉතිහාසය දක්වයි.
  104052පනාමුරේ කුඩා ටවුම       
පනාමුරේ ගමට එම නම ලැබී ඇති ආකාරය පිළිබඳව විවිධ ජනප්‍රවාද තිබේ.
         
පනාමුරේ සිට මිද්දෙනිය හරහා වලස්මුල්ල දක්වා යනවිට කිලෝමීටර් විස්සක පමණ දුරින් කටුවන නම් ප්‍රදේශයක් හමු වෙයි. පනාමුරේ, මඩුවන්වෙල වැනි ප්‍රදේශ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර මිද්දෙනිය, කටුවන, වලස්මුල්ල ආදී ප්‍රදේශ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ය. මිද්දෙණිය සහ වලස්මුල්ල අතර පවතින මෙම කටුවන ප්‍රදේශයේ ලන්දේසීන්ගේ බලකොටුවක් තිබී ඇත. එම බලකොටුව භාරව සිටි ලන්දේසි කපිතාන්වරයා ගේ නම "ඇත්ලෙවල්" බව සඳහන් ය. එම නම උච්චාරණය කිරීම අපහසු බැවින් ප්‍රදේශවාසීන් ඔහුව හඳුන්වා තිබුණේ "අතලවලයා" යන නමිනි. මෙම කපිතාන්වරයාට කටුවන සිට සබරගමුවට යාමට මාර්ගය වැටී තිබුණේ පනාමුරේ ප්‍රදේශය හරහා ය. නමුත් ඒ මග ඔහු යාම වැළැක්වීම සඳහා භටයන් පනහක් මුරට යොදවා තිබීම හේතුවෙන් එය පනාමුරේ නම් වූ බව එක් ජනප්‍රවාදයක දැක්වෙයි.
       
ඈත අතීතයේ මෙහි පැවති වෙනත් ඇත් ගාලක් මුර කිරීම සඳහා පනස් දෙනෙකු යොදවා තිබීම හේතුවෙන් පනාමුරේ නම් වූ බව තවත් ජනප්‍රවාදයකි.
         
මේ ප්‍රදේශ අතීතයේ කාවන්තිස්ස රජුගේ පාලනයට නතුව තිබිණි. කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද විහාර, වැව් ආදිය අදටත් මේ ප්‍රදේශවල දක්නට ලැබේ. මෙයින් සමහර ඒවා නටබුන්ව පවතී. එවැනි වැවක වැව් බැම්මේ කොටසක් සහ වැවේ හතර කොනේ තනවා තිබූ විහාර හතරක නටබුන් වර්තමානයේ ද දැකගත හැකිය. විහාර හතරේ නිතරම පහන් වැටවල් දල්වා තබා ඇත්තේ ප්‍රදේශය මුර කිරීමට ය . එනිසා "පහන් මුරය" පසුව පනාමුරේ වූ බවට ද ජනප්‍රවාදයේ එයි.
 
104053පනාමුරේ නගරයේ සිට ඇත්ගාලට යන පාර. ඇත්ගාල පාර යනුවෙන් මෙම පාර හැඳින්වේ. එම බෝඩ් එක දැන් කැඩී ගැලවී ගොසිනි.
       
අනුරාධපුර යුගයේ දී මේ පුදේශයේ විශාල වශයෙන් කොස් ගස් තිබී ඇත. කොස් හඳුන්වන තවත් නමක් වන්නේ "පනා" ය. එකල කතරගම දේවාලයේ ආරක්ෂාවට මුර භටයන් රැගෙන ගොස් තිබුණේ බලන්ගොඩ වැලිගෙපොල පිහිටි පොල්ලමුරේ, රත්නපුර ඉඹුලමුරේ සහ රත්නපුර මොලමුරේ යන ගම්වලිනි. ඔවුන් රැගෙන ගොස් ඇත්තේ මේ ප්‍රදේශය හරහා ය. ඒ අනුව කොස් බහුලව තිබීම නිසා "පනා" යන නාමයට "මුරේ" යන්න එකතු ⁣කොට එය "පනාමුරේ" වී ඇති බවට තවත් ජනප්‍රවාදයක් තිබේ.
       
මඩුවන්වෙල මහ දිසාවේ වෙතින් ශ්‍රීමත් මොලමුරේ ට අයත් වූ පනාමුරේ පිළිබඳව මුල් වතගොත එසේ ය.
 
 
ලබන සතියේ යළි හමු වෙමු.
 
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු ක්ෂේත්‍ර නිලධාරී, ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ සාමාජික ඩබ්ලිව්.එම්. පියදාස මහතාටත් ස්තුතියි.
 
ඡායාරූප - පනාමුරේ අරුණ ගමගේ
 
සටහන : ඉන්දු පෙරේරා
 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්