ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම ලෙස කොන්සොසියේෂනල් ක්‍රමවේදය මත පදනම් වූ බලය බෙදා ගැනීමේ විසඳුම සුදුසු බව පසුගිය දශක කීපය පුරාම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කළ විද්‍යාර්ථීන්,
බටහිර නැඹුරුවක් ඇති දේශපාලඥයන්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු කණ්ඩායම් විසින් යෝජනා කෙරිණි.
ඒ අනුව පසුගිය 'යහපාලන ආණ්ඩුව' විසින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අතර, එහි කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසඳුමක් අන්තර්ගත කෙරිණි.
'ෆෙඩරල් කොලම' පසුගිය සති පහක කාලය තුළ මෙම කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමෙ ගැන සැකෙවින් සාකච්ඡා කළ අතර, ලෝකයේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙම ක්‍රමවේදය මගින් ජනවාර්ගික නායකයන්ට ගැටුම් උත්සන්න කිරීමට කෙතරම් පෙළඹවීමක් සහ ව්‍යවස්ථානුකූලව බලයක් ද ලැබෙන බව පෙන්වා දුනි.
මෙම ක්‍රමය යෝජනා කරන කණ්ඩායම් මෙම ක්‍රමයේ අසාර්ථකත්වය ගැන ගුප්ත නිහඬතාවක් අනුගමනය කිරීම පුදුම සහගතය.
''මෙම ක්‍රමය යෝජනා කරන කණ්ඩායම් මෙම ක්‍රමයේ අසාර්ථකත්වය ගැන ගුප්ත නිහඬතාවක් අනුගමනය කිරීම පුදුම සහගතය. ''
එබැවින්, කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය ලොව පුරා ක්‍රියාත්මක වූ එක් එක් රටවල අවසානයේ එය අසාර්ථක වී, එක්කෝ නැවත යුද්ධයකට අවතීර්ණ වූ ආකාරය, එසේ නැතිනම් රටවල් බෙදී වෙන් වී ගිය ආකාරය සහ තවත් රටවල ස්වෛරීභාවය විනාශ කර ගනිමින් බාහිර රටක තීරණ වලට එකඟවූ ආකාරය ඉදිරි සති වලදී සිංහල පාඨකයා වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
එමගින් මෙම අසාර්ථක ක්‍රමවේදය මෙරට තුළ ස්ථාපිත කරන්නට වෑයම් කරන බලවේග වලට එරෙහිව මතවාදීමය වශයෙන් සිංහල පාඨකයා සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කරමි.
එවැනි ශාස්ත්‍රීමය පදනමක් මත සිට ගනිමින් බලය බෙදා ගැනීමට ගෙනෙන යෝජනා සලකා බැලීම වඩා ශිෂ්ඨ සම්පන්න වනු ඇත.
''එවැනි ශාස්ත්‍රීමය පදනමක් මත සිට ගනිමින් බලය බෙදා ගැනීමට ගෙනෙන යෝජනා සලකා බැලීම වඩා ශිෂ්ඨ සම්පන්න වනු ඇත.''
ඒ සඳහා කොන්සොසියේෂනල් බලය බෙදීමක් යෝජනා කරන කණ්ඩායම් යෝජිත විසඳුම හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? යන්න ගැන මුලින්ම පැහැදිලි ලෙස වටහා ගත යුතුය.
එයට අදාල මූලික සංකල්ප අවබෝධ කර ගැනීම මුලින් සිදු කළහොත්, ලෝකයේ එක් එක් රටවල මෙම ක්‍රමය අසාර්ථක වූයේ කුමන හේතු නිසාදැ?යි වටහා ගැනීම පහසු වනු ඇත.
'power sharing' හෙවත් 'බලය බෙදා ගැනීම'
'power sharing' හෙවත් 'බලය බෙදා ගැනීම' යන වචනය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුළු වන්නේ 1972 වසරේදී, එවකට උතුරු අයර්ලන්තයේ කෙටි කාලයක් පැවති යම් බලය බෙදා ගැනීමේ එකඟතාවන්ට අදාලවය.
එහෙත්, ඊට කලින්, එනම් 1861 දී ජෝන් ස්ටුවර්ට් මිල් නම් ලිබරල් දාර්ශනිකයා විවිධ ජනවර්ග කීපයක් සිටින රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ නියමාකාරයෙන් ඒ සියළු කොටස් නියෝජනය වන නියෝජිත ආණ්ඩුවක් නිර්මාණය වනවාදැ?යි සැක පහළ කළේය.
ඒ අනුව, බහුතරයේ මතය අනුව ආණ්ඩු බලය හිමිවන 'බහුතරවාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්' තුළ, බහුතරයක් නොමැති ජාතීන්ට අයත්, ආගම් අදහන, භාෂා කතා කරන හෝ මතවාද දරන යම් කණ්ඩායම් වලට නියෝජනය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳ දේශපාලන දාර්ශනිකයන්ගේ අවධානය කාලයක් තිස්සේ යොමු කෙරිණි.
ඒ අතර 1965 දී, දේශපාලන ආර්ථිකය පිළිබඳ මහාචාර්ය ශ්‍රීමත් විලියම් ආතර් ලුවිස් විසින් දියුණු වෙමින් පවතින රටවලට 'සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදයක්' අවශ්‍ය බව පෙන්වා දුනි.
නෙදර්ලන්තයේ සහ බෙල්ජියමේ ක්‍රියාත්මක මෙවැනි ක්‍රමයක් පිළිබඳව 1968 දී මහාචාර්ය අරෙන්ඩ් ලෙයිෆාර්ට් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, මහාචාර්ය එරික් නොර්ඩ්ලින්ගර් විසින් ජනවාර්ගික බෙදීම් ඇති රටවල් සඳහා බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය සුදුසු බව 1970 ගණන්වලදී යෝජනා කෙරිණි.
1977 පළ කළ කෘතියක් මගින් මහාචාර්ය ලෙයිෆාර්ට් කොන්සොසියේෂනල් ක්‍රමය මත පදනම් වූ බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය බෙදීම් ඇති රටවලට සුදුසු බව වඩා ප්‍රබල ලෙස යෝජනා කළේය.
එතැන් පටන් ජනවාර්ගික, ආගමික සහ භාෂාමය ගැටුම් ඇති රටවලට විසඳුමක් ලෙස මහාචාර්ය ලෙයිෆාර්ට් යෝජනා කරන කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය ලොව ජනප්‍රිය වන්නට පටන් ගත්තේය.
මහාචාර්ය ලෙයිෆාර්ට් ගේ මාවතේ යමින් මෑතකදී මහාචාර්ය ජෝන් මැක්ගැරී සහ මහාචාර්ය බ්‍රෙන්ඩන් ඕ'ලීරී ද මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළහ.
මහාචාර්ය ජෝන් මැක්ගැරී - මහාචාර්ය බ්‍රෙන්ඩන් ඕ'ලීරී
මහාචාර්ය ලෙයිෆාර්ට් පෙන්වා දෙන ආකාරයට කොන්සොසියේෂනල් ක්‍රමයෙහි මූලික ලක්ෂණ හතරක් දැකිය හැකිය.
ඒවා නම්,
(1) විවිධ කණ්ඩායම් නියෝජනය කරන ප්‍රභූන්ගෙන් සැදුම්ලත් මහා සභාග ආණ්ඩුවක්,
(2) ජනවාර්ගික, ආගමික හෝ භාෂාමය කණ්ඩායම් වලට ලැබෙන ස්වයං නීර්ණ අයිතිය,
(3) එක් එක් කණ්ඩායම් වල අනුපාතය අනුව සකස් වුණු ඡන්ද ක්‍රමයක් සහ රජයේ රැකියා යනාදිය සම්බන්ධයෙන් අනුපාතයට අනුව අවස්ථාව සහ
(4) සුලු කණ්ඩායම් වලට ලැබෙන 'නිෂේධ බලය' යන ලක්ෂණ හතර වේ.
මෙම ලක්ෂණ හතර අඩු වැඩි වශයෙන් කොන්සොසියේෂනල් බලය බෙදීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙබනනය, සයිප්‍රසය, ස්විස්ටර්ලන්තය, ඔස්‍ට්‍රියාව, නෙදර්ලන්ත දූපත්, බෙල්ජියම, ෆීජි, සහ මැලේසියාව යනාදී රටවල දැකිය හැකි බව කොන්සොසියේෂනල් ක්‍රමවේදය වෙනුවෙන් පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ පිළිගැනීමයි.
උතුරු අයර්ලන්තයේ සන්නද්ධ අරගලයට විසඳුමක් ලෙස 1970වේ මුල එකඟවූ බලය බෙදා ගැනීමේ උත්සාහය අසාර්ථක විය.
බලය බෙදා ගැනීමට එම ක්‍රමවේදය විසින් නිර්මාණය කරන ආයතන මගින් සමස්තයක් ලෙස සිදු කරන්නේ ආණ්ඩු බලයට අදාල තීරණ ගැනීමේ අයිතීන් ආණ්ඩුව සහ සමාජය අතරත්, ආණ්ඩුව තුළ නම් ආණ්ඩුවේ විවිධ ආයතන අතරත්, බෙදා ගැනීමයි.
ඒ සඳහා යම් දේශපාලන ක්‍රියාකාරීන්ට අන් අයට නොමැති බලයක් ලබා දී ශක්තිමත් කරන අතර, තමන් වෙනුවෙන් හෝ තමන් නියෝජනය කරන කණ්ඩායම් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර, ඒවා ලබා ගැනීමට අවශ්‍ය පීඩනය පහසුවෙන් එල්ල කිරීමට අන් අයට නොමැති බලයක් එකී තෝරා ගත් ක්‍රියාකාරීන්ට ලබා දෙයි.
ඒ අනුව බලන විට බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයද අනෙක් ක්‍රමවේදයන්ට වඩා වෙනස් නොවන බව පෙනෙන නමුත්, ජනවාර්ගික බෙදීම් ඇති සමාජවල දරුණු ගැටුම් ඇතිවීමෙන් පසු මෙම බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් මුලින් බලාපොරොත්තු නොවන විකෘති සහගත ප්‍රතිපල ජනිත කරයි.
''බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයද අනෙක් ක්‍රමවේදයන්ට වඩා වෙනස් නොවන බව පෙනෙන නමුත්, ජනවාර්ගික බෙදීම් ඇති සමාජවල දරුණු ගැටුම් ඇතිවීමෙන් පසු මෙම බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් මුලින් බලාපොරොත්තු නොවන විකෘති සහගත ප්‍රතිපල ජනිත කරයි. ''
බලය බෙදා ගැනීම මගින් කලින් සටන්කාමීන් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනවාර්ගික ප්‍රභූන් බලවත් කරන අතර, බලය බෙදා ගැනීමේ එකඟතා වල ප්‍රතිපලයක් ලෙස තාවකාලික සමාදානයක් ඇති වූ විට එකී ජනවාර්ගික ප්‍රභූන්ට වඩා රැඩිකල් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී, එකී රැඩිකල් ඉල්ලීම් ලබා නොදුණහොත්, ඇති කර ගත් සමාදානය සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල කරමින් ගැටුම් උත්සන්න කිරීමට ඉතා පහසු මාර්ග නිර්මාණය කර දෙයි.
මෙම අවදානම මග හරවා ගැනීමට නම්,
# බලය බෙදා ගැනීමේ එකඟතාවන් ක්‍රියාත්මක වීමේදී හැම කෙනාටම රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ ඉඩක් ලබා දීමට කැමති ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් පවතින සමාජයක් වීම,
# සමෘද්ධිමත් ආර්ථිකයක් සහ ආර්ථික සමානාත්මතාව ඇති සමාජයක් වීම,
# ස්ථාවර ජනගහනයක් තිබීම,
# ශක්තිමත් රාජ්‍ය ආයතන ව්‍යුහයක් පැවතීම,
# එක් එක් ජනවාර්ගික කණ්ඩායම තුළ අනෝන්‍ය සම්බන්ධතා ස්ථාවර බලාධිකාරී ව්‍යුහයක් මත ගොඩ නැගී තිබීම සහ
# විසඳුම ක්‍රියාවේ යෙදවීමට හිතකර ජාත්‍යන්තර පරිසරයක් පැවතීම වැනි විශේෂිත තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක විය යුතුය.
එහෙත්, ප්‍රායෝගික යථාර්ථය තුළ මෙතෙක් ලත් අත්දැකීම් ඇසුරින් පැහැදිලි වන්නේ බලය බෙදා ගැනීමේ විසඳුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එවැනි හිතකර පරිසරයක් ජනවාර්ගික ගැටුම් ඇති, විශේෂයෙන් ජනවාර්ගික සිවිල් යුද්ධයක් පැවති රටවල නිර්මාණය නොවන බවයි.
''ප්‍රායෝගික යථාර්ථය තුළ මෙතෙක් ලත් අත්දැකීම් ඇසුරින් පැහැදිලි වන්නේ බලය බෙදා ගැනීමේ විසඳුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය එවැනි හිතකර පරිසරයක් ජනවාර්ගික ගැටුම් ඇති, විශේෂයෙන් ජනවාර්ගික සිවිල් යුද්ධයක් පැවති රටවල නිර්මාණය නොවන බවයි. ''
උතුරු අයර්ලන්තයේ ගැටුම් විසඳීමට 1973 දෙසැම්බර් මස බලය බෙදා ගැනීම සඳහා අවසානයේ අසාර්ථක වූ 'සනින්ඩේල් ගිවිසුම' අත්සන් කළ අවස්ථාව
දරුණු ගැටුම් ඇතිවූ ජනවාර්ගික වශයෙන් බෙදී ගිය ශ්‍රී ලංකාව වැනි සමාජයන්හි කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසඳුම නිසා පැන නඟින දීර්ඝ කාලීන ගැටලු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අවධානය යොමු කරමින් 'කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද?' යන්න ඉදිරි සතිවලදී තව දුරටත් සාකච්ඡා කරමු.
ලබන සතියේ - කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද? - 2 කොටස
(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]
(උපුටා ගැනීම: ‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම' - (05) - 2020 ඔක්තෝම්බර් 04)
සබැඳි විශේෂාංග :
05 - දිනේෂ්ගේ 'ෆෙඩරල් කොලම' : බලය බෙදීමේ විසඳුමෙහි වාර්ගික ගැටුම් උත්සන්න කරන ප්‍රතිපල (2 කොටස)
04 - බලය බෙදා ගැනීමේ විසදුම වාර්ගික ගැටුම් උත්සන්න කරයි! - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
03 - වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම (03) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
02 - වරිගය සහ වරිගවාදය’ (02) - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
01 - වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව (01) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ