ගෝලීය ගුවන් ගාස්තු ඉහළ යාම සහ කලාපීය පසුබෑම හමුවේ ලැගුම්හල් වෙන්කිරීම් සියයට 36කින් පහතට
ආසියානු සංචාරක පසුබැසීම සහ ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්!
රජයේ සහ ආයතනික අංශයන්හි සංඛ්‍යාලේඛන තුළින් කොතරම් රමණීය පින්තූරයක් එළිදැක්වීමට උත්සාහ කළ ද, 2026 වසරේ සංචාරකයින්ගේ පැමිණීම බිම් මට්ටමේදී පවතින්නේ ඉතා පහත මට්ටමකය.
2025 වර්ෂය සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ සංචාරක නිවාස, බුටික් හෝටල්, ත්‍රාසජනක කඳවුරු සහ වනෝද්‍යාන ආශ්‍රිත ලැගුම්හල්වලටත්, එම කුලකය නියෝජනය කරමින් ආහාර සපයන අවන්හල්වලටත්, සංචාරකයින් ප්‍රවාහනය කරන මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ ප්‍රවාහන ක්ෂේත්‍රයටත් ඉහළ ආදායම් ලැබුණු වසරක් ලෙස සටහන් කළ හැකිය.
නමුත් 2026 වර්ෂයේදී සංචාරකයින්ගේ සංඛ්‍යාත්මක පැමිණීම සුළු වශයෙන් ඉහළ ගිය බවක් පෙන්වුව ද, අප ඉහත සඳහන් කළ වැඩි අවධානයට ලක් නොවන ක්ෂුද්‍ර හා සුළු අංශයට ඉන් ලැබී ඇති සැබෑ ප්‍රතිලාභය ඉතා අල්පය. කෙටියෙන් සඳහන් කළහොත්, ලැගුම්හල් වෙන්කරවා ගැනීම් 2025 වසරට සාපේක්ෂව මේ වන විට 36%ක පමණ කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කරයි. රජයේ හෝ සංචාරක මණ්ඩලයේ නිල දත්ත පද්ධතියට හසුනොවන, එහෙත් ක්ෂේත්‍රයේ බහුතරයක් වන මෙම සේවා සපයන්නන් අද මුහුණ දෙන්නේ දැඩි ආර්ථික පීඩනයකටය.
අපගේ සාකච්ඡාවට බඳුන් වන 2026 වර්ෂය තුළ මෙම සුළු සහ මධ්‍යම පරිමාණයේ සංචාරක කොටස්කරුවන්ට සුබ ලකුණු පහළ වන තත්ත්වයක් දැනට පෙනෙන්නට නැත. එළඹෙන ශීත සමයේ යම් වර්ධනයක් බලාපොරොත්තු විය හැකි වුවත්, සමස්ත පින්තූරය එතරම් මනරම් නොවන බව ජාත්‍යන්තර වෙළෙඳපොළ වාර්තා පරිශීලනය කිරීමේදී පැහැදිලි වෙයි.
ආසියාවේ ශීත සෘතු ගමන් බිමන් පහත වැටෙන්නේ ඇයි?

2026 වසර සඳහා වන ශීත සෘතු ගමන් බිමන් වෙන්කිරීම් (winter bookings) පහත වැටීමට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් මෙසේය.
ඉන්ධන මිල ඉහළ යාම:
ජෙට් ඉන්ධන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ගුවන් සමාගම් සිය ගාස්තු ඉහළ නැංවීමට සහ ඉන්ධන අමතර ගාස්තු (fuel surcharges) එකතු කිරීමට පෙළඹී ඇත. එමඟින් මගීන්ට ගමන් බිමන් සඳහා දැරීමට සිදුව ඇති පිරිවැය අතිවිශාලය.
ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ පිරිවැය අර්බුදය:
බොහෝ රටවල පවතින ඉහළ ජීවන පිරිවැය හමුවේ සංචාරකයින් තම සංචාරක දින සීමාවන් කෙටි කිරීමට හෝ ආසන්නයේ පිහිටි ගමනාන්ත තෝරා ගැනීමට පෙළඹී ඇති අතර, ගිනිකොනදිග ආසියාවේ සංචාරක ව්‍යාපාරය ද මෙම පසුබෑමට මුහුණ දෙමින් සිටී.
ලියාපදිංචි වීමේ සහ වෙන්කිරීම් රටා වෙනස්වීම:
ජනප්‍රිය කාලපරිච්ඡේදයන්හි ඉඩකඩ වෙන්කරවා ගැනීම සඳහා සංචාරකයින් බොහෝ කලකට පෙර සිටම—බොහෝ දුරට දින 90කට පෙර—වෙන්කිරීම් අවසන් කිරීමේ සම්ප්‍රදායක් පැවතිය ද, වර්තමානයේ අප රට සම්බන්ධයෙන් කල්තියා කෙරෙන වෙන්කිරීම්වල (advance bookings) විශාල අඩුවක් දක්නට ලැබේ.
දේශපාලනික සහ කාලගුණික සාධක:
ඇතැම් රටවල පවතින භූ-දේශපාලනික අස්ථාවරත්වය සංචාරක ඉල්ලුම වෙනතකට යොමු කර ඇත. තවද යුරෝපයේ මහා පරිමාණයෙන් පැතිර ගිය ලැව්ගිනි තත්ත්වයන් මෙන්ම, මෙරට ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ සිදු වූ අතිශයෝක්ති ප්‍රචාරයන් ද සැලකිය යුතු පිරිසක් සිය සංචාර අවලංගු කිරීමට හේතු විය.
ගිනිකොනදිග ආසියාවේ සුපිරි ත්‍රිත්වය හදිසියේ අර්බුදයකට ලක්වූයේ මන්ද?

2026 වසර යනු සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිබිදීමක් ඇති වන වසරක් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. තායිලන්තයේ වෙරළ තීරයන්, වියට්නාමයේ හෝයි ආන් (Hoi An) හි පහන් කූඩු, බාලි හි කුඹුරු යායවල් – මේ සියල්ල නැවතත් සක්‍රිය වී, "පළිගැනීමේ සංචාර" (revenge travel) උපරිමයෙන්ම සිදුවනු ඇතැයි සිතුව ද, ඒ වෙනුවට සිරස්තලවල කතා වන්නේ ගිනිකොනදිග ආසියාවේ "නොසිතූ අයුරින් ඇති වූ සංචාරක අර්බුදයක්" ගැනය.
බැංකොක් නගරය හදිසියේ පාළු වී ගොස් නැත; 'පෑඩ් තායි' (pad thai) ආහාර ලබා ගැනීමට ඔබට තවමත් පෝලිම්වල සිටීමට සිදුවනු ඇත. නමුත් නැවත යථා තත්ත්වයට පත්වීමේ සමස්ත ක්‍රියාවලිය දෙදරා යමින් පවතී.
බලශක්ති විශ්ලේෂකයින් සහ ගුවන් සමාගම් විධායකයින්ගේ ඇස්තමේන්තුවලට අනුව, 2026 මුල් භාගයේදී ජෙට් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු ඩොලර් 230 සීමාව ඉක්මවා ගියේය. එය සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයක් වන අතර, ගුවන් සමාගම් ඊට ප්‍රතිචාර දැක්වූයේ ගාස්තු කිහිප ගුණයකින් ඉහළ නංවමිනි.
යුරෝපයේ සිට ගිනිකොනදිග ආසියාව දක්වා වන ඇතැම් දිගුදුර ගුවන් ගමන් සඳහා දැන් වසංගතයට පෙර ගෙවූ මුදල මෙන් කිහිප ගුණයක් වැය වේ. මෙහි බලපෑම ඉතා සෘජුය: මිනිසුන් තම සංචාර කෙටි කරමින් හෝ දිගුදුර සංචාර සම්පූර්ණයෙන්ම අවලංගු කරමින් සිටිති.

ඊට අමතරව, ඇතැම් සංචාරක කලාපවල ධාරිතාව ඉක්මවා යටිතල පහසුකම් පුළුල් වීම, ඉහළ යන හෝටල් ගාස්තු, ආහාර මිල ඉහළ යාම සහ "ඕනෑම පිරිවැයක් දරා සංචාරය කිරීමේ" මානසිකත්වය පහව ගොස් "සෙමින් සංචාරය කිරීම" (slow travel) වැනි පුරුදු කරළියට පැමිණීම නිසා මෙම මන්දගාමී වීම නිර්මාණය වී ඇත.
මෙම ජාත්‍යන්තර විග්‍රහය තුළ ආසියානු සංචාරක තරගකාරීත්වයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 7 වැනි ස්ථානයේ බව අප සිහිපත් කළ යුතුය. තත්ත්වය සංකීර්ණ වුව ද මෙය මුළුමනින්ම බලාපොරොත්තු රහිත එකක් නොවේ. පවතින ගෝලීය අර්බුදය නිවැරදිව තේරුම් ගනිමින්, බිම් මට්ටමේ සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කරගන්නා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කර ගැනීම අප හමුවේ ඇති ප්‍රමුඛතම අභියෝගයයි.
(සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
සබැඳි ලිපියක් :
මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? | සේන සූරියප්පෙරුම








