leader s

වින්දිතයන් පැමිණිලි කරන තුරු බලා නොසිට සංඥෙය වරදක් (Cognizable Offence) ලෙස විමර්ශනයක් ඇරඹීමට නීතියෙන් බලය තිබියදී, නියෝජ්‍ය ඇමැතිවරයාගේ සිදුවීම හමුවේ ළමා ආරක්ෂක බලධාරීන් මුනිවත රකින්නේ ඇයි?"


ප්‍රභූ බලයට යට නොවී දරුවන් සුරැකීමට දුසිම් ගණනින් නීති තිබියදීත්, මාලිමාණ්ඩුවේ දේශපාලන රැකවරණය හමුවේ ළමා ආරක්ෂක අධිකාරිය දෑස් පියාගත් හැටි


"පොලොන්නරුවේ රජ්ජුරුවන්" ලෙස තමන් විසින්ම හඳුන්වා ගනු ලබන  ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන ඇමැති ටිකිරි බණ්ඩා සරත් විසින් පසුගිය දිනෙක කුඩා පාසැල් දැරියන්  කිහිප දෙනකු අසාමාන්‍ය ලෙස ස්පර්ශ කරමින් තම සිරුරට සමීප කරගන්නට දරූ උත්සහයක් පිළිබඳව සොයා බලා විමර්ශනයක් සිදු කිරීම ළමා ආරක්ෂක බලධාරින් සහ පොලිසිය විසින් හිතාමතාම වාගේ පැහැර හැරීම බලවත් විමතිය දක්වන කරුණක් බවට පත් වෙමින් තිබේ.

නව නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමකට සහභාගී වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ඉතා සමීපව කුඩා දැරියන් කිහිප දෙනෙකු ස්පර්ශ කරන ආකාරය දැක්වෙන ඡායාරූප සංසරණය වීම ආරම්භ වී මේ වන විට දින ගණනාවකි. සමාජ මාධ්‍ය  සහ  ඇතැම් ප්‍රධාන ධාරාවේ අන්තර්ජාල මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් යම් කතිකාවක් මතුව තිබෙන අතරවාරයේ දි නියෝජ්‍ය ඇමැතිවරයා  පවසා තිබෙන්නේ තමන් අනිසි චේතනාවකින් දැරියන් ස්පර්ශ නොකළ බවයි. එම දැරියන් තමන්ට වැඳීමට උත්සහ දැරූ අවස්ථාවේ තමන් විසින් එය වළක්වා සිටි බවත් එවිට ගෙන තිබෙන ඡායාරූප කිහිපයක් මගින් ඒ සම්බන්ධයෙන් වැරදි අදහසක් මතුකරමින් දේශපාලන විරුද්ධවාදින් පිරිසක් තමන්ට එරෙහිව මතයක් සමාජ ගත කරමින් සිටින බවත්  නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටි.

විමර්ශන නැති ළමුන්ට එරෙහි බලවතුන්ගේ හිංසන

නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ සත්‍යය ද? නොඑසේ නම් ඔහු අනිසි ආකාරයට එම බාල වයස්කාර දැරිවියන් දුශ්චේතනාන්විතවම ස්පර්ශ කර තිබේද යන වග අප කිසිවකුටත් බැලූ බැල්මට නිවැරදිව පැවසිය නොහැකි මුත්, එය විමර්ශනයක් සිදුකොට පවතින නීතිමය රාමුව තුළ පහසුවෙන් විසඳා ගැනීමට හැකියාවක්  තිබෙන කරුණකි.  

 

TB 2c
යම් තැනැත්තෙකු වයස අවුරුදු 16 ට අඩු දරුවකු එම දරුවාගේ කැමැත්ත සහිතව හෝ ලිංගික හැසිරීමක් පමණක් නොව, ශාරිරීක ස්පර්ශයක් කිරීමක් පවා ශ්‍රී ලංකාවේ නීතිය ඉදිරියේ වරදක් ලෙස ගැනෙන්නේ එය "දරුවාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙස” නොසලකමිනි.

එය ඇස් මානයෙන් හෝ සමාජ මාධ්‍ය සංසරණයට පමණක් හෝ සීමා කරමින් යටපත් වෙන්නට ඉඩ හැරීම ඉතා බරපතල කරුණක් වන අතරම, සැකය හෝ සත්‍ය නිසි පරිදි හෙළිදරවු කර ගැනීමේ අරමුණින් ළමා හිමිකම් බලධාරින් සහ විශේෂයෙන්ම ළමා ආරක්ෂාව භාරව සිටින විශේෂ පොලිස් ඒකකය වන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය ආදීන් විසින් මේ සම්බනධයෙන් නිසි විමර්ශනයක්, තොරතුරු සොයා බැලීමක් නොපමාව සිදු කළ යුතුව තිබුණි. නමුත් අප දන්නා පරිදි එවැනි කිසිදු විමර්ශනයක් එයට අදාලව තවමත් සිදුවී නොමැත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් සංසරණය වන ඡායාරූප හෝ සිද්ධියට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය ඇමැතිවරයාගේ පාර්ශවයෙන් කරුණු විමසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, සත්‍යය හෙළිදරවු කර ගන්නට නම් පොලිස් හා ළමා ආරක්ෂාව භාර බලධාරීන් ඉතා සියුම් සහ සුපරීක්ෂාකාරී විමර්ශනයක් දියත් කළ යූතුව තිබුණි. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිසිය හෝ ළමා ආරක්ෂක බලධාරින්  විසින් මේ දක්වාම අදාල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන ඇති බව නම් දැන ගන්නට නැත.

"ළඟට ආවොත් අපි බලන්නම්" - ළමාරක්ෂක බලධාරින්

නමුත් පුදුමය දනවන කරුණ වන්නේ ළමා ආරක්ෂක බලධාරින් මෙන්ම චෝදනා ලත් නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ දේශපාලන අධිකාරිය ද මේ සම්බන්ධයෙන් දරණ නිහඬතාවය යි. අනුරාධපුරය හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න නායක හිමියන් විසින් සිය කුටියේ දි බාල වයස්කාර දැරිවියක බරපතල ලිංගික අපහරණයට ලක් කළ සිදුවීමේදි දැඩි හඬක් නගා රටේ යුක්තිගරුක පුරවැසියන් අතරත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේත් වීරවරියක බවට පත්වු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂවරිය වන නීතිඥ සජිවනි අබේකෝන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍යය වෙත කර ඇති ප්‍රකාශ දෙස බැලිමේ දි මේ රටේ ළමා ආරක්ෂක බලධාරින්ගේ හැසිරීම් රටාවන් මෙන්ම එවන් කරුනු සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්ෂණික මැදිහත්වීම් පිළිබදවත් කම්පාවක් ඇති වන්නේ ශ්‍රි ලංකාවේ දරුවන්ගේ අනාගතය සහ සුරක්ෂිතතාවය කොතැනක දැයි බරපතල ප්‍රශ්නාර්ථයක් ද ඉතිරි කරමිනි.

"නුසුදුසු ස්පර්ශයක් තමයි ඒ පින්තූරවල පෙනෙන්න තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන කොට අනිවාර්යෙන්ම වින්දිතයාගේ ප්‍රකාශයක් අත්‍යාවශ්‍ය යි. ඒ වින්දිතයා ඇවිල්ලා කියන්න ඕනේ මේ ස්පර්ශයෙන් මාව අපහසුතාවයට පත්වුණා, මාව ලැජ්ජාවට පත් වුණා, මාව බියට පත් වුණා කියන එක. එතකොට තමයි ඒක නරක ස්පර්ශයක් කියලා අර්ථ දක්වන්න පුලුවන් වෙන්නේ. වින්දිතයා ඉදිරිපත් වුණේ නැත්නම් අපිට නඩු පවරන්න හැකියාවක් නෑ මේ නීතිමය රාමුව ඇතුලත," යි ඈ පැවසු බව බීබීසී ය වාර්තා කර තිබේ.

මෙය පුදුම සහගත ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයට අනුව වින්දිත නොඑසේ නම් අදාල අර්බුදයට මුහුණ දුන් බාලිකාවන් මාදිවල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පඩිපෙළ නැග 'පොලොන්නරුවේ රජ්ජුරු සීයාගේ ස්පර්ශය නිසා  තමන් ලැජ්ජාවට, බියට සහ අපහාසුතාවයට පත් වු බව'  පැමිණිලි කළ යුතුව තිබේ. එසේම එම දැරියන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ඉල්ලා සිටිය යුතුව තිබේ.  

මෙය බාලවයස්කාර දැරියන් පිළිබඳ සිදුවීමකි. ඡායාරූපවලට අනුව එම දැරියන් වයස අවුරුදු 15 ටත් අඩු වයසේ අය විය යුතුය. එසේ නොවුණද අදාල මොහොතේ සිදුවු දේ පිළිබඳව නිසි අවබෝධයක් හෝ බරපතල කමක් ඒ දැරිවියන්ට නොතිබුණාද විය හැක.  ශ්‍රී ලංකාව වනාහි දරු දැරියන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබීම පාපයක්, අපරාධයක් සහ එවැනි අධ්‍යාපනයක් ලැබීම ලැජ්ජා සහගත දෙයක් ලෙස පවසා එය වළකාලන එයට වැට කඩොලු බඳින දේශපාලඥයන්, ආගමික සංස්ථාවන් සහ උගතුන්  බුද්ධිමතුන් යැයි කියා ගන්නා මිනිසුන්ගෙන්, ගැහැණුන්ගෙන්  පිරි රටකි.

එවන් රටක ඒ මොහොතේ කලබලකාරි වටපිටාවක සැබෑවටම සිදුවූයේ කුමක් දැයි ඒ දරුවන්ට තබා අසල සිටින වැඩිහිටියන්ට ද ක්ෂණිකව නිසි අවබෝධයන් නොලැබෙන්නට පුලුවන. එහෙත් එම අවස්ථාවේදී සිදුවූයේ කුමක් දැයි සූක්ෂම විමර්ශන ක්‍රියාවලියකින් හෙළිකර ගන්නට දක්ෂ විමර්ශකයන්ට හැකි වන්නේ ය. ඒ සඳහා ළමා වෛද්‍ය විශේෂඥවරුන්, මනෝ වෛද්‍ය උපදේශකයන් මෙන්ම ශ්‍රව්‍ය දුෂ්‍ය සහ අනෙකුත් පරිවේශණිය සාක්ෂි ද උපයෝගි කොට ගත හැකිය. එයට පූර්ණ අයිතිය සහ පිළිගැනීම ශ්‍රි ලංකාවේ  නීති පද්ධතිය තුළ පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂවරිය ප්‍රමුඛ බලධාරින් දැන නොසිටියා වන්නට බැරිය.

ළමා අපචාර මැඩලීමේ සැබෑ යථාර්තය

 

v556
එනිසාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති අංශයේ  අධ්‍යක්ෂකවරිය පවසානාකාරයට සිද්ධියට මුහුණ දුන් දැරියන්ම පැමිණ පැමිණිලි කිරීම හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ හෝ කට උත්තර හෝ ලබා දීම අත්‍යාවශ්‍ය නොවන්නේ ය. සැබවින්ම මුල් විමර්ශන අවස්ථාවේ දි එය අවශ්‍යම දෙයක් ලෙස නීතිය සලකන්නේ නැත. එවැනි ප්‍රකාශ, කට උත්තර හෝ සාක්ෂි ලබාදිය යුත් වන්නේ විමර්ශනයක් ආරම්භ කළ පසුවය. ළමුන් සම්බන්ධයෙන් ඇස ගැටෙන කවර හෝ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කිසිදු නිල පැමිණිල්ලක් අවශ්‍ය නොවන අතර, අවශ්‍ය වන්නේ ඒ මොහොතේ දී විමර්ශකයන්ට දක්නට හෝ අසන්නට ලැබෙන තොරතුරු මුලාශ්‍රවල විශ්වසනීයත්වය පමණි. අනෙක පැමිණිල්ලක් කරනු ලබන්නේ කවරෙක් ද යන වගද වැදගත් නොවේ.  එය අදාල සිදුවීමට  මුහුණ දුන් වින්දිත දරුවාම කළ යුතු යැයි නීතියක් ද නොමැත. එය වින්දිත දරුවාගේ දෙමාපියන්, පවුලේ සාමාජිකයන්, හිතවතුන්,  ගුරුවරුන් හෝ ඒ කිසිවකුත් නොවන නිර්නාමික තැනැත්තකු හෝ  විය හැකියි. නොඑසේ නම් බාහිර විමර්ශකයන් ලෙස සිද්ධිය ඇස ගැටෙන පොලීසිය, ග්‍රාම නිලධාරිවරුන් වැනි රාජ්‍ය නිලධාරින් හෝ විය හැකිය. අනුරාධපුරය අටමස්ථානාධිපති විසින් කුඩා දැරියකට එරෙහිව සිදු කළ ලිංගික හිංසනයේ මුල්ම පැමිණිල්ල ජාතික ළමා ආරක්ෂක  අධිකාරියට ලැබෙන්නේ ද පොලීසියෙන් නොව සිද්ධිය දැන ගන්නා ජනමාධ්‍යවේදියකුගෙන් වන අතර, අධිකාරියද ඒ පැමිණිල්ල බාරගනී.

මේ සිදුවිමට අදාලව ගත් විට  ඒම ඡායාරුපවලින් අනිසි ස්පර්ශයක් පෙනෙන්නට ඇති වග අධ්‍යක්ෂකවරියම පිළි ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට වෙනත් කිසිදු පැමිණල්ලක් අවශ්‍ය නොවේ . ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාල අවස්ථාව පිළිබඳව ස්ථානීය පරික්ෂණයක් සිදුකිරීම හෝ ඒ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය උපදෙස් සැපයීම ය. ඉන් අනතුරු ලැබෙන තොරතුරු සහ ප්‍රකාශ මෙන්ම සාක්ෂි  ආදි කරුනු මත විමර්ශනය ඉදිරියට රැගෙන යන්නේ ද නොඑසේ නම් අපරාධයක් සිදුව නොමැත්තේ ද යන වග තීරණය කළ හැකිය. එහිදි විමර්ශනය වඩාත් විනිවිදභාවයෙන් සහ  අපක්ෂපාතිව සිදු කරන තරමට කවුරු නිවැරදි වුවද යුක්තිය ඉටු වීමට ඉඩ ප්‍රස්තාව හිමි වන්නේ ය. එසේ නොවි දුර සිට බලා තීන්දු තීරණ ගැනීම ළමා ආරක්ෂක බලධාරින්ට තරම් නොවෙයි.

මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිලි රහිතව තමන්ට, අධිකාරියට හෝ වෙන යම් බලායතනයකට මැදිහත් විය නොහැකි බව අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂවරිය පවසන කරුණ තුළ කිසිදු නීතිමය පදනමක් නැති වග පෙන්වීමට ඉතා කෙටි නෛතික ප්‍රතිපාදන කිහිපයක් පමණක් උපුටා දක්වන්නට කැමැත්තෙමි. ඒවා නිවැරදි නොවන්නේ නම් නිවැරදි වන්නේ කුමක්දැයි පැවසීමද ඈ සතු වගකීමකි. මන්ද ඇය නාමික නීතිඥවරියක නොව රටේ දරුවන්ගේ ආරක්ෂාව භාර ව්‍යවස්ථාපිතව බලය පැවරුනු  ආයතනයක  ඉහළම වගකීමක් දරන බලධාරිනිය වන බැවිනි.

ශ්‍රි ලංකාවේ 1979 අංක 15 දරණ  අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවන් අපරාධ අයත් වන්නේ සංඥෙය වරදවල් ගණයට ය. එනම් විනිසුරුවරයකුගේ නියෝගයක් හෝ වරෙන්තුවක් රහිතව අත්අඩංඟුවට ගත් හැකි, විමර්ශනයකට යටත් කළ හැකි වරදවල් ගණයටය. ළමා අපයෝජන, ස්ත්‍රි දුෂණ සහ බරපතල ලිංගික හිංසනයන් වැනි දෑ මෙයට අයත්ය.

" 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 ( ආ) වගන්තියට අනුව, යම් සංඥෙය වරදකට සම්බන්ධ  තැනැත්තෙකු හෝ එසේ සම්බන්ධ වු බවට යම් තැනැත්තෙකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේද නැතහොත් ඒ බවට යම් තැනැත්තෙකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතී ද එවැනි යම් තැනැත්තෙකු සිරභාරයට ගත හැකිය. එසේම 1995 අංක 20 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධිත) පනතේ 310 (අ) යටතේ දැක්වෙන අකාරයට  ළමුන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම නම් වරද  ද"  මෙයට අදාල වෙන්නේ ය.

එමෙන්ම ළමුන්ට එරෙහි අනිසි ස්පර්ශය යනු අපරාධ නීතිය මෙන්ම ළමුන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් බලාත්මක නීති තුළ අර්ථ දක්වා තිබෙන බලවත් වරදකි. එයට එරෙහිව උවමනා තරමටත් වඩා නීති ප්‍රතිපාදන තිබේ.  එහිදි එම ස්පර්ශය මගින්  ළමයාට  කායික හෝ මානසික හෝ වෙනයම් කවර හෝ අගතියක් සිදුවුයේ නම් එසේත් නොවී සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නට ළමා ආරක්ෂක බලධාරින්ට මෙන්ම  පොලිසියට ද  බලය පැවරී තිබේ. ළමුන්ට එරෙහි ශාරිරික සහ මානසික හිංසනයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 308 (අ) වගන්තිය මගින් ද බලය පැවරී තිබෙන අතරම එය වයස අවුරුදු 18 ට අඩු දරුවකු ගේ භාරකාරත්වය සහිතව සිටින හෝ වෙනත් අයකු හෝ විය හැකි බව දැක්වෙන්නේ ය.

දුසිම් ගණන් නීති තියෙන රටක දරුවන්ගේ ඉරණම

 

Child Protection
1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත මෙන්ම, 1991 වසරේදි ශ්‍රි ලංකාව ද පිළිගෙන අපරමානුමත කළ එක්සත් ජාතීන්ගේ විශ්ව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ද ඇතුළු ජාතික හා ජාත්‍යන්තර ළමා හිමිකම් නීති රීතීන් සහ සම්මුතින් ආදී සියල්ලෙහිම පදනම වන්නේ  සියලු ආකාරයේ හිංසනයන්ගෙන්  ළමුන් ආරක්ෂා කිරීම යි. ඒ සියලු නෛතික සංකල්ප, රෙගුලාසි සහ අණ පනත්  නාමික බවට පත්වන්නේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බලධාරින් දක්වන ඇල්මැරුණු   සහ අනීතික ප්‍රතිපත්ති හේතුවෙනි.

එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මෙහෙවර ලෙස දැක්වෙන "ළමුන් සියලු ආකාරයේ අපයෝජනවලින් ආරක්ෂා කිරීම" නම් සංකල්පය ද ‌එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂකවරියගේ ප්‍රකාශයෙන් පුපුරා යන්නේ ය. ඇය විසින් පවසා ඇති " වින්දිතයා ඇවිල්ලා කියන්න ඕනේ මාව අපහසුතාවය, ලැජ්ජාවට පත් වුණා කියලා" යන ප්‍රකාශය සම වන්නේ මෙයට මාස කිහිපයකට පෙර කොටහේන ප්‍රදේශයේ පාසැල් දැරියක ජාතික ජන බලවේගයට හිතැති පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකුගේ හිංසන ඉවසා ගත නොහැකිව නිවසේ ඉහළ මාලෙන් පැන සියදිවි නසා ගත් අවස්ථාවේදි ලංකාවේ කාන්තා හා ළමා කටයුතු භාර ඇමැතිනිය හැසිරුණු ආකාරටම ය. එම සිදුවීමේදි සරෝජා පෝල් රාජ් ඇමැතිවරිය විසින් සියදිවි නසා ගත් වින්දිත දැරියගේ දෙමාපියන්ට ප්‍රසිද්ධියේම දෝෂාරෝපනය කරන ලද්දේ එම දෙමාපියන් තමන් මුණ ගැසීමට නොපැමිණීම නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූ  බව හුවා දක්වමිනි.


වෙහෙර ගිලපු උන්ගේ රටේ අග්ගලා කෑවම මොකෝ

නියෝජ්‍ය ඇමැති ටිකිරි බණ්ඩා සරත් මෙන්ම මාලිමාණ්ඩුවට හිතැති සමාජ මාධ්‍ය හසුරුවන්නන් ද  මේ සම්බන්ධයෙන් ගෙන හැර දක්වන්නේ අපුරු මතයකි. ඔවුන්ට අනුව ඉතිහාසයේ සිටම විවිධ දේශපාලඥයන්ට විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම මෙයටත්  වඩා බරපතල  ක්‍රියා සම්බන්ධයෙන්  චෝදනා එල්ල වී තිබෙන අතර, එනිසාම මෙය එතරම් සැලකිල්ලට ගත යුතුව ඇති දෙයක් නොවන බවයි. තමන්ට  එරෙහිව චෝදනා කරන්නේ දේශපාලන අවස්ථාවාදින් බවත්, ජාතික ජන බලවේගය යටතේ දුප්පත් මිනිසුන්ට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙල ඉවසා දරා ගත නොහැකි අය බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටී. ජාතික ජන බලවේගයට සහ එහි මධ්‍යම කාරක සභා සමාජික ටිකිරි බණ්ඩා සරත්ට අනුව දුප්පත් මිනිසුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් නිවාස සකසා දී ඒ නිවාසවල වාසයට යන දරුවන්ගේ සිරුරු නොමනා ලෙස ස්පර්ශ කිරීම හෝ කායික, මානසික හිංසාවන්ට ලක් කිරීම හෝ එතරම් ගණන් ගත යුතුව ඇති දෙයක් නොවන්නේ ය.

එසේ නම් අපට මාලිමා ආණ්ඩුවෙන් සහ ඔවුන්ට හිතැති පිරිස් වෙතින් විමසන්නට ඇත්තේ සමාජයේ ගරු නම්බු ධාරි ප්‍රභූන් , දේශපාලඥයන්, ආගමික නායකයන් , වෘත්තියවේදීන් ආදී " ගරු පුරවැසියන්"  විසින් රටේ ළමන්ගේ ගෞරවය කෙලසමින් , ලිංගික හිංසන සිදුකරමින් කරන අකටයුතු කම් ඉවසිය යුතුව තිබේද යන වගයි.

මෙයට හොඳම නිදසුන අසල්වැසි ඉන්දියාවේ ජෝද්පූර් විශේෂ මහාධිකරණය විසින් 2018 වසරේදි එරට  මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් පිරිවරා සිටි ආගමික නායකයකු වූ අස්රාම් බාපු  බාල වයස්කාර දැරියකට එරෙහිව සිදුකළ ලිංගික හිංසනයක් අරබයා දුන් තීන්දුව යි. POCSO  ( The Protection of Children from Sexual 0ffences Act 2012 ) පනත යටතේ එම තීන්දුව ප්‍රකාශයට පත්  කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා තිබුණේ අපරාධකරුගේ සමාජ තත්වය හෝ බලය මෙන්ම මිනිසුන් විසින් ඔහු දේවත්වයෙන් සැලකීමද අධිකරණය විසින් කිසිදු සැලකිල්ලකට භාජනය නොකර දඩුවම් කරන බවයි. ළමා අපචාර අපරාධයකට මිනිසුන්ගේ සමාජ තත්වය හෝ  සිවිල් බලය අදාල නොවෙතත් එවැනි අය කරන අපරාධ සදහා උපරිම දඬුවම් දිය යුතු බවටත් එම නඩු තීන්දුවෙන් ලොවටම පාඩමක් ඉගැන්විය .

" දරුවන්ට එරෙහි අපයෝජන සහ සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ආරක්ෂාව," යනුවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ තොරොම්බල් කළ ඔවුන්ගේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නැමැති පොරොන්දු ලේඛනයේ 82 වැනි පිටුවේ ඇස් පිනවන අකුරින් ලියැවී ඇත්තේ ඇතැම්  විට තම පක්ෂයේ දේශපාලනඥයන් හෝ ආධාරකරුවන් විසින් රටේ  දරුවන්ට එරෙහිව සිදුකරන අපයෝජන සහ හිංසනයන් නොවිය යුතුය.  

එහෙත්, ඡන්දදායකයන් තුනෙන් දෙකක මහ බලයක් දුන්නේ අතීත පාලකයන්ගේ වැරදි නැවත නොකරනු ඇතැයි විශ්වාසයෙන් බව මාලිමාවට අවුරුදු දෙකකින් අමතකවීම රටට අසුබ පලවිපාක උදාවීමේ පෙර නිමිත්තක් දැයි නොඅසාම බැරිය.  

(සටහන | කේ. විජේසිංහ)
නිදහස් මාධ්‍යවේදී

වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර:


The Leader | නියෝජ්‍ය ඇමතිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය කළඹයි: ළමා ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය ගැන සංවාදයක් 

බීබීසී සිංහල සේවය වාර්තා කළ සම්පූර්ණ පුවත: BBC Sinhala වාර්තාව


ළමා ආරක්ෂාව සහ හදිසි උපකාරක සේවා:

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය:          1929
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය:    011-2444444 / 109
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය: 1938


 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්