1200 x 80 DMirror
 
 

ජාතක කතා යනු හුදු බොධිසත්වයන්ගේ  පෙර ආත්ම පිළිබඳ විවරණයක් පමණක් නොවන බව
‘‘ජාතක කතා යනු හුදු කතන්දර පමණක් ද?’’යන මැයෙන් වූ ලිපියෙන් (2021/01/09) පැහැදිළි කළේ ය. අනතුරුව සාකච්ඡාවට බඳුන් කළේ (2021/01/30) ‘‘සංකප්ප ජාතකය’’ පිළිබඳව ය. එම ලිපි පෙළේ තුන්වන පියවර ලෙස අද ඉදිරිපත් කරන්නේ ‘‘වෙදබ්භ ජාතකය’’ පිළිබඳව ය.
 
බුදුන් වහන්සේ විසින් මෙම ජාතක කතාව වදාරනු ලැබ ඇත්තේ අකීකරු භික්ෂුවක් අරබයා බව ජාතක කතාකරු සඳහන් කරයි.
 
 
ජාතක කතාවේ සාරාංශය:
 
බෝධිසත්වයෝ පෙරුම් පුරන එක් සමයක ඔහු විසූ එක් ගමක විසූ  බ්‍රාහ්මණයකු වේදබ්භ නම් වූ අගනා මන්ත්‍රයක් දැන සිට ඇත. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව නිසි කල් එළඹි පසු නැකැත් බලා මෙම මන්ත්‍රය ජප කර ආකාශය දෙස බැලූ විට සත්රුවන් වැසි (රන්, රිදී, මුතු, මැණික්, ශඞක, ශිලා, ප්‍රවාල) වසින්නේ ය.
 
එක් දිනක් බෝධිසත්වයෝ මෙම බ්‍රාහ්මණයා සමග චේතිය නම් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. ඒ යන අතරමග කැලයක දී පෙසෙනෙකචෝර (කප්පම්කරුවන්) පිරිසකට මැදිව ඇත. පන්සියයකින් යුත් මෙම කප්පම්කරුවන් පිරිස බ්‍රාහ්මණයා රඳවාගෙන ඇත. ඔහු නිදහස් කිරීමට නම් කිසියම් මුදලක් රැගෙන එන ලෙස බෝධිසත්වයන්ට දන්වා ඇත. බෝධිසත්වයෝ ද එම බසට එකඟ වී කප්පම් මුදල් රැගෙන ඒම සඳහා ආපසු සිය ගම කරා ගොස් ඇත. එසේ යාමට පෙර හෙතෙම බ්‍රාහ්මණයාගේ දෙපා නමැද ඉල්ලීමක් කර ඇත. එනම්, නැකතක් එළඹිය ද මොනයම් ආකාරයකින් හෝ වෙදබ්බභ මන්ත්‍රය ජපකර සත්රුවන් වැසි නොවස්සන ලෙස ය.
 
නමුදු බෝධිසත්වයන්ගේ බස මායිම් නොකළ බ්‍රාහ්මණයා වසරකට එක්වතාවක් පමණක් එළඹෙන පුරා සඳ පායා එනු දැක, කප්පම්කරුවන් සමග සාකච්ඡා කර, මන්ත්‍රය ජප කර සත්රුවන් වැසි වස්සවා එයින් ලද වස්තුව කප්පම්කරුවන්ට පවරා ඇත. අනතුරුව කප්පම්කරුවන් බ්‍රාහ්මණයා අතැර දමා වස්තුව ද රැගෙන ගොස් ඇත. බ්‍රාහ්මණයා ද කප්පම්කරුවන් පසුපස ම ගමන් කර ඇත. අතර මග දී තවත් කප්පම්කරුවන් පන්සියයක් හමුවී පෙර කප්පම්කරුවන්ගේ වස්තුව මංකොල්ලකන්නට සැරසෙද්දී ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ට එම වස්තු සම්භාරය ලබා දුන්නේ බ්‍රාහ්මණයා බැවින් ඔහු ලවා වස්තුව වස්සවාගන්නා ලෙසයි.
 
දෙවන කප්පම්කරුවන් පිරිස පළමු කප්පම්කරුවන්ගේ බස් අසා සත්රුවන් වැසි වස්සවන්නැයි බ්‍රාහ්මණයාට බල කර ඇත. එහෙත් යළි එවන් පුරා සඳක් පායන්නේ වසරකින් බැවින් වස්තුව ලබාගැනිමට නම් වසරක් බලා සිටියු යුතු බවදෙවන කප්පම්කරුවන්ට පවසා ඇත. එබස් විශ්වාස නොකළ කප්පම්කරුවෝ බ්‍රාහ්මණයා මරා දමා පෙර කප්පම්කරුවන් පසුපස හඹා ගොස්, ඔවුන් සියලු දෙනා ඝාතනය කර ඔවුන් සතුව තිබු වස්තුව මංකොල්ල කා ඇත.
 
මඳ දුරක් ගමන් කරද්දී පසුව පැමිණි කප්පම්කරුවන් අතර ද වස්තුව බෙදාගැනීමේ අරමුණෙන් ගැටුමක් ඇති වී පන්සිය දෙනාගෙන් දෙසිය පනස් දෙනෙකු ඝාතනය වී ඇත. මේ ආකාරයට විටින් විට ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු පමණක් ඉතිරි වී අනෙක් සියලු දෙනාම ඝාතනය වී ඇත. දැන් සියලු වස්තුව පවතින්නේ දෙදෙනකු සතුව ය. එම වස්තු සම්භාරය තමන්ට පමණක් අයිති කරගැනීමේ තන්හාව මෙම කප්පම්කරුවන් දෙපළට ද ඇතිවිය.
 
එක් කප්පම්කරුවෙකු ආහාරය පිණිස යමක් රැගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇත. ඉතිරි කප්පම්කරුවා මග රැක සිට තමන් වෙත ආහාර රැගෙන පැමිණි කප්පම්කරුවා ඝාතනය කර ඝාතනයට ලක්වූ කප්පම්කරුවා රැගෙන ආ බත්පත අනුභව කර ඇත. එහෙත් ඝාතනයට ලක්වු කප්පම්කරුවා ද අනෙකා ඝාතනය කිරීමේ අරමුණෙන් එම බත්පතට වස මිශ්‍ර කර තිබූ බැවින් අවසාන කප්පම්කරුවා ද මිය ගොස් ඇත.
 
මේ කිසිවක් නොදත් බෝධිසත්වයෝ බ්‍රාහ්මණයා බේරාගැනීමට අවැසි මුදල් ද රැගෙන ආපසු වනයට පැමිණෙන විට පළමුවෙන් ම බ්‍රාහ්මණයාගේ මළ සිරුර ද තව දුරටත් ඉදිරියට ගමන් කරද්දි පළමු කප්පම්කරුවන් පන්සිය දෙනාගේ සිරුරු ද හමු වී ඇත. මිය ගිය ප්‍රමාණය මීට වැඩි වන්නට ඇතැයි සැක සිතූ බෝධිසත්වයෝ තව තවත් ඉදිරියට ගමන් කරන විට දෙවන කප්පම්කරුවන්ගේ මළ සිරු ද හමු වී ඇත. 
 
මෙම ඝාතන පෙළ පිළිබඳ තව තවත් සැක පහළ කළ බෝධිසත්වයෝ තව දුරටත් ඉදිරියට ගමන් කරද්දී අවසානයට ඝාතනයට ලක්වූ කප්පම්කරුවාගේ සිරුර ද ඒ ආසන්නයේ ම වස මිශ්‍ර බත්පත අනුභව කිරීම හේතුවෙන් මිය ගිය කප්පම්කරුවාගේ සිරුර ද හමු වී ඇත.
 
අවසන බෝධිසත්වයෝ එම වස්තු සම්භාරය රැගෙන විත් දාන-මාන පිංකම් ආදිය සඳහා වැය කර ඇත. එකල බ්‍රාහ්මණයෝ නම් මෙකල අකීකරු භික්ෂුව වන අතර බ්‍රාහ්මණයා සමග ගමන් කළ සගයා වූයේ මෙකල බුදුරජානන් වහන්සේ ය.
 
 
ජාතක කතාකරුවාගේ දුර්වලතාව  :
 
ජාතක කතා ලියන සමයේ විවිධ සාහිත ෂානර පිළිබඳව දැනුමක්, සොයාගැනීමක් හෝ වර්ගිකරණයට ලක් කිරීමක් නොතිබෙන්නට පිළිවන. නමුදු මෙම කතාව තුළ බහුලව පවතින්නේ යථාර්ථවාදී රීතිය (Realism) යි. ඒ අතර යම් පමණකට හෝ අධි යථාර්ථවාදී රීතිය (Surrealism) හෝ මායා යථාර්ථවාදී රීතිය (Magical Realism) යන ෂානර ද්විත්වය ද අන්තර්ගත ය.
 
 
සමස්ත ජාතක කතා සංග්‍රහය තුළ ම මේ ආකාරට යථාර්ථවාදී රීතිය සහ මායා යථාර්ථවාදී රීතිය අන්තර්ගත බව පන්සිය පනස් ජාතක පොත පරිශීලනය කර ඇති පාඨක ප්‍රජාවට වෙසෙසින් සිහිපත් කළ යුතු නොවේ. 
 
කතාකරුවා දුර්වලත්වයට පත්වන්නේ යට කී අධි යථාර්ථවාදී රීතිය (Surrealism) හෝ මායා යථාර්ථවාදී රීතිය (Magical Realism) කතාව තුළට ඇතුළු කිරීම හේතුවෙනි. මන්ද සත්රුවන් වැසි වස්සනවා යනු කිසිසේත් ම යථා ලෝකයේ දී සිදු කළ නොහැකි කර්තව්‍යකි. නමුදු එවැන්නක් සිදුවීමෙන් ඉක්බිති පැන නැගෙන තත්ත්වය යථා ලෝකයේ දී මම ඇතුළු ඔබ සැවොම අත්විඳ ඇතුවාට හෝ අත්දැක ඇතිවාට සැක නැත. 
 
ඔබ ‘‘උඩ රට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය’’ නමැති කෘතිය කියවා ඇත් නම් මෙම ජාතක කතාවට සමපාත සිදුවීමක් එහි අන්තර්ගත බව සිහියට නැගෙන නොඅනුමාන ය.
 
මෙහි දී කතාකරුවා යත්න දරන්නේ; හිතුවක්කාර ලෙස මෙන් ම තැනට සුදුසු නොවන ආකාරයට කටයුතු කිරීමේ විපාකය සහ අධි තන්හාවේ විපාක ගෙනහැර දැක්වීමට විය හැකි ය. එමෙන් ම කිසිවකුට යම් බලයක් ලැබී ඇත්නම් එකී බලය භාවිත කළ යුත්තේ සුදුස්සන් වෙනුවෙන් සුදුසු මොහොතක දී බව ද මෙම ජාතක කතාවෙන් ප්‍රකට කෙරේ. 
 
 
මේ සියල්ල සඳහා කතාකරුට ප්‍රවේශයක් අවශ්‍ය ය. ඒ ප්‍රවේශය ලබාගැනීම සඳහා කතාකරුවාට සිය ෆැන්ටසිමය ලෝකය පාඨකයා ඉදිරියේ ප්‍රාදුර්භුත කළ යුතුව ඇත. සත්රුවන් වැස්ස යනු එහි ප්‍රතිඵලය යි. කතාවේ යථාර්ථවාදි රීතිය ඉස්මතු නොවන්නේ ද එකී ෆැන්ටසිමය ලෝකය පාඨක ප්‍රජාව ඉදිරියේ ප්‍රාදුර්භූත කිරීමෙනි.
 
 
 
වස්තු තන්හාවේ ආනිශංස:
 
ජාතක කතා යනු බෝධිසත්වයෝ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක කාල වකවානුවක් පුරා අත්විඳි සහ අත්දුටු දෑ බව ජාතක කතා සංග්‍රහයේ ම සඳහන් වේ. එකී කාලවකවානුව කෙතරම් දිග පළලකින් යුක්ත ද යන්න විග්‍රහ කිරීමට පවා අසීරු ය. නමුදු විශේෂත්වය වන්නේ වත්මන් සමාජයේ සිදුවන දෑ ම එතරම් ඈත අතීත සමයක ද සිදුවී තිබීම ය. 
 
මෙම ජාතක කතාවට පාදක වන සමයේ මෙන් ම වත්මන් සමාජයේ ද පෙසෙනෙකචෝරයෝ (කප්පම්කරුවෝ) වෙසෙති. කතාවේ සඳහන් ආකාරයට ම වත්මන් සමාජයේ වෙසෙන පෙසෙනෙකචෝරයෝ (කප්පම්කරුවෝ) ද තමා අත පත් වස්තුව නිසියාකාරයෙන් බෙදාගත නොහී එකිනෙකාට එරෙහිව එකිනෙකා සටන් වදිති. අවසන ඒ අතුරෙන් කිසිවකු ජයග්‍රහණය කළ ද ඒ තාවකාලික ජයග්‍රහණයකි. 
 
එනම් අදාළ පුද්ගලයා ඇතැම් විට නීතියේ රැහැනට කොටු විය හැකි ය. එසේත් නොමැති නම් හෙතෙම අදාළ වස්තුව භුක්ති විඳින සමයේ දී ඔහුට හෝ ඇයට එරෙහිව වෙනත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පෙළ ගැසිය හැකි ය. 
 
මෙකී සංසිද්ධිය කතාවේ ආකාරයට වස්තු තන්හාවෙන් පෙළෙන්නන් අතර මතු නොව විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ද පවතී. එය ලංකාවේ පැවති, පවතින සහ අනාගතයේ දී පැවතිය හැකි; වාමාංශික, දක්ෂිණාංශික සහ නව ලිබරල්වාදී පක්ෂ සහ කණ්ඩායම්  අතර ද සමපාතව පැවතියේ ය; දැනට ද පවතින්නේ ය; අනාගතයේ ද පැවතිය හැකි ය. මන්ද බලය යනු ද එයට ලොබ බඳින්නන් හට අගනා වස්තුවකි. වෙනසකට වතින්නේ ඒ සියල්ලෝ ඝාතනය නොවීම ය. ඇතැමෙක් ඝාතනය විය හැකි ය. ඇතැමෙක් පරාජය වී පලා යා හැකි ය. තවකෙක් ජයග්‍රාහි පිළ සමග එකතු වී තම ගමන්මග සලසාගනු ඇත.
 
 
 
වේදබ්භ ජාතකයෙන් උගත යුතු දෑ:
 
 
ලංකාවේ දක්ෂිණාංශික පක්ෂවලින් වෙන්ව ගොස් වෙනත් දක්ෂිණාංශික පක්ෂ පිහිටුවාගත් පිරිස් දීර්ඝ කාලයක් දේශපාලන ක්ෂේත්‍ර යේ රැඳී සිටිය ද අපි දන්නා ඉතිහාසය තුළ වාමාංශික පක්ෂ අතැර ගොස් වෙනත් වාමාංහික පක්ෂ පිහිටුවාගත් කිසිවකු ක්ෂේත්‍රයේ රැඳී නොසිටියහ. එසේ රැඳී සිටියේ නම් ඒ, දක්ෂිණාංශික පක්ෂයක අතකොළුවක් බවට පත්වීමෙන් පමණි.
 
 හොඳම උදාහරණය ජනතා විමුක්ති පෙරමුණ අතැර ගිය පිරිස් වෙත අත්වූ ඉරණම ය. ඔවුන් කිසිවෙකුට මේ වන තෙක් ස්වාධීන පක්ෂයක් ලෙස ස්ථාපිත වීමට නොහැකිව ඇත. අනාගතයේ දි එසේ වෙතැයි ද විශ්වාස කළ නොහැකි ය. 
 
මන්ද ඔවුන් සියලු දෙනා ම වෙන්ව ගියේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා නොව තමාට අත්පත් කරගත නොහැකි වූ කිසියම් බල ව්‍යුහයක් ගොඩනගාගැනීමේ අරමුණෙනි. වඩාත් සරලව පවසන්නේ නම් බලය නමැති වස්තුව අත්පත් කරගැනීමේ අරමුණෙනි; එය නිසියාකාරයට බෙදාගැනීමට සහ බෙදාගෙන භුක්ති විඳීමට නොහැකි වීමේ ප්‍රතිපලයෙනි; තවත් සරලව පවසන්නේ නම් බලය නමැති වස්තුව එක්රැස්කරගැනීමේ තන්හාව හේතුවෙනි; එය කෙරෙහි පවත්නා තන්හාව හේතුවෙනි.
 
ඉදින් දේශපාලනය නමැති බලය සත්රුවන් වැසි වස්සවනවා තරම් සරල නොවූව ද, යථා ලෝකය තුළ ජීවත්වන අපි සැවොම බලය ප්‍රමුඛ සියලු වස්තු තන්හාවෙන් පෙළෙන්නෙහි ද ඒ සියල්ලගේ ම ඉරණම මෙම ජාතක කතාවෙහි එන බ්‍රාහ්මණයාගේ සිට කතාව අවසානය වන තෙක් ඝාතනය වන පෙසෙනෙකචෝරයන්ගේ (කප්පම්කරුවෙන්ගේ)ගේ ඉරණමට සමපාත නොවන්නේ ද? 
 
එසේ නම් අපි ජාතක කතාවක් කියවා බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩීමෙන් ඔබ්බට ගොස් එහි යථාර්ථය අවබෝධ කරගතයුතු නොවේ ද? හුදු ආගමික සංකල්ප බැහැර කර බුදුන්ගේ දහම හෙවත් බුද්ධ භාෂිතය ප්‍රායෝගික තලයට රැගෙන ආ යුතු නොවේ ද?
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත) 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
   
 
කියවන්න :

 

 


 

 

 
 
 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්