මම එහෙම ඇහුවෙ මම කොටුවෙ ලයිට් හවුස් එක ගාවට යද්දිත් සාජ්ජ දාන දවස්වල වගේ ම හතර දෙනා ම බිම වාඩිවෙලා මම එන තුරු බලාගෙන හිටපු නිසා.
‘‘පාටියක්නං තමයි. හැබැයි අපේ නෙවෙයි...’’
කටකාර විනීතා එහෙම කිව්වෙ කපටි හිනාවකුත් එක්ක අනිත් තුන් දෙනාගෙ මුණු දිහා බලාන අතර ම යි. ‘අපේ නොවන’ සාජ්ජෙ කාගෙද කියල කල්පනා කරන ගමන් ම මමත් එතනින් වාඩි වුණා.
‘‘කාගෙද අප්පා මේ ‘අපේ නෙවෙයි’ පාටිය...?’’
වාඩි වෙන අතර ම මම එහෙම ඇහුවෙ එක්කෙනෙක් ඉලක්ක කරගෙන නෙවෙයි. මම අහන දේට කවුරු හරි උත්තර දේවි කියන බලාපොරොත්තුවෙන්. මම හිතුව වගේ ම හැමෝට ම කලින් උත්තර දුන්නෙ කමලනී.
‘‘පාටිය ද...? පාටියඅඅඅ...’’ කියල කමලනී ටිකක් අදිද්දි ම ‘‘පාටිය වෙන කවුරු හින්ද ද බං... උඹ වෙනුවෙන් ම තමයි...’’ කියල එක පාරට ම කියන ගමන් ම මගේ මූණ ඉම්බෙ මගේ වම් අත පැත්තෙ වාඩි වෙලා හිටපු විනීතා.
‘‘අම්ම ද බොල... මේ මොකද මේ...!’’
එහෙම ඇහුවෙ ජෙසිකා අක්කා. ඒ වෙලාවෙ එයාගෙ ඇස් දෙකේ ලියවිලා තිබුණෙ ඉරිසියාව ද සතුට ද කියන්න මට තේරුණේ නෑ. හැබැයි ඒ ඇස් අමුතු ම එළියකින් දිස්නෙ දෙන බව නම් මම අඩ අඳුරෙ වුනත් හොඳට ම දැක්කා.
විනීතත් කට පියාගෙන හිටියෙ නෑ.
‘‘ඇයි... මූව ඉඹින්න ඇහැකි උඹට විතරෙයි...? අපි හැමෝට ම ඇහැකි මේකාව ඉඹින්න නැද්ද කොල්ලො...’’ කියන අතර විනීතා ආයෙත් වතාවක් මාව ඉම්බා.
‘‘ඇහැකි ඇහැකි... හැබැයි මෙයා ඉස්සර කොහොම ද රොහාන්ට සලකපු විදිහ...?’’
ජෙසිකා අක්කා එහෙම ඇහුවෙ එක්කෙනෙක් ඉලක්ක කරල නෙවෙයි. හැබැයි එයා කාගෙන් හරි උත්තරයක් බලාපොරොත්තු වුණා.
‘‘ෂරි ෂරි... ඒ ඉස්සරනේ... දෙං එපි ඔක්කොම යාළුවොනේ... නේද රොආන්...?’’
ආයෙත් වචන හුවමාරුවක් වෙන්න කලින් ම තත්ත්වය සමතයකට පත් කරේ කමලනී.
‘‘හරි හරි... අපි ඔක්කොට ම වුනත් මේකාව ඉඹින්න පුළුහං... ඒක කොයි වෙලාවෙ උනත් කරගන්න බැරිය... දැං අපි ආපු කාරණේ දොඩමු.’’
තත්ත්වය තව තවත් සමතයකට පත් කරන බලාපොරොත්තුවෙන් මැදිහත් වුණේ රමණී. එයා කවදත් හරිම සාමකාමියි.
‘‘ඔවු ඔවු... එප්පි බියර් උගුරක් ගාන ගමන් ම කතා කරමුකෝ...’’ කියල කියන ගමන් ම කමලනී එයාගෙ ළඟ තිබුණ බෑග් එකෙන් වීදුරු හතරක් එළියට ගත්තා. ඒ එක්ක ම රමණී එයාගෙ හෑන් බැග් එකට අත දාල තවත් මොකක්දෝ පාර්සලයක් එළියට ගන්න ගමන් ‘‘මේත් ඉතිං මෙයැයිගෙ යාළුවෙක්ගෙ ම කෑමක් තමයි. මං ඌට කිව්ව ම අද හවසට රොහාන් හම්බ වෙනවය... ඌ හින්දය පාටිය කියල... ඒකා සල්ලි ගත්තෙත් නෑ. මං පෙරැත්ත කරා ගන්නෙයි කියල... කොහ්... ‘නේ නේ ෂල්ලි යෙපා... යෙසේ මල්ලිට කියන්න එයැයි මතක් කොරා කියල. එයැයි දෙං ඉස්සර වගේ නයින් තට්ටි බලන්න යෙන්නෙ නෙද්ද මංදා අප්පා. ගොඩ්ඩ දවසකින් තමා දෙක්කෙ නෑ. මම දවසක් දෙකක් හොටලෙටත් ගියා. හෙබෙයි ඒ එක්ක දවසකවත් එයැයි ඉටියෙ නේ.’ කියල හෑල්ලක් දොඩන්න ගත්ත. මං දන්නව ඌ ඊළඟට මක්කයි දොඩන්නෙ කියල. ඒ හිංද මං ඉක්මනට ම පාර්සලේ අරගෙන මාරු වුණා.’’
අපි කොටුවෙ ලයිට්හවුස් එක ගාව රෑ දොළහ විතර වෙන තුරු ම හිටිය කියල දැනුණෙ කොටුවෙ ම අනික් පැත්තෙ තියෙන ඔරලෝසු කණුවෙ සීනුව වදිද්දි. මම ආපු ම දවස්වල හිතුවෙ ඒ ඔරලෝසු කණුවෙ වෙලාව වදින්නෙ රෑට විතරයි කියල. නමුත් ජෙසික අක්ක කොටුවෙදි හමු උන දවසෙ රෑ හතට විතර ඒ සිනුව වදින සද්දෙ ඇහුණ ම මම ඒ ගැන ජෙසිකා අක්කගෙන් අහපු වෙලාවෙ එයා කියපු දේ මතක් වෙද්දි මට දැනුත් දැනෙන්නෙ ලජ්ජාවක්.
‘‘අනේ මල්ලියෙ... උඹට ඒකවත් තේරෙන්නැතෙයි...? රෑට විතරක් නෙවෙයි මල්ලියෙ... මේකෙ පැයෙන් පැයට සීනුව වදිනවා. දන්නවයි... ඒත් මේ වටපිටාවෙ සද්ද බද්ද නිසා ඒක අපිට ඇහෙන්නෑ. රෑ වෙද්දි වෙද්දි වටපිටාවෙ සද්ද බද්ද අඩු හංද මේ සීනුවෙ සද්දෙ ඇහෙනවා. උඹට කියන්න මල්ලියෙ මහ දවල්ට මේ කණුව යට හිටියත් සීනුව වදින සද්දෙ ඇහෙන්නෙ නැති ගානයි. හැබැයි ඉතිං රෑ වෙද්දි වෙද්දි ඩිංග ඩිංග සද්දෙ වැඩි වෙනවා.’’
එදා ජෙසිකා අක්ක කියපු දේ සහ සුද්දෙන් ම ඔප්පු වුණේ දැන්.
‘‘හම්ම්ම්... දැං ඔය මදැයි... යමල්ල යමල්ල... අද හැන්දෑකොරේ උඹලට කීයක්කත් හොයාගන්නත් නැති උණා නේද...’’
ජෙසිකා අක්ක නැගිටින ගමන් එහෙම ඇහුවෙ වරදක් කරල සමාව ඉල්ලනව වගේ.
‘‘ආ... ඒකට මක්ක වෙනවයි. දැං ඉතිං රොහාන් මල්ලිය සිකුරිටි ජොබ් එකට ගියැයිං පහු ආයෙ කවදා හම්බ වෙන්න ඇහැක් වෙයි ද කියල කවුදෑ දන්නෙ... නැද්ද මං අහන්නෙ...?
විනිතා එහෙම ඇහුවෙ මගෙන් ද... එමෙත් නැතිනම් අනික් තුන්දෙනාගෙන් ද කියල පැහැදිලි නැති නිසා මම හිනා වෙලා බිම බලාගත්තා. ඒකට උත්තර දුන්නෙ කමලනී.
‘‘ඒක එත්ත... මොක්ක ද සිකුරිටි ජොබ්බෙකට ගියාට පස්සෙ මෙයැයිට රේ දවල් දෙකේ ම වෙඩ කරන්න වෙයි ද දන්නේ නේ.’’
ඒ කතාව ඇහුව ම මගේ ඇඟ හීතල වෙලා ගියා.
‘හත්තිලව්වෙ... රැ දවල් දෙකේ ම වැඩ කරන්න... ඒ මොන කරුමයක් ද...? මං නං එහෙම වැඩ කරන්නෑ...’
‘‘මොකෝ බං මල්ලියෙ හිටි ගමං කල්පනාවට වැටුණෙ...?’’
රමණි එහෙම අහද්දිත් මම හිටියෙ වෙන ලෝකෙක.
‘‘ඇත්තෙයි අක්කෙ මේ දොඩන්නෙ. සිකුරිටි ජොබ්බෙකේ රැයි දවාලෙයි දෙකේ ම වැඩ කරන්න ඕනෙයි...?’’
මම කෙළින් ම ප්‍රශ්නෙ යොමු කරේ ජෙසිකා අක්කට.
‘‘ආ... මට උඹට ඒ ගැන දොඩන්න අමතක උණා නෙ... හැමදාම නෙවෙයි... සමහර දවසට එහෙම වැඩ කරන්න වෙනව කියල ඇල්බට් මහත්තෙය දෙඩුව. හැබැයි පහුවෙන්දට ඕෆ් එකක් දෙනවයි කියලත් කිව්ව. එහෙම තමයි බං සිකුරිටි ජෙබ්බෙකේ හැටි. දැං බලපං ඔය සමහර පොලිස්කාරයොයි ආමිකාරයොයි... උනුත් එහෙම තමයි. ඒ වගේ ද බං මාසෙ අන්තිමට සීයෙ කොළ මිටියක් හම්බෙද්දි...?’’
‘ජෙසිකා අක්ක එහෙම කිව්වෙ ටිකක් වෙරි වෙලා වගේ උනත් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ. ඒත් කොහොමෙයි දෙය්යනේ රැ දවල් දෙකේ ම වැඩ කරන්නෙ... බලමු... ඉස්සෙල්ල ඒ ජෙබ්බෙකට ගිහිං බලමුකො. කරන්න අමාරු නං ඔන්නොහෙ දමල ගහල එනෝ. මොකද දැං මෙයැයි මං වෙනුවෙං හැම දෙයක් ම සූජානං කරල නෙව. බැහැයි කියන එක හරි නැහැ නෙව. කීයක්කත් හොයාගන්න තියන වෙලාවත් අතෑරල හතර දෙනා ම මෙහෙම එකතු උණේ මං වෙනුවෙන් නෙ. එහෙව් එකේ කොහොමෙයි මෙයැයිලගෙ හිත රිද්දන්නෙ...?’
‘‘ඔය ඉතිං... ආයි කල්පනා කරනෝ... හැමදාම නෑ බං... ඉඳල හිටල... ඉඳල හිටල... ඔය එකෙක් දෙන්නෙක් නිවාඩු ගියහම තමයිලු එහෙම වෙන්නෙ...?’’
මම කල්පනා කරන විත්තිය දැනුණු ජෙසිකා අක්කා එහෙම කිව්වෙ මගේ අත් දෙකෙන් ම අල්ලගෙන.
‘‘හරි... එහෙනං කොල්ලො... අපි දැං යහ්... ඔහේට හොටලෙට යන්න ඇහැකි නෙහ්...’’
‘මම හොටලෙ ඇතුළට යන්න කන කට්ට මෙයැයිල දන්නෙ නැහැනෙ... ඒත් ඒ රහස කවදාවත් කාටවත් කියන්න හොඳ නෑ...’
‘‘නෑ නෑ අක්කෙ... මට උඩ තට්ටුවෙ බුදියගන්න ඇහැකි.’’
‘‘එහෙනං අපේ කොල්ලගෙ අලුත් ජොබ්බෙක ඉක්මනින් ලැබේවා...!’’ කියල ටිකක් සද්දෙන් කියපු විනීතා ආයෙත් ඉස්සර වෙලා වගේ ම මගේ කම්මුල දෙපැත්ත ම ඉම්බා. ඊට පස්සෙ ජෙසිකා අක්කා, ඊළගට කමලනී, අන්තිමට රමණී... එක්කෙනෙක් ඉඹල ඉවරවෙද්දි අනිකා... අන්තිමේ දි හතර දෙනා ම මාව බදාගෙන විනාඩියක් විතර හිටියා. ඒ මොහොත හරිම ආදරණීය යි; ඒ වගේ ම දුක් බරයි. ඒ හැමෝගෙ ම ඇස්වල කඳුළු පිරිලා; එහෙම කඳුළු පිරිල කියල දැනුණම මගේ ඇස්වලටත් කඳුළු ඉනුවා. මමත් කවදාවත් නැතුව ඒ හතරදෙනාගෙ ම මූණු ඉම්ඹෙ කිසිම නරක අදහසකින් නෙවෙයි; මගේ ම අක්කල හතර දෙනෙක් කියල හිතාගෙන. ඒක එයාලටත් දැනුණා. මට කවදාවත් එහෙම දුකක්, සතුටක් වගේ ම ආදරයක් දැනිල තිබුණෙ නෑ. මට හිතුණෙ එක ම එක දෙයයි. ඒ තමයි ‘මෙච්චර හොඳ ගෑනු හතරදෙනෙකුට නේද මේ ටවුමෙ ම එවුන් වේසියො, වේස ගැනූ, බඩු කියල කියන්නෙ... ඒ එකෙකුටවත් තේරෙන්නෙ නෑ මේ වේස ගෑනු ඇතුළෙත් සහෝදරියක්, අම්ම කෙනෙක්, මිතුරියක් ඉන්නව කියල,’ කියන සිතිවිල්ල. ඒ මොහොත මගේ ජීවිත කාලෙට ම මතක තියේවි. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.
මැනේජර් මහත්තයා
රොහාන් අස්වෙලා යනව කියල දැන් සතියකටත් කිට්ටුයි. මිනිහට පඩි ගන්නත් තියෙන්නෙ තව දවස් තුනයි. අස්වෙනව කිව්වට හරියට ම දවසක් කියපු නැති එක තමයි ප්‍රශ්නෙ. මම ලොකු සර්ටත් මේ ගැන කිව්වා. එයා කිව්වෙ ‘එයැයිගෙ කැමැත්තෙන් නෙ යන්නෙ... යද්දි වැඩ කරපු දවස් ටිකේ පඩි දීල තව මාසෙක පඩි දෙන්න. දැං කොල්ලගෙ පඩිය රුපියල් දෙසිය පනහක් විතර ඇති නේද...?’’ කියල.
මම මේ ගැන මොනවත් තවම රොහාන්ට කිව්වෙ නෑ. ලොකු සර්ට කියපු විත්තිය විතරයි කිව්වෙ. ටී මේකර්ටත් මේ ගැන කිව්වා. රොහාන් මිනිහටත් කියල තියෙනවා ළඟදි ම අස්වෙනවා කියල. පස්සෙ මං ආරංචි කරලා බැලුවා කවුද රොහාන්ට මේ ජොබ් එක හොයල දුන්නෙ කියල. ආරංචියෙ විදියට නම් අර බඩු ටික තමයි ඒ වැඩේට උදවු කරන්නෙ. මං ඒ ගැනත් ටී මේකර්ට කිව්වා.
‘‘ඔවු මැනේජර් මහත්තයො. මට රොහාන් ඒ ගැන දෙඩුවා. හැම දෙයක් ම පංගාර්තු කරල තියෙන්නෙ එවුන්ගෙ මහ එකි ජෙසික ලු. කොල්ල නං කියන්නෙ ඌ එවුනුත් එක්ක වෙන සම්බන්ධයක් නෑ කියල. එකාතකට එහෙමත් වෙන්නැති. උං හොඳ යාළුවො වෙන්නැති. මොකෝ හම්බෙන හම්බෙන හැම එකාට ම උං රස්සා හොයල දෙන්නෑ නෙ. කොහොමටත් ඉතිං රොහානුත් මහ එක විදියක එකෙක් නෙ. මං ඒත් කිව්ව මහත්තයො... ඔය අනං මනං වැඩවලට පුරුදු වෙලා ආයෙ ලෙඩ බෝ කරගන්නව එහෙම නෙවෙයි කියල. රොහාන් නං කිව්වෙ මැනේජර් මහත්තයො එහෙම දෙයක් හීනෙන්වත් හිතල නෑ කියල. ඒ බඩු හතර මූට සලකන්නෙ උංගෙ ම සහෝදරයෙකුට වගේ කියල.’’
කාරණේ බොරු වෙන්නත් බෑ. රෙහාන් එක එකත් එක්ක අඩව් අල්ලන්න ගියාට ගෑනුත් එක්ක පැටලිලා කියල ආරංචි වෙලා නැහැ නෙ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/07/05
අපලෝකන - පසුගිය කොටස්