‘‘අපි දන්නෙද්ද බං උඹ ගෙන. උඹ ගෙන හොද්දට්ට දන්න හිංදනෙ අපේ ම තෙනක නවත්තගන්නෙ... නෙද්ද අක්කා...?’’
එහෙම කියන ගමන් ම කමලනී පරමේශ්වරී අක්ක දිහාට හැරුණා.
ඒ පාර මොකද කල්පනා කරන්නෙ?‘‘ඔවු ඔවු... නංගි ඉතරක් නෙමෙයි... ඔයැයිගෙ අනික් යාළුවො ඔක්කොමත් ඔයැයි ගෙන අප්පිට කියල තමා තියෙනවා.ඊට පස්සෙ තමා ජෙගන් වුනත් කෙමෙති උණේ.’’
‘ඒ කියන්නෙ මං එයාලගෙ යාළුවෙක් කියල එයාල කියන්නෙ හරිම සතුටින්. ඇත්තට ම ඒක මටත් සතුටක්.’
‘‘ඒ පාර මොකද කල්පනා කරන්නෙ...?’’
පරමේශ්වරී අක්කා එහෙම ඇහුවෙ මගේ වෙනස දැනගෙන වෙන්න ඕන.
‘‘නෑ අක්කෙ... ඇත්තට ම මට සතුටුයි අක්කල මට මේ සලකන විදියට.’’
‘‘හෙබෙයි මල්ලි ඔයැයිට කඩේ ඉටිය තරම් ෂෙපට සනීපෙට ඉන්න බෙරිවෙයි. මේ චීන කොරටුවෙ ජීවිතේ අරිම වෙනස්. ඒකට උරු වෙන්න ටිකක් කල් යාවි.’’
‘පරමේෂ්වරී අක්ක කියන දේ ඇත්ත. මම මෙච්චර කාලෙකට මේ වගේ පරිසරයක ජීවත් වෙලා නෑ. ඒත් දැන් කරන්න දෙයක් නෑ. දැන් ආපහු හැරෙන්න බෑ.’
මම මෙච්චර කාලෙකට මේ වගේ පරිසරයක ජීවත් වෙලා නෑ
‘‘අක්කෙ... අක්කල නාන්නෙ එහෙම කොහෙන් ද...?’’
ඇත්තට ම මම එහෙම අහන්න හිතාගෙන හිටියෙ නෑ. ඒත් මොකක්ද මන්දා හේතුවකට එහෙම ඇහුණා. මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ පරමේෂ්වරී අක්කා නෙවෙයි. ඒ වෙනුවට උත්තර දුන්නෙ කමලනී.
‘‘අක්කා... ඔයැයි තේ ඩිංගක් හදන්නකො. මං රොආන් මල්ලිට පයිප්පෙයි ටොයිලට් එකයි පෙන්නලා එන්නං,’’ කියන ගමන් ම මගේ අතින් අල්ලාගෙන ‘‘යං මල්ලි...’’ කියාගෙන එළියට බැස්සා. එළියට බැහැලා අපි ආපු පාරෙ ම පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වමට හැරිලා යාර පහක් හයක් යද්දි පාර අයිනෙ තිබුණු පොදු පයිප්පයක් ගාව නතර වුණා.
අක්කල නාන්නෙ එහෙම කොහෙන් ද...?
‘‘මෙතනිං තමයි මල්ලි නාන්න, රෙදි ඕදන්න, මූණ ඕදන්න එම දේ ම කරගන්න වෙනවා. අර එහා පෙත්තෙ තමයි ටොයිලට් තියෙනවා. හෙබෙයි මල්ලි මෙතන එම වෙලාවෙම ෂෙනඟ තමයි ඉන්නවා. ඔයැයිට ඒ එමෙ දේට ම පෝලිමෙ තමයි ඉන්න වෙනවා. ටොයිලට් තුනක් ම තීනවා. ඒ ඉංදා එච්චරට ම කරදරයක් වෙන එකක් නේ. කෝමටත් ඔයැයි මෙව්වාට පුරුදු වෙන්න ඕන නේ...’’
ඒ වෙලාවෙ නං මට හිතුණා මම මෝඩ තීරණයක් ගත්ත ද කියලා. ඇයි දෙයියනේ ටොයිලට් යන්නත් පෝලිමේ ඉන්න වෙනව කියන්නෙ මොන කරුමයක් ද...?
‘‘ආ... කමලක්කා... මොකෝ අද ඩියුටි නැතෙයි...?’’
මගේ කල්පනාව බිඳුණෙ ගෑනියෙකුගෙත් නොවෙන පිරිමියෙකුගෙත් නොවන කටහඩක් ඇහුණ නිසා.
ඒක හරි පුදුම නෑමක්
‘‘කවුද මේ ඇටිකිත්තා...?’’
තවත් එකෙක් නනා ඉන්න එකත් නවත්තලා කමලනීගෙන් ඇහුවා. ඒ වෙලාවෙ පයිප්පය ගාව හතර පස් දෙනෙක් ම හිටියා. ඒක හරි පුදුම නෑමක්. එක මිනිහෙක් වතුර බාල්දිය ඔළුවට දාගද්දි තව එක්කෙනෙක් බාල්දිය පුරවනවා. එයා ඒ බාල්දිය නාද්දි තවත් එක්කෙනෙක් බාල්දිය පුරවනවා. ඒක හරියට තරගයක් වගේ.
‘‘ආ... හිටාල්ල හිටාල්ල මං කීන්නං... මේ අපි දන්න අපේ ම මල්ලි කෙනෙක්. මේ මල්ලි එට ඉඳල අපේ මෂ්ෂිනාලගෙ ගෙදර තමා ඉන්නවා. ඒ ඉංදා තමා මං මේ පයිප්පෙයි ටොයිලට් එකයි පෙන්නල යන්න ආවා. ඒ ඉංදා උඹල මේ මල්ලිට සලකන්න තමයි ඕනා.’’
‘‘ඕක මොකද්ද කමලක්කා... ජෙගන් අයියා වෙනුවෙන් ඕන ම දෙයක් අරී...’’
ඇඟේ සබන් ගගා හිටපු කෙනෙක් එහෙම කිව්වෙ මාව හරියට දැකල ද කියලත් මට සැක හිතුණා.
‘‘අන්න ෂරි... ඒම තමා වෙන්ඩ ඕනා... මේ අපේ ම මල්ලි වගේ තමා...’’
කමලනී එහෙම කිව්වෙ ටිකක් නියෝගාත්මක ස්වරයකින් වගේ. ඒ කීප දෙනා ඒක බාරගත්ත බව තමයි දැනුණෙ. මට එතනදි කතා කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. ඒ නිසා මම, මගේ මූණ බලන හැම කෙනෙක් එක්ක ම හිනාවුණා විතරයි. එයාලත් මාත් එක්ක හිනා වුණා.
‘‘අපි යං ද රොආන් මල්ලි...? දෙං අරි නෙ... ඔද්දට පලා ගත්ත නෙ.’’
ජීවිතේට මුහුණ දෙන්නෙ කොහොම ද, පුරුදු වෙන්නෙ කොහොම ද කියල නං මං කල්පනා කරා
වචනයක් හරි නොකියපු මම කමලනී පස්සෙන් ම වැටුණා. හරියට පොඩි එකෙක් එයාගෙ අක්කගේ හරි අම්මගේ හරි පස්සෙන් වැටුණා වගේ. කොහොම වුනත් මේ වෙන්නෙ මොකක් ද, මේ ජීවිතේට මුහුණ දෙන්නෙ කොහොම ද, පුරුදු වෙන්නෙ කොහොම ද කියල නං මං කල්පනා කරා. ඒ අතරෙ කමලනී මගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ මං කල්පනා කරන්නෙ මොනව ද කියල දැනගත්ත වගේ.
සුසන්ත
චීන කොරටුවට ගිහින් ආපු වෙලාවෙ ඉඳල ම රොහාන් හිටියෙ ටිකක් අප්සට් විදියට.
චීන කොරටුවට ගිහින් ආපු වෙලාවෙ ඉඳල ම රොහාන් හිටියෙ ටිකක් අප්සට් විදියට. වැඩ කරන අතරතුර කතාබහ කරන්න වෙලාවක් නැති නිසා තමයි රෑ නිදාගන්න ගියපු වෙලාවෙ මම මේ ගැන රොහාන්ගෙන් ඇහුවෙ. මොකද මේ මිනිහ හෝටලේ නිදාගන්න අන්තිම දවස. හෙට උදේ මිනිහ යන්න ම යනවා. මිනිහට මෙහාට එන්න අවසර තිබුනත් මිනිහා ආයෙ මේ පැත්තෙ එයි කියලා විශ්වාස කරන්න බැහැ.
රොහාන් කියපු දේවල් ඇහුව ම මටත් ටිකක් විතර බයක් දැනුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. රොහාන්ට ඒ කියපු විදියෙ පරිසරයක් හුරු නැති නිසා. අනික අඳුරන කියන කෙනෙක් ඇත්තෙත් නැහැ නෙ. මම එහෙම පරිසරයක ජීවත් වෙලා තියෙන නිසා මට නම් ඔය කියන පරිසරය මහා ලොකු දෙයක් නෙවෙයි. රොහාන් දවල් දැකපු දේවල් ගැන කිව්වා ම මට මතක් වුණේ මම වැඩ කරපු තොටළඟ තේ පෙට්ටි වැඩපළ. එතනත් එහෙම නෙ. වැඩපළ ඇතුළට ගියාම නම් ඒක මහා අමුතු ම තැනක්. හැබැයි වැඩපළට යන්න තියෙන්නෙ සුසන්ත කියපු විදියෙ මුඩුක්කු ගෙවල් අතරින් නෙ. ඉතිං රොහාන් අද දවල් දැකපු අහපු දේවල් මටත් කාලයක් උදේ හවස දෙකේ ම ඇහුවා. හැබැයි ඉතිං මට එහෙම ටොයිලට් පාවිච්චි කරන්න ඕනෙ වුණේ නෑ. එහෙම පයිප්ප ගාව රස්තියාදු වෙන්න වුණෙත් නෑ. මම හැමදා ම නාගෙන ආවෙ වැඩපළෙන්; උදේට මූණ හේදුවෙ බෝඩිමෙන්; නිවාඩු දවසට නාන්නයි රෙදි හෝදන්නයි ගියේ මරදානෙ තිබුණ බාල්දි ළිඳට.
මම එහෙම පරිසරයක ජීවත් වෙලා තියෙන නිසා මට නම් ඔය කියන පරිසරය මහා ලොකු දෙයක් නෙවෙයි.
රොහාන්ටත් පුළුවන් එහෙම තැනකින් නාගන්න; රෙදි හෝදගන්න.ඒකට ‘බාල්දි ලිඳ’ කිව්වෙ බාල්දියෙන් නාන නිසා එහෙම නෙවෙයි. එතන හරි අමුතුම තැනක්. මට හිතෙන්නෙ ඒක අක්කර කාලකටත් වඩා අඩු ඉඩම් කැල්ලක්. ඒ ඉඩම් කොටසෙ මැද තිබුණ ලොකු වතුර ටැංකියක්; වහලක් තිබුණෙ නෑ. හැබැයි වතුර ටැංකි තියෙන ප්‍රමාණය විතරක් ඒ කියන්නෙ බිත්තියෙ ඉඳල අඩි දෙක තුනක් ඉස්සරහට වහල කැල්ලක් ගහල තිබුණා. තව පැත්තකින් පොඩි මඩුවක් වගේ එකකුත් තිබුණා. හතරැස් ඉඩමෙ ඇතුළු වෙන පැත්ත ඇරුණහම අනිත් තුන් පැත්තෙම බිත්ති තුනට අල්ලලා අඩියක් එකහමාරක් විතර උසට බැඳපු ටැංකි තිබුණා; රෙදි හෝදන්න වෙන් කරපු තැන් තුනක් තිබුණා. නාන කෙනෙකුට නම් අර ටැංකියට එතන හිටපු කෙනා වතුර පුරවලා දුන්නා. පුරවනවා කියන්නෙ පොඩි පොඩි ටැංකි මැද තිබුණ ටැංකියෙ පයිප්පෙට ලොකු බටයක් හයි කරල තිබුණා. පොඩි ටැංකි හිස් වෙන්න හිස්වෙන්න එතන හිටපු කෙනා ඒ ටැංකි පුරවනවා. රෙදි හෝදන්න නම් දෙන්නෙ එක ටැංකියයි. නාන්න ටැංකි දෙකක් පුරවලා දෙනවා. නානවා නම් විතරක් අය කරේ රුපියලයි; රෙදි හොදනවා නම් තව ශත පනහක් දෙන්න ඕන. හැබැයි ඉතිං ඒ මනුස්සයට කීයක් හරි... ඒ කියන්නෙ ශත පනහක් රුපියලක් දුන්නා ම තව වතුර ටැංකි බාගයක් වගේ පුරවලා දෙනවා. මට මතක විදියට එයැයිගෙ නම ඇඩ්ඩිං. එක එක අය එයාට කතා කරේ එක එක විදියට. සමහර අය ඇඩ්ඩිං අංකල් කිව්ව. තවත් සමහර අය ඇඩ්ඩිං අයියෙ කිව්ව. ටිකක් වැඩිමල් අය කිව්වෙ ඇඩ්ඩිං මල්ලි කියල. කොහොම වුනත් එතන පරම්පරා තුනක් විතර නියෝජනය වුණා. එයා බාල්දි ළිඳ අරින්නෙ උදේ හතරට විතර; වහන්නෙ රෑ නවයට. මම ඒත් දවසක් ඇහුව උදේ ඉඳන් රැ වෙනකන් ම මෙතන ද ඉන්නෙ කියල. එයා නම් කිව්වෙ දවල්ට පුතා ඉස්කොලෙ ගිහින් ආවට පස්සෙ ඇඩ්ඩිං අංකල් ගෙදර ගිහින් ආයෙ එන්නෙ තුනහමාරට විතකර කියල. හැබැයි මට කවදාවත් ම ඒ කියපු පුතා නං මුණගැහිල නෑ. මෙහෙත් එහෙම තැනක් තිබුනොත් නං රොහාන්ටත් පුළුවන් එහෙම තැනකින් නාගන්න; රෙදි හෝදගන්න. නැතිනං රොහාන් කියපු විදියට මිනිහට ඒ වැඩේට පුරුදු වෙන්න කාලයක් යාවි. ඒත් ඒ අවට ජීවත් වෙන හැම කෙනෙක් ම ඒ රටාවට හුරු වෙලා නම් රොහාන්ටත් ඒකට පුරුදු වෙන්න වෙනවා නෙ.
‘‘යකෝ පුරුදු වෙනව කියල... නාන්න ගිහිල්ලනං කමක් නෑ කියමුකො. රෙන්න ගිහිල්ලත් පෝලිමේ ඉන්න පුළුවන් ද...?’’
මම කරුණු පැහැදිලි කරල දෙන වෙලාවෙ රොහාන් ඇහුවෙ මටවත් හිතාගන්න බැරි විදියට.
ඒ දිහාවෙත් මෙහෙම තැන් තියෙනවා.
‘‘එහෙමතමයි බං... ඔයිටත් වඩා දුෂ්කර ජීවිත ගත කරන එවුං මේ රටේ ඉන්නවා. ඔහේ දැං ගාල්ලට ඇවිල්ල අවුරුදු දෙකක් විතර උණාට කොටුවටයි, පිචර් හෝල් ටිකටයි, අර මහමෝදරටයි තව ඕන්නං මාගාල්ලටයි ගිහින් ඇති නෙ. ඒ දිහාවෙත් මෙහෙම තැන් තියෙනවා. අමාරුවෙන් හරි දැං ඉතිං ඔය ජිවිතේට හුරු වෙන්න වෙනවා.’’
‘‘අනේ මන්ද බං...’’
රොහාන් ඒ වචන ටික කිව්වෙ හරිම කලකිරීමෙන්.
අර කියමනකුත් තියනෝ නෙ බෙරේ බැඳගත්ත නං ගහන්න ඕන කියල.
‘‘හරි... දැං ඔයැයි මොකෝ කරන්න හිතං ඉන්නෙ...?’’
මම කියන කරුණු වටහා ගන්නට සූදානමක් නැති රොහාන්ගෙන් අවසාන වතාවට එහෙම ඇහුවෙ එයාගෙ අවසාන නිගමනය අහගන්න. ඒකට දීපු උත්තරයෙන් පස්සෙ තමයි මගේ හිතටත් සැනසීමක් ලැබුණෙ.
‘‘මක්ක කරන්න ද... අර කියමනකුත් තියනෝ නෙ බෙරේ බැඳගත්ත නං ගහන්න ඕන කියල. ඒ හිංද වෙන තැනක් හොයාගන්නකං හරි ජෙගන් අයියලයි දිහා ම ඉන්නවා.’’
‘‘ඔවු... දැං ඔහේ හෙට කීයට විතරෙයි එහෙට්ට යන්න හිතාන ඉන්නෙ...?’’
‘‘හෙට උදේ දහයට අර පරික්ෂණය ද මොකද්ද කියන කෙහෙල්මලට යන්න තියෙනව නෙ... උදේ නවය වෙද්දි ජෙසිකා අක්ක එනව කිව්ව. එයැයිත් එක්ක තමයි යන්නෙ. මොකෝ මං තැන දන්නෙ නැහැ නෙ... ඒ ගිහිං ඇවිත් තමයි යන්නෙ.’’
ජෙසිකා
රොහාන් එක්ක ම ගිහින් එයාව ඇරලලා ඒ ගොඩනැගිල්ලෙ ම තිබුණ වෙන තැනකට වෙලා වාඩි වෙලා හිටියා.
මාව දැක්කම පුරුද්දට හිනා වුණාට රොහාන්ගෙ හිතේ මොකක් හරි දෙගිඩියාවක් තියෙනවා කියල මට දැනුණා. ඒත් උදේ පාන්දර ම මොනවත් අහන එක හරි නැති නිසා මම හිතාගත්ත මේ ගමන ගිහින් ඇවිත් ඒ ගැන කතා කරන්න ඕන කියල. අපිට යන්න තිබුණෙ මා ගාල්ලට. මමත් රොහාන් එක්ක ම ගිහින් එයාව ඇරලලා ඒ ගොඩනැගිල්ලෙ ම තිබුණ වෙන තැනකට වෙලා වාඩි වෙලා හිටියා.
ඔය අතර වෙලාව ඕන නම් පැයක් විතර ගෙවෙන්න ඇති. එක පාරටම සිකියුරිටිකාරයෙක් ඇවිත් ‘‘අර රොහාන් එක්ක ආපු කවුරු හරි ඉන්නව ද..., රොහාන් එක්ක ආපු කවුරු හරි ඉන්නව ද...?’’කියල අහද්දි මම උඩ ගිහින් බිම වැටුණා.
‘‘මං තමයි එයැයි එක්ක ආවෙ... ඇයි මොකෝ මහත්තයො...?’’
මමවත් දන්නෙ ම නැතුව වාඩි වෙලා හිටපු තැනින් නැගිටුණා.
‘‘ආ... එහෙමෙයි... එයැයි ඔහේගෙ කවුද...?’’
සිකියුරිටිකාරයත් ඇහුවෙ ටිකක් කලබලයෙන්.
‘‘ඒ... ඒ... මගේ මල්ලි කෙනෙක්... ඇ... ඇයි මහත්තයෝ...?’’
‘‘එන්නකො එන්නකො... මාත් එක්ක යන්න එන්නකො...’’ කියන අතර ම ඒ මනුස්සයා කෝච්චිය අල්ලන්න දුවන මිනිහෙක් වගේ දුවන්න ගත්තා. මමත් ඉතිං යන්නෙ කොහේද කියලවත් අහන්නෙ නැතුව ඒ මනුස්සයගෙ පස්සෙන් ම දිව්වා.
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/08/09
අපලෝකන - පසුගිය කොටස්






