‘‘යසේ... ඔයැයි ආසෙයි ආයිත් ලේක්හවුස් එක බලන්න...?’’
යසේ මගේ දිහා බැලුවෙ පුදුමයෙන් වගේ.
‘‘ලේක්හවුස් එක...! මේ දැන්...!!’’
‘‘ඔවු ඔවු... හැබැයි ඇතුළට යන්න බෑ... පිටින් බලාගෙන යන්න පුළුහං... අපි යමු ද...?’’
එහෙම කියල ඉවර වෙන්නත් කලින් සුසන්ත මගේ අතකින් අල්ලාගෙන පාරෙ අනික් පැත්තට පැන්නා.
‘‘අපි මේ යන පාරෙ තමයි ලේක්හවුස් එක තියෙන්නෙ. මේ පාරට කියන්නෙ මැකලම් පාර කියල. මේ පාරෙන් ම අපිට ගෝල්පේස් එකටත් ගියැකි.’’

ලේක්හවුස් එක ලොකූ ගොඩනැගිල්ලක් කියල මට මතක තිබුණා. ඒ වගේ ම ඒ ගොඩනැගිල්ලෙ පෙනුමටත් මම හිටියෙ හරිම ආසාවෙන්. ඉතිං ඒ ගොඩනැගිල්ල පිටින් හරි දකින්න තියෙනවා නම් කොච්චර වටිනව ද කියල හිතපු මම, සුසන්ත පස්සෙන් වැටුණෙ හරියට පොඩි එකෙක් වැඩිහිටියකුගෙ පස්සෙන් යනව වගේ.
අපි ගියේ පාරෙ වම් පැත්තෙන්. දකුණු පැත්තෙ පාරෙ අයිනෙ පුංචි පුංචි ගෙවල් ගොඩයි. ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු ගෙයින් එළියට බහින්නෙ පාරට. පාරෙ යන වාහන ගැන කිසිම ගානක් නෑ. වයසක මනුස්සයගෙ ඉඳල පොඩි පොඩි ළමයි දක්වා හැමෝම ඉන්නෙ පාරෙ. මට පාර වගේ පෙනුනට එයාල පාර පාවිච්චි කරන්නෙ හරියට එයාලගෙ මිදුල කියල හිතාගෙන. ටිකක් දුර යද්දි මම දැක්කා පාර අයිනෙ පයිප්පයක් ගාව සෙනඟ වටවෙලා ඉන්නවා. හරියට ගාල්ලෙ චීනකොරටුවෙ වගේ. එතනත් සමහර අය රෙදි හෝදනවා, සමහර අය නානවා; ගෑනු පිරිමි කියල භේදයක් නැතුව ම නානවා. සමහර පිරිමි නාන්නෙ සස්පෙන්ඩරය පිටින්. ගැනුන්ටත් ඒකෙ ගානක් නෑ.
‘‘මොකෝ යසේ මේ... ඇයි... ගැනු පිරිමි එකට නානව දැකල නැද්ද...?’’
මගේ කල්පනාව බිඳුණෙ සුසන්තගෙ කටහඬ ඇහිල.
‘‘න්... නෑ නෑ සුසන්ත... මං මේ කල්පනා කරේ මේ ඉන්න සෙනඟෙ හැටියට සමහර එවුන් නාල ඉවරවෙද්දි කීය වෙයිද කියල...’’
අපේ ගංවල ඔය ඇළවල්වල, දොළවල්වල තොටුපොළවල්වල ගෑනු පිරිමි එකට නාන්නෙ
‘‘ආ... ඒක මිසක්... එහෙම නැතුව ගැනු පිරිමි ඔය විදියට තරගෙට නාන එක ගැන නෙවෙයි නෙ... එහෙමත් නැත්නම් පිරිමි ඉස්සරහ ගෑනු කිසි ගානක් නැතුව ඇගපත අතුල්ලන එකට එහෙම නෙවෙයි නෙ...’’
‘‘මොන පිස්සු ද සුසා... එහෙනං ඉතිං අපේ ගංවල ඔය ඇළවල්වල, දොළවල්වල තොටුපොළවල්වල ගෑනු පිරිමි එකට නාන්නෙ. අනික ඔය කුඹුරු, හේන්වල වැඩ කරපු පිරිමි අමුඩෙ පිටින් ඇවිත් අමුඩෙ ඇඳගෙන ම නාන්නෙ. මම නම් කවදාවත් දැකල නෑ එහෙම තැන්වල ගෑනු හරි පිරිමි හරි මේ...’’
මට කියන්න ලැබුණෙ එච්චරයි සුසන්ත එක පාරට ම ‘‘ගෑනු ලැජ්ජා උණේ හරි... පිරිමි ගැනු දිහා බලාගෙන හිටියෙ හරි නැහැ කියල නේද කියන්න හැදුවෙ...?’’ කියල ඇහුව.
‘‘ඔ... ඔවු ඔවු... හැබැයි ප්‍රසිද්ධියෙ බැලුවෙ නැති උනාට සමහර පිරිමි හොරෙන් නම් බලනවා. මං හිතන්නෙ සමහර ගෑනුත් ඒක දන්නවා.’’
‘‘හහ් හහ් හහ් හා...’’ කියල සම්චල් විදියට හිනා වුණ සුසන්ත ‘‘ඔවු... හැබැයි පිරිමියෙක් තමන් දිහා බලාගෙන ඉන්නව කියල වෙන කවුරුහරි දැක්කොත් හරි... දකියි කියල සැකයක් හිතුනොත් හරි නම් ඉතිං අර පිරිමියට දෙය්යංගෙම පිහිට තමයි...’’ කියපු සුසන්ත කතාව ඉවර කරෙත් අර විදියට සමච්චල් විදියට හිනා වෙලා.
ඒ ගෙවල් පේළිය තියෙන පැත්තෙන් සමහර වෙලාවට හුළඟට ගහගෙන වගේ එන කුණුහරුප වාහනවල හැපිල දෝංකාර දෙනවා
මේ වෙද්දි අපි විනාඩි දහයක් විතර ඇවිදගෙන ඇවිත්. ඒ ගෙවල් පේළිය තියෙන පැත්තෙන් සමහර වෙලාවට හුළඟට ගහගෙන වගේ එන කුණුහරුප වාහනවල හැපිල දෝංකාර දෙනවා. ඒ කුණුහරුප කියන්නෙ ගෑනු ද, පිරිමි ද, පොඩි කොල්ලො ද, පොඩි කෙල්ලො ද කියල හරිහමන් විදියට තේරුම් බේරුම් කරගන්නත් බැරි තරම්. මොකද වාහන අස්සෙන් පාවෙලා, වහනවල වැදිලා එද්දි ඒවා ඇහෙන්නෙ කළවම් වෙලා. ඒ වගේ ම සමහර වචනවල කොටස් කොටස්. ඒක හරියට මිනිස්සු කෑ කෝ ගහන තැනක ඉද්දි කන් දෙකේ ඇගිලි ගහල ඒ එක්කම ආයෙ කන් දෙකේ ඇඟිලි අයින් කරද්දි එන සද්දෙ වගේ. වෙනසකට තියෙන්නෙ එහෙම කන් අරිද්දි වහද්දි අපිට ඕන ඕන විදියට අරින්නයි වහන්නයි පුළුවන් නෙ. එතකොට පොඩි විනෝදයකුත් තියෙනව නෙ... මෙතනදි එහෙම නෑ... ඒ තාලෙ තීරණය කරන්නෙ පාරෙ එහාට මෙහාට යන වාහන.
‘‘මෙන්න මේ තියෙන්නෙ ලේක්හවුස් එක...’’
ආයෙත් මගේ කල්පනාව බින්දෙ සුසන්ත. එතකොට අපි හිටියෙ ලේක්හවුස් කියන ගොඩනැගිල්ල ඉස්සරහ; පාරෙන් අනික් පැත්තෙ. මම ටිකක් වෙලා ඒක දිහා බලා ඉද්දි සුසන්ත එක පාරට ම... ‘‘මොකෝ... පත්තරකාරයෙක්කත් වෙන්න හිතුණයි...,’’ කියල ඇහුවෙ සමච්චලයට වගේ.
රීගල් ෆිල්ම් හෝල්
මම ඒකට උත්තර දුන්නෙ නෑ. එහෙම උත්තර නොදුන්නෙ ඇයි කියලත් මම දන්නෙ නෑ. ඒ එක්කම සුසන්ත රවුන්ඩබවුට් (roundabout ) එකක් ගාවට ආවා.
‘‘අර තියෙන්නෙ රීගල් කියන ෆිල්ම් හෝල් එක... ඒකටත් මරු ෆිල්ම් දානවා... අපි දවසක ඒකෙනුත් ෆිල්ම් එකක් බලමු...’’ කියන ගමන් ම මගේ අතින් අල්ලගෙන පාර අනික් පැත්තට මාරුවුණා.
කොච්චර වාහන එහා මෙහා ගියත් සුසන්තට පාර මාරු වෙන්න හොඳ පුරුද්දක් තියෙනවා. සුසන්ත නොඉන්න මට නම් මේ වාහන ගොඩ මැද්දෙ පාර මාරු වෙනව කියන එක හරිම අමාරු වැඩක්.
මම තවමත් සුසන්ත පස්සෙන් ම යි. මොකද මේ යන්නෙ කොහේද කියල දැනගෙන හිටියට යන එන පාරවල් ගැන මට කිසිම දැනීමක් නෑ.
‘‘යං... මේ පාරෙ දිගටෝ ම ගියහම ගෝල්පේස්...’’

සුසන්ත එහෙම කියද්දි මම කෙළින්ම ඉස්සරහ බැලුව. එතකොට කෙළින් ම පේන්න තිබුණෙ මුහුද. මට ඒ වෙලාවෙ මතක් වුණේ පුංචි කාලෙ වැලිගම කප්පරතොට හිටපු ගෙදර. ඒ ගෙදර ඉස්සරහ දොරකට ඉඳන් බැලුවම කුස්සියෙ දොර වහල නැත්නම් කෙළින් ම පේන්නෙ මුහුද; ඒකත් හරියට රාමු කරපු හීනි උස පිංතුරයක් වගේ. ඒ ගෙදර ඉස්සරහ ඉඳන් කුස්සියට යන දුරට උළුවහු හතරක් තිබුණ. එක එක උළුවස්ස පහු වෙද්දි පහු වෙද්දි අර පිංතුරරාමුවෙ උස ටික ටික අඩුවෙලා පළලට පෙන්න ගන්නවා. කුස්සියෙ උළුවස්ස ගාවට ගියාම අර කලින් දැකපු හීනි උස පිංතුරෙ අතුරුදන් වෙලා දන්නෙ ම නැතුව පළල් පිංතුරයක් ඇස් ඉස්සරහ තියෙනවා. මුහුද විතරක් නෙවෙයි වැල්ලෙ නවත්තලා තියෙන ඔරු, වැල්ලෙ එහෙ මෙහ ඇවිදින මිනිස්සු, මහා උසට වැවුණු පොල් ගස්, මුහුදු වෙරළට කලින් බිම දිගේ වැවිල තියෙන තඹුරු වැල් හැම එකක් ම වගේ පේන්න ගන්නවා. ඒ එක්කම මුහුදෙ එහා මෙහා යන නැව්, ඔරු, බෝට්ටු... ඒවත් පේන්න ගන්නවා. හරියට ම කියනවා නම් කුස්සියෙ උළුවස්ස ගාව ඉඳල මූදු වැල්ලට තිබුණෙ යාර සීයකටත් අඩු දුරක්.
‘‘යසේ... මේ තියෙන්නෙ අර ඔහේ ඉස්කෝලෙ ට්‍රිප් එක ආපු වෙලාවෙ ආව කියපු පාර්ලිමේන්තුව. ඔහේලට මේක ඇතුළට යන්න දුන්නයි...’’
ආයෙත් සුසන්තගෙන් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙත් එක්ක මම ආයෙත් කොළඹට ආවා. දැන් දැන් කප්පරතොටදි දැක්කටත් වඩා ලොකුවට මුහුද පේනවා. එහේදි දැක්කටත් වඩා නැව් මුහුදෙ එහා මෙහා යනවා. කොළපාට පිට්ටනියෙ එක එක වයස්වල ගැනු, පිරිමි, කොල්ලො, කෙල්ලො, පොඩි ළමයි පිරිල. ඒ මදිවට අහස පුරාම සංරුගලුත් පිරිල.
‘‘යසේ... මක්කයි කල්පනා කරන්නෙ... මං අහපු එක ඇහුණයි...’’
ඔන්න ඉතිං ආයෙත් මගේ කල්පනාව බිදුණා.
‘‘ම... ම... මක්කයි ඔහේ ඇහැව්වෙ...?’’
මම සුසන්තගෙන් ඇහුවෙ හරියට නින්දෙන් ඇහැ ඇරුණා වගේ.
‘‘න්... න්... නෑ සුසා... මක්කයි ඔහේ ඇහැව්වෙ...?’’
‘‘මං ඇහැව්වෙ... ඔය ඉස්කෝලෙන් ට්‍රිප් එක ආපු දවස මේක ඇතුළට ගියාද කියල...’’
‘‘මොනහ්... එදා පාර්ලිමේන්තු දවසක් ය... මොකද්ද මංදා විවාදෙකුත් තියෙනව ය කියල ඇතුළට යන්න දුන්නෑ....’’
‘‘මොනහ්... එදා පාර්ලිමේන්තු දවසක් ය... මොකද්ද මංදා විවාදෙකුත් තියෙනව ය කියල ඇතුළට යන්න දුන්නෑ....’’
‘‘අප්පටසිරි... ඉතිං කලිං කියල නෙවෙයි ය ඇවිත් තිබුණෙ...?’’
සුසන්ත එහෙම අහද්දි මට හිනා ගියා.
‘‘මොකෝ මේ ඒ පාර හිනාවෙන්නෙ...?’’
සුසන්ත හිතුවෙ මම එයාට හිනාවුණා කියල.
‘‘නැ නෑ... ට්‍රිප් එක බාරව හිටියෙ ප්‍රනාන්දු කියල සර් කෙනෙක්... මිනිහ අම්ම මෝ නැතුව බණිනව අපිට ඇහුණා.’’
‘‘ඒ මොකෝ...!’’
ඒ පාර සුසන්ත පුදුමයට පත්වෙලා; ඇස් දෙකත් ලොකු වෙලා.
‘‘ඇහුණ කතාවෙ හැටියට නං සර් පාර්ලිමේන්තුවට දන්වල තියෙන්නෙ මාසෙකට විතර කලිංලු. අවසර ලියුම ලැබුනටත් පස්සෙ තමයිලු ට්‍රිප් එකට දින නියම කරගත්තෙ. එහෙමත් ඇවිල්ල මේක වහල කිව්ව ම කේන්ති යන්නැද්ද... සර් ජනාධිපගෙ ඉඳල හැම එකාට ම බණිනවා... අන්තිමේ දි නැටුම් උගන්නපු මිස් ඇවිත් අපි ටිකක් එහාට එක්කරගෙන ගියා... අර... අර... අර තියෙන්නෙ... අර ලොකු පිළිරුවක් තියෙන්නෙ... අන්න එතනට එක්කරගෙන ගියා.’’
එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක..
මම ඈත උසට උසේ තියෙන පිළිරුව පෙන්නුවා. පාර්ලිමේන්තුව ඉස්සරහ තියෙන පිළිරූවල ඉන්න සමහර අයනං අඳුරනවා... ඒත් මම පෙන්නපු ලොකු පිළිරුව කාගෙද කියල මතක තිබුණෙ නෑ. හැබැයි සුසන්ත ඒක දැනගෙන හිටියා.
‘‘ආ... ඒ තමයි බණ්ඩාරනායක මහත්තයා.’’
සුසන්ත පාදලා දුන්න මතකය දිගේ තව ඉස්සරහට යන්න මට පුළුවන් වුණා.
‘‘අන්න හරි... එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක.’’
‘‘ඒක නෙවෙයි යසේ... ඔය ‘එස්. ඩබ්ලියු. ආර්. ඩී.’ කියන අකුරුවල තේරුම ඔහේ දන්නවයි...?’’
ඒ අකුරු හතරෙ තේරුම, එහෙමත් නැත්නම් ඒ අකුරු හතරෙන් කියවෙන නම් හතර ගැන දැනගන්න තියන වුවනමාන නිසාම ද කොහෙද සුසන්ත එහෙම ඇහුවෙ. මමත් ඉති ලොකු මිනිහ වගේ උත්තර දුන්නා.
‘‘ඒ කියන්නෙ සුසා... ‘සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්’ කියන එක නෙ... එහෙම තමයි අපිට සමාජ අධ්‍යනය පාඩමට කියල දුන්නෙ...
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/01/25
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





