leader s

‘‘ඒක නෙවෙයි යසේ... ඔය ‘එස්. ඩබ්ලියු. ආර්. ඩී.’ කියන අකුරුවල තේරුම ඔහේ දන්නවයි...?’’


ඒ අකුරු හතරෙ තේරුම, එහෙමත් නැත්නම් ඒ අකුරු හතරෙන් කියවෙන නම් හතර ගැන දැනගන්න තියන වුවමනාව නිසාම ද කොහෙද සුසන්ත එහෙම ඇහුවෙ. මමත් ඉතිං ලොකු මිනිහ වගේ උත්තර දුන්නා.

‘‘ඒ කියන්නෙ සුසා... ‘සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්’ කියන එක නෙ... එහෙම තමයි අපිට සමාජ අධ්‍යනය පාඩමට කියල දුන්නෙ...’’

‘‘හම්ම්ම්... වාසගම විතරයි සිංහල... අනිත් ටික ඔක්කොම ඉංග්‍රීසි...’’

සුසන්ත ඒ ටික තමන්ට ම මුමුනගත්තට ඒක මගෙන් අහපු දෙයක් හරි මට කියපු දෙයක් හරි නෙවෙයි කියල මට දැනුණ නිසා ම මමත් ඒ ගැන මොනවත් උත්තර බඳින්න ගියේ නෑ.

‘‘යසේ... අපි එහෙට්ට යමුද...?’’

 

Statue of Solomon West Ridgeway Dias Bandaranaike (1899-1959), Colombo, Sri Lanka.එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක..

සුසන්ත එහෙම ඇහුවෙ බණ්ඩාරනායක මහත්තයගෙ පිළිමෙ දිහාවට අත දික් කරන ගමන්; ඒ කියන්නෙ එතනට යමු කියල නෙ.

සුසන්තයි මායි බණ්ඩාරනායක මහත්තයගෙ පිළිමෙ දිහාට ඇවිද්දෙ නැහැ. මට හිතුණෙ අපි ඒ දිහාට පාවෙලා යනව වගේ. ඒ එක්ක ම මට නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුණා.

‘අප්පට සිරි... හයහමාරත් වෙලා නෙ. ඒ වුනාට තවම නිකං හතරහමාර විතර වගේ.’

මට තව මොනවත් හිතන්න කාලය ඉතුරු නොකර ම සුසන්ත කතා කරා.

‘‘මොකෝ යසේ... වෙලාව බලල නිකං පුදුමෙං වගේ...?’’

මම පුදුමෙන් ද කියල අහන සුසන්තත් එහෙම ඇහුවෙ පුදුමයෙන් වගේ. හැබැයි මම ඒ වගක් පෙන්නුවෙ නෑ.

‘‘නෑ සුසා... මං මේ බැලුවෙ... හයහමාරත් පහු උණාට තවම නිකං හතරහමාර විතර වගේ නෙ... ඒකයි.’’

‘‘ඒක එහෙම තමයි සුසන්ත මෙහෙට්ට. ඉර බැහැලත් ටිකක් වෙලා ගියාම තමයි කරුවල වැටෙන්නෙ.’’

සුසන්ත එහෙම කිව්වට මට ඒක වෙන්නෙ කොහොමද කියන එක ගැන එච්චර අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් මට මතක් වුණා ගාල්ලෙ ටවුම වුනත් කරුවල වටෙන්නෙ ගමකට කරුවල වැටෙනවට වඩා ටිකක් පරක්කු වෙලා නේද කියල. හැබැයි මට මතකයි ටවුමට එහෙම කරුවල වැටුණට මට දැනිල තියෙනවා  කොටුවට ඇවිත්, කොටු බැම්ම උඩ ඉඳගෙන මූද දිහා බලාගෙන හිටියම කරුවල වැටෙන්න ටිකක් පරක්කු වෙනව කියල. ඉර මුහුදෙ ගිලිලත් ටිකක් වෙලා ගියාම තමයි ගාලු කොටුවට කරුවල වැටෙන්නෙ. මෙතනත් එහෙමයි.

 1534805 b08006f4fe735205eabd3a89c1796e64දැන් ඈත මුහුද දිහා බලද්දි ඉර පේන්නෙ නෑ. හැබැයි සිතිජය දිගට ම වගේ තැඹිලි පාටයි නිල් පාටයි එකතු වෙලා හරි අමුතු ම රතුපාටක් වගේ හැදිල.

දැන් ඈත මුහුද දිහා බලද්දි ඉර පේන්නෙ නෑ. හැබැයි සිතිජය දිගට ම වගේ තැඹිලි පාටයි නිල් පාටයි එකතු වෙලා හරි අමුතු ම රතුපාටක් වගේ හැදිල. ඈත ම කෙළවරට වෙන්න නැව් තුන හතරක් ම එහාට මෙහාට යන්නෙ හරි හෙමිහිට; ඇත්තට ම හෙමිහිට වගේ පෙනුනට ඒව යන්නෙ හරිම වේගයෙන්. මට මතකයි අපිට ඒ නැව් හෙමින් යනව වගේ පේන්නෙ ඇයි කියල විද්‍යාව පාඩමට ද කොහෙද කියල දුන්නා. හැබැයි හේතුව මතක නෑ.

‘‘යසේ... අපි යමුද එහා පැත්තට...’’

මගේ කල්පනාව බිඳුණෙ සුසන්ත කතා කරාට පස්සෙ.

‘‘එහා පැත්තට කිව්වෙ...?’’

‘‘එහා පැත්තට කිව්වෙ යසේ පාරෙන් එහා පැත්තෙ මූද අද්දරට. තවත් විදියකට කියනව නං ගෝල්පේස් එකට.’’

‘‘ගිහිං...?’’ 

151111920Srilanka colombo Galle Face green ‘‘ගිහිං ද... ගිහිං වැල්ලට බැහැල... රැල්ල පොඩ්ඩක් පාගලා... ඔය ලස්සන කෙල්ලො ටිකක් බලල එමු...’’

සුසන්ත ඒ වෙලාවෙ මගේ මූණ දිහා බලාගෙන හිනාවුණා. හිනා වෙන ගමන් ම ‘‘ගිහිං ද... ගිහිං වැල්ලට බැහැල... රැල්ල පොඩ්ඩක් පාගලා... ඔය ලස්සන කෙල්ලො ටිකක් බලල එමු...’’

සුසන්ත හුඟක් සැහැල්ලුවෙන් එහෙම කිව්වට රෑ කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මට තරමක බයක් හිතට දැනෙන්න ගත්තා. ඒ, මේ නුහුරු ගෙන්නදගම් පොළොවේ රැයක් ගෙවාගන්නෙ කොහොම ද කියල. සුසන්නතට ඒකෙ වගක්වත් නැහැ වගේ.

‘‘මොන කෙල්ලො ද සුසා... දැන් ටික ටික රෑ වේගනත් එනව. රස්සාවක් හොයාගන්නත් බැරි වුණා. දැං අපි රැට බුදියගන්නෙ කොහේ...?’’    

සුසන්ත

යසසිරි ඒ ගැන මතක්ක කරන තුරුම මට ඒ ගැන හාංකවිසියක්වත් මතක් වුණේ නෑ.

‘ඇත්තට ම අපි අද කොළඹ ආවෙ රස්සාවක් හොයාගන්න නෙ... දැන් දවසම ගෙවිල ඉවරයි වගේ. ඒත් දෙන්නට ම රස්සාවක් හොයාගන්න බැරි වුණා. අතේ තියෙන සල්ලි ටිකත් ටික ටික වියදම් වෙනවා. මට නම් ඔය පේමන්ට් එකක හරි නිදාගෙන පුරුදුයි; යසේටත් එහෙම අවුලක් නෑ. ඒත් මේ කොළඹ නෙ... ගාල්ලෙදි නම් අපි දෙන්න ම නයින් තර්ටි බලල ඇවිත් සිඩ්නි හෝටලේ ඉස්සරහ කෑල්ලෙ අනන්තවත් නිදාගෙන තියෙනවා.’

‘‘ඒ පාර මොකෝ ඔහේ කල්පනා කරන්නෙ... රැල්ල පාගන්න යන්නැතෙයි...?’’

මගේ කල්පනාව වෙනත් පැත්තකට හැරුණෙ යසසිරිගෙ කටහඬට.

man sea

‘‘නෑ මං කල්පනා කරේ යසේ ඔයැයි කියපු එකෙත් ඇත්තක් තියෙනවා. දැං අද දවස ගෙවිල ඉවරයි නෙ... අපි දෙන්නට ම රස්සාවක් හොයාගන්නත් බැරි වුණා. කමක් නෑ... අපි හෙට දවස ඇතුළත කොහොම හරි රස්සාවක් හොයාගම්මු. නැහ්නං අතේ තියෙන සල්ලි ටිකත් ඉවර වෙනව නෙ. මං කියන්නෙයි... අපි ටිකක් රෑ වෙනකං මෙහෙම්ම ඉමු. කොහොමටත් තව පැය තුන හතරක් ඉන්න වෙනෝ... ඊට පස්සෙ මක්කයි කරන්න ඕන කියල මං ඔහේට කියන්නං. අපි යං වැල්ල පැත්තට.’’

‘‘ඔවු ඉතිං... ඔයැයි කියන දෙයක් තමයි...’’

‘යසේ එහෙම කිව්වෙ හැම බරක් ම මගේ කරපිට දාල වගේ. හැබැයි යසේ හැදුවෙ තනියම කොළඹ එන්න. එහෙම ආව නම් එයැයි කොහොමෙයි රස්සාවක් හොයා ගන්නෙ...? එහෙම කියන්නත් බෑ... තනියම ගාලු ආපු මිනිහ රස්සාවක් හොයාගත්තෙ... හැබැයි ඒකට නම් අර ටී මේකර් උදව් කරල තිවුණ නෙ.’

මගේ හිත විකාරවලින් පිරෙන්න වගේ පටන් ගත්ත. ඒ විකාර මගේ හිතේම විතරක් හංගගෙන අපි දෙන්න ම අමාරුවෙන් පාර පැනල ගෝල්පේස් පිට්ටනියට ආවා.

‘‘යසේ... අපි යං ද අර බැම්ම උඩට...?’’

මම යසේවත් කතා කරගෙන මුහුද අයිනෙ දිගට තිබුණ බැම්මෙ වාඩිවුණේ මුහුදු වෙරළට අඩි දෙක තුනක් උඩින් වගේ හිටින්න කකුල් පල්ලෙහාට දාලා. ඒත් යසසිරි හිටගෙන ම හිටියෙ ටිකක් බයෙන් වගේ.

beach 2

‘‘ඇයි යසේ හිටගෙන...? වාඩි වෙනෝ... මොකොහ්... මූදට වැටෙයි කියල බයෙයි... බයවෙන්නෙපා... පල්ලෙහා තියෙන්නෙ වැල්ල. මෙතෙන්ට ලොකු රැලි එන්නෙත් නෑ. අර අතන තියෙන ගල් බැම්ම ගාවට ගියහම ආයෙ උඩට ගොඩ වෙන්න පුළුහං... ඔය පල්ලෙහා ඉන්න හුඟක් ඈයො එහෙම තමයි. මෙතනිං පනිනව; අතනින් ආයෙ උඩට එනව.’’

මම එහෙම සැහැල්ලුවෙන් කතා කරාට යසසිරි හිටියෙ වෙන කල්පනාවක. මට තේරෙනව. රෑ වෙන්න රෑ වෙන්න මිනිහගෙ හිතට බය ඇති. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මේ ටික වෙලාව මෙහෙම්ම ඉන්න වෙනව. මමත් ඉස්සරවෙලා ම කොළඹ ඇවිල්ල කොච්චර නං දුකක් වින්ද ද... මං ගැන හොයන්න මොකෙක්ත් හිටියෙ නෑ. ඒ අතින් යසසිරි වාසනාවන්තයි.

‘‘යසේ...’’

මම එහෙම කියන ගමන් ම අත් දෙකට ගැම්ම දීල කකුල් දෙක හරවලා බැම්ම උඩට අරගෙන හිටගත්තා.

‘‘මොකෝ යසේ කල්පනාව...? බයවෙන්නෙපා... කොළඹ නරකත් නෑ... හොඳත් නෑ. ඒ හොඳ හරි නරක හරි තෝරගන්නෙ අපි. අපි තෝරගත්තු පාරෙ අපිට යන්න පුළුවං. මොකෝ මමත් කොළඹ ඇවිත් දැං අවුරුදු දෙකක් විතර වෙනෝනෙ. හැබැයි යසේ මට තාම මොන පාරක්කත් පෑදුණේ නෑ. අපි බලමු... හරි හරි... මෙතන ඉන්න අමාරුයි වගේ නං අපි ඔය බංකුවක් හොයල වාඩි වෙමු. එහෙමත් නැහ්නං ඔය කට්ටිය තැං තැංවල ඉන්නෝ වගේ බිම ඉඳගම්මුකො...’’

මම නැගිට්ටට පස්සෙ යසසිරි ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියෙ හරිම අහිංසක විදියට. ගාල්ලෙදි යකෙකුටවත් බය නැතිව හිටපු මිනිහගෙ ඇස්වල තිබුණෙ පුදුම අසරණකමක්. සමහර විට යසසිරි තනියම ආවනං මෙලහකටත් හෝටලයක රස්සාවකට යන්නත් ඉඩ තිබුණා. ඒකනෙ ලැබිච්ච රස්සාවත් නොගෙන අපි දෙන්න ම ආයෙ පාරට බැස්සෙ.

memories art scholz

‘‘යසේ... ඔයැයි කලබල වෙන්නෙපා. මම කොළඹ නුහුරු එකෙක් නෙවෙයි නෙ... අපි ඩිංගක් රෑ වෙනකං මෙහෙම්ම ඉමු. ඊට පස්සෙ ඔය කොහේ හරි තැනකිං ඩිංගක් නිදාගෙන හෙට දවසෙ කොහොම හරි රස්සාවක් හොයාගමු. හැබැයි යසේ එකක්... අපි දෙන්නට ම එකම තැනකිං රස්සා හම්බු වෙනකං හිටියොත්නං දෙන්නට ම මක්කවත් හම්බෙන්නෙ නෑ. දෙන්නට ම නැතත් අපි ඉස්සෙල්ල ඔයැයිට මොකක් හරි හොයමු. මට ඔය කොයිකත් එකයි...’’

මට තව දුරටත් යසසිරිගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න බැරි තරමට ඒ ඇස් අසරණ වෙලා තිබුණ. මට ඒ වෙලාවෙ හිතුණෙ ඇයි මම යසසිරිට කොළඹ එන්න උදවු කරේ කියල. මිනිහ ගාල්ලෙ හිටියනං මොකක් ම හරි කරගන්නව. මොකද මිනිහට ගාල්ලෙ හතර කොන හොඳට හුරු පුරුදුයි. අර ගැනු ටික වුනත් යසේට වරදක් වෙන්න දෙන්නෑ.

‘‘ආයි මයෙ මූණ දිහා බලාන ඉන්නෝ... මොකොහ් බඩගිනි ද... එහෙමත් නැහ්නං තිබහ ද...? මෙහ් ඒක නෙවෙයි යසේ... දැං ඔහේගෙ අතේ සල්ලි කීයක් විතර තියෙයි...?’’

මම එහෙම ඇහුවෙ අද දවසෙ අපේ වියදම ටිකක් වැඩියි වගේ දැනුණ නිසා. මම එහෙම අහනවත් එක්ක ම සුසන්ත බෑග් එක අවුස්සන්න හැදුවා.

‘‘එපා එපා... මෙතෙන අවුස්සන්නෙපා. අපි පොඩ්ඩක් අහෙට්ට යං... අර එළිය තියෙන තැනකට...’’

සුසන්තට මම එහෙම කිව්වට පස්සෙ එයා ආපහු බෑග් එක කිහිල්ලට තද කරගත්තා.

‘‘යං... අතන එළිය තියෙනවා... අර... එතන බංකුවත් හිස්...’’

ඈත ලයිට් එළිය තියෙන තැනක් පෙන්නපු මම එතන තිබුණ, කවුරුවත් නැති හිස් බංකුවත් පෙන්නලා ඒ පැත්තට යන්න සුදානම් වෙද්දි ම යසසිරිත් ‘‘යං’’ කියාගෙන මගේ පස්සෙන් ආවා.

‘‘යසේ... ඔයැයි හෙමිහිට එන්න. මං ටක්ගාල දුවල ගිහින් බංකුව අල්ලගන්නං. නැහ්නං කවුරු හරි ඇවිත් වාඩි වේවි,’’

සතියකින් හමුවෙමු

jayasiri 04 e1619629387941
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/02/01  


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්