ඈත ලයිට් එළිය තියෙන තැනක් පෙන්නපු මම එතන තිබුණ, කවුරුවත් නැති හිස් බංකුවත් පෙන්නලා ඒ පැත්තට යන්න සුදානම් වෙද්දි ම යසසිරිත් ‘‘යං’’ කියාගෙන මගේ පස්සෙන් ආවා.
‘‘යසේ... ඔයැයි හෙමිහිට එන්න. මං ටක්ගාල දුවල ගිහින් බංකුව අල්ලගන්නං. නැහ්නං කවුරු හරි ඇවිත් වාඩි වේවි,’’
මම එහෙම කියපු ගමන් ම දුවල ගිහින් බංකුවේ වාඩි වුණා.
* * *
‘‘ඔහේ කොහොමෙයි දන්නෙ මේ බංකුවෙ ම කවුරු හරි ඇවිත් වාඩි වෙයි කියල...?’’
සුසන්ත දුවල ගිහින් බංකුවෙ වාඩි වුණාට පස්සෙ මම හෙමිහිට ඇවිත් බංකුවෙ වාඩි වෙන අතර ම එහෙම ඇහුවෙ මට සුසන්ත කරපු දේ හරියට ම තේරුණේ නැති නිසා.’’

‘‘ඇයි යසේ... ඔහේට තේරෙන්නැතෙයි... මෙතන කොච්චර නං සෙනඟ ඉන්නවයි... ඒ අව්වස්සෙ කීදෙනෙක් නං හිටං ඉන්නවයි... ඔයි හිටං ඉන්න හැම කෙනෙක් ම වගේ බංකුවක් හිස් වෙන්නෙ කොයි වෙලාවෙද කියල බල බලයි ඉන්නෙ...බාගද අහරෙ ඈතක ඉඳං උනත් බලාන ඉන්නව ඇති. සමහර අය ඉන්නවා බංකුවෙ වාඩි වෙලා ඉන්න අය දැන් දැන් යන්නයි වගේ හදන්නෙ කියල පවා තේරුං ගන්න. එහෙම අය කරන්නෙ ඩිංගෙං ඩිංග එයාල ඇහැ ගහගෙන ඉන්න බංකුවට කිට්ටු වෙන එක. ඊට පස්සෙ ටක් ගාල ඇවිත් වාඩි වෙනෝ...’’
සුසන්ත එහෙම කිව්වම මට නම් පුදුමත් හිතුණ. මිනිහ මම තරම් ඉගෙනගෙන නැති වුනාට මට වඩා සමාජෙ ගැන මොන තරම් දේවල් දන්නව ද කියල.
‘‘අම්මප සුසා ඔහේනං එව්වා ගැන හොඳට දන්නව නේහ්...?’’
‘‘නැතුව නැතුව... මේහ් ඒක නෙවෙයි. දැං ඔය බෑග් එක අවුස්ල බලන්නකො සල්ලි කීයක් විතර තියෙයි ද කියල.’’
‘‘ඇයි ඔයැයි ම නෙ උදේ කිව්වෙ අටසිය අනුවක් ද කොහෙද තියෙනව කියල... ඇයි ඔයැයිට මතක නැතෙයි...?’’
අපි මෙතනට ඇවිත් වාඩු වුණේ ඇයි කියල මතක් වුණේ සුසන්ත ඒ කාරණය මතක් කරාට පස්සෙ. මම හෙමිහිට බෑග් එකේ තිබුණු ඇදුම් කිපයක් බංකුව උඩින් තියල පොඩි බ්‍රවුන් පේපර් බෑග් එකක දාල තිබුණ සල්ලි ටික එළියට ඇදල අරගෙන ගණන් කරා. හරියට ම අටසිය විසි අටක් තිබුණ. උදේ අපි කන්න යන්න කලිං කියක් තිබුණ ද කියලත් මතක නෑ. කොහොම වුනත් අපිට එහෙමකට කියල ලොකු ගණනක් වියදං වෙලා නෑ.
‘‘සුසා... අටසිය විසි අටක් තියෙනව සුසා...’’
‘‘ආ... අටසිය විසි අටක් තියෙනවයි... ඒ කියන්නෙ අපිට වියදං වෙලා තියෙන්නෙ හැටක් විතර... අපි ඔයි ටික පරිස්සමට වියදං කරමු...’’
සුසන්ත එහෙම කිව්වට පස්සෙ මම කල්පනා කරේ වියදම් කරන එක ගැන නෙවෙයි... අපිට කීයක් විතර වියදම් වෙලා ද කියල එයා ගණන් හදපු විදිය.
‘‘සුසා... ඔයැයි කොහොමෙයි කියන්නෙ අපිට වියදං වෙලා තියෙන්නෙ හැටක් විතර කියල...?’’
මම එහෙම ඇහුවට පස්සෙ සුසන්ත ඒකට උත්තර දුන්නෙ මගේ දිහාට හැරිල, ටිකක් විතර සමච්චල් හිනාවක් එහෙම දාල.
‘‘ඇයි ඔයැයි ම නෙ උදේ කිව්වෙ අටසිය අනුවක් ද කොහෙද තියෙනව කියල... ඇයි ඔයැයිට මතක නැතෙයි...?’’
‘‘ඇත්තට ම නෑ සුසා... මට එහෙම මතක තිවුන් නෑ...’’

මේ වෙද්දි අවට ආලෝකයකට කියල ඉතුරු වෙලා තිබුණෙ ලයිට් කණුවල එල්ලිලා තියෙන බල්බ්වලින් එන ආලෝකය යි පාරෙ එහා මෙහා යන වාහනවලින් විහිදෙන ආලෝකයයි විතරයි. ඊට අමතරව මහ පාරෙන් එහා පැත්තෙ තියෙන ගොඩනැගිලිවලින් විහිදෙන ආලෝකයත් ටිකක් විතර තිබුණා. මේ ආලෝකය මදිකම මගේ හිතට අරගෙන ආවෙ ම බයක්; සැකයක්. ඒක මට දැනුණෙ හරියට අපි දෙන්නව ගිලගන්න එන මහා විසාල සතෙක් වගේ; ඒ සතා ටිකෙන් ටික අපි දෙන්න ළඟට කිට්ටු වෙනව වගේ.
මට එහෙම බයක් තිබුනට සුසන්තට කිසිම ගානක් නෑ. එයා අවට පේන්න තියෙන එක එක විදියෙ දර්ශන දිහා බලාගෙන ඉන්නවා. මට ඒ දර්ශන පවා හරිම අමුතුයි. මම කලිනුත් කිව්වෙ...
වඩාගෙන යන කිරි දරුවගේ ඉඳල වයසක මිනිස්සු දක්වා ඉන්න හැම කෙනෙක් ම කිසිම ගානක් නැතුව එහෙ මෙහෙ දුවනවා, සමහර අය අයිස්ක්‍රිම් කනවා, තවත් සමහර අය වෙන මොනව මොනව හරි කනවා, තවත් සමහර අම්මල තාත්තලා දරුවොත් එක්ක සරුංගල් යවනවා. ඒ එක්ක ම මම දැක්ක කොල්ලො කට්ටියක් බිම වාඩි වෙලා අරක්කු හරි මොනව හරි බොනවා. සමහර කොල්ලො කෙල්ලො බජව් දානවා. එවුන්ට කිසිම ලජ්ජාවකුත් නෑ.

ඇත්තට ම ඇයි මිනිස්සු මෙහෙම ඉන්නෙ...? ඒ මිනිස්සුන්ට ගෙවල් දොරවල්වල වැඩ නැද්ද...? ගාල්ලෙදිත් වුනත් මේ විදියට මිනිස්සු විනෝද වෙනව දැක්කෙ නෑ. එහේ සමනල උයනෙ වුනත් වැඩිපුර හිටියෙ කොල්ලොයි කෙල්ලොයි. ටිකක් හරි සෙනඟ හිටියෙ හැන්දෑවට විතරයි. ඒ සෙනඟත් උයනට අඳුර වැටෙද්දි ඒ අඳුරත් එක්ක ම අතුරුදහන් වෙනවා. කොටුව ඇතුළෙ වුනත් එහෙම තමයි. ජෙසිකා අක්කලා වුනත් එයාලගෙ රස්සාව වෙනුවෙන් කියලත් කොටුව ඇතුළෙ ඉන්නෙ වැඩිම වුනොත් රෑ හත විතර වෙනකම් විතරයි. ඒ කාලෙ ඇතුළත එයාල එක්කරගෙන යන්න කවුරුහරි ආවෙ නැතිනම් කට්ටිය ම ටවුමට එනවා.
‘‘මොකෝ යසේ...! සල්ලි ගැන ද කල්පනා කරේ... ඔවු... ඒක හරි... අපි ටිකක් අරපරිස්සමෙන් වියදං කරන්න වෙනෝ...’’
මම එකපාරට ම උඩක ඉඳල බිමට වැටුණ වගේ මට දැනුණෙ.
‘‘ම... ම... මක්කයි කිව්වෙ සුසා...!’’
නාන්න යනවනං හරි රෙදි හෝදන්න යනවනං හරි කෙහෙල්වත්තෙ බාල්දි ළිංවලට යන්නෝන; එහෙම නැහ්නං තව මරදානෙත් එහෙම තැනක් තියෙනෝ... එතෙන්ට යන්නෝන...’’
‘‘ඔයැයි කල්පනා කරන්නෙ සල්ලි ගැනනං... ඒක එහෙම වෙන්නෝන... අපි ඩිංගක් අර පරිස්සමින් වියදං කරන්නෝන... කොළඹ ජීවත් වෙනව කියන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙයි... හැම දේම සල්ලිවලට නෙ යසේ... ඔයැයි කියන්නෙ සමහර හෝටල්වල නාන්න දෙන්නෙ නෑ; රෙදි හෝදන්න දෙන්නෙ නෑ. නාන්න යනවනං හරි රෙදි හෝදන්න යනවනං හරි කෙහෙල්වත්තෙ බාල්දි ළිංවලට යන්නෝන; එහෙම නැහ්නං තව මරදානෙත් එහෙම තැනක් තියෙනෝ... එතෙන්ට යන්නෝන...’’
සුසන්ත එක දිගට ම කියවගෙන යන්න ගත්තෙ එයා මේ ගැන හොඳට ම දන්න නිසා වෙන්න ඇති. ඒත් මගේ හිතේ තිබුණෙ සුසන්ත කියපු කිසිම දෙයක් ගැන නෙවෙයි. ඒක නිසා මම කතාව වෙන පැත්තකට හැරෙව්වා. මොකද සුසන්ත කොළඹ ගැන කියන හැම වචනයක් ම මගේ හිතට අරගෙන ආවෙ අසුබ ලකුණු ම යි; ඒ අතර සුබ ලකුණක් තිබුණෙ ම නෑ.
‘‘නෑ නෑ සුසා... මං කල්පනා කරේ ඔහේ කිව්ව දේවල් නෙවෙයි...’’
‘‘එහෙනං... මිනිස්සු මෙච්චර විනෝදෙං ඉද්දි ඔහේ මුහුද දිහා බලාන මක්කයි කල්පනා කරේ...?’’
‘‘මං කල්පනා කරේ සුසා... ගංවල මිනිස්සු වගේ නෙවෙයි මේ මිනිස්සු... රැ වෙලා කියල ගානක්කත් නෑ... හෙට උදේ වැඩපළ කරන්න ඕන කියල ගානක්කත් නෑ. කනවා, බොනවා, සිංදු කියනවා, නටනවා මාර විනෝදෙංනෙ ඉන්නෙ... ඇත්තට ම සුසා මේ මිනිස්සුන්ට ගෙවල්දොරවල්වල වැඩ නැද්ද...?’’

‘‘යසේ... මේ මිනිස්සුන්ටත් ගෙවල් දොරවල් තියෙනවා; රස්සාවල් කරනවා. ඒ උනාට යසේ ඔය පිටිසර ගම්වල වගේ කුඹුර කොටන එව්වයි, හේන් වගා කරන එව්වයි නෙවෙයි නෙ මේ මිනිස්සු කරන්නෙ. මේ හුඟක් මිනිස්සු උදේ අටට අටහමාරට ඔපිස්වලට ගිහිං... එහෙමත් නැහ්නං ඔය කුලී වැඩකට ගිහිං ආයි හවස පහ පහමාර වෙද්දි ගෙදෙට්ට එනවා. ඊට පස්සෙ ඉතිං ඒ මිනිස්සුංට කරන්නෙයි කියල එහෙමකට දෙයක් නෑ. සමහර මිනිස්සු පවුල් පිටිං ෆිල්ම් බලන්න යනවා; සමහර මිනිස්සු සංගීත බලන්න යනවා; ඒ වගේ සමහර අය මේ විදියට මෙතෙන්නට ඇවිදිං විනෝද වෙලා යනවා. මේ ඉන්නෙ දුර පළාතවල මිනිස්සු නෙවෙනයි සුසා... මේ අහල පහල නගරවල ගම්වල මිනිස්සු. ඒ අව්වස්සෙ අපි වගේ ගම්වලින් ආපු අයත් ඇති. එයැයිලත් දැං කොළඹ ජීවිතේට හුරු වෙච්ච අය.’’
‘‘හම්ම්ම්... ඒක තමයි... ඒ මිනිස්සුන්ට රෑ වෙනව කියල ගානක්කත් නෑ...’’
‘‘ඔවු ඉතිං... ගම්වල වගේ නෙවෙයි නෙ යසේ... රැ නමය දහය වෙනකම්ම බස් තියෙනවා. බස් නැහ්නං ටැක්සි තියෙනවා. ටැක්සියක ඔය පවුලකට ම උනත් ගියැකි නෙ... තව ටිකක් රෑ වෙනකං හිටියොත් ඔහේටත් බලාගත්තැහැකි... සමහර වෙලාවකට අර පාරෙන් එහා පැත්තෙ තියෙන ටැක්සි එකක්කත් හොයාගන්න නැති වෙනවා. ඔතන විතරක් නෙවෙයි... අර... අර... පේනව නේද ගොඩනැගිල්ලක්...’’
එහෙම කියන ගමන් ම සුසන්ත අපි හිටපු පිට්ටනියෙ ඈත කෙළවරට වෙන්න තිබුණ ලොකු ගොඩනැගිල්ලක් පෙන්නුවා.
‘‘ඉතිං... මොකද්ද ඒ ගොඩනැගිල්ල...?’’
ඔය හොටලේ ඉස්සරහ පාරෙත් යහමින් ටැක්සි නවත්තල තියෙනෝ...
‘‘ආ... ගොඩනැගිල්ල ද... ඒකට තමයි ගොල්පේස් හෝටලේ කියන්නෙ... මං කියන්න හැදුවෙ ඒක නෙවෙයි. ඔය හොටලේ ඉස්සරහ පාරෙත් යහමින් ටැක්සි නවත්තල තියෙනෝ... එව්වත් තව ඩිංගක් රෑ වෙද්දි අතරුදහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි කොහොමටත් රැ දොළහ විතර වෙද්දි මේ පිට්ටනියත් හිස් වෙනවා. දැං ඒ වෙද්දි මේ ඉන්න සෙනඟ කොහොම අතුරුදහන් වෙනවද කියල හිතාගන්නත් බෑ.’’
සුසන්ත එහෙම කිව්වට පස්සෙ මෙච්චර වෙලා මගේ හිතට දැනෙමින් තිබුණු බය තවත් වැඩි වෙන්න ගත්තා.
‘‘එ... එ... එතකොට සුසා අපි කොයිබෙයි යන්නෙ... අපි... අපි... මෙතනම ඉන්නවයි...?’’
මට වචන පැටලුණේ මමවත් දන්නෙ නැතුව.
‘‘හනේ හනේ... ගාල්ලට නං චණ්ඩි පැටිය... කොළඹට බය ගුල්ලා...’’
සුසන්ත ඒ වචන ටික කිව්වෙ අරෝවකට හරි මාව සමච්චලේට ගන්න හරි නෙවෙයි කියල මට තේරුණා. හැබැයි එයා කිව්වෙ ඇත්ත ම ඇත්ත නේද කියල දැනුණ ම මට ඇති වුණේ මහා ලැජ්ජාවක්.

‘‘අනේ මං දන්නෑ නෑ සුසා... ඒක බයක් කිව්වට එහෙම මිනිස්සුන්ට තියෙන බයක් හෙම නෙවෙයි... වෙන මොකක් දෝ එකක්. හරියට නිකං ඔය පිචර්වල තියෙනව වගේ නිකං කාත් කවුරුවත් නැති පළාතකට ගෙනිහින් දැම්ම වගේ. ඔය පොත්වලත් ලියල තියෙන්නෙ... ‘ඒ බියකරු රාත්‍රිය මට ගෙන දුන්නේ හුදෙක් පාළුව පමණක් ම නොව ජීවිතය පිළිබඳ අනියත බියකි’ කියල... අන්නේවගේ...’’
‘‘ඔහෙප්පලයං... ඔහේට පොත්වල තියෙන වාක්කිය එහෙම පිටිංම පාඩං ය... හැබෑට දැං ඔය වාක්කිය තිවුණෙ කොයි පොතේ ය...?’’
සුසන්ත අහපු ප්‍රශ්නයට මට උත්තරයක් තිබුණෙ නෑ. ඒත් මම කියවපු මොකක් හරි පොතක... එහෙමත් නැතිනම් සඟරාවක තිබුණ කතාවක ඔය වාක්‍ය ඔය විදියට ම තිබුණා. මට ඒක මතක් වුණේ දැන් අපි මේ මුහුණ දීල ඉන්න තත්ත්වයට ඒ වාක්‍ය හරියට ම ගැළපෙන නිසා වෙන්න ඇති.
‘‘ඇත්තට ම සුසා ඒ වාක්‍්‍ය තිවුණ පොත නං මොකද්ද කියල මට මතක නෑ... හැබැයි මේ වෙලාවෙ මට ඒක ම යි මතක් උණේ...’’
‘‘හරි හරි යසේ... මං දන්නෝ ඔහේට එහෙම හිතෙන්නෙ ඇයි කියල... බය වෙන්නෙපා... මං ඉන්නෝ නෙ...’’
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/02/08
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





