‘‘සුසා... මොකද්ද අප්පා ඒ එන ගඳ...’’
සුසන්ත ඇහුවෙ මගේ අත අල්ලගෙන හිටපු අත අතඇරල ඒ අතේ මහපටැඟිල්ලෙනුයි දබරැගිල්ලෙනුයි නාස් පුඩු දෙක තද කරගන්න අතරෙ.
‘‘ඒ ගඳ ද... එතන එක ගඳක් නෙවෙයි යසේ ගඳ ගොඩක් තියෙනවා. එකක් ඔය කුණු ඇළේ ගඳ, අනික ඔය බෝ ගහේ ඉන්න කාක්කොන්ගෙ බෙටිවල ගඳ. මෙතනින් විජහට යං... නැහ්නං අපේ ඔළුත් බෙටිවලින් නෑවේවි...’’
* * *
සුසන්ත එහෙම කියල ඉවර වෙනවත් එක්ක ම බෝ ගහේ අත්තක හිටපු කපුටෙක් පිට කරපු අශුචි බෙට්ටක් ‘‘චරස්’’ සද්දෙකින් පොළොවට වැටුණා. මට ඒ වෙලාවෙ එක පාරට ම මතක් වුණේ උම්මග්ග ජාතකය පොතේ තියෙන කොටසක්.
ඒ කොටස මතක් වුණ මට ඇවිදින අතරත් පොඩි හිනාවක් ගියා. මගේ ඒ වෙනස අඳුර ගන්න සුසන්තට මහා වෙලාවක් ගියේ නෑ.
‘‘මොකෝ යසේ තනියම හිනාවෙන්නෙ...?’’
‘‘නෑ සුසා... මට මේ ඉස්කෝලෙදි කියල දුන්න පාඩමක කෑල්ලක් මතක් වුණා.’’
‘‘ඒ මොකද්ද ඒ?’’
සුසන්ත ඇහුවෙ ඒ කතාව දැනගන්න තියෙන ආසාව ඉස්මතු කරමින්.
‘‘ඔයැයිට මතකෙයි උම්මග්ග ජාතකේ...?’’

මම එහෙම ඇහුවට පස්සෙ තමයි මට මතක් වුණේ සුසන්ත ඉස්කෝලෙ ගියේ අටට විතරයි කියල. ඒත් දැන් කරන්න දෙයක් නැති නිසා ඒක නොදන්න විදියට ම හිටියා.
‘‘අහල නං තියෙනව යසේ... ඒත් කතාව නං දන්නෑ...’’
‘‘මට කතාව නං කියන්න පුළුවං. හැබැයි මම දැං මේ කියපු සිද්ධිය ගැන විතරක් කියන්නං...’’
සම්පුර්ණ කතාව කියන්න වෙලාවක් නැති නිසයි මම එහෙම කිව්වෙ.
‘‘හරි හරි ඔයැයි කැමති විදිහකට කියන්නකො.’’
‘‘ඔය උම්මග්ග ජාතකේ ඉන්නවා කේවට්ට කියල බමුණෙක්. එයැයි හැම වෙලාවෙ ම මහාවුසද පණ්ඩිතයට අංචියක් අදින්න ම තමයි හදන්නෙ.’’
‘‘හම්ම්ම්...’’
සුසන්තත් හුමිටි තියන්න ගත්තා. ඇවිදින අතරතුර වුනත් ඉතිරි ටිකත් කියන්න මම හිත හදාගත්තා.

‘‘ඔන්න ඔය කියපු කේවට්ටයා දවසක් තව කෙනෙක් එක්ක ගහක් යයට වෙලා රහස් කතා බහක් කරා. එහෙම කතා කරල ඉවර වෙලා කිව්වා ‘හැබැයි පුතෝ මේක සතරකන් මන්ත්‍රණයක්’ කියල. ඒ කියන්නෙ ඒ රහස දන්නෙ කේවට්ටයයි අනිත් කෙනයි විතරයි කියල. එතකොට ම අර ගහ මුදුනෙන් සද්දයක් ආවා ‘එම්බල කේවට්ටය... තෝ හිතුවට ඒක සතරකන් මන්ත්‍රණයක් කියල ඒක දැනට ම සකන් මන්ත්‍රණයක් වෙලා ඉවරයි, තව ටිකකින් තොගේ ඔය රහස අට කන් මන්ත්‍රණයක් වෙලා ඊටත් පස්සෙ මුළු රටම දැනගන්නව’ ය කියල.’’
‘‘ඒ කියන්නෙ ගහ මුදුනෙ හිටපු එකෙක් ඒ රහස අහං ඉඳල... එහෙමෙයි...?’’
‘‘ඔවු ඔවු... වැඩේය කියන්නෙ සුසා මේ රහස අහගෙන ඉඳල තියෙන්නෙ මහාවුසද පණ්ඩිතයගෙ රහස් පරික්ෂක වැඩ කරන ගිරවෙක්. ඒක නෙවෙයි ලස්සන ම වැඩේ...’’
‘‘ඒ කිව්වෙ යසේ...’’
‘‘ගහ උඩින් කට හඩක් ඇහුණ ගමන් කේවට්ට බමුණා ගහ උඩ බැලුවා. එතකොට ම ගිරවා අර වචන ටික කියල ඉවර වෙනවත් එක්ක ම කේවට්ටයගෙ කටට බෙට්ටක් දැම්මා....’’

‘‘අම්මට හුඩු... ඒක නම් මාරයි ආ...’’ කියපු සුසන්ත මහ හයියෙන් හිනාවෙන අතර ම ‘‘ඔන්න යසේ අපිට ඕන කරන තැනට ආවා.’’ කියල කිව්වෙ හරිම සැහැල්ලුවෙන්. ඒ ඇවිත් තිබුණෙ කොටුවෙ ස්ටේෂන් එකට.
මම එතන දැක්ක ගමන් පුදුම වුණා. මම හිතුවෙ අපි තව කොහේ හරි යන්න හදනව කියල.
‘‘අපි මක්කටෙයි සුසන්ත මෙතෙන්ට ආවෙ...?’’
‘‘මෙතෙන්ට ආවෙ ද...? මෙතෙන්ට ආවෙ වැස්සක් වැස්සත් නොතෙමි නිදාගන්න ඕනෙයි කියපු හින්දා...’’
මට ඒ කතාව අදහා ගන්න බැරි වුණා. මෙච්චර මිනිස්සු ගැවසෙන තැනක කොහොමද නිදාගන්නෙ කියල.
‘‘කල්පනා කරන්න දෙයක් නෑ යසේ... මෙතෙන සෙනඟ උන්නට එහා පැත්තට වෙන්න කවුරුවත් නෑ. එතන අපි වගේ ම තව අය නිදාගන්නවා. යං... දැං මයි හිතේ රැ එකොළහටත් කිට්ටු ඇති නේද...?’’

සුසන්ත එහෙම අහද්දි මට ඉබේට ම වගේ මගේ ඔරලෝසුව දිහා බැලුණා. වෙලාව එකොළහට කිට්ටු නෙවෙයි; එකොළහයි පහයි. මම සුසන්තට වෙලාව කියන්න බලද්දි එයා ටිකක් ඈතට ගිහින්. මම එයා දිහා බලනව දැකපු ගමන් එයා මට ඔළුව වැනුවෙ ළඟට එන්න කියල. මම එතනට ගියා නෙවෙයි යැවුණ කිව්වොත් තමයි හරි.
‘‘මේ... දැක්ක ද... ඔයි බුදියන්නෙත් අපි වගේ එවුන් තමයි. සමරු මුට්ට කරගහන එවුන්. තවත් සමහරු හිඟාකන එවුන්. මේ අව්වස්සෙ හොරුත් ඉන්නෝ... ඒ හින්ද පරිස්සමින් ඉන්නෝන. ඔයැයිගෙ බෑග් එකේ රෙද්දක් තිවුන නෙහ්... අපි අන්න අර ලයිට් එළිය හොඳට තියෙන තැනින් රෙද්ද එළාගමු.’’
සුසන්ත එක දිගට ම කියවගෙන ගියේ එයා මෙතනට හුරු පුරුදු කෙනෙක් වගේ. ඒත් මට තව ප්‍රශ්නයක් දෙකක් ඉතුරු වෙලා තිබුණා.
‘‘සුසා... හරි... අපි මෙතන බුදිය ගත්ත කියමුකො... අපි හෙට උදේට මූණ කට හෝදගන්නෙ කොයිබින් ද... කක්කුස්සියට යන්නෙ කොහොමෙයි... ඔහේ දන්නවනෙ... මට අවදි වෙච්ච හැටියෙ ම කක්කුස්සියට යන්න ඕනෙ නෙ...’’

‘‘හරි හරී... ඔයැයි බයවෙන්නෙපා... උදේ නෙවෙයි... රෑ හරි කමක් නෑ ඔයැයිට කක්කුස්සියට යන්න ඕන උනොත් මට කියන්න. මං එක්කරාන යන්නං. දැං ඔන්නොය රෙද්ද එළන්නකො. ඔයි සල්ලි ටික ඔයැයිගෙ කලිසමක ඔතන්න; ඔතල ඔයි බෑග් එක ඔයැයිගෙ ඔළුවට තියාගන්න.’’
සුසන්ත කතා කරගෙන යද්දි මට මතක් වුණේ මම මුලින් ම ගාල්ලට ආපු දවස. එදා නමයයි තිහ පිචර් එක බලල ඇවිත් නිදාගන්න තැනක් නැතුව ඉද්දි සිඩ්නි හෝටලෙයෙ ඉස්සරහ කෑල්ලෙ නිදාගත්තු විදිය. ටික වෙලාවකින් වෙච්ච සිද්ධිය. මේ හැම දෙයක් ම මගේ මතකයට එන්න ගත්තා. ඇත්තට ම ගාල්ලෙන් ආපු එක ගැන පසු තැවුණෙ නැතත් ඒ අවුරුදු දෙකක විතර කාලෙ කොච්චර හොඳද කියල හිතුණා. ගාල්ල පොඩි ටවුමක්; කොළඹ කියන්නෙ ලොකු ටවුමක්. එහේ වගේ මෙහේ මිනිස්සුත් එක්ක පයිරුපාසානමක් ඇති කරගන්න නම් බැරි වේවි.
‘‘යසේ... නිදාගම්මු...’’
ඊට පස්සෙ සුසන්තගෙ ඉල්ලීම ඉටු කරනවා හැරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ.
සුසන්ත

යසේටයි මටයි දෙන්නට ම හරියකට නින්ද ගියේ නෑ. අපි දෙන්නා ම අපි දෙන්න නිදි ද නැද්ද කියල හිත හිතා, බල බලා ඉද්දි නින්දත් නොනින්දත් අතර කාලය ගෙවිල ගියා. අවට සද්ද බද්ද වගේ ම කපුටන්ගෙ කෑ ගැහිල්ලත් ටිකෙන් ටික වැඩි වුණා.
‘ඒ කියන්නෙ අපි මෙතන නිදාගත්තු කාලෙ ඇති කියන සඥාව. යසේට නින්ද යන්න පටන් අරං තියෙන්නෙ දැං වගේ. කමක් නෑ... ඔහෙ හිටපුවාවෙ.’
මම එහෙම හිතුවෙ යසේට අවදි කරන්න තියෙන ලෝබකමට.
‘අද දවස ඇතුළත නම් කොහොම හරි යසේට රස්සාවක් හොයල දෙන්න ම වෙනවා. එයැයිට මොකක් හරි හොයල දුන්හම මගේ හිත නිදහස්. ඊට පස්සෙ පුළුවං මට රස්සාවක් හොයාගන්න.’
‘‘සුසා...! මක්කයි ඔහේ වාඩි වෙලා කල්පනා කරන්නෙ...?’’

යසසිරි එහෙම ඇහුවෙ නිදි ගැට කඩන අතරෙ ම යි. දැන් ඉතිං ආයෙ නිදන්න බැරි වේවි. ඒ නිසා ම තමයි මම මගේ ඊළග පියවර ගන්න සූදානම් වුණේ.
‘‘යසේ... ඔයැයි ළග මාරු කාසි තියේ නං මට සත දහයක් දෙන්නකො...’’
‘‘ශත දහයක්...! මක්කටෙයි ශත දහයක්...?’’
යසේ ඇහුවෙ පුදුමයෙන් වගේ. මම ඒත් සල්ලි මොකට ද කියල කිව්වෙ නෑ.
‘‘ඔයැයිට ඒව්වයිං වැඩක් නෑ නෙ. මට සත දහයක් දීල ඔයි ඇඳුං කැඩුං ටික හදාගන්නකො. ඊට පස්සෙ මාත් එක්ක එන්නකො.’’
* * *
ඊයෙ දවසෙ ම කරා වගේ මට අදත් කරන්න වෙන්නෙ සුසන්ත කියන දෙයකට එකඟ වෙන එක තමයි. මොක ද එයා තමයි කොළඹ පුරුදුකාරයා; කොළඹ දන්න කියන මිනිහා. මම ආයෙත් ප්‍රශ්න අහන්නෙ නැතුව සත දහයක් දුන්නා. දීල ඇඳුම් ටික නවල බැග් එකේ දාගත්තා. සුසන්ත මගේ වැඩේ ඉවර වෙන තුරු ම හොඳට මගේ දිහා බලාගෙන හිටියා.
‘‘හරි නෙහ්... යංකො මගෙත් එක්ක...’’

මම ඇඳුම් ටික නවල බෑග් එකට දාගත්තට පස්සෙ සුසන්ත එහෙම කියපු විදියට මට තේරුණා එයා මොනව හරි දෙයක් කරන්න යනව කියල. ඒත් මම අහන්න ගියේ නෑ. එයා සෙනඟ අතරින් ඇවිත් ස්ටේෂන් එකේ ටිකට් කවුළු එකින් එක දිහා ටිකක් විපරමෙන් බලල එක කවුළුවක් ළඟට ගිහින් අර හත දහය දෙනව විතරයි මම දැක්කෙ. ඊට පස්සෙ කෝච්චි ටිකට් වගේ ම ටිකට් දෙකක් අරගෙන මගේ ළඟට ආවා.
‘‘කොහේ යන්නෙයි සුසන්ත ටිකට් ගත්තෙ...?’’
මම සුසන්තගෙන් ඇහුවෙ එයා කරන කියන දේවල අගක් මුලක් නොදන්න නිසා.
‘‘කොහේවත් යන්න නෙවෙයි... ඇයි ඔහේට උදෙම්ම කක්කුස්සියට යන්න ඕනෙ වෙනව කිව්වනෙ... ඒ හින්ද...’’
සුසන්ත කියපු දේ මට තේරුණේ නෑ. කක්කුස්සියට යන්න මොකට ද කෝච්චි ටිකට්...?

‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට ගනින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’
‘‘ඉතිං අපි මක්කටෙයි ස්ටේසන් එක ඇතුළට යන්නෙ...?’’
‘‘ස්ටේසන් එක ඇතුළට යන්නෙ ද...? ඔහේ එන්නකො මගෙත් එක්ක... ඊට පස්සෙන් පහු ඔහේට තේරෙයි ඇයි අපි ස්ටේසන් එක ඇතුළට ආවෙ කියල’’
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 02/ 22
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්

‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට ගනින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’




