‘‘මිනිස්සුන්ගෙ ජීවිතේ එහෙම තමයි යසේ... ඔයැයි ගාල්ලෙ කොච්චර කල් හිටියත් මේ වගේ වෙලාවකට එළියට පහළියට එන්න නැතුව ඇතිනෙ. එහේ වුනත් මෙහෙම තමයි යසේ.
ඒ දේවල් දකින්න හම්බෙන්නෙ ඩිංග වෙලාවයි. ආයිත් පරිසරය වෙනස් වෙනවා. එතකොට මේ හරියෙ විතරක් නෙවෙයි කොළඹ ම වෙනස්. ආයෙ දවල්ට තවත් විදියක්; හැන්දැවට තවත් විදියක්; රෑ වෙද්දි ආයි වෙනස් ම විදිහක්. හරි... දැං එව්වයිං වැඩක් නෑ... අපි මේ පැත්තෙං කොම්පඤ්ඤවීදිය දිහාට යමුකො.’’
* * *
සුසන්ත එහෙම කිව්වම ‘‘හා’’ කිව්වට කොම්පඤ්ඤවීදිය කියන්නෙ මොකක් ද, ඒ මොකක් හරි තියෙන්නෙ කොහේද කියන කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ. මට කරන්න තිබුණෙ සහ කරන්න පුළුවන් වුණේ සුසන්ත කියන විදියට වැඩ කරන එක විතරයි.
සුසන්ත එයාගෙ දකුණු අතින් මගේ වම් අත අල්ලගෙන හොඳට පාර දෙපැත්ත බලල වාහන අඩුවුණ ගමන් ම පාරෙ අනික් පැත්තට පැන්නා. පාර මාරු වුණාට පස්සෙ මගේ අත අතහැරපු සුසන්ත දිගට ම ඇවිදගෙන ගිහින් රවුන්ද බවුට් එකත් පහු කරල ටික දුරක් ගියා; ගිහින් නතර වුණේ කහ ඉරක් ගාව.

‘‘මෙතන අතන වගේ පාර පනින්න අමාරුයි. කහ ඉරේ වුනත් පාර මාරු වෙන්නෝන කල්පනාවෙන්.’’ කියන ගමන් ආයෙත් මගේ දකුණතින් අල්ලාගෙන ම තව මිනිස්සු ගොඩක් පාර මාරුවෙද්දි ම අපිත් පාර මාරු වුණා.
ටිකක් දුර ඇවිදගෙන යද්දි දකින්න ලැබුණෙ පුදුම දෙයක්. ඒක මට පුදුම දෙයක් වුනාට එතනින් පාරෙ එහාට මෙහාට යන කාටවත් ඒක ඒ තරම් විශේෂ දෙයක් නෙවෙයි කියල මට තේරුණා. කොටින් ම කියනවා නම් සුසන්තටත් ඒක එච්චර විශේෂ දෙයක් වුණේ නෑ. හැබැයි මට විශේෂ දෙයක් නිසා ම මම එතනින් ගමන් කරේ ඒ දේ දිහා බලාගෙන ම යි; ඒ වගේ ම ටිකක් හෙමින්.
එහෙම යද්දි මට එකපාරට ම ‘‘යසේ...’’ කියල කවුරු හරි කතාකරනවා වගේ ඇහුණා. කටහඬ ආවෙ මගේ ඉස්සරහ පැත්තෙන්. ඒ වෙන කවුරුවත නෙවෙයි... සුසන්න... එයා හිටියෙ මට වඩා ටිකක් ඉස්සරහින්; මම එක පාරට ම කලබලෙන් වගේ ‘‘ආ... සුසා...’’ කියල කියන අතර සුසන්ත ආයෙ මගේ ළඟට ආවා.
‘‘මෙතන යසේ ගුවන් හමුදාවෙ තැනක්. ඒක මොකද්ද කියල මාත් නිච්චියට දන්නෑ. මෙතන ඉතිං මෙ වගේ හෙලිකොප්ටර් හැමදාම නවත්තල තියෙනෝ. ඒකනෙ මෙතනින් යන එන මිනිස්සුන්ට ඒකෙ ගානක් නැත්තෙ...’’

සුසන්ත ඒ වචන කිහිපය කියල ඉවරවුණ ගමන් ආයෙත් ඉසසරහට යන්න ගත්තා. මෙතනින් යන එන මිනිස්සුන්ට ගානක් නැති වුණාට මට නං මේක මාර ම වැඩක්. පුංචි කාලෙ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් එක්කරගෙන ආපු දවසක රත්මලානෙ ගුවන් තොටුපළට ගියා. එදා තමයි ළඟට ම ගිහින් හෙලිකොප්ටරයක් දැක්ක පළවෙනි දවස. අද එහෙම දැකපු දෙවෙනි දවස.
කල්පනා කර කර සුසන්තගෙ පස්සෙන් යන මට යන්නෙ කොහේද, කොච්චර දුක් ගියාද කියන කාරණය ගැන නිච්චියක් ඇත්තෙ ම නෑ. හැබැයි මම නිකමට වගේ දැක්කා කොට තාප්පයක් ළඟින් යනවා. බලද්දි ඒ තාප්පෙ කෙළවරේ ‘‘ශ්‍රී ලංකා පොලිසිය කොම්පඤ්ඤවීදිය’’ කියල ලියපු බෝඩ් එකක් තිබුණා. ඒ කියන්නෙ සුසන්ත කියපු දිහාට අපි ඇවිත්.
‘‘සුසා... මේ කොම්පඤ්ඤවීදියෙයි...?’’
අපි ඇවිත් තියෙන්නෙ හරි ඇවිදිමින් ඉන්නෙ හරි කොම්පඤ්ඤවීදිය කියන දිහා කියල මම හොඳට ම දන්නවා. ඒත් මට වුවමනා වුණේ සුසන්ත මාත් එක්ක මෙහාට ආවෙ ඇයි කියල දැනගන්න.
‘‘ඔවු... යසේ... ඇයි...?’’
‘‘නෑ මේ ඔයැයි යනවයි කිව්වෙ කොම්පඤ්ඤවීදියට නෙ... ඒකයි මං ඇහුවෙ...’’
‘‘නෑ යසේ... කොම්පඤ්ඤවීදියට ම එන්නයි කියල විශේෂ ඔනෙකමක් නෑ. අපි මේ හෝටලවලින් අහල බලමු. මොකක් හරි වැඩක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. හැබැයි මේ හරියෙ වැඩිපුර ම තියෙන්නෙ මුස්ලිම් අයගෙ කඩ; අනික්වා සයිවර්කඩ. ඕන එකක් වෙන්න කියල අපි ටික්ක අහල බලමු.’’
සුසන්ත

ඒ මොහොතෙ ඉඳල දැන් පැයකට ආසන්න කාලයක් ගතවුණා; මමයි යසෙයි හෝටල් දහයකට පහළොවකට විතර ගියා. හැබැයි ඒ එකකවත් රස්සාවක් හොයාගන්න බැරි වුණා. ඇත්තට ම නම් ඒ සමහර හෝටල්වල අපි දෙන්නට කරන්න රස්සාවක් නැතුව ම නෙවෙයි. තියෙන්නත් ඇති. හැබැයි අපි දෙන්නම සිංහල නෙ... සයිවර් කඩවලට නම් සිංහල අය ගන්නවා. හැබැයි මුස්ලිම් අය කරන කඩවලට වැඩිපුරම වැඩට ගන්නෙ මුස්ලිම් අයම යි. කොළඹ විතරක් නෙවෙයි ලංකාවෙ හුඟක් මුස්ලිම් අය කරන කඩවල වැඩ කරන්නෙ මුස්ලිම් අය ම විතරයි. සිංහල කෙනෙක් වැඩ කෙරුවොත් කලාතුරකින් ම තමයි.
‘‘යසේ... වැඩක් නෑ... මේ හරියෙන් අපිට වැඩක් හොයාගන්න බැරි වෙයි වගේ...’’
‘‘ඒ කිව්වෙ...?’’
‘‘මං කිව්වෙ... මේ හැම තැනම හෝටල කරන්නෙ මුස්ලිම් අය. එයාල වැඩිපුර ම වැඩට ගන්නෙ මුස්ලිම් අය ම විතරයි. අඩු ගානෙ අපි දෙන්නට දෙමළ කතා කරන්නවත් ඇහැක් උනානම් ඔන්න හිච්චි හරි චාන්ස් එකක් තියෙනෝ...’’
‘‘එහෙනං අපි දැං මක්කයි කරන්නෙ...?’’

යසසිරි එහෙම අහද්දි ඒ වචනවල නොතිබුණ පුදුම අසරණකමක් එයාගෙ ඇස්වල තිබුණ. මොකද දැන් අපි මේ ගෙන්දගම් පොළොවට පය ගහල පැය විසි හතරක්. ඒත් අපිට තවම බැරි වුණා රස්සාවක් හොයාගන්න.
‘‘යසේ... අපි යං ගාලු පාරට...’’
‘‘ඒ කිව්වෙ...! ආයි ගාලු යන්න...?’’
යසේ තවත් මොනව හරි අහන්න හැදුවා. මම ඊට කලින් යසේට උත්තර දුනා.
‘‘ආයි ගාලු යන්න නෙවෙයි යසේ...’’
‘‘එහෙනං...!’’

‘‘ගාලු පාර කියන්නෙ ගාල්ල කොළඹ බස් වැඩ කරන පාර. මෙතනින් ඒ පාරට යන්න පුළුහං ෂෝට්කට් එකක් තියෙනවා. අපිට ඒ පාරෙන් ගිහිං ගාලු පාරට යැතෑකි. ඒ පාරෙ බම්මබලපිටියෙ තමයි අපි ඊයෙ බැස්සෙ; ඊයේ උදෙට දවල්ට කෑවෙ; පිචර් එක බැලුවෙ. යං... අපිට ඒ පැතතෙං මොකක් හරි හොයාගන්න බැරිවෙන එකක් නෑ.
කොම්පඤ්ඤවීදියෙන් ගාලු පාරට ආපු අපි දෙන්නා ගෝල්ෆේස් හොටලේ ගාවින් මතු වුණා. එතකොට ම යසසිරිට ඊයෙ හවසත් මේ හරියට ආපු බව මතක් වුණා.
‘‘සුසා...! මේ ගොල්පේස් එක නේද...?’’
ඒ වචනවල තිබුණෙ පුදුමසගත බවක්. මොකද යසේ හිතන්න නැතුව ඇති ආයෙ මෙතනට, මේ විදියට එන්න ලැබෙයි කියල.
‘‘ආ... ඔවු යසේ... මේ ගොල්පේස් එකේ එක කෙළවරක්. අපි මේ පැත්තට යං. කොල්ලුපිටිය දිහට්ට යද්දි හොටලයක් හම්බ වෙයි.’’
කොහොමටත් කොල්ලුපිටිය පහු වෙන තුරු සාමාන්‍ය හෝටලයක් නැති බව මම දන්නවා. ඒ නිසා අඩුම වැල්ලවත්ත දිහාට යනකන් හරි පයින් ම යන්න මම තීරණය කරේ ඒකයි.
අපි පාරෙ වම් පැත්තෙන් කොල්ලුපිටිය දිහාට පයින් ම ආවෙ කිසිම කතාවක් බහක් නැතුව. එකපාරට ම කතා කරේ යසසිරි.
‘‘සුසා... අර...!’’
යසසිරි එහෙම කියන ගමන් ම පෙන්නවේ පාරෙන් එහා පැත්තෙ තාප්පයක් අයිනෙ තුවක්කවකුත් බිම ඇනගෙන හිටගෙන ඉන්න, අමුතුම විදියෙ ඇඳුමක් ඇඳපු කෙනෙක්.
‘‘ඔයැයි දන්නවයි ඒ මොකක්ද කියල...?’’

යසේ පෙන්නුවෙ පුද්ගලයෙක් වුණාට මම යසේගෙන් ඇහුවෙ ඒ පුද්ගලය මුර කරන ගොඩනැගිල්ල ගැන.
‘‘දන්නව... අර මේ... අරලියගහ මන්දිරය ද මොකද්ද කියන එකනෙ...’’
‘‘ඔවු... අරලියගහ මන්දිරය...’’
‘‘ස්කෝලෙන් ආපු ට්‍රිප් එකකදි ඔතනටත් එක්කරගෙන ආවා. හැබැයි ඇතුළෙ වැඩිය ඇවිද්දෙ නෑ. එදා මොකද්ද මන්ද හදිසි රැස්වීමක් කැඳවල තිබුණ කියල අපි නිකං එළියෙං බලාගෙන ගියා.’’
‘‘වෙන්නැති යසේ... ඔයි ඉතිං රටේ අගමැතිතුමාගෙ නිල නිවස නෙව.’’
‘‘ඔවු... අපි එන කාලෙනං හිටියෙ සිරිමාවෝ බණ්ඩාරනායක නෙ... දැං ඉන්නෙ ආර්. ප්‍රේමදාස නෙ...’’
මට යසේ කියපු වචන යාන්තමට ඇහුණට ඒ ගැන අවධානයක් යොමු කරන්න තරම් හිතට සැහැල්ලුවක් තිබුණෙ නෑ. මොකද මගේ හිත කියන්නෙ ම ඉක්මනට ම යසසිරිට රස්සාවක් හොයල දෙන්න ඕන කියන අදහස. ඒ නිසා මම සද්ද නැතුව ඉස්සරහට ඇවිදගෙන ගියා; යසසිරිත් කතාව එතනින් නවත්තලා මගේ පස්සෙන් ම ආවා.
කොල්ලුපිටිය හන්දිය පහුවෙලත් යාර දහයක් පහළොවක් විතර යද්දි මම දැක්කා පාරෙන් එහා පැත්තෙ තියෙන හෝටල් දෙකක්.

‘‘යසේ... ඔයැයි මේ හෝල්ට් එකට වෙලා ඉන්නවයි... මං පාරෙන් එහා පැත්තට ගිහින් අර හොටල් දෙකේ වැඩක් තියෙයිද කියල බලල එන්නං.’’ කියපු මම, යසේ බස්හෝල්ට් එක ළඟ නවත්තලා ‘‘කොහේවත් යන්නෙපා හරිය... මං එනකං ඔහොම්ම ඉන්න හරිය...’’ කියල යන්න හදද්දි ම යසේ ‘‘ඇයි ඔහේ විතරක් යන්නෙ... මාත් එන්නං...’’ කිව්වෙ ටිකක් චකිතයකින් වගේ.
ඇත්තට ම මම යසේව හෝලට් එකේ නවත්තල තනියම යන්න හිතුවෙ යසේට මේ වැඩ පුරුදු නැති නිසා. එයා මහන්සි කරවන්නත් මට දුක හිතුණා.
‘‘නෑ යසේ... ඔයැයි ඔහොම එන්න. මං ඉක්මනට බලල එන්නං. වැඩේ හරිගියොත් ඔහේව එක්ක යන්නං. බය වෙන්නෙපා. ඔහොම්ම ම ඉන්න. මං ටක් ගාල එනෝ...’’
* * *
කිව්ව වගේ ම විනාඩි දහයක් යන්නත් කලිං සුසන්ත ආයෙ මේ පැත්තට පාර පනිනවා මම දැක්කා. හැබැයි ඈත දි ම මට දැනුණා ගියපු වැඩේ හරි නොගිය බව.
සතියකින් හමුවෙමු...

(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/03/22
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





