කිව්ව වගේ ම විනාඩි දහයක් යන්නත් කලිං සුසන්ත ආයෙ මේ පැත්තට පාර පනිනවා මම දැක්කා. හැබැයි ඈත දි ම මට දැනුණා ගියපු වැඩේ හරි නොගිය බව.
සුසුන්ත මගේ ඉස්සරහට ආවෙ මූණ බෙරි කරගෙන. එයා ඈත එද්දි ම මට දැනුණ දේ හරි කියල මම දැනගත්තෙ සුසන්ත මොනවත් කියල නෙවෙයි. එයා මා ගාවට ආ ගමන් ම ''අපි යං... එතන වැඩේ හරියන්නෑ’’ කියල කියපු නිසා. මමත් හරස් ප්‍රශ්න අහන්න ගියේ නෑ. ආයෙත් එයාගෙ පස්සෙන් වැටුණා.
* * *
සුසන්ත
'මේ විදියට වැල්ලවත්තෙනුත් ඒහාට යන්න වෙයිද දන්නෙ නෑ. මටනං ඔය කොයිකත් ඒකයි... ඒ්ත් යසේ...’
මම ඉස්සරහට ඇවිදගෙන ගියාට මම ඉන්නෙ වෙන ලෝකෙක කියල දැනගත්ත නිසාම ද මංදා යසසිරි මට කතා කරා.
''සුසා... ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ...? කල්පනා කරන්න දෙයක් නෑ... අපිට මක්ක හරි රස්සාවක් හම්බවේවි. ඔයැයි ඉතිං මේ පළාතෙ පාරවල් එහෙම දන්නව නෙ... අපි ඩිංගක් ඇවිදල බලමු.’’

යසසිරි කියපු දේට මට යසසිරිට දෙන්න පුළුන් ඒකම උත්තරේ ''ඔවු අපි එහෙම කරල බලමු’’ කියල විතරයි. ඉතිං මම ඒ උත්තරය දුන්නා.
මේ වෙද්දි අපි ඉන්නෙ කොල්ලුපිටියෙ ඉඳල බලද්දි බම්බලපිටිය පේන දුර. මේ අතර තුර තියෙන තවත් කඩවල් පහකට මම ගියා. මේ වෙනකන් ඒ් කිසිම කඩයකින් අපිට සතුටු වෙන්න පුළුවන් විදියෙ උත්තරයක් ලැබුණෙ නෑ. මේ වෙද්දි මට නම් බඩගින්නකුත් දැනෙන්න ගත්තා; ඒ වුනාට මට ඒ් ගැන යසසිරිට කියන්න බෑ; කියන්න තරම් හිතට ෆිට් ඒකක් නෑ. ඒත් මම නිකමට වගේ යසසිරිගෙන් වෙලාව ඇහුවා.
''අටයි විස්සයි සුසා’’
වෙලාව අහපු ගමන් ම යසසිරි ඔරලෝසුව දිහා බලල එහෙම උත්තර දීල තත්තපර පහක්වත් ගෙවුණෙ නෑ ''සුසා අපි මක්ක හරි කාල ඉඳිමු ද...?’’ කියල මගෙන් ඇහුවෙ, මම වෙලාව ඇහුවෙ ඇත්තට ම වෙලාව බලාගන්න තියෙන වුවමනාවට නෙවෙයි කියල එයාට දැනුණ නිසා.
''ම්ම්ම්... ඔවු... ඒක නං හොඳයි... ඇත්තට ම යසේ මමත් හිටියෙ බඩගිනි වෙලා. ඒ්ත් ඔයැයිට කියන්න බැරිකමට නොකර සද්දෙ හිටියෙ.’’
''හහ්... මං දන්නැද්ද... ගොනා හැරෙන්නෙ පොල් පැළේට කියල. ඇත්තට ම මටත් බඩගිනියි; ඒ්ත් ඔයැයි වෙන කල්පනාවක හිටිය හංදා මාත් නොකර සද්ද හිටියෙ... හරි කමක් නෑ. අපි ඊළඟට ඉස්සෙල්ල ම හම්බවෙන කඩේකිං මක්ක හරි කමු. ඊට පස්සෙ ආයි බලමු.’’

අපි වැල්ලවත්ත පැත්තට ඇවිදගෙන ගියේ පාරෙ දකුණු පැත්තෙන්. ඒත් වම් පැත්තෙත් හොටල් තියෙනවද කියල බල බලා තමයි ගියේ. මේ වෙද්දි මම ගිහින් කතා කරපු හොටල් අතරින් තුනක් ම තිබුණෙත් ඒ් පැත්තෙ. ඒ පැත්තට යන හැම වෙලාවක ම මම, යසසිරිව අපි යන පැත්තෙම නතර කරලයි ගියේ. මොකද මං වගේ නෙවෙයි එයාට පාර පනින්න එහෙම අමාරුයි නෙ.
අපි උදේට මොනව හරි කන්න ඔ්න කියල කතා කරගත්තට පස්සෙ එක එක ජාතියෙ කඩ ඒ කියන්නෙ එක එක වර්ගයේ බඩු විකුණන කඩ දහයක් විතර පහු කරගෙන ආවත් හෝටලයක් තිබුණෙ නෑ. කොල්ලුපිටියෙ හංදියත් පහු කරල ටිකක් දුර ආවම හොටලයක් තිබුණා.
''යසේ... අපි එහෙනං මෙතනිං මක්ක හරි කාල යමු නේද...?’’
''හරි යං...’’
යසසිරිත් ඒක පාරට ම ඒහෙම කිව්වම අපි කඩේට ඇතුළු වුණා. ඒ කඩේ තිබුණෙ පාරෙ මට්ටමට වඩා පඩි පේළි තුන තරක් පහළින්. හරියට ම පඩි ගැන්නෙ නැති වුනාට මට දැනුණ පඩි හතරක් විතර ඇති කියල.
* * *
අපි කෑවෙ පානුයි පරිප්පුයි. ඊට පස්සෙ ටී දෙකක් බිව්වා. කාල ඉවර වුනාට පස්සෙ මට චූ කරන්න යන්න ඔ්න වුණා.

''යසේ... මං චූකරල එන්නං. එතකං ඔහොම්ම ඉන්න. එහෙම නැහ්නං ඔහෙත් මාත් එක්ක ම එන්න...’’
''ම්ම්ම්... නෑ සුසා... ඔහේ ගිහින් ඒන්න. මං වේටට සල්ලි දීල මෙහෙම්ම ඉන්නං’’
යසසිරිගෙ අදහස තමයි එයා ඒ කිව්වෙ. මම ඒක එච්චරට ම මායිම් කරේ නෑ. ඒත් මං චූ කරල ඒද්දි මගේ අදහසට වඩා වෙනස් ම දෙයක් සිද්ධ වෙලා තිබුණා.
* * *
සුසන්ත චූ කරන්න ගියාට පස්සෙ මම වේර්ටට සල්ලි දීල, එයා බිලත් ගෙවල ආවට පස්සෙ, එයාට ටිප් ඒකත් දීල ඉවර වෙලා, නැගිටලා කැෂියර් ඒක ගාවට ගියා. ගිහින් සල්ලි දෙන්න කවුරුවත් ඒන්නෙ නැති වෙලාවක් බලල කැෂියර් ඒකේ හිටපු කෙනාට කතා කරා.
එයා: කළු, උස මහත, ඔළුවෙ දෙපැත්තෙ කෙස් නැති, ඉංග්‍රිසි ''V'' අකුරෙ හැඩයට ක්‍රේල් කොණ්ඩෙ තියෙන, පොල්ලෙලි උඩු රැවුලක් තියෙන, බැලු බැල්මට ම නපුරු වගේ පේන කෙනෙක්. එයා ම තමයි කඩේ අයිතිකාරය වෙන්නත් ඇති කියල මට හිතුණා.

''මුදලාලි... මේ කඩේ වැඩට කට්ටිය ගන්නැතෙයි...?’’
ඒ මම ඇහුවෙ ගෙදරින් ආවට පස්සෙ කවදාවත්, කාගෙන්වත් අහපු නැති වචන ටිකක්; ඇහුවට පස්සෙ මට ම හිතුණා එහෙම ඇහුවෙ මම ද කියලා.
''මොනව ද ඔය ළමය ඇහුවෙ...?’’
මට ඒ වචන ටික ඇහුණෙත් නිකං හීනෙන් වගේ. මොකද දන්නව ද...? අච්චර මරුමුස් පෙනුමක් තියෙන ඒ කෙනා මගෙන් ඒහෙම අහපු විදිය නිසා. මම දන්නෙ නෑ මට කොහෙන් ආපු ගැම්මක් ද කියල මම ආයෙත් ඒ් වචන ටික ම එයාගෙන් ඇහුවා.
''මොනවද ඔය ළමයට කරන්ඩ පුළුවං... මීට කලිං හෝටල්වල වැඩ කරල තියෙනව ද...?’’
''මං... මං... විතරක් නෙවෙයි... තව මගේ යාළුවත් ඉන්නවා. අපි දෙන්නට ම තමයි හොයන්නෙ...’’
කොළඹ ගැන මෙලෝ දෙයක් නොදන්න මම කරගත්තෙ මෝඩ වැඩක් ද කියලත් හිතුණා. ඒත් ඔ්න එකක් වෙන්න කියල හිත හයිය කරගත්තා.
''ආ... තව සගයෙකුත් ඉන්නව ද..., කෝ එයා...’’
එහෙම අහද්දි නං ඒ මනුස්යගෙ මූණෙ තිබුණෙ පොඩි සමච්චල් හිනාවක්. ඒත් ආයෙ කතා කරේ කලින් විදියට ම යි.
''එයා මොනව ද දන්න වැඩ. ඔය ළමය දන්න වැඩ මොනව ද...?’’

ඇත්තට ම මට ඒ වෙද්දි හෝටලේක තියෙන හැම වැඩක් ම වගේ පුළුවන්. බැරිව තිබුණෙ රොටි වැඩ විතරයි. ඒත් සුසන්තට නම් එහෙම බෑ. එයා ගාල් ඉද්දි වුනත් පිඟන් හෝදපු ඒක හැර වෙන වැඩක් පුරුදු වුණෙත් නෑ. මම කල්පනා කරනව කියල දැනගත්තට පස්සෙ ඒ මනුස්සා ආයෙත් කතා කරා.
''මං අහපු දේ ඇහුණ ද... මොනව ද ඔය ළමයට පුළුවං...? මොනව ද ඔය යාළුව කියන හාදයට පුළුවං...?’’
ඒ එක්ක ම වගේ සුසන්ත මගේ ළඟට ආවෙ ටිකක් කලබලෙන් වගේ.
''කොයිබෙයි යසේ යන්නෙ...? මං හොඳට ම බය වුණා.’’
''නෑ සුසා... මං මේ මහත්තයත් ඒක්ක ඩිංගක් කතා කරා. මෙහෙ වැඩ තියෙයි ද කියල ඇහුවා.’’
අපි දෙන්නගෙ කතාව යන අතරෙ කැෂිර් ඒකේ ඉන්න කෙනා තවත් කිප දෙනෙක් එක්ක වගේ ම වේටර්ලා එක්කත් ගනුදෙනු කරා. ඒ අතරෙ අපි දෙන්න දිහා කිහිප විටක් ම බලනවත් මම දැක්කා. ඒක පාරට ම ''ආ... මෙයාද කියපු යාළුව... මොනව ද ඔය ළමයට කරන්ඩ පුළුවන්...?’’ කියල ඇහුවෙ සුසන්තගෙන් ඇහුවෙ ඒ මනුස්සයගෙ ඇස් දෙක සුසන්තගෙ හිසේ ඉඳල පහළට ගමන් කරවන ගමන් ම යි.

''ම... ම... මටනං ඉතිං දැනට පුළුවං පිඟන් හෝදන්න විතරයි... හැබැයි... හැබැයි මහත්තයො මෙයැයිට නං ඔ්න දෙයක් ඇහැකි.’’
සුසන්ත එහෙම කිව්වට පස්සෙ ඒ මනුස්සයා ටිකක් අමුතු විදියට අපි දෙන්න ම දිහා බැලුවා; ඒ බලන අතරෙ ම ''ඔය ළමයි දෙන්න ම දකුණෙ ද...?’’ කියල ඇහුවා. ඒකට මම උත්තර දෙන්න ඉස්සර වෙලා සුසන්ත උත්තර දුන්නා.
''ඔවු මහත්තයො... මං කඹුරුපිටියෙ; මෙයැයි මොරවක...’’

''ආ... ඒහෙම ද... හරි... මේ... මෙහේ වැඩ කටයුතු බලන්නෙ මැනේජර් මහත්තයා... එයැයි ඉන්නෙ අන්න අර පේන කාමරේ. ඔය ළමයි දෙන්න ගිහින් කියන්ඩ මම එව්වෙ කියල. එයා බලල කියාවි වැඩ තියෙනව ද නැද්ද කියල.’’
එහෙම කියන ගමන් ම ඒ මනුස්සයා එයාගෙ දකුණු අතින් එයාට ඉස්සරහින්... ඒ කියන්නෙ කඩේට ඇතුළු වෙද්දි ම වම් පැත්තෙ තියෙන කාමරයක් පෙන්නුවා. මායි සුසන්තයි දෙන්නම එකපාරට ම ඒ මනුස්සයත් එක්ක හිනාවෙලා එයා පෙන්නපු කාමරේ පැත්තට ගියා.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/03/29
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





