''ආ... එහෙම ද... හරි... මේ... මෙහේ වැඩ කටයුතු බලන්නෙ මැනේජර් මහත්තයා... එයැයි ඉන්නෙ අන්න අර පේන කාමරේ. ඔය ළමයි දෙන්න ගිහින් කියන්ඩ මම එව්වෙ කියල. එයා බලල කියාවි වැඩ තියෙනව ද නැද්ද කියල.’’
එහෙම කියන ගමන් ම ඒ මනුස්සයා එයාගෙ දකුණු අතින් එයාට ඉස්සරහින්... ඒ කියන්නෙ කඩේට ඇතුළු වෙද්දි ම වම් පැත්තෙ තියෙන කාමරයක් පෙන්නුවා. මායි සුසන්තයි දෙන්න ම එකපාරට ම ඒ මනුස්සයත් එක්ක හිනාවෙලා එයා පෙන්නපු කාමරේ පැත්තට ගියා.
එතනදි නම් මම සුසන්තට වඩා කලින් ම දොර ගාවට ගියා. කාමරේ දොර තිබුණෙ පළු දෙකට; දොර පළු දෙකේ ම යට කොටස ලී, උඩ කොටස වීදුරු. වීදුරුවෙන් කාමරේ ඇතුළ හොඳට පේනවා. මැනේජර් කියල හිතන්න පුළුවන් කෙනා ඔළුව පහත් කරගෙන ලොකු සී ආර් පොතක මොනද ලියවා. මම එක වතාවක් සුසන්තගෙ මූණ බලල දොරට හෙමිහිට තට්ටු කරා. කිසිම සද්දයක් නෑ. මම තව වතාවක් ටිකක් සද්දෙන් තට්ටු කරා. ඒ එක්ක ම ‘‘දොර ඇරල තියෙන්නෙ එන්න...’’ කියන සද්දෙ යාන්තමට වගේ කාමරයෙන් එළියට ආවා. ඊට පස්සෙ මම බයකින් සැකයකින් තොරව ම දොර පළුවක් තල්ලු කරන අතර ම ඔළුව වනල සුසන්තටත් කතා කරා.

සුසන්තත් කිසිම කතා බහකින් තොරව මගේ පස්සෙන් ම ආවා. සුසන්ත ඇතුළු වෙනවත් එක්ක ම දොර ආපහු වැහුණා. එතකොටයි මට දැනුණෙ ඒකත් ඉබේ ම ඇරෙන වැහෙන දොරක් කියල. ගාල්ලෙ ඉද්දි තමයි මම ඉස්සෙල්ලා ම එහෙම දොරක් දැක්කෙ; එකක් නෙවෙයි කිහිපයක් ම. ඒ දොරවල් තිබුණෙ ක්වින්ස් හෝල් එකේ. ඒ හෝල් එකේ ඉස්සරහම දොර නම් ටිකට් දෙන වෙලාවෙ ඉඳල ම ඇරල තිබුණා. ගැලරිය, සකන්ඩ් ක්ලාස් වගේ ම ෆස්ට් ක්ලාස් එකට ඇතුළු වෙන තැන්වල තිබුණ දොරවලුත් එහෙමයි. ඒ හැම තැනකම ටිකට් චෙක් කරන්න කෙනෙක් හිටියා. දෙවෙනි බෙල් එක ගැහුවට පස්සෙ දොර වහනවා. ඊට පස්සෙ එන කෙනෙක් එන්න ඕනෙ ඒ දොර ඇරගෙන. මට එහෙම වුණ පළවෙනි දවසෙ තමයි මම දැනගත්තෙ ඒ දොරවල් ඇරියට පස්සෙ ඉබේ ම වැහෙන දොරවල් කියල.
අපි දෙන්න ම මැනේජර් මහත්තයගෙ මේසය ගාවට ගියත් එයා නෙවෙයි ඔළුව උස්සල බැලුවෙ. තත්පර කිපයක් අපි දෙන්න ම හිටගෙන හිටියා. ඒ අතර තුර සුසන්තත් මමත් එකිනෙකාගෙ මූණු බැලුවෙ දැන් මොනවද කරන්නෙ කියල තීරණය කරගන්න බැරුවයි. ඒ නිසා මම තීරණයක් ගත්තා.
‘‘මැනේජර් මහත්තයො... මේ අපිට මහත්තය හම්බ වෙන්න කිව්වෙ අර කැෂියර් එකේ ඉන්න මහත්තය.’’

මම එහෙම කියල ඉවර වෙනවත් එක්ක ම මෙච්චර වෙලා පහත් කරගෙන හිටපු ඔළුව ඉස්සුණේ හරියට වතුර බේසමක අඩියට තියල තද කරගෙන හිටපු රබර් බෝලයක් අතඇරියම එක පාරට ම උඩ එනව වගේ.
මැනේජර් කිව්වට මිනිහට එච්චර වයසක් පෙනුණෙ නෑ. ඕනෙ නම් අවුරුදු හතළිහක් විතර ඇති. තෙල් ගාපු කොණ්ඩෙ හරියට ම එක පැත්තකට වැඩිවෙන්න බෙදල පැත්තට පිරලා. මූණ හොඳට පිරිලා. කැෂියර් එකේ හිටපු කෙනාට තිබුණෙ පොල්ලෙලි උඩු රැවුලක් වුණාට මෙයාට තිබුණෙ නහයත් උඩු තොලත් අතර ගිනිකුරකින් ඇඳපු තරමෙ හීනි රැවුලක්. මූණ සිරියාවන්ත වුනාට හිනාව බිංදුවක්වත් ගැවිලා තිබුණෙ නෑ. ඒ මූණෙ හැඩය බිංදුවක්වත් වෙනස් නොකර තත්පර දෙක තුනක් අපි දිහා බලාගෙන හිටපු මැනේජර් ‘‘කැෂියර් එකේ ඉන්න මහත්තය...! ආ... එහෙම ද...? ඇයි දන්නෑ...?’’
මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න හදනකොට ම සුසුන්ත කතා කරා.
‘‘මේ... කඩේ වැඩ මොනව හරි තියේද කියල...’’
සුසන්තට ඒ වචන ටික කියල ඉවර කරන්න ලැබුණෙ නෑ.
‘‘තමුසෙල ඒ කැෂියර් එකේ ඉන්න මහත්තය අඳුරනව ද...?’’ කියල ඇහුවෙ එයාගෙ ම සිරියාවන්ත මුහුණටත් අපහාස වෙන විදියට.
‘‘න්නෑ... මේ අපි ඒ මහත්තයගෙන් ඇහුවම මැනේජර් මහත්තයගෙන් අහල බලන්නෙයි කිව්ව.’’
මැනේජර්ගෙ ප්‍රශ්නෙට උත්තර බැන්දෙ සුසන්ත.
‘‘ආ...’’ කියන අතර තුර ඔළුව දෙපැත්තට වනපු මැනේජර් ‘‘දැං තමුසෙල දෙන්නට ම ද වැඩ හොයන්නෙ එහෙම නැත්නම්...?’’
මැනේජර්ට කියන්න ලැබුණෙ එච්චරයි; සුසන්ත එක පාරට ම... ‘‘දෙන්නට ම තියෙයිනං හොඳයි මැනේජර් මහත්තයො... එහෙම නැහ්නං මෙයැයිට විතරක් හරි කමක් නෑ.’’ කිව්වෙ සුසන්තට රස්සාවක් නැතත් කමක් නෑ කියන අදහසින්.

ඒ එක්කම මැනේජර් එයා ලිය ලිය හිටපු පෑනත් පොත උඩට අතඇරලා, පුටුවෙ හරි බරි ගැහිල වාඩි වෙලා, පුටු ඇඳි දෙකෙන් අත් දෙක තියලා, ටිකක් ගාම්භීර විදියට අපි දෙන්න දිහා බලන ගමන් ම ‘‘තමුසෙලාට මොනවද කරන්ඩ පුළුවන්...’’ කියල අහල ඉවර වෙද්දි ම සුසුන්ත ආයෙ උත්තර දුන්නා.
‘‘මෙයැයිට නං මහත්තයො ඕන වැඩක් ඇහැකි...’’
සුසන්ත එහෙම කිව්වට පස්සෙ මැනේජර් කඳ ඒ විදියට ම පුටුවෙ තියෙද්දි ඔළුව හරවලා මගේ දිහා මහා බර සාර විදියට බලන අතර ම ‘‘ආ... මොනවද තමුසෙට කරන්ඩ පුළුවං...,’’ කියල මගෙන් අහද්දි ඒකටත් සුසන්ත උත්තර දෙන්න හැදුවා. එතකොට ම මැනේජර් ‘‘තමුසෙ කට වහගෙන ඉන්නවකො... මං ඇහුවෙ මේ මිනිහගෙන් නෙ...,’’ කියල කිව්වෙ හරියට පොලිස්කාරයෙක් වගේ.
මට මේ වෙද්දි රස්සාව කොහොම වෙතත් මේ මැනේජර්ගෙ කතාව ම එපා වෙලා. ඒත් ඒ බව පෙන්වන්නෙ නැතුව මම ‘‘වේටර් වැඩ, කෑම පැන්ට්‍රියෙ වැඩ, තේ පැන්ට්‍රියෙ වැඩ, කුස්සියෙ වැඩ ඒ හැම එකක් ම ඇහැකි,’’ කියල කිව්වෙ රස්සා ඇතත් නැතත් කමක් නෑ කියන අදහසින්.

‘‘ආ... එහෙනං තමුසෙ ඕන වැඩකට ඔට්ටුයි ආ... තමුසෙට මොනව ද පුළුවං...?’’
මැනේජර් සුසන්ත දිහා බලල ඇහුවා.
‘‘මට... මට නං ඉතිං... මේ වේටර් වැඩයි පිඟං හෝදන්නයි තමයි...’’
සුසන්ත තවත් මොනව හරි කියන්න හැදුව ද මම හරියට ම දන්නෙ නෑ. මොකද මම දන්න තරමට එයා වේටර් වැඩේ වුනත් එහෙමකට කියල කරල නැහැ. එයා මොනව හරි කියන්න හැදුවත් නැතත් මැනේජර් ආයත් කතා කරන්න පටන් ගත්තා.
‘‘තමුසෙ කියන වේකන්සි දෙක ම මෙහේ නෑ. හැබැයි කෑම පැන්ට්‍රියෙ වේකන්සි එකක් නං තියෙනව. ඒ නිසා තමුසෙට කැමති නං වැඩ කරන්න පුළුවං,’’ කිව්වෙ මගේ දිහා බලාගෙන.
හැබැයි මට විතරක් රස්සාවක් ලැබෙනවට මම කැමති නෑ. මට වුමනා කරල තිබුණෙ අපි දෙන්නට ම රස්සාවක් හොයාගන්න. ඒ නිසා මම ‘‘බැරිද මැනේජර් මහ...,’’ කියල කියද්දි ම සුසන්ත අතරමැදින් පැනලා ‘‘කමක් නෑ මැනේජර් මහත්තයො. එහෙනං මෙයැයිට...’’ කියල කියද්දි ම මම ‘‘සුසන්ත... ඔයැයිට පිස්සුයැ... කමක් නෑ මැනේජර් මහත්තයො... අපි වෙන තැනක් බලන්නං...,’’ කියල මම හැරෙද්දි ම සුසන්ත මගේ අතින් අල්ලා ගත්තා.

‘‘මේ මේ... තමුසෙල මෙතන වාද කරන්නෙපා... දෙන්න ම එළියට ගිහිං කතා කරගෙන එනවකො. මට මෙතන තව වැඩ තියෙනවා. හම්ම්ම්... ඉක්මනට...,’’ කියපු මැනේජර් ආයෙත් පෑන අතට අරගෙන පොත කුරුටු ගාන්න පටන් ගත්තා; මම සුසන්තගෙ මූණ දිහා වගේ ම සුසන්ත මගේ මූණ දිහා බැලුවෙ කරන්නෙ මොනව ද කියල තීරණය කරගන්න බැරුව. ඒ මොහොතෙ ම මම එළියට එන්න හැරුණා; සුසන්ත කිසිම දෙයක් කතා නොකර මගේ පස්සෙන් ආවා.
අපි දෙන්න ම කිසිම කතාවක් නැතුව හෝටලයෙන් එළියට ආවා. පාරට බැහැපු ගමන් මම පාර දෙපැත්ත බැලුවා. ඒ බලද්දි හෝටලය තියෙන පැත්තෙම, අපි ඇවිදගෙන යන්න ගියපු පැත්තෙ බස් හෝල්ට් එකක් තිබුණා. මම සුසන්ත එක්ක කතා නොකර ම බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ගියා; සුසන්තත් මගේ පස්සෙන් ආවෙ වචනයක්වත් කතා නොකර.
හෝල්ට් එක ඇතුළට ඇවිල්ලත් අපි කතා නොකර එකි නෙකාගේ මුහුණු බලන්න පටන් ගත්තා; විනාඩියක් ගත වෙන්නත කලින් සුසන්ත කතා කළා.
‘‘යසේ... මං කියන එක අහනවකො... අපි දෙන්නට ම එක තැනක් හොයන්න බැරි වෙයි. ඒ හිංද ඔයැයි මෙහේ වැඩට ඉන්න. මං මක්ක හරි හොයාගන්නං...’’
එළඹිලා තියෙන්නෙ හරිම සංකීර්ණ මොහොතක්. මම ගන්න ඕන තීරණය මොකක් ද කියල මට ම තීරණය කරන්න බැහැ. ඒ නිසා මම ඇස් පිල්ලං නොගහ ම සුසන්ත දිහා බලාගෙන හිටියා. සුසන්ත ආයත් කතා කරා.

‘‘අද බැරි උනත් මට හෙට හරි මොකක් හරි හොයාගන්න ඇහැකි. මේ චාන්ස් එක අතාරින්න එපා. ඔයැයි මෙහේ වැඩක් කරන්න. මං කොහොම හරි වැඩක් හොයාගන්නං.’’
ඒ වචන මගේ හදවට ඇතුළු කරේ ලොකු බරක්. ‘මම කොහොම ද එහෙම කරන්නෙ...? සුසන්ත කර කර හිටපු රස්සාව හැව්ලොක් එකේ පිඟන් හෝදන එක තමයි. නමුත් එයා ඒ රස්සාව අතහැරල ආවෙ මං නිසා. ඉතිං මම කොහොම ද එයාට රස්සාවක් නැතුව මම විතරක් රස්සාවක් කරන්නෙ...?’
‘‘කමක් නෑ සුසා අපි දෙන්න ම යං... ගිහිං දෙන්නට ම වැඩ කරන්න පුළුහං තැනක් බලමු.’’
අවසානයෙ මම එහෙම කිව්වෙ අවංක ම හැඟීමකින්. මට බෑ සුසන්තව තනි කරල මට විතරක් රස්සාවක් කරන්න නතර වෙන්න. ඒත් සුසන්තගෙ තීරණය ඊට වඩා වෙනස්.

‘‘යකෝ... මෝඩයෙක් වෙන්නෙපා... මං කොළඹ දන්න එකා. ඔහේ එහෙමෙයි... මේකෙ අගක් මුලක් දන්නෑ... ඒ හිංද මං කියනවට අහල ඔහේ මෙහේ රස්සාව කරන්න. මං මට රස්සාවක් හොයාගන්නං. අපිට නිවාඩු වෙලාවක හම්බෙන්න ඇහැකි නෙ... මං කියන දේ අහවනකො...,’’ කියන අතරතුර සුසන්ත එයාගෙ දකුණු අත මගේ වම් උරහිසට තියල පොඩ්ඩක් තද කරා. ඒකෙන් කියවුණේ මට මේ රස්සාව බාරගන්න කියන එක කියල මට තේරුණා.
‘මම දැන් ඉක්මනට ම තීරණයක් ගන්න ඕනෙ. ඇත්තට ම මොකක්ද කරන්නෙ...? සුසා කියපු එක ඇත්ත. එයැයි කොළඹ දන්නවා. මම අගක් මුලක් කිසිම දෙයක් දන්නෙ නැති එකා. අර කියනව වගේ අපි දෙන්නට එක තැනක රස්සාවක් හොයාගන්න බැරි උනොත්...? කොච්චර කාලයක් කියල මෙහෙම ඉන්නෙයි...’’
‘‘හරි හරි... දැං කල්පනා කරා ඇති... ඔහේ යන්න... ගිහිං කියන්න ඔහේ රස්සාවට කැමතියි කියල. ඔහේ ඒක කතා කරගෙන එන්න. මං මෙතන ම ඉන්නං... ඊට පස්සෙ මං මොකක් හරි හොයාගන්නං...’’

මේ අප දෙදෙනාගේ ම ඉරණම විසඳන තීරනාත්මක මොහොතක්. මේ නිමේෂයේ ගන්නා තීරණය අනාගතයේ අප දෙදෙනාගේ ම ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඇතැම් විට සුසන්ත කොළඹින් රැකියාවක් සොයාගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් වෙනස් තීරණයක් ගන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් අපි දෙන්න ම ජීවත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් රස්සාවක් කළ යුතු ම යි.
‘‘හරි මං කියන්නෙයි...’’
මම අවසන් වතාවට සුසුන්තගෙන් ඇහුවා.
‘‘ඔවු කියන්න... මක්කයි ඔහේ කියන්නෙ...?’’
සතියකින් හමු වෙමු
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක





