leader s

මේ අප දෙදෙනාගේ ම ඉරණම විසඳන තීරණාත්මක මොහොතක්. මේ නිමේෂයේ ගන්නා තීරණය අනාගතයේ අප දෙදෙනාගේ ම ජීවිත වෙනස් කරන්න පුළුවන්.

ඇතැම් විට සුසන්ත කොළඹින් රැකියාවක් සොයාගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් වෙනස් තීරණයක් ගන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් අපි දෙන්න ම ජීවත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් රස්සාවක් කළ යුතු ම යි.

‘‘හරි මං කියන්නෙයි...’’

මම අවසන් වතාවට සුසුන්තගෙන් ඇහුවා.

‘‘ඔවු කියන්න... මක්කයි ඔහේ කියන්නෙ...?’’

‘‘මං මේ හොටලෙ වැඩට නවතින්නං... හැබැයි ඔයැයිත් විජහට මක්ක හරි හොයාගන්නෝන...’’

මුහුණ හිනාවකින් පුරවගත්තු සුසන්ත මගේ දිහා තත්පර පහක් විත බලාගෙන ඉඳල ‘‘ඔය ඇත්තමෙයි...?’’ කියල අහද්දි එයාගෙ ඇස් දෙකත් ලොකු වෙලා තිබුණ; ඒ කියන්නෙ ඒ ඇස් දෙක සතුටින් දිලිසුණා. ඒ වුනාට මට හිනාවෙන්න බෑ. මට තිබුණෙ දරාගන්න බැරි තරමෙ දුකක්; වේදනාවක්. ‘දෙයියනේ... මේ මං වෙනුවෙන් කර කර හිටපු රස්සාවත් දාල ආපු එකානේද...?’ කියල මට හිතුණ. ඒත් දැන් මේ ඒ දුක පෙන්නන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියල හිතුණ මම ‘‘ඔවු... ඇයි ඔයැයිට විස්වාස නැතෙයි...?’’

මට තව වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණෙ නෑ. සුසන්ත එකපාරට ම මාව බදාගත්ත; බදාගෙන ‘‘මගෙ හොඳ කොල්ල... අන්න එහෙම කියන දේ ඇහුවනං මීට කලිං ම රස්සාවක් හම්බෙලානෙ,’’ කියල කිව්වෙ මම එයාගෙන් හරි එයා මගෙන් හරි වෙන් වෙනව නේද කියන එක මොහොතකටවත් හිතන්නෙ නැතුව. මට ඒ වෙලාවෙ නම් සුසන්ත එක්ක තරහකුත් ආවා. ඒ එක්ක ම ආයෙත් හිතුණ එයා එහෙම කරන්නෙ මගේ ම හොඳට නේද කියල.

එක පාරටම මාව බදාගෙන හිටපු අත් දෙක ඉවත් කරපු සුසන්ත ඒ අත් දෙකෙන් මගේ උරිස් දෙක අල්ලා ගත්තා; අල්ලගෙන, කෙළින් ම මගේ ඇස් දෙක දිහා බලාගෙන ‘‘දැං ඔයැයි මං ගැන හිතන්න ඕන් නෑ. ඔයැයි වැඩ කරන්න. මං අද නාවයි කියල මක්කවත් හිතන්නෙපා. ඇහැක් උනොත් රෑ වෙලා එන්නං... දැං ඔයැයි යන්න නැහ්නං මේකත් නැතිවෙයි.’’

සුසන්තගෙ ඒ වචනවල තිබුණෙ යාළුවෙක් තවත් යාළුවෙකුට කතා කරනවට වඩා වැඩිමහල් සහෝදරයෙක් එයාගෙ මල්ලිට කතා කරනව වගේ බරසාර ගතියක්. මම පොඩ්ඩක් වෙලා බිම බලාගෙන ඉඳල ආයෙ සුසන්තගෙ මූණ දිහා බලද්දි මගේ ඇස් දෙකේ කඳුළු පිරිල; ඒ කඳුළු බිංදු ඇස් දෙකෙන් එළියට එන්න ඔන්න මෙන්න.

 



‘‘ඔය ඔය ඉතිං... ඔයැයි පොඩි ළමයෙක් වෙන්න හදනෝනෙ... ඔය මගේ ඇඳුං ටික දීල ඔයැයි ඉක්මනට යන්න. නැහ්නං අර මැනේජර්කාරය හිතයි අපි දෙන්න ම ආයි ගියා කියල,’’ කියපු සුසන්ත මගෙන් බෑග් එක ගත්තෙ හරියට උදුරගන්නව වගේ.

බෑග් එක අතට ගත්තු සුසන්ත හෝල්ට් එකේ තිබුණ බංකුවකින් වාඩිවෙලා ඇඳුම් ටික එළියට අරගෙන එයාගෙ ඇඳුම් ටික වෙන් කරගත්තා. ඊට පස්සෙ ඇඳුම් ටික ගුළි කරල වගේ බෑග් එකේ තිබුණ ටියුලිප් බෑග් එකට දාගත්තා.

සුසන්ත මේ හැම දෙයක් ම කරේ කිසිම හැඟීමක් දැනීමක් නැති මිනිහෙක් වගේ. මටත් එයා කරන දේවල් දිහා බලාගෙන ඉන්නව හැර වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. ඒ එක්ක ම මට මතක් වුණා සුසුන්ත අතේ සල්ලි නැහැ නේද කියල. මම ඉක්මනින් ම සුසන්ත අතේ තිබුණ බෑග් එක අරගෙන පොඩි බ්‍රවුන් පේපර් බෑග් එකක දාල, කලිසමක සාක්කුවෙ දාල තිබුණ සල්ලි ටික අතට අරගත්තා. සුසන්ත ඒ දිහා නිකමට වත් බැලුවෙ නෑ. එයා හිතුවද දන්නෙ නෑ එයා සල්ලි ගනියි කියල හිතල මම සල්ලි ටික ගත්ත කියල, ඒ නිසා මම ඉස්සර වුණා.

‘‘සුසා... ඔයයි අතේ සල්ලි නැහැ නෙ... ඩිංගක් ඉන්න,’’ කියපු මම සල්ලි කීයක් තියෙනවද කියල ගැනල බැලුව. එතන රුපියල් හැට පහක් තිබුණා. මම ඇඳගෙන හිටපු කලිසම් සාක්කුවෙත් පොඩි සල්ලි වගයක් තිබුණ බව මට ඒ එක්ක  මතක් වුණා. ඒ නිසා මම සුසන්ත අතේ දහයෙ කොළ තුනකුයි පහේ කොළයකුයි තිබ්බා.

‘‘ඔයැයිට පිස්සුයැ... මට මෙච්චර ඕන්නෑ,’’ කියපු සුසන්ත දහයෙ කොළයක් ආයෙත් මට දික් කරා.

‘‘නෑ නෑ සුසා... ඔයැයි මේක ගන්න. මට දැන් රස්සාව තියෙනෝනෙ... ඔයැයි රස්සාවක් හොයාගන්නකං කන්න බොන්නත් එපැයි. ඒ හිංද ඕක තියාගන්න. මගේ අතෙත් තව තිහකට වඩා තියෙනව. මට දැං සල්ලි ඕන වෙන්නෑ නෙ... ඔයැයි ඕක තියාගන්න.’’

සුසන්ත මගේ වචනවලට කීකරු වුණා.

‘‘යං... අපි රස්සාවල් හෙව්වට හොටලෙ නමවත් බැලුවෙ නැහැ නෙ...,’’ කියන ගමන් ම සුසන්ත එයාගෙ ඇඳුම් දාපු බෑග් එක කිහිල්ල අස්සෙ ගහගෙන ආයෙත් හෝටලේ පැත්තට ගියා; කලින් වගේ ම මම ආයෙත් එයාගෙ පස්සෙන් වැටුණා.

කඩේ කිට්ටුවට ම ආපු සුසන්ත ඔළුව උස්සලා කඩේ බෝඩ් එක දිහා බලද්දි මම දන්නෙ ම නැතුව මගේ ඔළුවත් ඉස්සුණා.

‘සාගරසිරි හෝටලය’ මගේ හිත යටින් මට කියවුණා.

‘‘හරි... ඔයැයි කඩේට යන්න... ඇහැක් වුනොත් මං ඩිංගක් රෑ වෙලා එන්නං. හැබැයි එනකං බලං ඉන්නෙපා හරිය...’’

 කිසිම හැඟීමක් නොදැනෙන මිනිහෙක් වගේ එහෙම කියපු සුසන්ත මට යන්න නොකියා මගේ උරිසට අත තියල මාව හොටලේ දිහාට හෙමිහිට තල්ලු කළා; වචනයක්වත් කතා නොකරපු මම පඩි පේළි හතර බැහැලා ආයෙත් හෝටලයට ඇතුළු වුණා.

සුසන්ත

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියල දෙයක් ඉස්කෝලෙදි කියල දුන්න මතකයි. ඒකෙ තේරුම ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි කියලත් කියල දුන්න මතකයි. ඒත් ඒක හරියට ම, හරියට ම කියන්නෙ ඇත්තට ම දැනුණෙ දැන්. ඒක මොනතරම් වේදනාවක් වුනත් දරාගන්න ම වෙනවා. කමක් නෑ... මේ දරාගැනීම තාවකාලිකයි නෙ. අද ම හරි, හෙට, එහෙමත් නැත්නම් අනිද්ද මට ආයෙත් යසේව මුණ ගැහෙන්න පුළුවන්නෙ.

මට වගේ ම යසේටත් දුකයි. ඒක මට හොඳට ම දැනුණා. හැබැයි මම ඒ වෙලාවෙ මගේ දුක පෙන්නන්න ගියා නං යසේ ඔය රසසාවට යන්නෑ. ඒක මට ඉංතේරුවෙම්ම කියතැකි. ඒ හිංද තමයි මං යසේගෙ දුක මායිං නොකර හිටියෙ. කොයික වෙතත් එයැයිත් දැං මේ ගෙන්දගං පොළොවට හුරු වෙන්න එපායැ. මොකෝ මටයි කියල හැමදාමත් එයැයිගෙ පස්සෙං හරි එයැයිට මගේ පස්සෙං හරි ඉන්න ඇහැකිය.

හොටලෙට ඇතුළු වුණ මම කෙළිං ම ගියේ මැන්ජර් මහත්තයගෙ කාමරේ ඉස්සරහට. ගිහින් ඉස්සරවෙලා වගේ ම දොරට තට්ටු කරා. දෙවෙනි පාරත් තට්ටු කරාට පස්සෙ ‘‘දොර ඇරල තියෙන්නේ...’’ කියන වචන ටික කාමරේ ඇතුළෙන් එළියට ආවෙ හරියට ඈතින් ඇහෙන කටහඩක් වගේ.

කලිං වතාවෙ වගේ ම මම ඇතුළට ආවද කියල ඔළුව උස්සලා නොබලපු මැනේජර් ‘‘ඔවු... මොකද්ද උවමනාව...?’’ කියල ඇහුවෙත් ඔළුව පොඩ්ක්වත් උස්සන්නෙ නැතුව.

‘‘මැනෙජර් මහත්තයො... මම මේ ඉස්සෙල්ල වැඩක් බලන්න ආවෙ...’’

ඒත් මැනේජර් නෙවෙයි උළුව ඉස්සුවෙ.

‘‘මොන වැඩක් ද...?’’

මැනේජ් ඇහුවෙ දැන් පැය බාගයකට කලින් මේ කාමරයට ආපු දෙන්න ගැන, ඒ දෙන්නත් එක්ක කතා බහ කරපු දේවල් ගැන කිසිම දෙයක් නොදන්න ගානට.

‘‘මැනේජර් මහත්තයො... දැං ඩිංගකට කලිං අර දෙන්නෙක්...’’

මට කියන්න හම්බ වුණේ එච්චරයි.

 

5d0dde890f2e40429dc2b01a30ed8fe4

‘‘ආ... අර රයිගමයිය ගම්පලයයි දෙන්න...’’ කියල කියන ගමන් ම මැනේජර් ඔළුව ඉස්සුවා.

‘‘ආ... කෝ අනිත් හාදය ගියාද...?’’

මැනේජර් ඇහුවෙ හරිම සැහැල්ලුවෙන්. ඒ වගේ ම එයා ලොකු තරගයකින් දිනුව වගේ හැඟීමකුත් ඒ වචනවල තිබුණා. ඇත්තට ම මට නම් මේ මිනිහත් එක්ක කේන්තියි. ඒත් ඒ බවක් පෙන්වන්න හොඳ නෑ.

‘‘ඔ... ඔවු... ඔවු මහත්තයො... එයැයි ගියා. එයැයි මක්ක හරි හොයාගන්නං කිව්ව.’’

මම එහෙම කිව්වට පස්සෙ කලින් වතාවෙ වගේ ම මිනිහ පෑන පොත උඩට අතඇරල මගේ දිහා හොඳට බැලුවා.

‘‘අන්න හරි... එහෙම තමයි හැදෙන මිනිස්සු... තමුසෙල දෙන්නට ම එක තැනක වැඩ කරන්න හෙව්වනං ඕයි මේ සම්මෙට තමුසෙලට ජොබ්බෙකක් හොයන්ඩ බැරි වෙනව... හරි... දැං කියමුකො බලන්න තමුසෙට මොනවද කරන්ඩ පුළුවං කියල.’’

‘ඇත්තට ම මේ යකාට යාළුවො එහෙම නැද්ද දන්නෑ...’

මම හිතපු දේ මොකක්ද කියල මට ම තේරෙන්නත් කලිං මැනේජර් ආයෙත් කතා කරා.

‘‘මොනව ද අයිෂෙ කල්පනා කරන්නෙ...? මට මෙතන තව වැඩ තියෙනවා... තමුසෙට මොනවද කරන්ඩ පුළුවං...?’’

d7537c0ad4463487ca34e8601d170646

‘‘මං... මං... කලිනුත් කිව්වෙ මහත්තයො... මට... වේටර් වැඩ... තේ පැන්ට්‍රියෙ වැඩ... කෑම පැන්ට්‍රියෙ වැඩ...’’

මං ඉතුරු ටික කියන්නත් කලිං මැනේජර් ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

‘‘ආ... හරි හරි හරි... තමුසෙ අර ඕල් රවුන්ඩර් නේද...?’’

මැනේජර් ඒ වචන ටික කිව්වෙ මීට අවුරුද්දකට විතර කලිං මම, මං ගැන මිනිහට කියල තිබුණ වගේ.

‘‘මෙහෙමයි... දැනට වේටර් වර්කන්සියක් තියෙනවා. කෑම පැන්ට්‍රියෙ වර්කන්සියකුත් තියෙනවා. දැං ඔය පැන්ට්‍රියෙ වැඩ කරන්නෙ ටෙම්පරි එකෙක්. මිනිහ ඕෆ් උනාම ඔය කවුරු හරි වේටර් කෙනෙක් දානවා. තමුසෙ මොනව කරන්ඩ ද කැමති...?’’

 

e5c9eabdf90f01016b74b3218015ac52

‘‘ම... මට කෑම පැන්ට්‍රිය හොඳයි මහත්තයො...’’

මම එහෙම කිව්වම මිනිහ ටික්ක ඉස්සරහට නැමිල, තව ටිකක් ඔළුව උඩට උස්සල ‘‘ඇයි...? වේටර් වැඩේට කැමති නෑ... පඩියට අමතරව කීයක් හරි හොයාගන්ඩ පුළුවං නෙ අයිෂෙ...?’’

‘‘ඒකනං එහෙම තමයි මහත්තයො... ඒ උනාට මං කැමතියි කෑම පැන්ට්‍රියට...’’

‘‘හම්ම්ම්... ඒකත් එහෙමයි නෙහ්...’’ කියපු මැනේජර් පෑන පොත උඩ තියෙද්දි ම පොත වහල එයාගෙ වමතින් දකුණු අත පැත්තට පොත පොඩ්ඩක් තල්ලු කරන ගමන් ‘‘වාඩි වෙනව කො... කියල මේසෙ එයාගෙ පැත්තට ඉස්සරහ පැත්තෙන් තිබුණ පුටු දෙක දිහාට දකුණු අත දික් කරා.

වාඩි වෙන්න කිව්වට පස්සෙත් ආයෙ වාඩි නොවුනොත් ඒක මගේ ආත්ම ගරුත්වයට හොඳ නැති නිසා මම ‘‘තැන්කිව් මහත්තයො’’ කියාගෙන ම පුටුව පොඩ්ඩක් පස්සට ඇදල වාඩි වුණා.

සතියකින් හමු වෙමු...



(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/04/12


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්