leader s

''ඇයි තමුසෙට නමක් ගමක් නැද්ද, දෙමව්පියො නැදෑයෙ නැද්ද..., එහෙම නං ඉතිං අර තමුසෙගෙ යාළුවගෙ කාගෙ හරි එඩ්‍රස් එකක්වත් දෙනව. මොකද තමුසෙට මොනව හරි වුනොත් අපිට දන්වන්න කෙනෙක් ඉන්ඩෙපායැ...’’


'දැං මොකද කරන්නේ... හරි... ඒක තමයි හොඳ ම දේ...’

''නෑ මහත්තයො... මං ගෙදරිං ආවෙ ගෙදරත් එක්ක තරහ වෙලා නෙ... ඒ හිංද යාළුවගෙ ගෙදර ඇඩ්‍රස් එක දෙන්නං...’’

මනුස්සයා මොනවත් ම නොකියා ටික වෙලාවක් මගේ මූණ දිහා බලාගෙන හිටියා.

''තමුසෙ ගැන ඒ මිනිස්සු දන්නව ද...? තමුසෙ ඒ මිනිස්සුන්ගෙ ගෙදර ගිහින් තියෙනව ද..?’’

ඇත්ත ම කියනව නම් මම තවමත් සුසන්තගෙ පවුලෙ කවුරුවත් ම දැකලවත් නෑ; ඒ ගෙදරට ගිහිල්ලත් නැහැ. හැබැයි සුසන්ත ගෙදරට ලියුම් යවද්දි මම ගැන සඳහන් කරල යවනවා; ඒ වගේ ම ගෙදරින් කවුරු ලියුමක් එව්වත් මා ගැනත් සඳහන් කරල එවනවා. ඒ නිසා ඒ ගෙදර එඩ්‍රස් එක දුන්නට මොනවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල මට විශ්වාසයි. ඉතිං මම මැනේජර්ට බොරුවක් කිව්වා.

manager 250405
''ඔවු මහත්තයො... මං අලුත් අවුරුදු දෙකක් ම එහේ ගියා...’’

ඊට පස්සෙ ''හම්ම්ම්’’ කියල ඔළුව ඉහළ පහළ හොලවපු මැනේජර් ''එහෙනං කියනව බලන්ඩ තමුසෙගෙ නම...’’

''රොහාන් යසසිරි’’

''එච්චර ද... වාසගමක් නැද්ද...?’’

''රොහාන් යසසිරි බදුවත්ත’’

''ඔය කියපු ගෙදර එඩ්‍රස් එක...?’’

''පී සුසන්ත ප්‍රදීප්... සුර සෙවණ... රඳාවෙල... හොරපාවිට... කඹුරුපිටිය’’

''තමුසෙගෙ යාළුවගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි නම දන්නව ද...?’’

''ඔවු මහත්තයො... පියදාස... අපි ලියුම් යවන්නෙ පී. පියදාස කියල.’’

''ඒ පවුලෙ තව කී දෙනෙක් ඉන්නව ද...’’

'මේ යකාට මක්කටෙයි ඒ වගක්’ කියල මට හිතුණත් මම ඒ විස්තර ටිකත් කිව්වා.

''ඒ මාමයි නැන්දයි එක්කම ද මහත්තයො...?’’

''ඔවු අයිෂෙ ඔවු...’’

මැනේජර් ඒ වචන ටික නම් කිව්වෙ ටිකක් තරහින් වගේ. හැබැයි මම ඒක මායිම් කරේ නෑ.

''නැන්දයි, මාමායි, අයියයි, අක්කයි, නංගියි, මල්ලියි...’’

මැනේජර්, ''හම්ම්ම්’’ කියන අතර ම ආයෙත් ඔළුව ඉහළ පහළ හොලවමින් අර පොතේ මොන මොනව ද ලියන්න පටන් ගත්තා.

9b9df5cIMG 20211206 17185661b1e09bafa93 master

මට මතක් වුණේ හැව්ලොක් එක; ඒ මැනේජර් මහත්තය නම් මගෙන් ඇහුවෙ නමයි ගමයි විතරයි. පස්සෙ නං ඉතිං ඔය ටික ටික විස්තර ඇහුවා. අඩු ගානෙ ඉස්සර වෙලාම පඩිය ගන්න ගිය වෙලාවෙ ලියන මහතතයවත් එහෙම මහ විසාලෙට වග විස්තර ඇහුවෙ නෑ.  සමහර විට මාව කඩේට බාර දීපු ටී මේකර් මාම නිසා වෙන්න ඇති.

''හම්ම්ම්... එනවකො යන්ඩ මාත්තෙක්ක.’’

මැනේජර් එහෙම කියන අතර ම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා, පුටුව පස්සට දාලා, දකුණු අතින් කොණ්ඩය පිටුපස්සට අතගාන අතර ම පෑන කමිස සාක්කුවේ දාගෙන දොර දිහාට ඇවිදගෙන ගියා; මමත් කිසිම කතාවක් නැතුව එයාගෙ පස්සෙන් ම ගියා.

මේ හෝටලෙත්: පොඩි කෑම වර්ග තිබුණෙ කඩේ ඉස්සරහ කොටසක. ඒ පැන්ට්‍රියෙත් කෙනෙක් හිටියා. හැබැයි උදේ කෑමට තියෙන: පාන්, රෝස් පාන් ඉඳිආප්ප වගේ දේවල් තිබුණෙ ඇතුළු පැන්ට්‍රියෙ. හෝටලේ දකුණු කෙළවරින් පඩි තුනක් පහළට බැහැපු මැනේජර් පස්සෙන් ම ගිය මමත් ඒ පඩි පෙළ තුන බැස්සා. පඩි පෙළ තුන අවසානයේ ආයෙත් අඩි තුනක් විතර පළල පඩියකට පස්සෙ තමයි ආයෙත් පඩිපෙළ ආරම්භ වෙන්නෙ. පැන්ට්‍රියට ඇතුළු වෙන්න තිබුණෙ මේ අඩි තුනක් විතර පළල පඩිපෙළට වම් පැත්තෙන්.

*          *          *

කඩේ කෑම කන අයට නොපෙනුනාට මේ පැන්ට්‍රිය හැව්ලොක් එකටත් වඩා ලොකු පැන්ට්‍රියක්. පැන්ට්‍රි කවුළුව කුඩා නිසා පැන්ට්‍රිය ලොකුයි කියල එළියට පේන්නෙ නෑ. කවුළුවට දකුණු පැත්තෙන් තව වීදුරු කබඩ් එකක්; ඒ කබඩ් එක පුරවලා තිබුණෙ පාන් සහ රෝස් පාන්. හැබැයි මට දැන් ටිකකට කලින් මැනේජර් කතා කරද්දි මේ පාන්, රෝස් පාන් ගැන මොනවත් ම කිව්වෙ නෑ. 

අවුරුදු තිහක විතර පෙනුමක් තියෙන, කොණ්ඩෙ කැරලි ගැහුණ, වටකුරු, පිරුණු මූණක් තියෙන කෙනෙක් පැන්ට්‍රිය ඇතුළෙ එක දිගට වැඩ. එයාට අපි දෙන්නෙක් ආව කියල නිච්චියක් නෑ. මොකද පැන්ට්‍රි කවුළුව එහා පැත්තෙන් හැම වෙලාවෙ ම: පාන් සිංගල්, පාන් ඩබල්, රෝස් පාන් සිංගල්, රෝස්පාන් ට්‍රිබල්, පරිප්පු සිංගල්, හාල් මැස්සො ඩබල්, කිරි මාළු ට්‍රිබල් කියන වචන එක දිගට පැන්ට්‍රිය ඇතුළට වේගයෙන් එන්නෙ හරියට ගල් පාරවල් වගේ. ඉතිං මේ මනුස්සයත් ඒ සැණින් ඒ කෑම වර්ග බෙද බෙදා පැන්ට්‍රි ලෑල්ල උඩ තියනවා.

pantry
මම ඒ ගැන හිතද්දි ම ''අපි තමුසෙට රොහාන් කියන්න ද, යසසිරි කියන්න ද?’’ කියල එක පාරට ම මැනේජර් මගෙන් ඇහුවෙ අමතක වුණ යමක් මතක් කරනව වගේ.

''කැමති නමක් කියන්න මහත්තයො. ඒකට කමක් නෑ...’’

මම එහෙම උත්තර දෙන අතරෙත් බැලුවෙ පැන්ට්‍රියෙ වැඩ කරන කෙනා දිහා. එයාට තවමත් අපි ඇවිත් ඉන්නවා කියන එක ගැන අවධානයක් ඇත්තෙ ම නෑ. එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මැනේජර් '' අම්පිටිය... පොඩ්ඩකට ඔය වැඩේ නවත්තනවකො,’’  කිව්ව.

එහෙම කියද්දිත් එයා රෝස්පාන් දෙකක් පිඟානක තියන ගමන් මැනේජර් දිහා බැලුවා. ඒ සැණින් ම රෝස් පාන් දෙක දාපු පිඟාන පැන්ට්‍රි ලැල්ල උඩ තියල දීසියක් අරගෙන පැට්‍රියෙ උඩ ලැල්ලට යටින් තිබුණ ලෑලි තට්ටුවෙ ඒක දිගට තියල තිබුණ තැටිවලින් එක තැටියක තිබුණ මොනවා හරි හොදි වගයක් ඒ දිසියට දාල, එකත් ලෑල්ල උඩින් තියල තමයි අපි දිහාට අවධානය යොමු කරේ.

''අම්පිටිය... මේ ඉන්නෙ රොහාන්... මෙයා තමයි අද ඉඳල පැන්ට්‍රි බාස්.’’ ඒ කියද්දි ම එළියෙන්: 'පාන් ඩබල්... හාල් මැස්සො සිංගල්, මිරිස් මාලු සිංගල්’ කියන සද්දෙ පැන්ට්‍රිය ඇතුළට ආවෙ පුදුම වේගෙකින්. ඒ් හඩ ඉක්මනට ම අල්ලගත්තු අම්පිටිය, මැනේජර් කියපු දේ ඇහුණ විත්තිය අඟවන්න ''ඔවු මහත්තයො’’ කියන ගමන් පිඟානක් අරගෙන කපපු පාන් බාග දෙකක් ඒ පිඟානෙන් තියල, පොඩි දීසි දෙකක් අරගෙන, ඒ එකකට හාල් මැස්සො සහ අනිකට මිරිස් මාළු බෙදුවා. හාල්මැස්සො උයල තිබුණෙ කිරට. අනිවාර්යයෙන් ම මේ කෑම ඔ්ඩර් කරන්නෙ දෙන්නෙක්; කිරට උයපු හාල්මැස්සො හොදියි, මිරිස් මාළු හොදියි කියන්නෙ අපුරු රස සංකලනයක්. මේ කෑම ඔ්ඩර් කරපු දෙන්න කවුරු වුනත් දෙන්නා මේ හොදි වර්ග දෙක බෙදාගෙන, කළවම් කරගෙන තමයි කනව ඇත්තෙ. ඇත්තට ම මට ඒ රස මතක් වෙලා කටට කෙලත් ඉනුවා.

''රොහාන්... මේ අම්පිටිය... අම්පිටිය කියන්නෙ මෙයාගෙ ගම. ඒ උනාට අපි මෙයාට කතා කරන්නෙ අම්පිටිය කියල. එයාගෙ නම ගුණදාස. තමුසෙ කැමති විදියකට කතා කරනවා,’’

 

cut bread

එහෙම කියපු මැනේජර් දෙවෙනි ලෑලි තට්ටුවෙ තියල තිබුණ තැටි පේළිය දිහාට අත දික් කරන ගමන් ''මෙතන තියෙනව උදේ කෑමට කෑම වර්ග... ඒ කියන්නෙ... පරිප්පු, අල කරි, අල බැදුම, කිරි මාළු, මිරිස් මාළු, හාල්මැස්සො, තම්බපු බිත්තර, බිත්තර හොදි... ඒ හැම දෙයක් ම... අද මේවා බාරගත්තෙ අම්පිටිය. හෙට ඉඳන් උදේ පාන්දරින් ම මේ හැම එකක් ම බාරගන්ඩ ඔ්නෙ තමුසෙ. ආ... මට තමුසෙට කියන්න බැරි වුණා නෙ. තමුසෙ උදේ පැන්ට්‍රියට එද්දි මේ පානුයි රෝස්පානුයි අන්න අර ලෑල්ල උඩ තියල තියාවි. තමුසෙට තියෙන්නෙ එව්ව ගණන් කරල පාන් ගෙඩියෙ උඩ ලෙල්ල කපල අයින් කරල, ගෙඩිය හතරට කපන්න. ඒව ඉතිං අමුතුවෙන් කියන්ඩ ඔ්නෙ නැහැ නෙ. ඒ විදියට පාන් විස්සක් විතර ඉස්සෙල්ල කපාගන්නව; ඊට පස්සෙ තව කීපයක් කපාගන්නව. ඉඳිආප්ප නං දහය දහය ගණන්කරල තමයි මේ විදියට තියල තියෙන්නෙ,’’ කියන ගමන් තැටියක දාපු ඉදිආප්ප මට පෙන්නුවා.

''අම්පිටිය... වැඩ කරන ගමන් මං මේ කියන දේවලුත් අහගන්නව... මේ හාදයට මෙතන සිස්ටම් එක කියල දෙනව. ආ... තමුසෙ කාල ද ඉන්නෙ...’’

මැනේජර් එක පාරට ම මගේ දිහාට හැරිල ඇහුවා. මට ඒක පාරට ම ඔවු කියන්ත් බෑ, නෑ කියන්නත් බෑ... ඒ නිසා මම ඒ දෙකට ම නැති උත්තරයක් දුන්නා.

''කමක් නැ මහත්තයො... පස්සෙ කතෑකි...’’

''පස්සෙ කන්න නෙවෙයි අයිෂෙ... කාල ඉන්නවා... කාල ඉන්නව...’’

ඇත්ත ම කියනවා නම් මට දැන් කන්න බෑ. මොකද සුසන්තයි මමයි මේ පැන්ට්‍රියට පොඩ්ඩක් එහායින් ඉඳගෙන කැවෙ දැන් ටිකකට කලින්නෙ... ඒ විත්තියක් කියන්න ඔ්නෙත් නැ කියල මට හිතුණ නිසයි මම එහෙම උත්තරයක් දුන්නෙ. අනික නිකමට හරි අම්පිටිය අපි දැකහ ඒහෙම තිබුනොත්... වස ලජ්ජාව.

''හරි මහත්තයො... මං කන්නං... මහත්තයො මේ... මේ ඇඳුං ටික...’’

මම එහෙම කියල ඉවර වෙන්නත් කලින් මැනේජර් ''ආ... ඇඳුං ටික දැනට අර පැත්තකිං තියනවකො. ඒව තියන්ඩ ඔ්නෙ උඩ. අම්පිටිය ඒව පෙන්නයි. දැං මේ වැඩ ටික බලාගන්නවකො... එහෙනං අම්පිටිය... මේ හාදයට වැඩ ටික කියල දෙනව... මං තව ටිකකිං එන්නං...’’

අම්පිටියට එහෙම කියපු මැනේජර් මගේ දිහාට හැරිල ''හරි... දැං එහෙනං වැඩ ටික කරගෙන යනවකො... නොතේරෙන, නොදන්න මොනව හරි තියෙනව නං අම්පිටියගෙං අහගන්නව,’’කියන අතරතුර ම ඒයා පැන්ට්‍රියෙන් පිටවෙලා ගියා.

''ඔයා කාල නෙවෙයි නෙ ඉන්නෙ... කාල හිටියනං හරි... ඊට පස්සෙ මටත් කන්න පුළුවං...’’

jacob dhein art gallery the kitchen ii 154448

අම්පිටිය ඉදිආප්ප පිඟානක තියන ගමන් ම කියද්දි මට පුදුමත් හිතුණ. මොකද මෙහෙම තැන්වල ඉන්න හුඟ දෙනෙක් කරන්නෙ අලුත් කෙනෙක් ආපු ගමන් ගන්න තියෙන වැඩ හැම ඒකක් ම කරව ගන්න එක. ඒ වුනාට මේ මනුස්සය මට කියනව ''කාල ඉන්න’’ කියල. ඉතිං කොහොම ද ඒ මනුස්සයගෙ කීමට පිටුපාන්නෙ...  


සතියකින් හමුවෙමු...

jayasiri 04 e1619629387941
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/04/26


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්