අම්පිටිය, ඉදිආප්ප වගයක් පිඟානක තියන ගමන් ම එහෙම කියද්දි මට පුදුමත් හිතුණ. මොකද මෙහෙම තැන්වල ඉන්න හුඟ දෙනෙක් කරන්නෙ අලුත් කෙනෙක් ආපු ගමන් ගන්න තියෙන වැඩ හැම ඒකක් ම කරව ගන්න එක. ඒ වුනාට මේ මනුස්සය මට කියනව ''කාල ඉන්න'' කියල. ඉතිං කොහොම ද ඒ මනුස්සයගෙ කීමට පිටුපාන්නෙ...
''ඔයාටත් කිව්ව ද පැන්ට්‍රියට ගේන: මස්, මාළු. අල, බිත්තර හැම එකක් ම ගැණල ගන්ඩ කියල...?''
අම්පිටිය එහෙම ඇහුවෙ මගේ අතට රෝස්පාන් එකකුයි කවලම් හොදි පීරිසියකුයි දෙන අතරතුර. උත්තරයක් දෙනව ද නැද්ද කියල කල්පනා කරන අතර ම මම හොදි පීරිසියයි රෝස් පාන් ඒකයි අතට අරගෙන අම්පිටියගෙ මූණ දිහා බලාගෙන හිටියා.
මනුස්සයට තේරුණා මම ඉන්නෙ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි කියල.

''මමත් මේ විකාර කියවනෝ... හරි හරි... ඒව පස්සෙ කතා කරගන්ඩ බැරියැ... කාල ඉන්ඩකෝ..., ආ... ඔතනින් එළියට ගිහින් පඩි තුනක් බැස්සහම ටැංකිය තියෙනෝ... මේ බෝතලේ අරං ගිහිං වතුර එකකුත් අරගෙන අතත් හෝදගෙන එන්න... මේ... කුස්සියෙ එවුං මොනව හරි ඇහුවොත් කියන්ඩ කෑම පැන්ට්‍රියෙ වැඩට ආව කියල. වැඩිය කතා බහට යන්ඩෙපා.''
ඒ වචන ටික කියපු අම්පිටිය ආයෙත් එයාගෙ වැඩේට හැරුණා. මම එයා කියපු විදියට පඩි තුනක් පහළට බැස්සා. එතන අඩි විස්සයි තිහේ විතර හිස් බිමක්, පොලොවට රෆ් ගල් වගයක් අල්ලලා. මට හිතෙන විදියට නිතරම වතුර වැටෙන නිසා ලෙස්සනවට වෙන්න ඇති. ඉස්සරහ අඩි හයක විතර තාප්පෙ; තාප්පෙන් ටිකක් ඈතට වෙන්න මුහුද. හැබැයි මුහුදයි තාප්පයයි අතර තියෙන රේල් පාර එතනට පේන්නෙ නෑ. රේල් පාරක් තියෙනවා කියල දැනෙන්නෙ කෝච්චියක් යද්දි විතරයි කියල මට දැනුණා. මොකද මම මේ ඉන්න තැන පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමේ ම වගේ. ඉතිං තාප්පෙ නිසා මුහුදත් තාප්පෙත් අතර කොටසක් කඩේට පේන්නෙ නෑ.

වම් පැත්තෙ කුස්සිය; එළියට පුංචියට පෙනුණට මට දැනුණ ඒක ටිකක් ලොකු කුස්සියක් කියල. වම් පැත්තෙ ලොකු ටැංකි දෙකක්, ඒ එක්ක ම පිඟන් හෝදන ටැංකිය. හැව්ලොක් හොටලෙ විදිය ම තමයි. හැබැයි හැව්ලොක් එකට වැඩිය අපිරිසිදුයි කියල නම් දැනුණා. මේ දැනුත් කෙනෙක් පිගන් හෝදමින් ඉන්නවා. හැබැයි ඒ මනුස්සා මගේ මූණ දිහාවත් බැලුවෙ නෑ. මමත් සද්ද නැතුව වතුර එකත් අරගෙන ආයෙ පැන්ට්‍රියට ආවා.
''කවුරු හරි මොනව හරි ඇහුව ද...?''
මම පැන්ට්‍රියට ඇතුළු වෙද්දි ම අම්පිටිය ඇහුවෙ එයා එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් ම හිටිය වගේ.
''නෑ අයියෙ... පිඟන් හෝදන එක්කෙනා නං හිටිය. ඒත් එයැයි මක්කවත් ම ඇහැව්වෙ නෑ; අඩුම තරමෙ මගේ මූණවක්කත් බැලුවෙ නෑ.''
''ආ... විලියම්... මිනිහ එහෙම තමයි. කා ඒක්කවත් වැඩි කතා බහක් නෑ. කතා කරොත් ඉතිං කන්න බොන්න ඉල්ලන වෙලාවට විතරයි.''
අම්පිටිය ඒහෙම කිව්වෙ ටිකක් උපහාසාත්මක හිනාවකින් මූණ පුරවගෙන. ඒකට මොකක් හරි හේතුවක් ඇති. හැබැයි මම ඒ ගැන ඇහුවෙ නෑ; මොකද මට ඒක ඇහුව කියල ඇති වැඩක් නැති නිසා. අනික මගේ ඔළුව තවමත් වැඩ කරන්නෙ සුසන්ත මොනවා කරගත්තා ද කියන ප්‍රශ්නය.
දැන් මම කාල ඉවර වෙන්න කිට්ටුයි; අම්පිටිය ආයෙත් කතාව පටන් ගත්තා.
''ඔයා තේ මොනව හරි බොනව ද...?''
ඇත්තට ම තේ එකක් බිමේ වුවමනාව තිබුනත් ඒ ගැන කියන්න මොකක්ද වගේ නිසා සද්ද නැතුව හිටියෙ. මොකද කාල ඉවර වුණ ගමන් ම ප්ලේන්ටියක් බිව්ව ම තමයි කෑම සම්පූර්ණ වෙන්නෙ.

''ආ... ඔවු... තේකක් බිව්වොත් නං හොඳයි... ඒත්...''
''තේ එකක් ඉල්ලන්න මොකද්ද වගේ නේ... හරි හරි... ඔයා ඉන්ඩකො... මං ගිහිං ප්ලේන්ටි දෙකක් අරගෙන එන්නං. එතකං ඔය ඉල්ලන දෙයක් දෙන්ඩකො...''
''අයියෙ... මං අතයි දීසියයි හෝදගෙන ම එන්නෙයි...''
''ආ... හරි හරි... මට ඒකත් අමතක වුණා.''
මට ඒ වැඩේ කරගෙන එන්න වැඩි වෙලා ගතවුණේ නෑ. මොකද ඒ වෙලාවෙත් මට කවුරුවත් මුණ ගැහුණෙ නෑ. විලියම් පිඟන් හෝද හෝද හිටියත් එයා වචනයක් හෝ කතා කරේ නෑ. මම ටැංකිය ළඟට ගියාම එයා එක වතාවක් මගේ මූණ දිහා බලල ටැංකිය ගාවින් ටිකක් එහාට ගියා. ඒ අතර මම ඉක්මනට අත් දෙකයි දීසියයි හෝදගෙන පැන්ට්‍රියට ආවා.
''තේ පැන්ට්‍රියට යන්න තියෙන්නෙ නම් මෙතනින් එළියට බැහැපු ගමන් ම කොරිඩෝවෙ අනිත් පැත්තෙ තියෙන දොරෙන්. ඒ වුනාට කවුරුවත් වැඩිය ඇතුළට යන්නෑ. ජයරත්න කැමතිත් නෑ වැඩිය කවුරුවත් ඇතුළට එනවට. අපිත් තේ ඉල්ලගන්නෙ ඉස්සරහ පැතතෙන් ම යි. ඉන්ඩ... මං ගිහින් ප්ලේන්ටි දෙකක් අරගෙන එන්නං...''
'සුසන්ත කොහේ ගියාද දන්නෑ. කොයි මක් කරල හරි එයැයිට විජහට රස්සාවක් ලැබුනොත් ඒ ඇති. හොයන්න යන්න කියලත් ඉතිං මං දන්න එකක් ය... එයැයිට ම තමයි ඉතිං ඇවිත් මාව බලන්න වෙන්නෙ...'
කල්පනාව අතරෙ අම්පිටිය ඇතුළට ආවට තේ නම් ගෙනාවෙ නෑ; මම ඇහුවෙත් නෑ; එයා ම කතා කරා.

''මොකෝ මේ... අහස පොළෝ ගැටගහන්ඩ තරං කල්පනාව. මං ඉස්සරහින් ඇවිත් ප්ලේන්ටි දෙක තියනව දැක්කෙත් නෑ...''
අම්පිටිය එහෙම කියද්දි මම පැන්ට්‍රි ලෑල්ල දිහා බලුවා; ඇත්තට ම බැලුව නෙවෙයි බැලුණා. ඒතකොටයි මම දැක්කෙ තේ දෙක ලෑල්ල උඩ තියෙනවා.
''හම්ම්ම්... බොනව බොනව... මොනවද ඔයහැටි කල්පනා කරන්නෙ...? කෙල්ල ගැනවත් ද...?''
''අහ් නෑ නෑ...''
ඒ වෙද්දි කෙල්ලෙක් ගැන හිතන්න මට හිතිල තිබුණෙ ම නෑ. අද මම; මම විතරක් නෙවෙයි සුසන්තත් මේ තත්තවෙට පත්වුණේ කෙල්ලෙක් නිසා; ඒක තමයි ඇත්ත. ඇත්තට ම මට හැව්ලොක් එකයි ගාල්ලයි දෙක ම එපා වුණේ ඒ සිද්ධිය නිසා. ඒත් දැන් ඒ ගැන හිතල වැඩක් නෑ.
''අහ්... නැ නෑ අයියෙ... එහෙම හිතන්න තරං දෙයක් නෑ. මං කල්පනා කරේ මගේ යාළුව මක්කා කරගනීද කියල...''
මගේ උත්තරය තව ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙන ප්‍රශ්නයක් කියල මම දන්නවා. නමුත් මේ මනුස්සය අහන දේට උත්තර නොදි බැහැ නෙ. මං හිතුව වගේ ම අම්පිටිය තේ එක බොන අතර ම ඊළග ප්‍රශ්නෙත් ඇහුවා.
''යාළුව...! ඒ කවුද..? ඇයි... යාළුවට කරදරයක් ද...?''
* * *
අම්පිටියට උදව් කරන අතරතුර ආ ගිය විස්තර ඔක්කොම කෙටියෙන් කියල දැම්මෙ කොහොමටත් එයාට මේ දේවල් කියන්න වෙනව කියල දැනුණ නිසා. ඒත් ගාල්ලෙදි තිබුණ ආදර පලහිලව්ව නොකියා ඉන්න මම තීරණය කළා. මොකද ඒක කියන්න ගියොත් ඇත්තට ම මම තවත් දුකට, වේදනාවට පත්වෙනවා.

''බය වෙන්ඩ දෙයක් නෑ. ඔයාගෙ යාළුව හොඳ කෙනෙක්. එහෙම හොඳ අයට වරදින්නෑ. ඔන්න බලන්න මම කිව්වෙ බොරුද කියල එයා... කවුද මේ...''
''සුසන්ත.''
අම්පිටියට අමතක වුණ නම මම මතක් කළා.
''ආ... සුසන්ත... එයාට අද දවස ඇතුළත ම මොකක් හරි ජොබ් එකක් හම්බෙනවා. එයා අනිවාර්යෙන් හෙට අනිද්දට ඔයා හොයාගෙන එනවා...''
'ඇත්තට ම එහෙම වෙනව නං කොච්චර හොඳ ද... එතකොට මටත් හිතේ දෙගිඩියාවක් නැතුව රස්සාව කරගෙන ඉන්න පුළුවන්.'
''ඇයි... මොකද ආයි කල්පනාව. මං කියපු දේ විශ්වාස නැද්ද...?''
''නෑ අයියෙ... එහෙම නෙවෙයි... මං කල්පනා කරේ එහෙම වෙනවනං කොච්චර ෂෝක් ද කියල...''
''ඔවු... ඔයා ම කියන විදිහට එයා කොළඹ කරක්ගහපු මිනිහ නෙ... එයා වැඩක් හොයාගනීවි. මට හිතෙන විදිහට මිනිහට ඔ්නවෙලා තිබුණෙ ඔයාට වැඩක් හොයල දෙන්ඩ. දැන් රස්සාවක් නැතත් මිනිහ ඇත්තෙ හිතේ සැහැල්ලුවෙන්. මං කිව්වෙ බොරුද බලන්න... ඔයා එයා ආපු දවසක නිකමට අහල බලන්ඩ...''
'ඒක නං ඇත්ත ම තමයි. සුසා හැම වෙලාවෙ ම කිව්වෙ 'ඔයා මේ රස්සාවට යන්න... ඔයා මේ රස්සාවට යන්න... මට ඔය මක්ක හරි හොයාගන්න ඇහැකි' කියල නෙ. ඒ මගේ හිතට වද දෙන ප්‍රශ්නෙ මං හිංදනෙ එයැයි අමාරුවෙ වැටුණෙ කියන එක.'
''මේ... මොකද්ද නම කිව්වෙ...?''
මගේ කල්පනාව බිඳුණෙ අම්පිටියගෙ කටහඬට.
''ර්... රොහාන් යසසිරි''
ඇත්තට ම මම එහෙම කිව්ව නෙවෙයි මට කියවුණා.

''හරි... මං රොහාන් කියන්නම්කො... අන්න අර පත්තර ගොඩෙන් පත්තර පිටුවක් අරගෙන ගුලි කරලා මේ පාන් රෝස් පාන් දාන කබඩ් එක පිහිදාන්නකො. දැං මැනේජර්කාරය එන වෙලාව. ඔය හිස් කබඩ් ඒකේ පාන් රෝස්පාන් කුඩු තියෙනව දැක්කොත් මිනිහ කෑගහනව.''
එහෙම කියන අතරතුර ම අම්පිටිය මට ඒ කබඩ් එක පෙන්නුවා. මට ම හිතාගන්න බෑ... මේ ටිකට කබඩ් එකේ තිබුණ පාන්, රෝස්පාන් දෙවර්ගය ම ඉවර වෙලා.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 05/ 03
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





