''හරි... මං රොහාන් කියන්නම්කො... අන්න අර පත්තර ගොඩෙන් පත්තර පිටුවක් අරගෙන ගුළි කරලා මේ පාන් රෝස් පාන් දාන කබඩ් එක පිහිදාන්නකො. දැං මැනේජර්කාරය එන වෙලාව. ඔය හිස් කබඩ් එකේ පාන් රෝස්පාන් කුඩු තියෙනව දැක්කොත් මිනිහ කෑගහනව.''
එහෙම කියන අතරතුර ම අම්පිටිය මට ඒ කබඩ් එක පෙන්නුවා. මට ම හිතාගන්න බෑ... මේ ටිකට කබඩ් එකේ තිබුණ පාන්, රෝස්පාන් දෙවර්ගය ම ඉවර වෙලා.
අම්පිටියත් නිකං හිටියෙ නෑ. එයත් පැන්ට්‍රිය සම්පූර්ණයෙන් ම අස් කළා. මස්, මාළු, පරිප්පු, අල, හාල්මැස්සො තිබුණ ඇලුමිනියම් තැටි ඔක්කොම හිස් වෙලා. අම්පිටිය ඒ තැටි ඔක්කොම එකතු කරගෙන ''මං මේ ටික විලියම්ට දීල එන්නං. එතකං මේ තට්ටු දෙකත් පිහිදාන්ඩකො...,'' කියන ගමන් ම තට්ටු දෙකකට වෙන් කරල හදල තිබුණ පැන්ට්‍රි කබඩ් එක පෙන්නලා එළියට ගියා. වම් අත පැත්තට වෙන්නත් ඒ විදියට ම තට්ටු දෙකකට වෙන් කරල තිබුණා. නමුත් ඒ තට්ටුවල මොනවත් තිබුණෙ නෑ.

ලැබුණ පළමු මොහොතෙ ම මම පැන්ට්‍රියෙ බිත්ති පුරා ම මගේ ඇස් දිවෙව්වා. ඒතකොට තමයි මම හරියට ම දැක්කෙ; බිත්තිය පුරා ම: මාලනී, ගීතා, සෝනියා දිසා, ෆරීනාලායි, වීණා ජයකොඩි, නීටා ප්‍රනාන්දු වගේ ම තව මම අඳුරන්නෙ නැති දෙමළ හෝ හින්දි නිළියන්ගෙ පිංතූර අලවලා. ඒ විතරක් නෙවෙයි මේ කියපු සිංහල නිළියො එක්ක ඉන්න: ගාමිණී, විජය, ටෝනි, රෝයිද සිල්වා, තිස්ස විජේසුරේන්ද්‍ර වගේ ම දෙමළ නිළියො එක්ක: ශිවාජි ගනේෂන්, එම්. ජී. ආර්. ඉන්න පිංතුරත් ඒ අතර තිබුණා. මගේ හිත ආයෙත් නතර වුණේ හැව්ලොක් හොටලෙ. හැබැයි ඒ මොහොතෙ ම මට ආපහු සාගරසිරියට එන්න වුණා.
''මොනවද අයිෂෙ බිත්තිය දිහා බලාගෙන කරන්නෙ...? කෝ අම්පිටිය...? දැන් දවල් කෑම ලේස්ති කරන වෙලාව නෙ...''
කටහඬ හුරුයි; ඇහුණෙ පැන්ට්‍රියෙ ඉස්සරහ පැත්තෙන්. මගේ බෙල්ල ඒක පාරට ම ඒ පැත්තට හැරුණෙ මටවත් නොකියා වගේ.
''ආ... න්... නැ නෑ මහත්තය... මං මේ පැන්ට්‍රිය සුද්ද කරනවා. මෙ... මේ... අම්පිටිය තැටි ටික හෝදන්නෙයි කියල ගියා.''
මැනේජර් කතා කරේ එළිය පැත්තෙ ඉඳගෙන.

''ඒ මිනිහ තැටි හෝදන්න ඔ්නෙ නෑ අයිෂෙ... ඒකට තමයි විලියම් ඉන්නෙ... හරි හරි... දැන් අස්පස් කරල තියාගන්නවකො... තව විනාඩි දහයක් යද්දි කුස්සියෙන් කෑම ටික එයි. අම්පිටියත් එක්ක එකතු වෙලා ඒ ටික ලෙහෙස්ති කරගන්නව. අම්පිටියගෙන් හැම දෙයක් ම අහගන්නව. මොකද හෙට ඉඳන් ඔය හැම දෙයක් ම කරගන්ඩ වෙන්නෙ තමුසෙට. තේරුනා ද...?''
'තේරුණා' කියනව හැරෙන්න වෙන දෙන්න උත්තරයක් මට ඒ වෙලාවෙ තිබුණෙ නෑ.
''හ... හ... හරි මහත්තයො...''
එහෙම කියපු මැනේජර් යනවත් එක්ක ම පිටිපස්සෙ දොරෙන් ඇතුළු වුණේ අම්පිටිය.
''මොකෝ... මිනිහ සත්තම දැම්ම ද...? ගනංගන්ඩෙපා... ඒ මිනිහගෙ හැටි. මං අහං හිටියෙ මිනිහ කියපුව. ඇත්ත; හෙට ඉඳං ඔයා තනියම තමයි මේ ටික කරගන්ඩෝනෙ. මං එන්නෙ ඔයා ඔ්ෆ් වෙන වෙලාවට විතරයි. ඒ හිංද මේ පැය කීපෙ ඇතුළෙ වැඩ ටික අල්ලගන්ඩ. එතකොට ඔයාට ම යි හොඳ...''
අම්පිටිය එහෙම කිව්වෙ සුපුරුදු කරුණාවෙන් ම යි.
''හරි අයියෙ... වැඩ ටික නං මහ ලොකු දෙයක් නෙවෙයි... පිළිවෙළ තමයි අල්ලගන්න ඔ්නෙ... මෙහෙ දවල්ට හාල් සේරු කීයක විතර බතක් උයනව ද අයියෙ...?''
''ම්ම්ම්... ඒකනං මං දන්නෑ මල්ලි... දැන් බත අරං එයි. අපි උගෙං අහමු.''
''එපා එපා... එයැයිලගෙං අහන්නෙපා...''
''උංගෙං අහන්නැතුව ඉති අපිට දිවැස් තියෙනවද... නැහැ නෙ...?''

''නෑ නෑ අයියෙ... එයැයිලගෙං අහන්න ඔ්නෙ නෑ. උයපු බත් ටික ඔක්කොම මෙතෙන්ට ගේනව නං මට කියතැකි හාල් සේරු කිය ද කියල...''
මම එහෙම කියනවත් ඒක්ක ම අම්පිටිය ඇස් දෙකත් ලොකු කරගෙන තත්පර දහයක් විතර මගේ දිහා බලාගෙන හිටියා; ඇත්තට ම ඇස් දෙකපොඩ්ඩක්වත් හොලවන්නෙ නැතුව ම ''අප්පටසිරි... මෙන්න යකෝ වැඩක්...'' කියල කිව්වෙ හරියට අදහා ගන්න බැරි දෙයක් ඇහුව වගේ.
''ඔය ඇත්ත ම ද මල්ලි කියන්නෙ... ඔයාට එහෙම කියන්ඩ පුළුහන් ද...?''
''ඔවු අයියෙ... බාගෙද හාලත් එක්ක හිච්චි වෙනස්කමක් වෙන්න ඇහැකි. හැබැයි ඒ මහ ලොකු වෙනසක් නෙවෙයි අයියෙ..."
''ඔයා නං මාර බඩුවක් තමයි. මං නං හිතන්නෙ අපේ බාස්උන්නැහේටවත් එහෙම කියන්ඩ බැරුව ඇති... හරි හරි බලමුකො ඔයාගෙ අනුමානෙ හරියයි ද කියල...,'' කියපු අම්පිටිය පත්තර කොළ මිටිය ලැල්ලක් උඩින් තියල ඉටි කොළත් උඩ ලෑල්ලක ගහල තිබුණ ඇණයක එල්ලුවා.
''අයියෙ... මෙහේ පාර්සල් යහමින් ගහන්න ඔ්නෙයි...?''
අම්පිටිය මගේ ප්‍රශ්නෙට උත්තර දෙනව වෙනුවට මගේ දිහා බලාගෙන හිටියා. මම අහපු දේ හරියට ම එයාට නොතේරුණා කියල මට තේරුණා.

''මං ඇහුවෙ අයියෙ බත් පාර්සල් හුඟක් ගහනවයි...?''
අන්න ඒ වතාවෙ අම්පිටිය ලොකු හිනාවකින් මූණ පුරවාගෙන ම ''ආ... හරි හරි හරි... මට දැනුයි තේරුණේ. කොහොමටත් මල්ලි හවස එකහමාර දෙක වෙද්දි පාර්සල් අසුවකට වැඩිය ගහනව... ඇයි... ඔයාට පාර්සල් ගහන්ඩ දන්නැද්ද...?''
මට හිතයටින් හිනාවක් ආවා. නමුත් මම ඒ බවක් අම්පිටියට මූණෙන් ඇඟෙව්වෙ නෑ.
''දන්නව... දන්නව... මං මේ නිකමටයි ඇහුවෙ..."
අපි මල්ලි කැම ටික ගෙනාපු හැටියෙ ම: මස්, මාළු, බිත්තර පාර්සල් විස්සක් තිහක් ගහල තියාගන්නව. ඒක ලේසියි. එළවළු කෑම පාර්සලයක් නං එවෙලෙ ම ගහල දෙනවා.

අම්පිටිය එහෙම කියනවත් එක්ක ම දුම් දමන බත් පුරවපු ලොකු ඇලුමිනියම් කල්දේරමක් උස්සගෙන දෙන්නෙක් පැන්ට්‍රියට ඇතුළු වුණා. ඒ එක්කෙනෙක් පිඟන් හෝදන විලියම්; අනිත් කෙනා කුස්සියෙ වැඩ කරනකෙනෙක් වෙන්න ඔ්නෙ. විලියම් නම් බත් කල්දේරම ලැල්ල උඩින් තියපු ගමන් ම කිසිම කතාවක්, හිනාවක් නැතුව ම ආපහු ගියා. අනිත් කෙනා මගේ මූණ දිහා බලල හීනියට හිනාවක් දාලා... ''මේ පැන්ට්‍රියට ආපු අලුත් කෙනා වෙන්නැති...?'' කියල අම්පිටියගෙන් ඇහුවා.
''ආ... ඔවු පේමයියෙ... දැන් ටිකකට කලිං තමයි ආවෙ...''
''ආ... හරි... අපි පස්සෙ කතා කරමුකො... මං කරි ටිකත් අරගෙන එන්නං...,'' කියපු පේමයියා ඉක්මනින් ම පැන්ට්‍රියෙන් එළියට ගියා. පේමයියා කිව්වට එයාගෙ නම බොහෝ වෙලාවට: ප්‍රේමදාස, ප්‍රේමසිරි, ප්‍රේමවර්ධන වගේ ඒකක්වෙන්න ඇති.
''හරි... දැන් ඉතිං යුද්දෙට සුදානං වෙමු... ඒක නෙවෙයි... දැං ඔයා කිව්ව නේද බත් ටික දැක්කහම හාල් සේරු කීය ද කියල කියන්ඩ පුළුවං කියල...?''
මම හොඳට ම දැනගෙන හිටියා අම්පිටිය දැන් දැන් ඔය ප්‍රශ්නෙ අහයි කියලා. ඒ වගේ ම ඇහුවා.
''අයිය ඉවසිල්ලක් නැතුව හිටියෙ නෙ... මං නිකමට කියන්නං... හැබැයි නිච්චියට ම නෙවෙයි...''
''නිච්චියට හරි කොච්චියට හරි ඔයා කියන්ඩකො... ඊට පස්සෙ අපි පේමයියගෙන් අහමු...''
අම්පිටියගෙ මූණෙ තිබුණෙ ජයග්‍රාහී හිනාවක්. මට හිතෙන්නෙ ඒක නිකං කවුරුත් නොදන්න දෙයක් එයා විතරක් දැනගන්න කලින් එයාට දැනෙන සතුටු නිසා එන හිනාවක් වගේ.

''ම්ම්ම්... මං දන්නෑ තව බත් කුස්සියෙ තියෙයි ද කියල..." කියන ගමන් ම මම කල්දේරමෙන් බත් ඇට කීපයක් අතට අරගෙන ටිකක් පොඩි කරන ගමන් ''මෙතන අයියෙ හාල් සේරු තිහක විතර බත් තියෙනවා...,'' කියල මම කියනවත් එක්ක ම එක උඩ එක තියාගත්තු එළවළු තැටි තුනක් උස්සගෙන පේමයියා පැන්ට්‍රියට ඇතුළු වුණා.
එළවළු තැටි තුණ ලැල්ල උඩ තියපු සැණින් ම අමිපිටිය ''පේමයියෙ... තව මොනවද ගේන්ඩ තියෙන්නෙ...?'' කියල ඇහුවෙ ටිකක් හදිසියෙන් වගේ.
''ඇයි... මොකෝ උඹට ඔච්චර තදියම... පාර්සල් ඔ්ඩරයක්කත් ආවද...?'' කියල ඇහුවෙ ටිකක් නුහුරට වගේ.
පේමයියගෙ වෙනස අම්පිටියටත් දැනුණා.
''නෑ නෑ අයියෙ... පොඩි බඩුවක් දැනගන්න. ඉතිරි ටිකත් අරං එන්නකො...,'' කියපු අම්පිටිය පේමයියගෙ පිටට හීනි තට්ටුවක් දැම්මෙ හිතවත්කම පෙන්නන්න වගේ.
''දැං අයිය මක්කයි කරන්න හදන්නෙ...?''
''මක්කයි කරන්න හදන්නෙ...?''

අම්පිටියත්, මම කියපු වචන ටික ඒ විදියට ම කිව්වා. ඒ වචන කියද්දි එයාගෙ මූණෙ තිබුණෙ උපහාසාත්මක ගතියක්.
''කරන්ඩ හදන්නෙ ද...? කරන්ඩ හදන්නෙ උඹේ දැනුම කොච්චර දුරට හරිද වැරදිද කියල බලන එක.''
මට මෙච්චර වෙලා 'ඔයා' කියල කතා කරපු අම්පිටිය එකපාරට ම 'උඹ' කිව්වම පොඩි තිගැස්මකුත් ආවා. ඒත් එයා එහෙම කිව්වෙ හිතවත්කමට කියල ඒ එක්ක ම මට දැනුණා.
''ඒ කියන්නෙ දැං පේමයිය ආයි ආවම ඔයැයි එයාගෙං අහනව 'හාල් කොච්චරක් ඉව්ව ද' කියල... එහෙමෙයි...?''
''ඔවු... අපි නිකමට වගේ අහමු... අහල ඔයා කියපු එක හරිනං විතරක් අපි පේමයියගෙං එහෙම ඇහුවෙ ඇයි කියල කියමු. කමක් නැ නෙ...?''
අම්පිටිය අන්තිම වචන කිපය ඇහුවෙ මම අකමැති නම් අහන්නෙ නෑ කියන අදහසින්. නමුත් මට එහෙම වුවමනාවක් තිබුණෙ නෑ. මොකද මට වරදින්න විදියක් නෑ කියල මට විශ්වාසයි.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 05/ 10
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





