''ඔවු... අපි නිකමට වගේ අහමු... අහල ඔයා කියපු එක හරිනං විතරක් අපි පේමයියගෙං එහෙම ඇහුවෙ ඇයි කියල එයාට කියමු. කමක් නෑ නෙ...?''
අම්පිටිය අන්තිම වචන කීපය ඇහුවෙ මම අකමැති නම් අහන්නෙ නෑ කියන අදහසින්. නමුත් මට එහෙම වුවමනාවක් තිබුණෙ නෑ. මොකද මට වරදින්න විදියක් නෑ කියල මට විශ්වාසයි.
අපි දෙන්න ම අපි දෙන්නගෙ වැඩ කරමින් මිනිත්තු පහක් දහයක් ගෙවෙද්දි පේමයියා: මස්, මාළු සහ බිත්තර සහිත තැටි තුනක් අරගෙන පැන්ට්‍රියට ඇතුළු වුණා.
''අම්පිටිය... මෙන්න මේ ටික ගැණල ගනිං බං ඉක්මනට... මට අරෙහෙ තව වැඩ තියෙනවා.''
තැටි තුන වෙන වෙන ම ලෑල්ල උඩින් තියපු ගමන් පේමයියා කිව්වෙ හරියට අණක් නිකුත් කරා වගේ.
''හරි හරි පේමයියෙ... පොඩ්ඩක් කලබල නැතුව ඉන්ඩකෝ...''
අම්පිටිය කිව්වෙ හරිම සැහැල්ලුවෙන්. නමුත් ඒකට පේමයියගෙන් ලැබුණෙ රළු පිළිතුරක්.

''අනෙ මේහ්... මගෙං කුණුහබ්බ අහගන්නැතිව මේ ටික ගැණහං... උඹල දෙන්නෙක් ඉන්නවනෙ... මං අරෙහෙ පපඩම් බදින්න තෙල් තාච්චිය ලිපේ තියල ආවෙ.''
''අප්පට සිරි... ඒකත් එහෙම ද... හරි හරි... අපිට ගාණ කියල ඔයා යන්ඩකො. ගිහින් පපඩං ටිකත් බැදගෙන එන්ඩකෝ... රොහාන්... ඔන්නොය කබඩ් එක උඩ තියෙනවා රෝස පාට කවරයක් දාපු පොතක්... ඒක ගන්ඩකෝ..."
මම ඉක්මනට ම අම්පිටිය කියපු පොත අරගෙන එයාට දුන්නා; පෑනකුත් ඒ පොතට ම ගැටගහල තිබුණා. පොත අතට අරගත්ත අම්පිටිය ''හරි පේමයියෙ කියන්ඩ...,'' කියද්දි ම පේමයියා වේගයෙන් මොනව හරි කිව්වා. මම ඒ ගැන වැඩි අවධානයකුත් යොමු නොකරපු නිසා මට ඒ දේවල් ඇහුණෙ නෑ; ඇහුම් කන් දෙන්න හිතුවෙත් නෑ.

''හරි... මට විනාඩි දහයක් පහළොවක් දීපංකො... මං පපඩං ටිකත් බැදගෙන ම එන්නංකො...," කියපු පේමයියා පැන්ට්‍රියෙන් එළියට ගියා.
* * *
කිව්ව වගේ ම විනාඩි පහළවක් යද්දි පේමයියා පපඩං කුඩෙත් අරගෙන ආයෙ පැන්ට්‍රියට ආවා. ඒ අතර අපි දෙන්න ම අපි දෙන්නගෙ වැඩවල යෙදිල හිටිය මිසක මේ ගැන මොනවත් ම කතා බහ කළේ නෑ.
''ආ... මේං පපඩං ටික... දැං කියපංකො උඹට මොනවද දැනගන්න ඔ්න කියල."
ඒ වතාවෙ නම් පේමයියා ඇවිත් තියෙන්නෙ අම්පිටියගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ම බලාගෙන වගේ.
''හරි පේමයියෙ... මේ... ඇත්තට ම අපි දවසකට හාල් සේරු කීයක් විතර උයනව ද...?''
අම්පිටිය, පේමයියාට යළි සුපුරුදු ප්‍රශ්නය ම එල්ල කළා.
''මොකද්ද බං උඹට අද හැදිච්ච පිස්සුව...? දැං උඹ ඉස්සෙල්ලත් ඔ්ක ම ඇහුව නේද...?''
ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට පේමයියාගෙනුත් ප්‍රශ්නයක්.
''හරි හරි පේමයියෙ... මං විස්තරේ කියන්නම්කො... ඔයා ඉස්සර වෙලා මං අහපු එකට උත්තර දෙන්ඩකෝ... ඊට පස්සෙ මං හේතුව කියන්නං...''
දෙන්නගෙ වාදය එහෙම ම යද්දි මම මගේ පාඩුවේ වැඩ...

''මෙහෙමයි... හාල් තියන ප්‍රමාණෙ එක එක දවසට වෙනස් වෙනවා. සඳුදා, සිකුරාදා තියන හාල් සේරු ගණන නෙවෙයි අඟහරුවාදටයි, බදාදටයි බ්‍රහස්පතින්දටයි තියන්නෙ; එතකොට හෙනහුරාදටයි ඉරිදටයි තියන ප්‍රමාණෙ ආයිත් වෙනස් වෙනෝ.''
ඒ වෙලාවෙත් පේමයියගෙන් අම්පිටියට වුවමනා උත්තරය ලැබුණෙ නෑ.
''ඒ කිව්වෙ පේමයියෙ...?''
''ඔය මම කියපු දවස් හතර තියෙනව නේද... ඒ දවස් හතරෙ සෙනග අඩුයිනෙ.''
''ඔවු... ඉතිං...?''
එදිනෙදා ලිපේ තියන හාල් සේරු ප්‍රමාණය දැනගන්න අම්පිටියට තියෙන්නෙ පුදුම හදිසියක්.
''ඉතිං කියන්නෙ... වැඩිපුර සෙනග ඉන්න දවස්වලට සාමාන්‍නෙන් අපි හාල් සේරු තිස් පහක් විතර තියනවා...''
එතනදිත් පේමයියා දුන්නෙ අම්පිටියට වුවමනා පිළිතුරට ආසන්න පිළිතුරක් මිස නියම පිළිතුර නෙවෙයි.
''ඒ කියන්නෙ පේමයියේ... අද සිකුරාදා... එතකොට අද හාල් සේරු කීයක් තිබ්බද...?''
අම්පිටිය, එයාට වුවමනා පිළිතුර ලැබෙන තුරු ම ප්‍රශ්න කරනවා.
''හිටහංකො... මං සහසුද්දෙං ම කියන්නංකො... හැබැයි උඹ මේක හාර හාර අහන්නෙ ඇයි කියල මට කියන්නොනේ හරිද...?''
පේමයියත් වැඩේ අතඅරින විදියක් පේන්න නෑ.
''අනිවාරෙන් පේමයියෙ... ඔයා මං අහන දේට උත්තර දුන්න ගමං ඇයි මං ඒක ඇහුවෙ කියල ඔයාට කියනවා. ඉතිං කියන්ඩකො අයියෙ...''
''මෙහෙමයි... අද සිකුරාද නෙ... ඒ වගේ ම සඳුදත් නිවාඩුයි. ඒ කියන්නෙ අද සමහර අය වරුවෙන් ගෙවල්වලට යනව. ඒ හිංද වෙන සිකුරාදාටත් වැඩිය අද සෙනග අඩුයි...''
පේමයියා දැන් ටික ටික නියම පිළිතුර අම්පිටියට කිට්ටු කරනවා...
''ඉතිං ඉතිං අයියෙ...?''
දැන් දැන් අම්පිටියගෙ ඉවසීම හොඳට ම පැනල වගේ; මම ඒ කිසි දෙයක් නොදන්නවා වගේ මගේ වැඩේ කරනවා.

''ඉතිං කියන්නෙ බං.. වෙනද සාමාන්නෙන් හාල් සේරු තිහක් ගන්නවා. මේ හාලෙ ටිකක් බතත් වැඩි හංදා අද ගත්තෙ හාල් සේරු විසි අටයි.''
පේමයියාගේ කටින් ඒ වචන ටික පිටවුණා විතරයි... අම්පිටිය ඒක පාරට ම මගේ දිහාට පැනලා, මාව බදාගෙන... ''අඩේ... උඹ නං මාර බුලට් එකක් තමයි බං... මාර බුලට් එකක් ඈ... මාර ම බුලට් එකක්...''
අම්පිටියගෙ හැසිරීම දැකපු පේමයියා එක පාරට ම ඉණට අත්දෙක තියාගෙන තත්ත්පර කිහිපයක් අපි දෙන්න දිහා බලාගෙන ඉඳලා, ටිකක් විතර සද්දෙට ''මොකද්ද බං අම්පිටියො ඒ පාර උඹට හැදුණ ලෙඩේ...? මං හාල් සේරු ගාණ කිව්ව ම මේකා කොහොම ද බුලට් එකක් වෙන්නෙ...?'' කියල ඇහුවා.
අම්පිටියට පියවි සිහිය ආවෙ පේමයියාගේ ඒ සද්දෙට.
''මේකනෙ පේමයියා...'' කියල පටන් ගත්තු අම්පිටිය කෝච්චියක් යනව වගේ වේගෙන් හැම විස්තරයක් ම කියාගෙන කියාගෙන ගියා.
''මේකා කිව්වනෙ පේමයියෙ 'මෙතන හාල් සේරු තිහක විතර බත් තියනව' කියල. සේරු දෙකයි නෙ එහෙ මෙහෙ වුණේ අයියෙ...,'' කියල තමයි හුස්ම ගත්තෙ.
''මොකද්ද නම කිව්වෙ මල්ලි...?''

පේමයියා මගේ දිහා බලාගෙන ඇහුවෙ නම දැනගන්න තියෙන වුවමනාවට ම නෙවෙයි කියල මම දැනගත්තා.
''මං... රොහාන් අයියෙ... රොහාන් යසසිරි..."
''හැබෑට ම මල්ලි උඹ කොහොම ද එහෙම කිව්වෙ... උඹ උයන්න දන්නව ද... මොකද එහෙම නොවෙන එහෙකුට හරියට ටක්කෙට ම ඔය විදියට කියන්න බෑ. ඔය හාල් සේරු දෙක වුනත් අඩු වුණේ මේ හාලෙ ටිකක් බත තියෙන හිංදා...''
''මේකා ඒකත් කිව්ව නෙ අයියෙ...''
මම උත්තර දෙන්නත් කලින් උත්තර දුන්නෙ අම්පිටිය.
''ඒ කිව්වෙ...?''
පේමයියා ඇහුවෙ ඇස් දෙකත් ටිකක් ලොකු කරගෙන.
''සමහර වෙලාවට හාල අනුව වෙනස් වෙන්ඩත් පුළුවං කියල කිව්ව නෙ...''
ඒ වෙලාවෙ ම මගේ දිහා ආයෙත් හොඳට බලපු පේමයියා ''එහෙමනං පුතෝ උඹ හොඳ බාස් කෙනෙක්... කියහං... උඹ කලිං කොහේද වැඩ කරේ...?''
* * *
මම හුඟාක් විස්තර කියන්න ගියේ නෑ. නමුත් හැව්ලොක් හොටලයේ දී කරපු වැඩ ගැන කිව්වා. මම දන්නවා එතනින් නතර වෙන්න බෑ කියලා. ඒ නිසා කතාව කියන අතරෙ ම ඊළඟට අහවි කියල හිතපු ප්‍රශ්නවලට උත්තරත් හදාගත්තා.
''ඉතිං එච්චර හොඳ තැනක් දාල ඇයි මේ ගෙන්දගං පොළොවට ආවෙ...?''

මගේ කතාවෙ ඇත්ත ම ඇත්ත කොටස කිව්වට පස්සෙ මා ලවා බොරු කියවා ගන්න වුවමනා තැනට පේමයිය යි අම්පිටිය යි දෙන්න ම ඇවිත් තිබුණා; මේ හැම දෙයක් ම කතා වුණේ අපේ වැඩත් කරන අතරතුර ම යි. මෙතන ඉඳල මම කියන සමහර දේවල් පට්ටපල් බොරු කියල දන්නෙ මම විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මම ගාල්ල අතහැරල එන්න හිතපු ඇත්ත ම ඇත්ත කාරණය මෙතන කියන්න ගියොත් මට සේපාලි ගැන විතරක් නෙවෙයි නිකම්ම ජෙසිකා අක්ලා ගැනත් කියවේවි. එහෙම වුනොත් මෙයාල මා ගැන වැරැදි විදියට හිතන්නත් පුළුවන්; පුළුවන් නෙවෙයි අනිවාර්යයෙන් ම හිතාවි. ඒ නිසා දැන් ඉතිං උත්තර දෙන්න වෙන්නෙ හරි ම පරිස්සමින්.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 05/ 17
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





