මෙතන ඉඳල මම කියන සමහර දේවල් පට්ටපල් බොරු කියල දන්නෙ මම විතරයි. ඒත් කරන්න දෙයක් නෑ. මොකද මම ගාල්ල අතහැරල එන්න හිතපු ඇත්ත ම ඇත්ත කාරණය මෙතන
කියන්න ගියොත් මට සේපාලි ගැන විතරක් නෙවෙයි... ජෙසිකා අක්කලා ගැනත් නිකම්ම කියවේවි. එහෙම වුනොත් මෙයාල මා ගැන වැරැදි විදියට හිතන්නත් පුළුවන්; පුළුවන් නෙවෙයි අනිවාර්යයෙන් ම හිතාවි. ඒ නිසා දැන් ඉතිං උත්තර දෙන්න වෙන්නෙ හරි ම පරිස්සමින්.
''ඇත්ත ම කියනවනං පේමයියෙ මට ඒ ජීවිතේ අරහං වෙලා තිවුණෙ.''
මම කෙටි වාක්‍යකින් පිළිතුරු දුන්නෙ ගැලවෙන්න ලැබේවි කියන අදහසින්. ඒත් එහෙම ලෙහෙසියෙන් ගැලවෙන්න බැරි බව දැනුණෙ පේමයියා ඊළඟට අහපු ප්‍රශ්නය නිසා.
''යකෝ... ඒක මාර වැඩක්නෙ... දැං ටිකකට කලිං උඹ ම නේද කිව්වෙ ගාල්ලෙ ජීවිතේ මරු කියල. දැං ආයෙ කියනවා 'ඒ ජීවිතේ අරහං වෙලා තිවුණෙ.' කියල.
හැබැයි මේ හැම දෙයක් ම කතා වෙන්නෙ වැඩ කරන ගමන් ම නිසා මට වැඩ කරන මුවාවෙන් බොරු ගොතාගන්න අවස්ථාව උදා වුණා. ඒ නිසා මම කරන්නෙ ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙ ම මමත් අහල කපටි හිනාවක් පෙන්නලා වැඩ කරන එක. මොකද එක දිගට ම කැම ඕඩර්, පාර්සල් ඕඩර්.

''ඒ ජීවිතේ අරහං වුණේ ද?'' කියල අහල බත් බෙදනවා. එහෙමත් නැතිනම් පාර්සලයක් ඔතනවා. ඒ අතරතුර බොරුවක් ගොතා ගන්නවා.
''මේකයි පේමයියෙ... එකක් තමයි එක විදියට ම ගෙවපු ජීවිතේ.''
''ඒ කිව්වෙ කොල්ලො...?''
පේමයියා මගෙන් ප්‍රශ්න කිරීමේ අවසානයක් පෙනෙන තෙක් මානයක නැත.
''මෙහෙමනෙ පේමයියෙ... මං හෙණ ආසයිනෙ පිචර් බලන්න. ගාල්ලෙ හෝල් තුනක් තිබුණත් සමහර පිචර් මාස දෙක තුන දුවනවා. ඒ පිචර් එක ඉවර වෙලා ඊළඟ පිචර් එනකං පොඩි කාලයක් තමයි ඉතිං ඉංග්ලිෂ් හරි... දෙමළ හරි... හින්දි හරි ෆිල්ම් එකක් බලන්න හම්බෙන්නෙ. සමහර වෙලාවට ගාල්ලෙ බලන්න පිචර් එකක් නැතිවුණා ම මාතරත් යනවා. තව මේ... අම්බලංගොඩත් යනවා.''
අම්පිටිය නම් මම කියන දේවල් හරියට ම අහගෙන හිටිය ද කියල කියන්න බෑ. හැබැයි පේමයියා නම් ආයෙ කුස්සියටත් නොගිහින් මගේ කතාව අහගෙන හිටියා. ඒ අහගෙන ඉඳල ආයෙ ප්‍රශ්නයක් අහනවා.
''ඒ කියන්නෙ උඹ ගාල්ලෙන් කොළඹට ආවෙ පික්චර් බලන්න ම ද...?''
''නෑ නෑ... එහෙම ම මත් නෙවෙයි අයියෙ... මට කොළඹ එන්න ආසාවකුත් තිබුණා. ඒ එක්ක ම හිතුණා පිචරුත් ගොඩක් බලන්න පුළුවන් නේද කියල.''

''හහ් හහ් හා...'' කියල කැත විදියට හිනා වුණ පේමයියා අම්පිටිය වැඩ කරන පැත්ත බලාගෙන ''මේ බලහංකො අම්පිටියො... මේකා කොළඹ ඇවිත් තියෙන්නෙ පික්චර් බලන්නලු... මං නං මූ වගේ එකෙක් මේ දැක්ක ම යි..." කියන අතර වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඇවිත් මගේ පිටට තරමක් හයියෙන් පාරකුත් ගැහුවා. මට වේදනාවක් දැනුනත් පේමයියා එහෙම ගැහුවෙ තරහකින් නොවෙන බව දන්න නිසා වේදනාව දරාගෙන ම එයත් එක්ක හිනාවුණා.
''ඒක නං ඇත්ත... ඔයාට මෙහේ ඉන්නව නං දවස ගාණෙ පික්චර් බලන්ඩ පුළුවං... මොකද... වැල්ලවත්තෙන් පටං ගත්තහම ආමර් වීදිය, ග්‍රෑන්ඩ්පාස් දක්වා හෝල් පනහක් විතර තියෙනවා. මාසයක් නිවාඩු දැම්මත් දවසට දෙක ගාණෙ වුනත් බලන්ඩ පුළුවං...''
ඒ කතාව ඇහුවම නම් මටත් පුදුම හිතුණා...
''ඔය සත්තම ද අයියේ...! මෙහේ එච්චරට පිචර් හෝල් තියෙයි...?''
ඇත්තට ම ඒ වචන ටික මම හිතල පිට කරා නෙවෙයි; ඉබේ ම වගේ මගේ කටින් පිට වුණා.
''අපොයි ඔවු... තියෙනවා තියෙනවා... හිටහංකො... මං දවසක උඹට මෙහේ තියෙන පික්චර් හෝල් ලිස්ට් එකම හොයල දෙන්නංකො...'' කියපු පේමයියා ''මේ අම්පිටියො... මං යනව බං යන්න. දැං ඉතිං රැ මුරේට ලේස්ති වෙන්න එපයි...'' කියන ගමන් ම මගෙයි අම්පිටියගෙයි උරහිස්වලට හෙමිහිට තට්ටුවක් දාගෙන ම පැන්ට්‍රියෙන් පිට වුණා.
* * *
එතනින් එහාට හෝල් ගැන කතා වුණේ නෑ; වුණේ නෑත් නෙවෙයි... එහෙම කතා කරන්න වෙලාවක් තිබුණෙ නෑ. දොළහයි පහළොව දොළහමාර විතර වෙද්දි කඩේට වැල නොකැඩී සෙනඟ එන්න පටන් ගත්තා. ඒ ආපු සෙනඟ කන්දරාවෙ විදියට හෙට ඉඳල මට තනියම වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද කියල බයකුත් ඇති වුණා.
''ඈ අයියෙ... හැම දොහේ ම මේ විදියට සෙනග එනවයි...?''
''හැම දොහේ ම...? හැම දොහේ ම නං මං දන්නෑ කොල්ලො... සතියෙ දවස් පහේ ම නං මේ විදියට සෙනග එනවා.
අම්පිටිය එහෙම උත්තර දුන්නෙ මම කතා කරන විදියෙ වෙනස නිසා කියල තේරුම් ගන්න මට පුළුවන් වුණා. ඒත් මේ කතා කරන විදිය නං වෙනස් කරගන්න බැරි වේවි.
දවල් දෙක දෙක හමාර වෙද්දි සෙනගත් අඩු වුණා; කැමත් ඉවර වෙන්න ආවා.

''කවුද මේ... රොහාන්... දැන් වේටර්ල ඇවිල්ලා දවල්ට කැම ඉල්ලාවි. උන් වැඩිය බත් කන්නෙ නෑ. සාමාන්‍ය ගාණට බෙදුවම ඇති. මදි කෙනෙක් ආයෙ ඉල්ලයි. එහෙම ඉල්ලුවොත් දෙන්ඩ. හැබැයි බිත්තරයි මසුයි දෙන්ඩ එපා. කවුරු හරි එහෙම ඉල්ලුවොත් අර පොතේ අද දිනේ දාල එයාගෙ නම ලියන්ඩ. මාළු කෑලි නං ඔය දෙකක් විතර දුන්නට අවුලක් නෑ. මොකද බත්වලට ගේන මාළු ගැන මෙයාල එච්චර හොයන්නෑ.''
අම්පිටිය දිග විස්තරයක් කියාගෙන කියාගෙන ගියා. එයා කියන විදියට වැඩේ කරන එක ප්‍රශ්නයක් නෙවෙයි; හැබැයි ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා.
''අම්පිටිය අයියෙ... මං එයැයිලගෙ නම් දන්නෑ නෙ... හදිසියෙවත් බොරු නමක් දීල මස් හරි බිත්තර හරි ඉල්ලුවොත්...?"
'මේ කොල්ල කියන එකෙත් ඇත්තක් තියෙනවා. මොකෝ මූ එවුන්ගෙ නම් දන්න එකක් ය...'
''ඒක නම් එහෙම වෙන්ඩ පුළුහං... හරි... මම ඉන්නවනෙ... දැන් ඔ්න්නං එකෙක් දෙන්නෙක් ඔෆ් වෙලා ඇති. අනික් එවුන් පස් දෙනා ම ඩියුටි නෙ... මං ඔයාට එවුං අඳුරලා දෙන්නං. මේ... ඔයාට බඩගිනි නං කන්න...''
අම්පිටිය අන්තිම වචන ටික කිව්වෙ හරිම කරුණාවෙන්.
''අනේ නෑ අයියෙ... මට බඩගිනි නෑ. ඔයැයිට බඩගිනි නං කන්න... මට ඇහැකි දැන් තනියම බලාගන්න.''
මම එහෙම කිව්වෙ බොරුවට නෙවෙයි. ඒ වෙලාවෙ මට ඇත්තට ම බඩගිනි දනිල තිබුණෙ නෑ; ඒ වගේ ම වැඩ ටිකත් ටිකක් අල්ලගෙනයි තිබුණෙ.
''මං සාමාන්නයෙන් කන්නෙ තුනට ඔෆ් වෙලා නාල කියල එහෙම ඉවර වෙලා. කමක් නෑ... අද මං දැං කන්නං.''

අම්පිටිය කෑම කන අතර තුර වේටර්ල තුන්දෙනෙක් ම එකෙකුට පස්සෙ එකෙක් දවල්ට කන්න ආවා. ඒත් තව දෙන්නෙක් කන්න ආවෙ නෑ. අම්පිටිය කිව්ව වගේ ම ඒ තුන් දෙනා ම මාව රවට්ටලා මස් බිත්තර ගන්න උත්සාහ කරා. හැබැයි අම්පිටිය කට ඇරපු ගමන් උන් නිකං යාන්තමට මොනව හරි ගෑවුණ නිදිකුම්බා අත්තක් වගේ ඇකිළිලා දෙන දෙයක් අරගෙන ගියා. එහෙම ගියාට පස්සෙ අම්පිටිය ''දැක්කනෙ... මුං ලෝකෙ කාල වතුර බීපු එවුං... නිකංවත් අහුවෙන්ඩෙපා. අන්තිමට මාසෙ අන්තිමට පුකේ අත පිහිදාගන්ඩ තමයි වෙන්නෙ.''
අම්පිටිය ඒ කියපු කතාව නං මට තේරුණේ නෑ.
''ඒ කිව්වෙ අයියෙ...?''
''හනේ හනේ මෝඩයො... ඕකවත් තේරෙන් නැද්ද...? උං මෙතන මොත්තෙ දාල මස් බිත්තර කයි. ඒවට වග කියන්නෝනෙ පැන්ට්‍රියෙ ඉන්නෙකා නෙ... ඉතිං පැන්ට්‍රියෙ ඉන්නෙ උඹ නෙ... මාසෙ අන්තිමට පඩි ගන්න ගියාම යස අගේට පඩියෙන් කපල තියෙයි... කැමති ද ඒම...?''
අම්පිටිය අන්තිම වචන දෙක තුන ඇහුවෙ හරි ම උපහාසාත්මක විදියට; කට කොනකින් හිනාවකුත් මතු කරන අතර ම යි.
''ආ... හරි හරි අයියෙ... මට තේරුණා. අයියෙ... දැං තුනටත් කිට්ටුයි නෙ... තවම තුන්දෙනයි නෙ කන්න ආවෙ... අනිත් දෙන්න එන්නැතෙයි.?
මම එහෙම ඇහුවෙ විශේෂ හේතුවක් නිසා ම නොවුනත් එහෙම ඇහුවෙ ඇයි කියන එකටත් මට උත්තරයක් තිබුණෙ නෑ. ඒ වේදි අම්පිටිය පැන්ට්‍රියෙ හිටියෙ නෑ. හැබැයි මම අහපු දේ එයාට ඇහිල තිබුණ බව දැනුණෙ එයා පිඟන හෝදගෙන ආවට පස්සෙ.

''ආ... ඒකත් මතක තිබුණ නේද... මං හිතන්නෙ රොහාන් උන් දෙන්න තුනට ඔෆ් වෙනව ඇති. එහෙම දවසට එවුන් දවල්ට කන්නෙ නාල කරල ඉවර වෙලා. මටත් තුනට ඔෆ් ඒක හම්බුණ දවසට එහෙම තමයි.''
අම්පිටිය කියපු දේ වැටහුණත් මගේ හිතේ තව ප්‍රශ්නයක් ඉතුරු වුණා.
''අම්පිටිය අයියෙ... හදිසියෙවත් එයැයිල නාල එහෙම එද්දි කෑම ඉවර වෙලා තිබුනොත්...?''
''අම්මප රොහාන් උඹට නං මාර මොළයක් තමයි තියෙන්නෙ... ඔවු... ඔයා හරි... ඒක ඇත්ත... එයාල එන්න කලින් කෑම ඉවරෙට ම ඉවර වෙනව වගේ දැනුනොත් කරන්නෙ ඕනේ මොනවද කියල දන්නව ද...?''
''ඒක දැනගන්න තමයි අයියෙ ඇහුවෙ... එයැයිලට කන්න නැති වුනොත් පවු නෙ...''

''මෙහෙමයි... එහෙම දැනුනොත් කාටහරි වේටර් කෙනෙකුගෙන් අහන්න 'කැම ඉවර වෙන්න එන්නෙ. කාටහරි කෑම බෙදල තියන්න ඕන ද?' කියල.''
''එතකොට...?''
''එතකොට ද... එතකොට එහෙම ඕන කෙනෙක් ඉන්නවා නං කියයි.''
''ඊට පස්සෙ...?''
''ඊට පස්සෙ ද...? ඊට පස්සෙ ඒ ඕන කරන කෑම ප්‍රමාණය පිඟානකට බෙදල, අර ප්ලාස්ටික් පිඟන් තියෙන්නෙ... ඒ එකකින් වහල මේ ලෑල්ලෙන් තියල තියන්න. උන් නාල ඇවිත්, ඔයාගෙන් ඉල්ලගෙන කාවි.''
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 05/ 24
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





