''ඊට පස්සෙ ද...? ඊට පස්සෙ ඒ ඔ්න කරන කෑම ප්‍රමාණය පිඟානකට බෙදල, අර ප්ලාස්ටික් පිඟන් තියෙන්නෙ... ඒ එකකින් වහල මේ ලෑල්ලෙන් තියල තියන්න. උන් නාල ඇවිත්, ඔයාගෙන් ඉල්ලගෙන කාවි.''
මේ විදියට හැම උපදෙසක් ම දීපු අම්පිටිය ''එහෙනං මලයො දැං උඹත් කෑම කාල හිටිය නං හරි. මං අරුං දෙන්නට බත් ටිකක් බෙදල තියන්නං.'' කියන අතරෙ ම කෑම දෙක බෙදන්න පටන් ගත්තා. මීට පැය කිපයකට කලින් 'ඔයා' කියල කතා කරපු අම්පිටිය දැන් කිසිම ගානක් නැතුව 'උඹ' කියල කතා කරන්නෙ තරහකට නෙවෙයි; හිතවත්කමට ම යි. ඒත් එයාට 'උඹ' හරි එහෙමත් නැතිනම් 'මචං' හරි කියල කතා කරන්න තරම් මගේ දිව නැවෙන්නෙ නෑ.
මෙච්චර වෙලා නිදහසේ වැඩ කරාට කෑම කන්න හිත නොදෙන ගතියක් මට තිබුණා. මගේ හිතේ තියෙන දෙගිඩියාව අම්පිටියටත් දැනුණා.
''මොකෝ මලයො... දැං අරුංට බඩගිනි උණාම කන්ඩ නැතිවෙයි කියල හිතපු උඹ කන්ඩ අදි මදි කරන්නෙ...?''

'ඇත්තට ම මට කන්න හිත නොදෙන කාරණය අම්පිටියට කියනව ද... එහෙම කිව්වොත් මං හරි බොළඳයි කියල හිතාවි ද...?"
අම්පිටියගෙ ප්‍රශ්නයට උත්තර දෙනව වෙනුවට මම කල්පනා කරනව කියලත් අම්පිටිය තේරුම් ගත්තා.
''ඇයි... බඩගිනි නැද්ද... එහෙමත් නැහ්නං කෑම අප්පිරියයි ද...?''
'අම්පිටියට බොරු කියන්න ඔ්නෙ නෑ...'
''නෑ අයියෙ... එහෙම එකක් නෙවෙයි..."
ඇත්ත ම උත්තරය උගුරෙ හංගාගෙන මම වෙන උත්තරයක් දුන්නා. ඒ වුනාට මම දුන්නෙ ඇත්ත ම උත්තරය නොවෙන බව අම්පිටියගෙන් සඟවන්න බැරි වුණා.

''එහෙම එකක් නොවුනට කොහොම එකක් හරි තියෙනව නෙ... හරි... ඒක මට නොකිව්වට කමක් නෑ. බත් ඩිංගක් හරි කාල ඉන්ඩ. මොකද අපි කොච්චර කෑම ගොඩක හිටියත් ආයි අපිට කන්ඩ ලැබෙන්නෙ කඩේ වැහුවට පස්සෙ; ඒ කියන්නෙ රැ දහයත් පහු වෙලා; තේරුණා නෙ...?"
අම්පිටිය හරි පුදුම මනුස්සයෙක්... එයා මාව දැක්කෙත්, අඳුර ගත්තෙත් මීට පැය කිහිපයකට කලින්. හැබැයි මනුස්සයා මට සලකන්නෙ බොහෝ කාලයක ඉඳන් මාව දන්නා හඳුනන හිතවතෙක්, මිත්‍රයෙක් වගේ. තවමත් මට මේ මනුස්සයව තේරුම් ගන්න අපහසුයි. එහෙමයි කියල මනුස්සා කියන දේකට පිටින් වැඩ කරන එක සුදුසු නැහැ කියල මට හිතුණා.
''නෑ අයියෙ... මං මේ කල්පනා කෙරුවෙ මගෙ යාළුව ගැන... මිනිහට මොකක් හරි හම්බුණා ද... එහෙමත් නැහ්නං තවම මොනා හරි හොයනව ද... කෑව ද... මක්කවත් දන්නැහැ නෙ අයියෙ...''

''මං කිව්වෙ... මං කිව්වෙ... මොනවත් නෑ කිව්වට ඔය තියෙන්නෙ... යාළුව අතේ සල්ලි තියෙනව ද මලයො...?"
ඇත්ත සිද්ධිය කිව්වට පස්සෙ මගේ හිතට පොඩි සැහැල්ලුවක් දැනුණා. ඒ නිසා කතාව අතර මමත් බත් ටිකක් බෙදාගත්තා; ඒ බෙදාගන්න අතර ම අම්පිටියගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නා.
''ඔවු අයියෙ... එයැයි අතේ රුපියල් තිහ හතළිහක් තියෙනවා...''
''ආ... එහෙම ද... එහෙම නං ඉතිං ඔය දවසක් දෙකක් උනත් අවුලක් නැති වෙයි. හැබැයි කොල්ලට බුදියගන්ඩ තමයි තැනක් නැත්තෙ නේද...?''
මට ඒ ගැන මතක් වුණේ අම්පිටිය මතක් කළාට පස්සෙ.
'ඇත්තට ම මොකක් හරි හම්බනූනොත් සුසන්ත නිදාගන්නෙ කොහේ ද...?'
ඒත් එක්ක ම මට මතක් වුණේ ස්ටේෂන් එක.

''අපි දෙන්නට ම ඉතිං පේමන්ට් එකෙත් නිදාගෙන පුරුදුයි නෙ අයියෙ. එයැයි ස්ටේෂන් එකේ හරි බුදියගනීවි.''
''එහෙනං ඉතිං මොකද... මෙහ්... උඹත් මාළු ම කන්ඩ ඔ්නෙ නෑ මලයො... ඔය බිත්තරයක්, මස් කැල්ලක් දාගනිං... අපිට ඒක ෂේප් කරගන්ඩ පුළුහං..."
සුසන්ත ගැන කතා කරන අතර ම අම්පිටිය කියපු ඒ වචන ටික මගේ හිත ඇතුළට ම කිඳා බැස්සා. ඒ කියන්නෙ කඩේ අයිතිකාරයො මොන නීති දැම්මත් තමන් කන්න කැමති දේවල් කන්න වැඩ කරන සමහර අය විවිධ ක්‍රම හදාගන්නවා. හැබැයි මේ 'ෂේප් කරගන්න පුළුවන්' කියන එක ඇතුළෙ කොතනක හරි: වංචාවක්, බොරුවක්, කපටිකමක් තියෙන්න ම ඔ්න. හැබැයි ඒ මොකක් ද කියල දැන්ම ම අහන්නෙ නැහැ කියල මම හිතාගත්තා.
''ඒකට කමක් නැද්ද අයියෙ...?''
''කමක් නෑ කමක් නෑ... හැබැයි පේමයියව ෂේප් එකේ තියාගන්න; එච්චරයි."
ඒ වචන ටිකත් තව ප්‍රශ්නයක්. ඒත්... මේ ඒ දේවල් හාරා අවුස්න වෙලාවක් නෙවෙයි.
* * *
හවස් වරුවත් ගෙවිලා, රැත් වෙලා කඩේ වහන වෙලාව වෙන තුරු ම සුසන්ත නිකමටවත් ආවෙ නෑ. අම්පිටියත් හවස හතරට විතර ගිහින් ආයෙත් හතට විතර ආවා.

කඩේ වැහුවට පස්සෙ හැම දෙයක් ම අස්පස් කරල, කාල බීල ඉවර වුනාට පස්සෙ හැම කෙනෙක් ම සොල්දර තට්ටුවට යන්න ඔ්න. ඒ ගියාට පස්සෙ කිසිම කෙනකුට පහළට එන්න බෑ. යතුර බාර දීල තියෙන්නෙ කුස්සියේ බාඋන්නැහේට; එහෙමත් නැති නම් පේමයියාට. හැබැයි සොල්දර තට්ටුවක් වුනාට ඒ තට්ටුවෙත් කක්කුස්සියක් වගේ ම වෙනම ම හයි කරපු සින්ක් එකක් තියෙනවා. ඒ සමහර වේටර්ලලා එයාලා රෑට කන්න ගන්න දෙයක් මොනවා හරි උඩට ගෙනියන නිසා.
සොල්දරය තනි හෝල් එකක් වුනාට පුටු හතරක්, පොඩි මේස දෙකක්, එක් එක්කෙනා නිදාගන්න පැදුරු කොට්ට වගේ ම එක් එක්කෙනාගෙ බඩු මුට්ටු තියන්න අඩි දෙකක් විතර පළලට, බිත්තියට ම අල්ලල ගහපු තට්ටු තුනක වෙන ම රාක්කයක්, බිත්තිය වටේට ම එල්ලපු බෝල කුඩු කිහිපයක් තියෙනවා. එක මේසයක් උඩ තමයි කෑමයි වතුර බොන වීදුරුයි වතුර බෝතල් කීපයකුයි තිබුණෙ.
දවල් නෑසුණ වාහන සද්දෙ ගොඩනැගිල්ලෙ ඉස්සරහ බිත්තියෙ තියෙන ජනෙල් දෙකෙන් ඇතුළු වෙලා මුළු සොල්දර තට්ටුවම පුරවනවා. පිටිපස්සෙ තියෙන ජනෙල් දෙකෙන් මහ මුහුදෙ සද්දෙ වගේ ම විනාඩි දහයකටක් අඩු කාලයක් ඇතුළත එහා මෙහා යන කෝච්චිවල සද්දෙන් මුළු සොල්දර තට්ටුව ම පුරවනවා. ඒ අතර කිප දෙනෙක් ම රෙඩියෝ එකකින් සිංදු අහනවා. තව දෙන්නෙක් ඉස්සරහ ජනෙල් දෙකෙනේ මහ පාර දිහා බලාගෙන ඉන්නවා. තවත් දෙන්නෙක් පිටිපස්සෙ ජනේල දෙකෙ ළගට වෙලා මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා. තවමත් මාත් එක්ක ඇඟැලුම්කම් පාන්න කවුරුවත් ආවෙ නෑ.

මම අම්පිටිය කියපු තැනින් මගේ බෑග් එක තියල ඊට ටිකක් එහායින් තිබුණ පුටුවෙන් වාඩි වුණේ අම්පිටියත් එක්ක ම ගිහින් ඇඟපත හෝදගන්න වුවමනා නිසා. දැන් ආයෙත් පහළට යන එකේ තේරුමකුත් නැති නිසා මම හිතාගෙන හිටියෙ කක්කුස්සියෙ තියෙන පයිප්පයෙන් බාල්දියට වතුර අරගෙන ඇඟ හෝද ගන්න.
''ආ... අලුත් මලයා... මොකෝ කල්පනාව...?"
ටිකක් සද්දෙට එහෙම අහගෙන සොල්දරයට ගොඩ වුණේ පේමයියා.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 05/ 31
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





