leader s

කොහොම වුනත් අම්පිටිය අයියගෙ කතාව මං හිතුවට වඩා හුඟක් වෙනස් වගේ ම දුක හිතෙන කතාවක්. මගේ කතාව වගේ ම අම්පිටිය අයියගෙ කතාවත් ඔයාල දැනගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒක ටිකක් දිග කතාවක් ඒත් කෙටියෙන් හරි ඒ කතාව කියන්න ම වෙනවා.

මෙහෙම කතා ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර තියෙනවා. මේ ඒ කතා අතරින් ඒකක් කියල හිතාගන්නකො.

අම්පිටිය අයියා

මට අම්පිටිය කියල කියන්නෙ ගමේ නම නිසා. ඒ කියන්නෙ නුවර අම්පිටියෙ. මගේ නම කුඩා බණ්ඩාරලාගේ ගුණදාස බණ්ඩාර. හැබැයි අපි දැන් ඉන්නෙ අම්පිටියෙ නෙවෙයි. ඇත්තට ම අපේ තාත්තගෙ ගම අම්පිටිය වුණාට අපේ පරම්පරාව ම මොනරාගල; මොනරාගල කිව්වට මොනරාගල ටවුන් එකේ ඉඳලත් හැතැම්ම පහළොවක් විතර යන්න ඔ්න. ඒ හරියට කියන්නෙ බෝහිටිය කියල.

තාත්තලගෙ, තාත්තලගෙ පරම්පරාව ඒ කියන්නෙ අපේ සීයල නුවරට ඇවිත් තියෙන්නෙ සුද්දගෙ කාලෙ කියල තමයි කියන්නෙ. එයාල කියන්නෙ අපේ පරම්පරාව වෙල්ලස්සෙ කැරැල්ලට සම්බන්ධයි කියල. නුවරට ආවට පස්සෙත් අපේ පරම්පරාව කරල තියෙන්නෙ ගොවිතැන්. අපේ තාත්ත අපේ අම්මව කසාද බැඳල නැහැ. හැබැයි මායි නංගියි බලාගෙන තියෙන්නෙ හරිම ආදරෙන්. මට තාත්ත ගැන එහෙම ලොකු මතකයක් නැහැ. අම්ම සහ අනිත් නෑයො තමයි මේ විස්තර කිව්වෙ. අපි පුංචි කාලෙ ඒ කියන්නෙ මට අවුරුදු තුනයිලු; නංගිට අවුරුද්දයිලු. එයා චේගුවේරාකාරයෙක් කියල හමුදාවෙන් අරගෙන ගිහින් තියෙන්නෙ චේගුවේරා කලබලවලිනුත් පස්සෙලු. එහෙම අරගෙන ගියපු තාත්ත අද වෙනකන් ම ගෙදර ආවෙ නැහැ; දැන් ඒයා එන එකකුත් නැහැ.

 

වෙල්ලස්සෙ කැරැල්ල

හැත්තැ එකේ අවුරුද්දෙ ජුනි මාසෙ තමයිලු තාත්තව අරගෙන ගියේ. පස්සෙ අම්ම මාවයි නංගිවයි අරගෙන ආයෙත් මොනරාගලට ගිහින්. මමයි නංගියි හැදුණෙ මොනරාගල. එහේ ගියාට පස්සෙ අම්ම අපිව හදාගන්න හුඟක් දුක් වින්දා. ඒ දුක උහුලගන්න බැරි නිසා ම මම අටේ පංතියෙන් පස්සෙ ඉස්කෝලෙ ගියේ නෑ. හැබැයි නංගි හොඳට ඉගෙනගත්තා. අපේ පවුල්වල හුඟක් දෙනෙක් ශ්‍රි ලංකාකාරයෝ. ඒ නිසා අපිට හැත්තැ හතේ තව තව කරදරවලට මූණ දෙන්න වුණා. අපේ සමහර අයගෙ ගෙවල් ගිනි තිබ්බා. සමහර නැදැයොන්ට ගැහුවා; අත පය කැඩුවා. මට මතකයි අම්මා මාවයි නංගිවයි අරගෙන කැලේ හැංගිලා හිටියා.


දවස් පහ හයකින් අපි එද්දි ගේ පුච්චලා. හැබැයි අපි වගේ ම ගෙවල් පිච්චිච්ච අය එකතු වෙලා පුංචි පුංචි පැල් කොට අටවගත්තා. අම්ම ඒ වෙද්දි කරේ කුලි වැඩ. මමත් ඒ වැඩවලට උදවු කරා. කාලයක් අපි කරදරයක් නැතුව ජිවත් වුණා. මමයි අම්මයි හම්බ කරන දේවලින් කාල බිල නංගිටත් ඉගැන්නුවා. නංගි ජි සී ඊ විබාගෙ පාස් වෙලා ඊටපස්සෙ උසස්පෙළත් පාස් වුණා. උසස් පෙළ පාස් වුණාට පස්සෙ එයා ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා බඩල්කුඹුරෙ ඉස්කෝලෙට ගියා. ඒ ගියේ අපේ අම්මගෙ ඥාතියකුගෙ ගෙදර ඉඳන්. පස්සෙ එයා පේරාදෙණියෙ කැම්පස් එකට තේරුණා.

 



ගමේ කුලී වැඩ කරල ඒ වියදම දරන්න අමාරු නිසා මම කොළඹ ආවා. අම්මත් දැන් කුලී වැඩ කරන්නෙ නෑ. පොඩි කඩයක් දාගෙන ආදායමක් හොයනවා. මම ඔය මාස දෙක තුනකට සැරයක් ගමේ යන්නෙ නංගි ගමේ එන දවසක් දැනගෙන. එතකොට මට අම්මවයි නංගිවයි දෙන්න ම එකට බලල එන්න පුළුවන් නෙ. එහෙම නැතිනම් වියදම් දෙකක් නෙ.

ඔන්න ඕක තමයි රොහාන් මගේ තත්ත්වෙ. මම කොහොම හරි ට්‍රයි කරන්නෙ නංගිව ගොඩ දාන්න. අම්ම නං දැන් ඉතිං වයසයි නෙ. නංගිගෙ ඉගෙනීම ඉවර වුනාට පස්සෙ මම මොනව ද කරන්නෙ කියල තවම හිතල නෑ. අම්ම නං කියන්නෙ නංගි රස්සාවක් කරන කාලෙට ගෙදර එන්න කියල. ඒත් රොහාන් මං කොහොම ද එහෙම කරන්නෙ...?



ඒ අතිං බැලුවම අම්පිටිය අයිය මොන තරම් හොඳ ද, ඒ වගේ ම ඒයාගෙ හිතේ මොන තරම් බරක් ඇති ද?

මම මගේ සම්පුර්ණ කතාව තවම අම්පිටිය අයියට කියල නැහැ; දැන් නම් නොකියත් බැහැ. එයා හාර හාර ඇහුවෙත් නැති නිසා මම කියන්න උනන්දු වුනෙත් නෑ. දැන්ම ම කියන්න ඕනේ කියල හිතුවෙත් නෑ. කොහොම වුනත් අම්පිටිය අයිය හොඳ මිනිහෙක්.

පෙරෙයිද මම සාගරසිරියට ඇවිත් තුන්වෙනි මාසෙ පඩියත් අරගත්තා. ඒ නිසා ම ඊයෙ නිවාඩු ගත්තා. සුසන්තත් නිවාඩු ගත්තා. අපි වෙනද වගේ ම පිචර් එකකුත් බැලුවා. හවස ගිහින් අම්පිටිය අයියට කමිසයකුත් ගත්තා. ගිය මාසෙ පඩියෙන් මම ඒයාට සරමක් අරන් දුන්නා. මම දන්න තරමට අම්පිටිය අයියට තිබුණෙ සරම් තුනයි. ඒ එකක් ඇන්දෙ රෑට විතරයි. අනිත් දෙක තමයි හෝද හෝද ඇන්දෙ. හැබැයි ගමේ යද්දි ඇදගෙන යන්න වෙනම ම සරමකුයි කමිස දෙකකුයි තිබුණා. ඒ නිසා තමයි මම එයාට සරමක් ගත්තෙ 'ආයෙ එහෙම මට තෑගි ගන්ඩෙපා' කියල අම්පිටිය අයිය කියද්දි මම කිව්වෙ 'නෑ නෑ... කොහොමටත් මේ මාසෙ ආයි මක්කවත් ගන්නෑ' කියල. ඊට පස්සෙ ඒයා කිසිම දෙයක් කිව්වෙ නෑ.




අද මම ඔෆ් වෙලා පොඩ්ඩක් එළියට ගියේ මටත් කොට කලිසමක් ගන්න වුවමනා නිසා. මම ඇතුළට එද්දි මුදලාලිගෙ මස්සිනා මගේ දිහා බලාගෙන හිටියෙ තරහකින් වගේ. මම ඒක එච්චරට ම මායිම් කරේ නෑ. මම කෙළින් ම ආවෙ පැන්ට්‍රියට. ඒ ඇවිත් විනාඩි දෙකක් යන්න කලින් මුදලාලිගෙ මස්සිනා පැන්ට්‍රියට ආවා; ඒ වෙද්දි අම්පිටියත් හිටියා. අපි දෙන්න ම එයා ආපු එක මායිම් නොකර වැඩ කරා.

''තමුසෙ ඊයෙ කොහෙද ගියේ...?"

ගුණපාල මහත්තයා එහෙම ඇහුවෙ මගේ උරහිසෙන් අල්ලලා මාව එයාගෙ පැත්තට හරවන ගමන්. මගෙන් එහෙම අහනවත් එක්ක ම උත්තර දුන්නෙ අම්පිටිය.

''‌රොහාන් ඊයෙ නිවාඩු නෙ මහත්..."

අම්පිටියට ඉතිරි වචන ටික කියාගන්න ඉඩක් ලැබුණෙ නෑ.

''මෙහ්... මං තමුසෙගෙං ඇහුවෙ නෑ... මං ඇහුවෙ මුගෙං..."

සිද්ධ වෙන්න වුවමනා නැති දෙයක් සිද්ධ වෙන්න කිට්ටුයි කියල මට දැනුණා. ඒත් මේ යකාගෙ ඔළුව වැඩි නිසා මම උත්තර දුන්නෙ මෙහෙම.

man keeping

''මම ඊයෙ නිවාඩු... මගේ නිවාඩු දවසෙ මං කොහේ ගියාම මහත්තයට මොකෝ...?"

මම එහෙම කියද්දි ම ගුණපාල මහත්තයා මගේ කමීස කොලර් ඒකෙන් අල්ලගෙන ''තොගෙ කට වැඩියි පරය... තෝ කාගෙන් අහල ද නිවාඩු ගත්තෙ...?" කියල ඇහුවා.

ඒකට උත්තර දෙන්න අම්පිටිය අයිය කට අරිද්දි ම ''මේ මේ... උඹ තෝල්කය නොවී හිටහං... මං ඒක මුගෙං අහගන්නං..." කියන අතරම මාව තව ටිකක් එයාගෙ ළඟට ඇදල ගත්තා.

''ම... මං මැනේජර් ම... මහත්තයට කියලයි නිවාඩු ගත්තෙ..."

''ආ... මැනේජර් මහත්තෙයට කියල... එතකොට ඌ දන්නෙත් නැද්ද ඊයෙ වේටර්ල දෙන්නෙක් ම නිවාඩු කියල...?''

මේ වෙද්දි එයා අල්ලගෙන හිටපු මගෙ කමිස කොලර් එක ටිකක් බුරුල් වෙලයි තිබුණෙ.

''ඒක ඉතිං මං දන්නෑ... මට නිවාඩුවක් ඕනේ කිව්ව ම අම්පිටියට කියල නිවාඩු ගන්නෙයි කිව්ව...?"

ඒ එක්කම එයා මගේ කොලර් ඒක අතඇරල අම්පිටිය දිහාට හැරුණා.

''අම්පිටිය... මූ තමුසෙට කිව්ව ද නිවාඩු ගන්නව කියල..."

 

apalokana 240223

''ඔවු මහත්තයො... මැනේජර් මහත්තය කිව්ව කියල මට කිව්ව. මං හවස ඇහුවහම කිව්ව ඔන්නොහෙ දවසක නිවාඩුවක් දෙන්ඩ කියල."

''එතකොට තමුසෙ දන්නෙත් නැද්ද ඊයෙ වේටර්ල දෙන්නෙක් ම නිවාඩු කියල."

''නෑ..."

අම්පිටිය අයියා තනි වචනයෙන් ම උත්තර දුන්නා; ඊට පස්සෙ ඒයා හැරුණෙ මගේ දිහාට.

''මං මේ අන්තිම වතාවට කියන්නෙ... මීට පස්සෙ නිවාඩු ගන්නව නං මට හරි මුදලාලිට හරි කියන්නෝන... තමුසෙලට ඔ්න ඔ්න විදියට නිවාඩු ගත්තහම මෙතන වැඩ කරන්නෙ මොකා ද...?''

''මං ඒක දන්නෑනෙ මහත්තයො... මං මැනේජර් මහත්තයගෙං ඇහුව; හා කිව්ව; මං නිවාඩු ගත්ත... හරි හරි... මීට පස්සෙ මත්තයෙගෙනුත් අහන්නංකො...,'' කියල මම කිව්වෙ ඇත්තට ම නක්කලෙන් වගේ. එයාට ඒක තේරුණා.

''මොනවද උඹ කිව්වෙ... ප්පරය..." කියල කියන ගමන් ම එයා මගේ කම්මුලට පාරක් ගැහුවා; මම කොහෙත්ම හිතුවෙ නෑ එහෙම ගහයි කියල. ඒ එක්ක ම අම්පිටිය අයියා ''මොකද්ද මහත්තයො ඒ කරේ...?'' කියල අහද්දි ම ගුණපාල මහත්තයා ''තෝ... තෝ... තෝ තමයි මේ ඔක්කොම කරන්නෙ...,'' කියන ගමන් අම්පිටිය අයිටත් පාරක් ගැහුවා.

qurrie

මගේ ඉවසීමේ සීමාවත් පැන්නා... මට මතක මම එක දිගට ම ගුණපාල මහත්තයගේ මූණට ගහගෙන ගහගෙන ගියා; ඊට පස්සෙ මම දැක්කා එයා වැටෙනවා; එයාගෙ මූණ පුරාම ලේ; ඒ අස්සෙ අම්පිටිය අයියා මාව පැන්ට්‍රියෙන් එළියට තල්ලු කරා...

අම්පිටිය අයියා මාව පැන්ට්‍රියෙන් එළියට තල්ලු කරාට පස්සෙ මට කරන්න තිබුණ එක ම දේ තමයි කඩෙන් පැනල යන එක. මම එළියට පැනල වැල්ල පැත්තට දිව්වා; පස්ස බල බල දිව්වා. එහෙම දිව්වෙ මාව අල්ලන්න කවුරු හරි ඒවිද කියල බයෙන්. මූද අද්දරට ම ගිහින් ආපහු හැරිල බැලුවෙ කවුරු හරි එළවාගෙන එනව නම් මුදට හරි පනිනව කියල හිතාගෙන; හැබැයි දන්න කියන කිසිම කෙනෙක් මගේ පස්සෙන් ඇවිත් නෑ.

*          *          *

මම කරන්න ඔ්නෙ මොනවද කියල මට ම හිතාගන්න බෑ. ඒ නිසා මම දිගට ම වැල්ල දිගේ ඇවිදගෙන වැල්ලවත්ත පැත්තට ආවා. ටික දුරක් ඇවිදින් රේල් පාර අද්දර තිබුණ ගල් ගොඩක් අතර තිබුන ගලක වාඩු වුණා; තව කිප දෙනෙකුත් එහෙම වාඩි වෙලා හිටියා; ඒ අය හිටියෙ මුද දිහා බලාගෙන; ඒ වුනාට මම වාඩි වුණේ පාර දිහා බලාගෙන. ඒ මොකද දන්නව ද...? කවුරු හරි මාව අල්ලන්න එනවා නම් දුවන්න හරි මුදට පනින්න හරි බලාපොරොත්තුවෙන්.

 

watch time

දැන් මම මෙතනට ඇවිත් අඩුම පැයක්වත් වෙන්න ඇති. මම නිකමට වගේ ඔරලෝසුව බැලුවා. වෙලාව හතයි තිස් පහයි. දැන් දැන් ඉරත් බැහැල ගිහින්. මම නිකමට වගේ මූද දිහා බැලුවා. තවමත් රතු පාට මුහු වෙච්ච නිල් පාට ආකාසෙ පුරා ම විහිදිලා තිබුණා.

'ඇත්තට ම මම දැන් මොකද කරන්නෙ, ගුණපාල මහත්තෙයට මොනව වෙලා ඇද්ද, අම්පිටිය අයියට මොනව වෙලා ඇද්ද, කඩේ වැඩ කරන එවුන් මොනව කරනව ඇද්ද...?'

මම මේ මොනව හිතුවත් කරන්න ඔ්නෙ මොකක්ද කියල මට අදහසක් නෑ. මොකද අතේ සල්ලිත් නෑ... මම නිකමට වගේ කලිසම් සාක්කුවට අතදැම්මට පස්සෙ තමයි මතක් වුණේ මම ගත්තු අලුත් ම කොට කලිසමත් පැන්ට්‍රියෙ කියල.

'ඒක නං අම්පිටිය අයිය අරන් තියාවි'

එහෙම හිතපු මම කලිසම් සාක්කුවෙ පතුලෙ තිබුණ රුපියල් දොළහක් අතට ගත්තා.

8b19e2441a0a5ff9b90863bff3a9ad60

'රෑට මොනව හරි බඩට දාගන්න නම් මේ හොඳට ම ඇති. ඒත්... නිදාගන්නෙ කොහෙද...? ම්ම්ම්... ස්ටේෂන් එකට යනව ද...? බෑ එහෙම ගියත් බිම එළාගෙන නිදියන්න පත්තර කැල්ලක්කත් නැහැ නෙ... මේ වෙලාවෙ පත්තර කඩත් වහල නෙ...'

කරන්න තියෙන එකම සහ හොඳ ම දේ මොකක් ද කියල මම තීරණය කරා...


සතියකින් හමුවෙමු...

(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 08/ 30


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  


whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්