leader s

මම මේ මොනව හිතුවත් කරන්න ඕනේ මොකක්ද කියල මට අදහසක් නෑ. මොකද අතේ සල්ලිත් නෑ... මම නිකමට වගේ කලිසම් සාක්කුවට අතදැම්මට පස්සෙ තමයි මතක් වුණේ මම ගත්තු අලුත් ම කොට කලිසමත් පැන්ට්‍රියෙ කියල.

'ඒක නං අම්පිටිය අයිය අරන් තියාවි'

එහෙම හිතපු මම කලිසම් සාක්කුවෙ පතුලෙ තිබුණ රුපියල් දොළහක් අතට ගත්තා.

'රෑට මොනව හරි බඩට දාගන්න නම් මේ හොඳට ම ඇති. ඒත්... නිදාගන්නෙ කොහෙද...? ම්ම්ම්... ස්ටේෂන් එකට යනව ද...? බෑ එහෙම ගියත් බිම එළාගෙන නිදියන්න පත්තර කැල්ලක්කත් නැහැ නෙ... මේ වෙලාවෙ පත්තර කඩත් වහල නෙ...'

කරන්න තියෙන එකම සහ හොඳ ම දේ මොකක් ද කියල මම තීරණය කරා...

'ඕන එකක් වෙන්න කියල සුසන්තගෙ වාඩියට ගියා නං හරි...'

ඒ තීරණය ගත්තට මෙතන ඉඳල සුසන්තගෙ වාඩියට යන විදිය මට ප්‍රශ්නයක්. වෙරළ දිගේ වැල්ලවත්ත පැත්තට යද්දි වම් අත පැත්තෙ තියෙන ඕනෑම පාරකින් ගියොත් ගාල්ල කොළඹ ප්‍රධාන පාර තියනව කියල මට මතකයි. ඒ වගේ ම මේ වෙද්දි කවුරුවත් මාව හොයාගෙන ආවෙ නැති නිසා හිතේ බයත් ටිකක් විතර අඩුයි.

1193408aeb160d8942c63d77a99c24ee
ඉතිං මම ටික දුරක් වෙරළ දිගේ වැල්ලවත්ත පැත්තට ඇවිදගෙන ගිහින් වම් පැත්තට හැරෙන පාරවල් තුනක් විතර පහු වුණාට පස්සෙ තිබුණ පාරකින් ගාල්ල කොළඹ පාර පැත්තට ඇවිදගෙන ගියා. හැබැයි එහෙ ගිහින් ගාල්ල කොළඹ පාරෙ කොතනට යයි ද කියන එක ගැන මට අවබෝධයක් තිබුණෙ නෑ; ඒත් දිගට ම ගියා.

ටික වෙලාවකින් මම ගාල්ල කොළඹ පාරෙන් මතු වුණා; හැබැයි මාව කරකවලා අතඇරිය වගේ. රෑත් වෙච්ච නිසා ඉන්නෙ කොයි හරියෙද කියල කිසිම නිච්චියක් නෑ. කොහොමටත් මම දන්නවා දැන් දකුණට හැරුනොත් වැල්ලවත්ත පැත්තට, වමට හැරුනොත් ආයෙ සාගරසිරිය පැත්තට කියල; ඒ වගේ ම කඩවල ගහල තියෙන විදියට මම තවම ඉන්නෙ බම්බලපිටිය සීමාවෙ කියල දැනගත්තා.

'දැං මොකද කරන්නේ...?'

සුසන්ත වැඩ කරන බිල්ඩින් එක මට මතකයි; ඒ එක්ක ම මම ඇවිදගෙන යන පැත්තෙ තියෙන සැවෝයි හෝල් එකත් මට මතකයි; ආ... තව මට මතකයි ඒ හෝල් එකට කලින් පාලමක් තිබුණ. සුසන්ත දවසක් මට කිව්ව ඒ පාලමෙන් තමයි වැල්ලවත්ත යි බම්බලපිටිය යි වෙන් වෙන්නෙ කියල.

'හරි... ඔය තියෙන්නෙ නියමෙට...'

2ac8efdb3723e76dda0e6925bb12da4c
මම කිසිම කතාවක් නැතුව ඒ පාලම හමු වෙනතුරු ම ඉස්සරහට ඇවිදගෙන ගියා; පාලම ළඟට යද්දි ම වගේ තට්ටු හතරක් විතර හදල තියෙන, සුසන්ත වැඩ කරන ගොඩනැගිල්ලත් දැක්කා. දැන් මට බයක් සැකක් නෑ; මම ඉස්සරහට ම ඇවිදගෙන ගියා.

මම දැන් ඉන්නෙ හරියට ම සැවෝයි හෝල් එක අයිනෙ. හැබැයි සුසන්තගෙ වාඩියට යන්න නම් පාර පනින්න ඕනේ. පාර පනින කහ ඉර තිබුණෙ හරියට ම පාරෙන් ඒහා පැත්තෙ තියෙන සයිවර්කඩේ ඉස්සරහින්.

'ම්ම්ම්... යන ගමන් තෝසෙ පාරක් දාගෙන යනව ද... නෑ... සුසන්ත හම්බෙලා වෙච්ච අලකලංචිය කියල ම ඉන්නවා.'

වෙලාව රෑ අටත් පහු වෙලා... ඒත් කහ ඉරෙන් පාර පනින්නත් බැරි තරමට වාහන එහාටයි මෙහාටයි යනවා. කහ ඉර අයිනෙ පාර දෙපැත්තෙ ම එක සමාන පිරිසක් ඉන්නවා. ඔන්න එකපාරට ම එක්කෙනෙක් පාර මාරුවෙන්න හැදුවා. ඒ එක්කම හැම දෙනා ම එයා පස්සෙ වැටුණා; ඒ එක්කම අනිත් පැත්තෙ හිටපු පිරිසත් පාරෙන් එහා පැත්තට ගියා.

වෙලාව හරියට ම අටයි විසි පහයි.

'සුසන්තල නිදි ද දන්නෙත් නෑ...'

2004540 HSC00001 7

ඒ වුනත් කමක් නැහැ කියල හිතල මම සුසන්තලගෙ වාඩිය පැත්තට ගියා. වාඩිය කියල කිව්වට ඒක වාඩියක් නෙවෙයි. අලුතෙන් හදන ගොඩනැගිල්ල අයිතිකාරයගෙ ම ගෙයක් නෙ. මමයි සුසන්තයි මීට කලින් කිප දවසක් ම ඒ ගෙදර උඩතට්ටුවෙ හිටිය නෙ...

උඩ තට්ටුවෙ ලයිට් නිවල තිබුණට පහළ තට්ටුවෙ ලයිට් පත්තු වෙනව පාරට පේන නිසා මම හෙමිහට ඒ පැත්තට කිට්ටු කරා...

'හුටා... ගේට්ටුව වහලනෙ... දැං මක්කයි කරන්නෙ...'

මම එහෙම හිතුවට ඇතුළෙ එක් එක්කෙනාගෙ කටහඩවල් නං ඇහෙනවා. මම හොඳට ඇහුම් කන් දීගෙන හිටියෙ සුසන්තගෙ කට හඬ ඇහෙනව ද කියල...

'ම්ම්ම්හ්... නෑ...'

ඔ්න ඒකක් වෙන්න කියල මම ගේට්ටුව ගාවට ගිහින් හෙමිහිට ගේට්ටුවට තට්ටු කරා... සද්දයක් නෑ... කලින්ට වඩා ටිකක් සද්දෙන් තට්ටු කරා...

''කවුද...?"

ඒ සද්දෙ ආවෙ ඇතුළෙන්. 'කවුද...?' කියල ඇහුවට මම කොහොමද මම අහවලා කියල කියන්නෙ.8313299 PZMKHXZB 7

''මේ... සුසන්ත ඉන්නවයි අයියෙ... මං සුසන්තගෙ යාළුවෙක්..."

මම ගේට්ටුව ගාව ඉඳගෙන ම කිව්වා.

''සුසන්ත... අර කඹුරුපිටියෙ හාදය ද...?''

''ආ... අන්න එයැයි තමයි...''

''තමුසෙ එයාගෙ කවුද...?''

''මං එයැයිගෙ යාළුවෙක්... යසසිරි කියල කෙනෙක් ඇහිල්ල කියන්නකො...''

''ආ... ඔහොම ඉන්නවකො... මං ගිහිං කියන්නං.''

එහෙම කිව්වට ඇතුළෙ හිටපු කෙනා ගේට්ටුව ඇරියෙ නෑ.

'කමක් නෑ... සුසන්ත නැහැ කිව්වෙ නැහැ නෙ... එයැයි එයිනෙ...'

මම එහෙම හිත හදාගෙන ගේට්ටුව ගාවට ම වෙලා හිටියා. විනාඩි පහක් ගත වුණේ නෑ; ගේට්ටුව අරින සද්දෙ ඇහුණා...

''යසේ ඔහේ...! ඔහේ මොකෝ මේ වෙලාවෙ...?"

ගේට්ටුවෙ පොඩි පළුව ඇරල, ඇඟෙන් බාගයක් පිටතට දාපු සුසන්ත ඇහුවා.

''පොඩි හදිසියක් සුසා... ඔයැයිට ඩිංගකට එළියට එන්න ඇහැකිය... මං විස්තරේ කියන්නං.''

''ආ... ඉන්න කො...,'' කියපු සුසන්ත ගේට්ටු පළුව වහගෙන ම ආයෙත් ඇතුළට ගියා.

'මං හිතුවට වැඩිය මෙතන හරි වෙනස් නෙ. ඒ කියන්නෙ මොකක් හරි විශේෂ දෙයක් තියෙනෝ... ඒක නෙ සුසන්තත් මාව එළියෙ ඉද්දි ගේට්ටුව වහල ගියේ.'

ආයෙත් විනාඩි පහක් ගෙවන්න කලින් සුසන්ත එළියට ආවා.

''මචං... මේක වහගනිං... මං ආයි එනෝ..."

සුසන්ත එහෙම කිව්වෙ ඇතුළෙ ඉන්න කෙනෙකුට. ඒ එක්ක ම ඇත්ළෙන් ''හරි හරි මචං උඹ පලයං මං වහන්නං..." කියන සද්දෙත් ආවා. එතකොට ම සුසන්ත එළියට ඇවිත් ගේට්ටු පළුව බාගෙට වහන අතර ම ''මක්කයි සුසා වුණේ...?'' කියාගෙන ඇවිත් මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.

''වෙච්ච එව්ව කියන්නං... සේරොට ම කලිං කියන්නකො ඔහේ රෑට කාලයි...?"

''අපෝ... අපි කෑවෙ හතාමාරට විතර... මක්කයි ඉතිං ඔයි මක්කහරි හොද්දක් හදාගෙන කනෝ... ඔහේ තාම කාල නැතෙයි...''

''මොන කෑමද්ද සුසා... මේහ් අතේ රුපියල් දොළහක් තියෙනව... සයිවර් කඩෙං මක්ක හරි කන්න ඇහැකි නෙ...?"

මම එහෙම අහපු ගමන් ම සුසන්ත ''ඉන්නකො... ඉන්නකො... මං ටක් ගාල සල්ලි අරං එන්නං," කියල යන්න හදද්දි ම '' මයි ගාව රුපියල් දොළහක් තියෙනෝ... ඒ ඇතිද කියනෝකො...'' කියල මං සුසන්තගෙ අතින් අල්ල ගත්තා.

''තෝසෙ පාරක් දාගන්නනං ඔයි ඇති..."

සුසන්ත කිව්වෙ හරි හදිස්සියෙ. මොක ද එයාට වුවමනා මට මොනවද වුණේ කියල දැනගන්න. ඊට පස්සෙ දෙන්න ම සයිවර් කඩේට ආවා.

Screenshot 2025 09 06 at 3.06.11 PM
*          *          *

''හත්තිළව්වෙ...! දැං අරූට මක්කයි උණේ කියල ඔහේ දන්නැතෙයි...?"

තොසේ කන අතර මම හෙමිහිට වෙච්ච හැම දෙයක් ම කිව්වට පස්සෙ සුසන්ත එහෙම ඇහුවා.

''ඔහේට පිස්සු යැ... මං ඒ මක්කවත් දන්නෑ..."

සුසන්ත ටිකක් වෙලා කල්පනා කරා.

''කවුරුවක්කත් ඔහේ පස්සෙං ආවෙ නැතෙයි කියල ඔහේට සුවර් ය..."

සුසන්ත ඇහුවෙ වෙන මොකක් දෝ හිතේ තියාගෙන කියල එයාගෙ බැල්මෙන් ම මට තේරුණා.

''ඔවු සුසා... ඒක සුවර්...''

''ඔහේගෙ ඇඳුං ඔක්කොමත් එහේ නෙ...?"

සුසන්ත එහෙම ඇහුවට පස්සෙ තමයි මට ඇඳුම් ගැන මතක් වුණේ.

''ඔවුනෙ..."

''හරි... අපි ඒක ගන්න විදියක් ගැන වෙන ම හිතමුකෝ... ම්ම්ම්... ඉස්සෙල්ල ම අද රැ ගෙවන විදිහක් ගැන හිතන්නෙපයි..."

සුසන්ත ඒ වචන පිට කරල දිග හුස්මක් ඉහළට ඇදල ආයෙ පහළට දැම්මා.

''මේහ්... ඔහේට බැරිද මට ඔයි මොකක් හරි රෙද්දකුයි සල්ලි කීයක් හරියි දෙන්න...?"

මම එහෙම ඇහුවෙ මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැති නිසා.  download

''ඒ මක්කටෙයි රෙද්දක්...?''

සුසන්ත එහෙම අහන වෙලාව වෙද්දි අපි දෙන්න ම කඩෙන් එළියට බැහැලත් ඉවරයි.

''නෑ මේ... බස් තියෙනෝනෙ... මං ස්ටේසන් එකට ගිහිං බුදියන්නං. මං මෙහෙට්ටත් නැවිත් කෙළිං ම යනවා... රෙද්දක්කත් නැති හංද තමයි ආවෙ..."

මම කිව්වෙ මගේ අවංක ම අදහස. හැබැයි ඒ වෙලාවෙ සුසන්තට කේන්ති ආවා.

''ඔහේට පිස්සුය යසේ... ඔහේට ඇහැකිය තනියෙං ස්ටේසමේ බුදියන්ඩ... යංකො යංකො... අපි මක්ක හරි කරන්න බලමුකෝ...''


සතියකින් හමුවෙමු...

jayasiri 04 e1619629387941(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2025/ 09/ 06



ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්