''නෑ මේ... බස් තියෙනෝ නෙ... මං ස්ටේසන් එකට ගිහිං බුදියන්නං. මං මෙහෙට්ටත් නෑවිත් කෙළිං ම යනවා... රෙද්දක්කත් නැති හංද තමයි ආවෙ..."
මම කිව්වෙ මගේ අවංක ම අදහස. හැබැයි ඒ වෙලාවෙ සුසන්තට කේන්ති ආවා.
''ඔහේට පිස්සුය යසේ... ඔහේට ඇහැකිය තනියෙං ස්ටේසමේ බුදියන්ඩ... යංකො යංකො... අපි මක්ක හරි කරන්න බලමුකෝ...''
සුසන්තයි මායි වාඩිය ගාවට ආවට පස්සෙ සුසන්ත මට ගේට්ටුව ගාව ඉන්න කියල ගේට්ටුවට තට්ටු කළා. විනාඩියක් යන්න කලින් කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරියා.
''ඔයැයි ඔහොම ඉන්න... මං ඩිංගක් නිමල් අයියත් එක්ක කතා කරල එන්නං,'' කියාගෙන සුසන්තයි ගේට්ටුව අරින්න ආපු කෙනයි දෙන්න ම ඇතුළට ගියා; නිමල් අයිය කියන්නෙ මේ වාඩිය බාරව ඉන්න කෙනා. එයත් සුසන්තල වගේ ම බිල්ඩින් එකේ වැඩ කරන කෙනෙක්.
* * *

විනාඩි පහක් දහයක් විතර ගත වුණාට පස්සෙ කවුදෝ ඇවිත් ගේට්ටුව ඇරියා... ඒ සුසන්ත; එයා ඇතුළෙ ඉඳන් ම ''වැඩේ හරි යසේ... එන්න,'' කිව්වෙ මුණෙ හිනාවක් පුරවාගෙන.
සුසන්ත මාව ඇතුළට අරගෙන, ගේට්ටුව වහල ''යං... නිමල් අයිය උඩ ඉන්නෝ,'' කියාගෙන ඉස්සර වුණා; මමත් සුසන්ත පස්සෙන් වැටුණා.
අපි දෙන්න ම උඩට එද්දි නිමල් අයියා බුරු ඇඳක හාන්සි වෙලා සුරුට්ටුවක් උරනවා; හැබැයි ඒ නිකන්ම නිකන් සුරුට්ටුවක් නෙවෙයි කියල සුවඳෙන් ම මම අදුර ගත්තා.
''නිමල් අයියෙ... මේ තමයි මං කිව්ව යාළුවා..."
සුසන්ත එහෙම කියපු ගමන් ම ඇඳේ හාන්සි වෙලා ඉන්න අතර ම බෙල්ල හරවලා එයා අපි දෙන්න දිහා බැලුවා; ඒ ඒක්කම ඉද්ද ගැහුව වගේ ඇඳේ ඉඳගත්තා; ආයෙත් වතාවක් මගේ නළලෙ ඉඳන් පහළට එයාගේ ඇස් අරගෙන ආවා. ඊට පස්සෙ කෙළින් ම මගේ ඇස් දිහා බැලුවා.
මමත් කවදාවත් නැතුව ඒ ඇස් දෙක දිහා කෙළින් ම බැලුවා. ඒ ඇස් දෙක රතු වෙලා; හරියට නිදාගෙන ඇහැරුණ ගමන් වගේ බාගෙට පියවිලා. එයාගෙ මූණ සහ ඇඟපත බැලුව ම මෙහෙම ගොඩනැගිල්ලකට අත් වැඩ දෙන කෙනෙක් කියල කොහොමටත් හිතන්න බෑ. මොකද ඒ මූණ හරි ම පැහැපත්; ඇඟපතත් වාත්තු කෙරුව වගේ. ඇඟේ පාට කළුත් නෙවෙයි; අපි රතුයි කියල කියන පාටත් නෙවෙයි. මම ඒ පාට දැක්කෙ ටිකක් තද ම තද නිල්පාට වගේ.

මට එක පාරටම මතක් වුණේ ඉස්සර දුටු ගැමුණු රජතුමා ගාව හිටිය කියන යෝධයො. මොකද මෙයා ඒ තරමට ම උස මහතයි; ඇත්තම කියනවා නම් හිටගෙන ඉන්න මම, ඇඳේ වැඩි වෙලා ඉන්න එයාගේ ඇස් දෙක දිහා බලන්නෙ තරමක් ඇස් ඉහළට කරලා; ඒ තරමට ම උසයි. එයා වාඩි වුණෙත් ඒක කකුලක් බිමට තියල, අනිත් කකුල යටි පතුල ඇඳේ තියාගෙන; අර සුරුට්ටුව තියෙන අත ඇඳේ තියාගෙන හිටපු කකුලෙ දණහිස උඩ තියාගෙන දිගඇරගෙනයි හිටියෙ. අනිත් අත ඒ කියන්නෙ වම් අත ඇඳ උඩ තියාගෙන හිටියෙ අල්ල ඇඳේ හිටින විදියට. මට ඒ වෙලාවෙ නම් මතක් වුණේ මොකක් දෝ පිළිමයක් හැබැයි ඒ පිළිමය හඳුන්වන්නෙ කොහොමද කියල මකයට ආවෙ නෑ.
''ආ... මෙයැයි ද හාදයා...! මෙයැයි මීට කලින් මෙහේ ඇවිත් තියෙනව නෙ... ඔව්වා ඔහොම තමයි මල්ලි... දැං මේ මං පේංනැද්ද...,'' කියද්දි ම සුසන්ත ඒ කතාව නවත්තන්න ද කොහොද හිතාගෙන ම ''අයියෙ මෙයැයි අද රෑ මෙහේ උන්නට කමක් නෑ නෙ නේද...?" කියල ඇහුවා.
''අද රෑ නෙවෙයි බං... කන්න බොන්න දෙන්න පුළුවං නං හැමදාම හිටියම මගේ මොකෝ. ඔ්න්නං ඔය වතුර ටිකක් නෙ වැඩිපුර පාවිච්චි කොරන්නෙ... ඒකට මොකෝ... අපි ඒ බිල් ගෙවනව කියලයි.''
එහෙම කියන අතර ම එයා ඇඳෙන් බැස්සා.
''මොකද්ද මල්ලිගෙ නම කිව්වෙ...?"
එයා එහෙම ඇහුවෙ කෙළින් ම මං දිහා බලාගෙන නිසා මං උත්තර දුන්නා.
''රොහාන්... රොහාන් යසසිරි..."
සුරුට්ටුව කටේ ගහගෙන, සරම දෙකොනෙන් අල්ලලා දෙපාරක් විතර එහාට මෙහාට කරල ඉණට තියල ගැටගහගත්තු එයා ''හරි හරි... විස්තර පස්සෙ කතා කරගන්න බැරිය... දැං මල්ලි රැට කාල ද...?''
එයාට තවත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොදුන්න සුසන්ත ''ඔ... ඔවු අයියෙ... එයැයි තෝසෙ පාරක් දාල ඉන්නෙ,'' කිව්වා.
''ආ... එහෙනං මොකෝ... ඔ්න්නං කහට ඩිංගක් වක්කරල දෙන්න සුසන්ත...,'' කියල කිව්වෙ ගෙදරකට ආපු අමුත්තෙකුට සලකනව වගේ.

''ඔ්න් නෑ අයියෙ අපි ප්ලේන්ටි පාරකුත් දාලයි ආවෙ."
සුසන්ත තමයි එහෙම උත්තර දුන්නෙ.
''ආ... ඒකියන්නෙ යාළුවට හොඳට සලකලා... ඒම තමයි ඒම තමයි හොඳ යාළුවො වුණාම...,'' කියල කියන අතර ම අර සුරුට්ටුව ඇඟිලි දෙකින් අල්ලලා තොල්දෙක අතර තියල 'ස්ස්ස්ස්' සද්දයක් ඇහෙන්න උඩට ඇද්දා...
''හරි මල්ලියා... ඒනං යාළුවට බුදියන්න තැනක් හදල දෙන්න... අපි හෙට උදේට බලමු...''
එහෙම කියපු එයා අපිටත් කලින් පඩි පෙළ බැහැල පහළට ගියා.
''ඔයි යන්නෙ බත් කන්න. අඩුම ගාණෙ හාල් හුණ්ඩුවකවත් බත් කණෝ...''
එයාගෙ පස්සෙන් යන ගමන් ම සුසන්ත රහසෙන් වගේ මට කිව්වා.
''යං... පහළට ගිහින් බුදියගන්න තැනක් ලේස්ති කරගමු... ආ... දැං ඔයැයි කලිසම ඇඳගෙනමෙයි බුදියන්නෙ...?''
සුසන්ත ඇහුවෙ පඩි කිහිපයක් බැස්සට පස්සෙ
''ඇයි... ඔයැයිගෙ කොට කලිසං නැතෙයි...?''
මං එහෙම ඇහුවෙ සුසන්ත කොට කලිසම් අදින නිසා ම නෙවෙයි; එයාට මම ම කලිසං දෙකක් හරි තුනක් හරි අරන් දීල තියෙනවා.

''හත්තිලව්වෙ...! මට හාංකවිසියක්කත් මතක නැති උණා නෙ... ඔහේම අරං දිපු කොට කලිසං දෙකක් ද තුනක් ද ඇති. මං ඒ එකක් තවමත් ඇන්දෙත් නැද්ද කොහෙ ද... මං ඒක දෙන්නං. ඇඟ ඩිංගක් හෝදගන්නවයි...?''
සුසන්ත ගාව කොට කලිසම් තියෙනව කියල එයාට මතක් වුණේ මම එහෙම කිව්වට පස්සෙ. මොකද ඒයා වැඩිපුර අඳින්නෙ සරම නෙ...
''අලුත් එක ම ඔ්නෙ නෑ. ඒක ඔයැයිට අඳින්න තියාගන්න. මට ඔයි ඇඳපු එකක් හොදයි... අර කිව්ව වගේ ඇඟ ඩිංගක් හෝදගත්ත නං හොඳයි තමයි. පයිං ම ආ හින්ද දාඩිය දාල..."
ඒ වෙද්දි අපි පහළට බැහැල.
''ඔයැයි ඔහොම ඉන්නකො... මං කොට කලිසමයි, සාලුවයි අරං එන්නං... සබං එතන ඇති...,'' කියපු සුසන්ත තවමත් හදල ඉවර නැති ඒ ගේ ඇතුළට රිංගුවා; මං පඩියක් උඩ වාඩි වුණා.
වාඩියෙ නැවතිලා ඉන්න පිරිස තවම නිදි නෑ. රේඩියෝ එකකින් ඇහෙන සිංදු අතරට ඒ සිංදුව ම තව කිහිප දෙනෙක් කියන සද්දෙ කොහෙන්දෝ පාවෙලා එනවා. ඒ අතර අත්පුඩි සද්දෙදත් ඒ එක්ක ම පාවෙලා එනවා; ඉඳ හිට විසිල් සද්දෙත් එනවා.
'කොහොම වුනත් මේ මිනිස්සු හොටලෙ එවුන්ට වඩා හිත සතුටිං ඉන්නෝ... එවුන් රැට වැඩ ඇරිල ගියත් එකාට එකෙක් වැඩි කතා බහක්කත් නෑ නෙ... කට්ටියක් මුද දිහා බලාගෙන ඉන්නෝ... තව එවුන් ටිකක් පාර දිහා බලාගෙන ඉන්නෝ...'
''මක්කයි කල්පනා කරන්නෙ...? කල්පනා කරන්න දෙයක් නෑ... අපි මක්ක හරි කරන්න බලමු... යං... මං ඇඟ හෝදන තැන පෙන්නන්නං...''
මම කල්පනා ලෝකයෙන් මිදුණෙ සුසන්ත ගෙ කටහඬට.
''නෑ සුසා... මං මේ කල්පනා කරේ මේ කොල්ලො මාර ජෙලියෙන් ඉන්නව නෙ. ඒකට සාගරසිරියෙ එවුන්... වැඩෑරිල උඩට ගියාට පස්සෙත් බුම්ට්ටො වගේ ඒ මේ අත බලාගෙන ඔහේ ඉන්නවා; හොඳට ම නිදිමත හැදුණ ම ඇවිත් නිදාගන්නවා; ආයි පහුවෙනිද උදේට නැගිටිනවා...''
''මෙවුං ඉති ඇඟපත මහන්සි වෙලා වැඩ කරන එවුන්නෙ... සමහර එවුන් ඔය ඉතිං හීනියට අඩියක් එහෙම ගහල ඉන්නෙ... සිකුරාද හැන්දැවට නං ඉතිං ඔයි කට්ටිය එකතු වෙලා ටිකක් තදට අඩියක් ගහනෝ... එදාට ඉතිං ස්පෙසල් මොනව හරිත් කන්න ගේනෝ... එහෙම නැහ්නං කඩෙං ගෙනහල්ල මෙහේ හදනෝ...''

සුසන්ත එහෙම කිව්වෙ: සිමෙන්ති කොට්ටයි, එක එක ජාතියෙ ආයුධයි... ආයුධ කියන්නෙ මේ උදලු, අලවංගු, සැල්අඩි, තාච්චි වගේ එව්ව අස්සෙන් රිංගගෙන එහෙට මෙහෙට යන අතරෙ. මමත් කරේ සුසන්ත පස්සෙන් ගිය එක. කලින් මෙහෙට්ට කීප වතාවක් ම ඇවිත් තිබුණට මෙහෙම අහු මුලුවල රිගුවෙ නෑ. එහෙම දවස්වලට අපි නෑවෙත් උඩ තට්ටුවෙ තියෙන ස්පෙෂල් බාර්ත් රුම් එකෙන්. අපි දැන් යන්නෙ හැමෝට ම පොදු තැනට වෙන්න ඇති. අනික මට මෙහෙම දැනෙනව ඇත්තෙ මෙතන අලුත් නිසා වෙන්න ඇති.
''ඔයි එළියෙං ඇඟ හෝදගන්න ඇහැකි ද..., මං ලයිට් ඒක දාන්න ද...?'' කියල සුසන්ත ඇහුවෙ ගොනැගිල්ලෙ පිටුපස්ස කියල හිතෙන තැනකට ආවට පස්සෙ. එතන කළුපාට ඉටි රෙදිවලින් වට කරපු තැනක්. ඇත්තට ම එතනට අමුතුවෙන් ලයිට් වුවමනා වුණේ නෑ. අවට තියෙන ලයිට් එළිය හොඳට ම ඇති.
''ඔ්න්නැ සුසා... මේ එළිය හොඳට ම ඇති..."
* * *
ඇඟපත හෝදගෙන නිදාගන්න යනකන් ම මම ගැන කවුරුවත් මොනවත් ම ඇහුවෙ නෑ; ඇත්තට ම නං එයාලට එහෙම මොනවත් අහන්න තරමට සිහියක් තිබුණෙත් නෑ. සමාන්‍ය සතියෙ දවස්වලට මෙහෙම නම් අර කියපු සිකුරාදට කොහොමට ඇති ද කියලයි මට හිතුණෙ.

''යසේ... ඔයැයි එහෙනං මේ බූරු ඇඳේ බුදියගන්න. මං මැස්සෙං බුදියගන්නං."
සුසන්ත එහෙම කියල යන්න හදද්දි ම තමයි ''ආ... සුස්සා... යාල්ලුවෙක් ආවයි කියල ආරංචි උණා... මේ... ඒ... යාල්ලුවා වෙන්නැති නෙහ්...'' කියාගෙන කවුදෝ කෙනෙක් ඇවිත් සුසන්තව බදාගත්තා.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 09/ 13
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්

'කොහොම වුනත් මේ මිනිස්සු හොටලෙ එවුන්ට වඩා හිත සතුටිං ඉන්නෝ... එවුන් රැට වැඩ ඇරිල ගියත් එකාට එකෙක් වැඩි කතා බහක්කත් නෑ නෙ... කට්ටියක් මුද දිහා බලාගෙන ඉන්නෝ... තව එවුන් ටිකක් පාර දිහා බලාගෙන ඉන්නෝ...'




