ඇඟපත හෝදගෙන නිදාගන්න යනකන් ම මම ගැන කවුරුවත් මොනවත් ම ඇහුවෙ නෑ; ඇත්තට ම නං එයාලට එහෙම මොනවත් අහන්න තරමට සිහියක් තිබුණෙත් නෑ. සමාන්‍ය සතියෙ දවස්වලට මෙහෙම නම් අර කියපු සිකුරාදට කොහොමට ඇති ද කියලයි මට හිතුණෙ.
''යසේ... ඔයැයි එහෙනං මේ බූරු ඇඳේ බුදියගන්න. මං මැස්සෙං බුදියගන්නං."
සුසන්ත එහෙම කියල යන්න හදද්දි ම තමයි ''ආ... සුස්සා... යාළුවෙක් ආවයි කියල ආරංචි උණා... මේ... ඒ... යාල්ලුවා වෙන්නැති නෙහ්...'' කියාගෙන කවුදෝ කෙනෙක් ඇවිත් සුසන්තව බදාගත්තා.
''ආ... ඔ... ඔවු සරත් අයියෙ... අපි මේ බුදියගන්න හැදුව විතරයි...''
මම දන්නවා; සුසන්ත එහෙම කිව්වෙ දැන් මේ මිනිහා අපිට මහා වාතයක් වෙන නිසා කියල. ඒ වුනාට මිනිහව මග හරින්න ම බැහැ වගේ.

''බුබ්... බුබ්... බුද්දියන්න... මොන්න පිස්සු ද... අපි තව ටිකක් ජොලියෙ ඉම්මු... මල්ලි... ගාම්මු ද අඩියක්...?"
සරත් කියන මනුස්සයා එහෙම කියන ගමන් මම ඉන්න බුරු ඇඳ පැත්තට හැරුණා විතරයි ''අඩි ගහන්න... උඹ හිතුවද මේක සපත්තු හදන තැනක් කියල... සරත් මේ... මට කියල කන පළාගන්නැතුව ගිහින් බුදිය ගනිං... එනව මෙතන අඩි ගහන්න... ඇයි... දැං උඹ ගහපු හරිය මදිද... මේ කොල්ලොත් ඒකට පටලව ගන්න හදන්නෙ... ආ...?'' කියල මහා හයියෙන් සද්දයක් දැම්මෙ නිමල් අයියා.
ඒ එක්ක ම සරත් කියන මනුස්සයගෙ වෙරිත් හිඳුණ ද මංදා.
''න්නෑ... න්නෑ... න්නිම්මල් මල්ලි.... මම්... මම්... මේ... න්න්නිකමට කිව්වෙ... ඒහෙන්නං නිමල් මල්ලි... මේං අප්පි ගියා... උද්දෙට හම්බෙමු ආ... බුදු සරණයි ආ...''
එහෙම කියපු සරත් ආඳ වගේ ලිස්සලා ගියා. නිමල් අයිය සරත් අයියට වඩා බාල කෙනෙක් වුනාට එතනදි සරත් අයිය හැසිරුණේ එයා බාලය වගේ; ඇත්තට ම මට තනියමත් හිනා...
''සුසන්ත.. ලයිට් ඔ්ෆ් කරල නිදාගන්න හරිද..."

නිමල් අයිය ඒ අණ නිකුත් කරේ සුසන්තට ම නෙවෙයි කියල මට හැඟුණෙ නිමල් අයිය මගේ දිහා බලල ඇහැක් ඉඟි මරපු නිසා. එයා ඒ නොකියා කිව්වෙ හැමෝට ම නිදාගන්න කියල. එයාගෙ අණසකට හැම කෙනෙක් ම යටයි කියන එකත් මට ඒ වෙලාවෙම තේරුණා.
* * *
ලයිට් ඔ්ෆ් කරාට පස්සෙ අපි දෙන්නගෙන් කවුරුවත් එක්කෙනෙකුට එක්කෙනෙක් කතා කරේ නෑ. මට මතකයි මම අමාරුවෙන් බූරු ඇදේ ඒ මේ අත හැරි හැරි හිටිය. දැන්නම් එළි වෙලා; එක එක්කෙනා එහා මෙහා යනව වගෙත් දැනුණා. මම බැලුවෙ සුසන්ත ඉන්නව ද කියල. එයත් මැස්සෙ නෑ.
'දැං මොකද කරන්නෙ...? නැගිට්ටයි කියල කරන්න දේකුත් නෑ... මේ මිනිස්සු එහෙ මෙහෙ යද්දි නින්ද යන්නෙත් නෑ... බලමු... සුසන්ත එයි නෙ...'
මම එහෙම හිතල බූරු ඇඳේ අනිත් පැත්තට හැරිල විනාඩි දෙකක් ගෙවෙන්න කලින් ''යසේ... නැගිටිනෝ... මේ ප්ලේන්ටිය බීල ඉන්නෝ...'' කියල සුසන්ත කතා කරන සද්දෙ ඇහුණා.
මම නැගිටලා, ඇඳෙන් බැහැලා, තේ එක අතට අරගෙන ඒක සුසන්ත නිදාගත්ත මැස්ස උඩින් තියල වට පිට බැලුවෙ කට හෝද ගන්න වතුර එකක් තියෙනව ද කියල. ඒක ඉව වැටුණු සුසන්ත මම නිදාගත්තු ඇඳ යට තිබිල වතුර බෝතලයක් අරගෙන දුන්නෙ ''ආහ්... මේ තියෙන්නෙ ඔයැයි හොයන එක...'' කියනව වගේ.
''ආ ආ... එහෙට්ට මෙහෙට්ට ඇඹරෙන්න ඔ්නෙ නෑ... මං කොහොමත් වතුර බෝතලයක් ළඟ තියාගෙන තමයි බුදියගන්නෙ,'' කියන ගමන් ම වතුර බෝතලය මට දුන්නා.

''ඔයැයි තේක බීල මූණ එහෙම හෝදගෙන ටොයිලට් එකටත් ගිහින් එන්න කො. නැහ්නං දැං ඔතන සෙනඟ පිරෙනවා. මං පොඩ්ඩක් කුස්සියට උදවු කරන්නං...''
'කුස්සියට උදවු කරන්නං' කියන වචන ටික ඇහුණ ගමන් මට ආයෙත් මතක් වුණේ ගාල්ලෙ හැව්ලොක් එක. ''යං... මාත් එන්නං උයන්න උදවු වෙන්න,'' කියල මම කියල ඉවර වෙද්දි ම සුසන්ත ''අනෙහ් මේ... ඔහේ මේං මෙහං ඉන්න... අපි උයන විදිය ඔයයිගෙ අතටවක්කත් අහුවෙන එකක් නෑ... මං නොදන්නවය ඔයැයිගෙ ඉවිල්ල...''
සුසන්ත එහෙම කිව්වෙ මම උයනව නම් ඒ වෙලාවට හැම දෙයක් ම හරියට පිළිවෙළට තියෙන්න ඔ්න කියල එයා දන්න නිසා.
''හරි හරි... එහෙනං ඔයැයි යන්නකො... මං මේක බීල මූණ කට හොදගන්නම්...''
* * *
උදේ හත වෙද්දි වාඩියෙ ඉන්න පිරිස උදේට කාල ඉවරයි. අද උදේ තිබුණෙ මුරුංගා හොද්ක් සහ හාල්මැස්සො තෙල් දාල. මගේ කෑම එක බෙදන්න කලින් සුසන්ත මගෙන් ඇහුවෙ ''මොකෝ යසේ... සයිවර් පාරක් දානව ද, වාඩි පාරක් දානවද...?'' කියල. මේ වෙලාවෙ හැටියට හොඳ ම දේ 'වාඩි පාර' කියල මට කියවුණේ ඉබේට ම වුනත් ඒක තමයි ඇත්ත ම තත්ත්වය. මොකද මගේ අතේ සල්ලි නැහැ. සුසන්ත අතේ සල්ලි තියෙනව ද කියල මම දන්නෙ නැහැ. වාඩියෙන් කෑවත් සුසන්තගෙ පඩියෙන් කැපෙනවා තමයි. නමුත් අත්පිට මුදල් ගෙවන්න වුවමනා නැහැ නෙ.

''එහෙනං යසේ... අපි යනෝ... අද දවස ඔහොම ගෙවුනාවෙ. මේ... ඔයැයි නිදාගත්තු බූරු ඇඳේ කවරෙ යට චිත්‍රකතා පත්තර වගේකුයි අර ජාතියෙ පත්තර වගේකුයි ඇති. කම්මැළිකම යන්නත් එක්ක එව්ව කියවන්න. ඇහැක් නං දවල්ට වතුර ඩිංගක් රත් කරගෙන තේකක් හදාගෙන බොන්න. එහෙම කම්මැළියි වගේ නං දහය වෙද්දි සයිවර් කඩේට එන්න අපි වඩයක් කාල තේකක් ගහමු.''
''තේකක් හදාගන්නෙකනං මහ ලොකු කජ්ජක් නෙවෙයි... ඒත් අපි වඩයක් කාල ප්ලේනිටියක් ගහමු... එතකොට දවල්ට කන්නෙ කොහොමෙයි...?"
උදේ කෑම කාල ඉවර වෙද්දි ම මම දවල් කෑම ගැන ඇහුව ම සුසන්ත කට කොනකින් හිනා වුණා.
''ඇයි දැං වේලක් බඩගින්නෙ ඉන්න අමාරුය...?''
එහෙම අහල ඉවර වෙද්දිත් මූණෙ රැඳිල තිබුණ හිනාව අඩු වුණේ නෑ.
''නෑ... එහෙම අවුලක් නෑ සුසා... ඒත් තියෙන වෙලාවෙ බඩගින්නෙ ඉන්නෝන්නැහැ නෙ... මොකෝ ඔයැයි මමයි බඩගින්නෙ ඉඳල නැතුවය...''
''හරි හරි... දවල්ටත් වාඩියෙ කෑම තියෙනෝ... හැන්දැවට වෙන මක්ක හරි කමු. එහෙනං මං යනෝ..."
* * *
මේ ටවුමක් වුනත්, මිනිස්සු කොච්චර ගැවසුනත් හැම කෙනා ම වාඩියෙන් පිට වුණාට පස්සෙ දැනුණෙ හරිම පාළුවක්. සිත්තර පත්තර කොහොම වෙතත් අනිත් පත්තර කියවන්න ට තිබුණෙ පුදුම හදිස්සියක්. ඒත් මට හිතුණ මේ හදාගෙන යන ගේ පුරා ම ටිකක් ඇවිදින්න ඔ්නෙ කියල. මම කීප වතාවක් ම ඇවිත් තිබුණට මේ ගේ පුරා ඇවිදලා නැහැ. උඩ තට්ටුවෙ තියෙන විශේෂ කාමරයට ගිහින් අපි දෙන්නගේ සතුට බෙදා ගත්තට පස්සෙ එහෙ මෙහෙ ඇවිදින්න වෙලාවක් තිබුණෙ නෑ. ඊට පස්සෙ අපි කරේ චිත්‍රපටියක් බලන්න යන එක.

මේකත් මහා විශාල ගෙයක්. මේ ගේ හදන්නෙත් අර පාර අයිනෙ තට්ටු හතේ ගොඩනැගිල්ල හදන මහත්තය ම තමයි කියලයි කලින් දවසක සුසන්ත කිව්වෙ. ඒ වගේ ම මේ ගෙරට එක ගෙදරක් එහා පැත්තෙ තියෙන ගේත් මේ ගේ අයිති මහත්තයගෙම ලු. මේ මිනිස්සුන්නට මෙච්චර දේවල් කරන්න සල්ලි කොහෙන්ද, මෙච්චර වස්තු කන්දරාවක් මොකට ද කියල අපි වගේ අයට හිතෙන එක අසාධාරණ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.
පත්තර ටිකත් බලල, කියවලා ඉවර වුණාට පස්සෙ තමයි මම දැන් ඉන්න ඇත්ත ම ඇත්ත තත්තවය ඔළුවට ආවෙ.
'ඇත්තට ම ඊයෙ මොනවා වෙන්නැති ද, ගුණපාල මහත්තෙයට මොනව වෙන්නැති ද, මගේ සල්ලි ටිකයි ඇඳුම් ටිකයි ගන්නෙ කොහොම ද, ආයෙ රස්සාවක් හොයාගන්නෙ කොහොම ද, සුසන්තට වගේ මට කුලී වැඩ කරල පුරුදුත් නෑ...'
මේ වෙද්දි මුහුණ දිල තියෙන ඇත්ත ප්‍රශ්නය වගේ ම ඉදිරියට මුහුණ දෙන්න තියෙන ඇත්ත ප්‍රශ්න ගැන හිතලතත් බෑ නොහිතත් බෑ.
දවල් තේ බිව්වෙ සයිවර් කඩෙන්; දවල්ට කෑවෙ වාඩියෙන්. උදේට කාපු හැමෝම දවල්ට කන්න ඇවිත් තිබුණෙ නෑ. හැබැයි සුසන්ත ආපු ගමන් පොල් ගාල ඉක්මනට ම පොල් සම්බෝලයකුත් හැදුවා. කොහොමටත් දවල් කැමටත් දහයක් විතර හිටියා.

මම නිකමට වගේ සමහර මැසිවල එළල තිබුණ පැදුරු එහා මෙහා කරල බැලුව ම සිත්තර, සතුට වගේ ම අනෙක් ජාතියෙ පත්තර තව කිහිපයක් ම ලැබුණ නිසා දවස ගෙවාගන්න අපහසු වුණේ නෑ. ඒත් මගේ හිතේ හැම වෙලාවෙම වැඩ කරේ එක දෙයයි; ඒ, ඇඳුම් ටිකය් සල්ලි ටිකයි ගන්නෙ කොහොම ද කියන ප්‍රශ්නෙ.
* * *
'දැන් නම් සුසන්තලා වැඩ ඇරිල එන්නත් කිට්ටුයි. එයැයි එන්න කලින් මොකක් හරි වැඩ පිළිවෙළක් යොදන්න ම වෙනවා."
මමත් නොදැනුවත්ව ම මම ගැඹුරු කල්පනාවක යෙදුණා. සුසන්තලා එන වෙලාව කිට්ටු වෙද්දි ම වගේ මගේ හිතට යම් අදහසක් පහළ වුණා. ඒ වැඩේ සාර්ථක වුනොත්...
''යසේ... වෙලාව කීයෙයි...?"
''හයයි දහයයි..."
සුසන්තගෙ කෙටි ප්‍රශ්නයට මමත් දුන්නෙ කෙටි පිළිතුරක්.
''හරි... එහෙනං අපි බස් එහෙක එල්ලිලා කොල්ලුපිටියට යං... අපි බලමු ඔයැයි කියපු විදියට කරන්න ඇහැකි ද කියල."

මගේ හිතේ තියෙන සැලසුම සුසන්තට කිව්වට පස්සෙ එයා ඒ ගැන සියයට සියයක් විස්වාසෙ තිබ්බෙ නෑ. එයා කියන්නෙ සමහර විට අම්පිටිය අයියත් අමාරුවෙ වැටිල එයැයිත් පොලිසියට එහෙම ගෙනිහිල්ලද දන්නෑ කියල. ඒත් මට විස්වාසයි එහෙම වෙන්නෙ නෑ කියල. මොකද ගුණපාල මහත්තෙයා මාත් එක්ක ආරවුල ඇති කරගත්තු වෙලාවෙ ඉඳල අම්පිටිය අයියා මගේ පැත්ත ගත්තෙත් නෑ; ගුණපාල මහත්තෙයට උඩ ගෙඩි දුන්නෙත් නෑ. එයා හැම වෙලාවෙම දෙන්න අතර ආරවුල මගහරවන්න තමයි උත්සාහ කරේ. අනික මගෙත් කේන්තිය වැඩි වුණේ ගුණපාල මහත්තෙය අම්පිටිය අයියට ගහපු නිසා. ඒ නිසා මම ගුණපාල මහත්තෙයට ගැහුව කියන අදහස උඩට ආවොත් තමයි ප්‍රශ්නෙ.
'නෑ... එහෙම වෙන එකක් නෑ... මුදලාලියි මැනේජර් මහත්තෙයයි දෙන්න ම අම්පිටිය අයියට කැමතියි; එයැයිව විශ්වාසයි.'
''මේහ්... එහෙනං අපි යං ද...?"
මගේ කල්පනාව බිඳුණෙ සුසන්තගෙ කට හඬින්.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 09/ 20
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්






