'නෑ... එහෙම වෙන එකක් නෑ... මුදලාලියි මැනේජර් මහත්තෙයයි දෙන්න ම අම්පිටිය අයියට කැමතියි; එයැයිව විශ්වාසයි.'
''මේහ්... එහෙනං අපි යං ද...?"
මගේ කල්පනාව බිඳුණෙ සුසන්තගෙ කට හඬින්.
''හරි යං...''
සුසන්ත
අපි දෙන්නම බස් එකේ ඇවිත්, සාගරසිරිය ළග හෝල්ට් එකේ නොබැහැ ඒක පහු වුණාම තියෙන හෝල්ට් එකේ බැස්සා. ඊට පස්සෙ මම යසේව පාරෙන් එහා පැත්තට ඇරලවලා ඒ බස්හෝල්ට් එකේ ඉන්න කියල සාගරසිරියට ආවා.
කඩේ වැඩ කරන අයට මාව මතක නැති විත්තිය හොඳට ම විශ්වාස නිසා මම යසේ කියපු විදිය ම කෑම පැන්ට්‍රිය පේන ඉසව්වෙන් වාඩි වෙලා ආප්ප දෙකක් ගෙන්නගෙන ප්ලේන්ටියක් ඔ්ඩර් කරා. ආප්ප කන අතරත් මගේ ඇස් තිබුණෙ කෑම පැන්ට්‍රිය දිහාට.
යසේ කියපු දේ හරි; අම්පිටිය අයියා කෑම පැන්ට්‍රියෙ වැඩ.
දැන් ඉතිං කරන්න ඔ්නෙ යසේ දීපු ලියුම කොහොම හරි අම්පිටිය අයියට දෙන එක.

ආප්පයක් කන ගමන් ම මම ඉක්මනට ම කෑම පැන්ට්‍රිය ළගට ගිහින් '' අයියෙ... ඔහේ අම්පිටියයිය නේද...?'' කියල ඇහුවෙ වැඩි හොඳට.
''ඔවු... ඇයි මොකද්ද ප්‍රස්නෙ...?''
අම්පිටිය අයිය එහෙම අහනවත් එක්ක ම මම ''රොහාන් මේක දෙන්නෙයි කිව්ව,'' කියල ලියුම පැන්ට්‍රිය ඇතුළට දාල ආයෙත් වාඩි වෙලා අනිත් ආප්පය අතට ගත්තා. ඒ ඒක්ක ම වේටර් ප්ලේන්ටියත් අරගෙන ආවා. ඒ අතර මම අම්පිටිය දිහාත් ඇහැ ගහගෙන ඉන්න අමතක කරේ නෑ.
මම හිතුව වගේ ම අම්පිටිය මට 'ඔහොම ඉන්න' කියන සඥාව අතින් දුන්නා. දැන් ඉතිං ආපු වැඩෙන් බාගයක් ම හරි. අනිත් ආප්පෙත් කාල ඉවර කරපු මම හෙමිහිට ප්ලේන්ටිය තොල ගාන්න පටන් ගත්තා. මම වාඩිවෙලා හිටපු උස ප්‍රමාණයට අනුව අම්පිටිය අයියා නොපෙනී ගියා. ඒත් මම අවධානයෙන් ම හිටියා.
ප්ලේන්ටිය බීල ඉවරවෙන්නත් කලින් වේටර් බිල ගෙනවිත් තිබ්බා; මම ඉක්මනට ම සල්ලි දුන්නා. වෙටර් මගේ ළඟින් ඈත් වෙද්දි ම මම අම්පිටිය අයිය දිහා බැලුවා; එයත් මම බලන තුරු ම බලාගෙන ඉඳල ද කොහෙද මට අතින් සඥා කරා; ඒ සංඥාවට අනුව වේටර් ආවට පස්සෙ මම අම්පිටිය අයිය ගාවට යන්න ඔ්නෙ.

අම්පිටිය අයිය කියපු විදියට ම මම, වේටර් ඇවිත් මට ඉතුරු සල්ලි දුන්නට පස්සෙ මම මිනිහට ශත පනහක් ම තියල ආයෙත් ප්ලේන්ටිය තොලගාන්න ගත්තා; වෙටර් ඒ ශත පනහත් අරගෙන මට හිනාවකුත් දාල එතනින් ගියා.
දැන් ප්‍රමාද වෙන්න හොඳ ම නෑ. මම ඉක්මනට ම කෑම පැන්ට්‍රිය ගාවට ගියා; අම්පිටිය අයියත් ඉක්මනට ම කොල කෑල්ලක් මට දුන්නා. මම ඒක අතේ ගුළිකරගෙන ආයෙත් ඉක්මනට ම ඇවිත් වාඩිවෙලා ඉතිරි ප්ලේන්ටි ටික එක උගුරට ම බීලා ඉක්මනට ම කඩෙන් එළියට ආවා.
''වැඩේ හරිය...! මක්කයි උණේ...?"
මාව දැකපු ගමන් ම මෙච්චර වෙලා ඉවසිල්ලක් නැතුව හිටපු රොහාන් ඇහුවෙ හරි පුදුමයෙන්.
''මක්කවත් උණේ නෑ... මෙන්න මේක ඔයැයිට දෙන්නෙයි කිව්ව,'' කියල කියන ගමන් ම මගේ අතේ ගුළි කරගෙන හිටපු කඩදාසි කෑල්ල රොහාන්ගෙ අතේ තිබ්බා.
''රෑ දහය හමාරට කඩේ ඉස්සරහට වරෙං මචං''
ඔවු... අපිට වෙන විකල්පයක් තිබුණෙ ම නෑ; ඒ නිසා අපි තීරණයක් ගත්තා.
''හරි... අපි එහෙම කරමු.''
අපි දෙන්න ම ආපහු වැල්ලවත්තට ආවෙ කාරණා දෙකක් නිසා. එකක් තමයි පැය තුනක් කොල්ලුපිටිය අවට ඉන්න එක සුදුසු නැති එක. ඒත් වුවමනා නම් අපිට තිබුණ ගොල්ෆේස් එකට ගිහින් රවුමක් දාල එන්න. හැබැයි ඒ එද්දි වාඩියෙ කට්ටිය නිදාගෙන ඉන්න නිසා ඇතුළට එන්න විදියක් නෑ. අනික අපි දෙන්නට උයන්න කියල සුසන්ත කියල තිබුණ.
''එහෙනං සුසා... ඔයැයි නිමල් අයියට විස්තරේ කියනවයි...?''
සුසන්ත ඊයෙ ම නිමල් අයියට සිද්ධිය කියලයි තිබුණෙ. අද කියල විශේෂයෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ. ඒත් තව ටිකකින් ආයිත් කොල්ලුපිටි ගිහින් එද්දි රෑ වෙන නිසා දැන් තියෙන තත්ත්වෙත් කියන්න වෙනව නෙ...
විනාඩි දහයකින් විතර පහළට ආපු සුසන්ත ''හරි... බය වෙන්න දෙයක් නෑ. අපේ වැඩේ කරගෙන රෑ දොළහට හරි කමක් නෑ එන්නෙයි කිව්ව. ගේට්ටුව ලොක් කරන්නැතුව තියන්නං කිව්ව.''
''ඒ උනාට ගේට්ටුව ලොක් කරන්නෙ නිමල් අයිය නෙවෙයි නෙ...?"
මම එහෙම ඇහුවෙ අන්තිමට ගේට්ටුව ලොක් කරන්නෙ කව්ද කියල හරියට ම කියන්න බැරි නිසා. ඒ වුනාට මගේ අදහස වැරැදියි කියල හිතුණෙ සුසන්ත වැඩේ පැහැදිලි කරාට පස්සෙ.
''නෑ යසේ... කට්ටිය කාල ඉවර උනාම නිමල් අයිය කියන්නං කිව්ව''
රැ නමයයි හතළිස් පහයි... අපි දෙන්න වැල්ල වත්තෙන් පිටත් වුණා. බස් එකේ යමු කියල මම කිව්වත් සුසන්ත කිව්වෙ 'නෑ අපි පයිංම යං,' කියල.
* * *
සුසන්ත

අපි දෙන්නා සාගරසිරිය ගාවට එද්දි දහයයි විස්සයි. හොටලෙ ළඟම තියෙන බස් හෝල්ට් එකේ රොහාන්ට ඉන්න කියල මම හරියට දහය මාර වෙද්දි කඩේ ඉස්සරහට ගියා; එක තැන ම ඉන්න බැරි නිසා කඩේ ටිකක් පහු කරගෙන ගිහින් ආපහු ආවා. අමුත්තක් නෑ. හෝල්ට් එක ගාවට ගිහින් ආයෙ හෙමිහිට කොල්ලුපිටිය පැත්තට ගියා. සද්දයක් නෑ. ආයෙ වතාවක් හෝල්ට් එක පැත්තට යද්දදි 'ෂ්... ෂ්... ෂ්...' සද්දයක් ආව. හැබැයි සද්දෙ ආවෙ කොහෙන්ද කියල නිශ්චිත නැති නිසා මම නැවතිලා ටිකක් වටපිට බැලුවා. ඒ එක්ක ම ආයෙ 'ෂ්... ෂ්... ෂ්...' සද්දෙ ඇහුණා. ඒ සද්දෙ එන්නෙ උඩකින් කියල මට තේරුණා... ඒ එක්ක ම මට නිකමට වගේ උඩ බැලුණා; මම උඩ බලද්දි ම හොටලෙ ජනේලයකින් මොකක්දෝ පාර්සලයක් විසිවුණා. ආයෙ මම බිම බලන්නත් කලින් ඒ පාර්සලය 'දහ්' ගාලා බිමට වැටුණා.
දැන් කරන්න තියෙන හොඳම වැඩේ වටපිට නොබලා ඉක්මනට ම පාර්සලය ඇහිඳගෙන යන එක කියල ඉතිං අමුතුවෙන් කියන්න ඔ්නෙ නැහැ නෙ... මම ඒක කළා.
* * *
මොහොතක්වත් එතන රැඳුණෙ නැතුව අපි දෙන්න ඉක්මනට ම වාඩියට ආවෙත් පයින් මයි. බස් එකක එන්න හිතල පාරෙන් එහා පැත්තට ගියාට සුසන්ත ම තමයි කිව්වෙ 'නෑ... අපි හෙමිහිට පයින් ම යං,' කියල.
කිව්ව වගේ ම ගේට්ටුවෙ පොඩි පළුවට අත තියපු ගමන් ම ඒක ඇරුණා. ඇතුළට ආවට පස්සෙ දැක්කා ඉබ්බ යකඩ පට්ටමේ එල්ලිලා ඉන්න බව. ඒ කියන්නෙ අපි ඇතුළට එද්දි ගේට්ටුව ලොක් කරගෙන එන්න කියල තමයි ඒක එහෙම එල්ලලා තිබුණෙ.
දැන් බෑග් එක ලිහල බලන තුරු අපි දෙන්නට ම ඉවසිල්ලක් නෑ. දෙන්න ම බුරු ඇඳේ වාඩිවෙලා හෙමිහිට බෑග් එක ගැට ගහල තිබුණ ගෝණි නූල ලිහුවා. උඩින්ම තිබුණෙ හතරට පහට නවපු කඩදාසියක්; ඒක ලියුමක් කියල තේරුම් ගන්න කිසිම අපහසුවක් වුණේ නෑ. මම ඒක අතට ගත්ත ගමන් ම සුසන්තට ඇහෙන්නත් එක්ක සද්දෙ අඩු කරල කියෙව්වා.

''රොහාන් උඹ නං කරේ මාර ම වැඩක්. ගුණපාලයගෙ නාස් පොල්ල කැඩිලා. ඌව ඒ වෙලාවෙම මේ ළඟ තියෙන ඩිස්පෙන්සරියකට ගෙනිච්චා. තවම කඩේට නං ආවෙ නෑ. හැබැයි ඔ්කා නයා වගේ එකා. ආවට පස්සෙ මටත් සත්තමක් දාන්නත් පුළුවං. කඩේ අනික් එවුනුත් මීක් නෑ. කොයිකටත් උඹ පරිස්සමෙන් හිටපං. මොකක් හරි ඔ්න උනොත් යාළුව එවපං. උඹේ සල්ලියි, රෙදියි ඔක්කොම ඔතන ඇති. කොයිකටත් මේ අවට හොටල්වල රස්සාවකට යන්නෙපා. මොකද ගුණපාලය හොයන්න පුළුවන්. මොකද ඌ මෙහෙ පොලිස්කාරයොත් අඳුරනවා. හදිසියෙවත් එහෙම උනොත් උඹට පොලිසියෙන් ගුටිකන්න වෙනවා. ඒ හිංදා යාළුවත් එක්ක එක්කහු වෙලා එතන හරි වැඩ කරන්න බලපං. මට නං ආයි උඹව දකින්න හම්බෙන එකක් නෑ. හැබැයි යාළුවට පුළුහං ඇවිත් මාව හම්බෙන්න.
යාළුහටයි උඹටයි බුදු සරණයි''
මම ලියුම කිවල ඉවර වෙද්දි ම සුසන්ත ඇහුවෙ ''ඔයැයි ඌට එච්චර ගැහුවයි...?" කියල.
ඇත්තට ම මට හිනාත් එක්ක; ඒ හිනාව පෙන්නගෙන ම මම කිව්වෙ ''නෑ සුසා...මං පාරවල් දෙකයිද කොහෙද ගැහුවෙ... ඌ විසික්වෙලා ගිහින් වැටුණා; එතකොට ම අම්පිටියයිය මාව පැන්ට්‍රියෙන් එළියට තල්ලු කරා,'' කියල.
''නාස් පොල්ල කැඩිල නං ඉතිං හිතාගත්තැහැකි ඒ පාරවල් දෙක කොහොමද කියල...''
සුසන්තත් උත්තර දුන්නෙ හිනාවෙවී.
සුසන්තට හිනා ගියාට මට එහෙම හිනා ගියේ නෑ. මම කල්පනා කරේ හෙට ඉඳල මොකද කරන්නෙ කියල.

'අම්පිටිය අයිය කියන විදියට මේ අවට හොටෙලෙක වැඩක් හොයාගන්න එකත් එච්චර හොඳ නෑ. හදිසියෙවක්කත් ගුණපාලයට අහුඋනොත් ඉංතේරුවෙං ම පොලිසියෙන් ගුටි කන්න වෙනවා. ඒත් ගාල්ලට නං ආයෙ කොහොමටත් යන්න බෑ.'
''මක්කයි බෑග් එක දිහා බලං කල්පනා කරන්නෙ... මක්ක හරි අඩු ය...?''
මගේ කල්පනාව බිඳුණෙ සුසන්ත කතා කරාට පස්සෙ.
''නෑ නෑ... එහෙව් එකක් නෙවෙයි... මං දැං මක්කයි කරන්නෙ කියලයි කල්පනා කරේ..."
''අම්පිටියයිය කියන එක හැබෑව. ඌ පොලිසිය අඳුරනව නං අහල පහල හොටලවල හොයන්න ඇහැකි. ඒ කිව්වහෙ හොටලෙක ඉඳල අහුඋනොත් ඉංතේරුවෙං ම පොලිසියට අරං යයි. ඒකල්ල ඔහේට හොඳට ම නෙළයි. ඌ දැං ඔයැයි එක්ක ජම්මාන්තර වයිරෙන්නෙ ඇත්තෙ... දැං ඔව්ව කල්පනා කරන්නෝන්නෑ... හෙට දිහට්ට බලමුකො... අපි නිමල් අයියට කියල බලමු...''
''ඒත් සුසා...''
මම එහෙම කියද්දි ම සුසන්ත ''මං දන්නෝ... ඔහේට කුලි වැඩ කරන්න බැහැ තමයි... එහෙමනං...'' කියද්දි ම මම ඉතුරු ටික කිව්වා.
''නෑ නෑ... මං දන්නෝ ඔහේ මක්කයි කියන්න හදන්නෙ කියල... ආයි ගාලු නං යන්නනං බෑ...''
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 09/ 27
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්






